මේ ලෝකේ එක එක විදිහේ යුද්ධ තියෙනවා. රට රටවල් අතර යුද්ධ තියෙනවා. දේශපාලන පක්‍ෂ අතර යුද්ධ තියෙනවා. ආගම් අතර යුද්ධ තියෙනවා. ඔය විදිහට අපට එක එක විදිහේ යුද්ධ දකින්නට ලැබෙනවා. හැබැයි ඔය යුද්ධ හැම එකක් ම එක්කෝ ලේ වැගිරීමකින්, නැත්නම් මනුස්ස සංහාරයකින් අවසන් වෙනවා. නමුත් මේ ලෝකේ ලේ වැගිරීම් නැති, මනුස්ස සංහාර නැති යුද්ධයක් තියෙනවා ද කියලා ඔබෙන් කවුරුහරි ඇසුවොත් ඔබ කල්පනා කරාවි, ‘ඇත්තටම එ් වැනි යුද්ධයක් කරන්න පුළුවන් ද?’ කියලා.

ඇත්තටම එ් විදිහේ අසිරිමත් යුද්ධයක් මේ ලෝකේ තියෙනවා. හැබැයි එ් යුද්ධය කරන්න හැමෝම එකතු වෙන්නේ නැහැ. මේ ලෝකයේ ප‍්‍රඥාවන්ත අය විතරයි මේ යුද්ධයට එකතු වෙන්නේ. මේ යුද්ධය කෙරෙන්නේ කොහොම ද? එ් යුද්ධය තියෙන්නේ කොතන ද? එ් යුද්ධයට එකතු වෙන්නේ කවුරු ද කියලා දැනගන්න ඔබත් කැමතියි නේ ද?

ඇත්තටම එ් යුද්ධය කරන්නට තියෙන්නේ වෙන කෙනෙක් එක්ක නෙමේ. ඔබේ හිතත් එක්කයි. එ් තමා ඔබේ හිතට එන අකුසලයට විරුද්ධව කරන්න තියෙන යුද්ධය…!

දැන් බලන්න ඔබ ගෙදර ඉන්නකොට ගෙදර දොරේ නොයෙකුත් වැඩ කරන්නට සිද්ධ වෙනවා. පාසල් ගියා ම පාසලේ නොයෙක් කටයුතුවලට එකතු වන්නට සිද්ධ වෙනවා. එ් වගේ ම රස්සාව කරන තැන දී වුණත් ඔබට එක එක විදිහේ දේවල් කරන්නට වෙනවා. ඊළඟට ඔබ ගමන් බිමන් යද්දී පවා එක එක විදිහේ දේවල්වලට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හැබැයි බලන්න ගෙදර දොර වැඩ කරද්දී වුණත් ඔබ ඔබේ සිතට යටවෙලා අනිත් අයට බැණ බැණ එ් දේවල් කරන අවස්ථා ඕන තරම් උදා වෙනවා නේ ද? සමහරවිට ඔබ නැගිටින්නේ තරහින්. රෙදි හෝදන්නේ තරහින්. උයන පිහන කටයුතු පවා තරහින් කරන වේලාවන් තිබෙනවා නේ ද?

සමහර විට ඔබ රැකියාව කරන්නට ගියත් එතනත් නිදහසක් නැහැ. එතනදිත් ඔබ එ් ඉන්න සේවක මණ්ඩලයේ අයට පවා දොස් කිය කියා එ් වැඩ කරන අවස්ථා ඕන තරම් තිබෙනවා නේ ද? ඇත්තටම එ් වගේ වෙලාවට ඔබේ හිත ඔබට මතක් කර දෙනවා නේ ද ‘අහවල් කෙනයි ඕක කිව්වේ….. එදත් මෙහෙම කරා….. ඊට කලින් වාරයකදිත් මේ වගේ දෙයක් කිව්වා’ කියලා? එ් තියන තරහ දෙගුණ තෙගුණ වෙන වෙලාවට ඔබේ කටින් වචනයක් දෙකක් පවා පිටවෙන වෙලාවල් නැත්තෙම නෑ නේ ද? අන්න එ් වගේ වෙලාවට තමයි ඔබට එ් අසිරිමත් යුද්ධය පටන් ගන්නට තියෙන්නේ.

හැබැයි එ් යුද්ධය කරන එක නම් ලේසි නැහැ. තරහව බුර බුරා ඔබේ සිතේ නැගිලා එන වෙලාවෙදි ඇත්තටම ඔබට පුළුවන් නම් එ් තරහවට ඉඩ දෙන්නේ නැතිව පාලනය කරගන්න උත්සාහ දරන්න, ඔබත් ඔබේ හිත සමඟ යුද්ධය කරන්නට පටන් අරගෙන.

බලන්න මේ තරහව නිසා අපි කොච්චර දුක් විඳිනවා ද? සමහර වෙලාවට පුංචි දෙයක් වුණාට පස්සේ අපිට හරියට බත් පිඟානවත් කන්නට බැරිවෙනවා. එ් විතරක් ද? මේ කේන්තිය හිතේ තියාගෙන ඉද්දි නිදාගන්නට ගියත් අපිට සැනසිල්ලේ නිදාගන්නට බැරි වෙනවා නේ ද? ඇත්තටම ඔන්න ඔය වෙලාවට අපිට පුළුවන් නම් මේ තරහව අත් හැරලා දාන්නට අපිට ලොකු සැනසිල්ලක් ලබා ගන්නට පුළුවන්.

බලන්න සමහර වෙලාවට අපි කේන්ති ගන්නේ පුංචි වචනයකට. සමහර වෙලාවට අපි කේන්ති ගන්නේ කෙනෙක් කරන පුංචි දේකට වෙන්න පුළුවන්. එ් වගේ වෙලාවකදි අපට පුළුවන් නම් එ් වචන ගණන් නො ගෙන ඉන්න, නැතිනම් අපිට කරන දේ ගණන් නො ගෙන ඉන්න….. එ්ක තමා ලොකු ම ජයග‍්‍රහණය. මොකද අපට කෙනෙක් බැණ්නොත් එ් බැණපු එක බැණපු කෙනා අරගෙන යන්නට ඕන. කෙනෙක් අපට නපුරු දෙයක් කළොත් එ් නපුරු දේ එයා අරගෙන යන්නට ඕන. එතකොට එ් නපුරු වචනයට හරි, නපුරු දේට හරි පෙරලා තව දෙයක් අපි කළොත් එ් කරපු දේ අරගෙන යන්නට වෙන්නේ අපිට.

එ් නිසා ඔබ කොතන දී හරි ඔබ ඉන්න තැනකදි…. ඔය හිතට අමනාපය තරහ එනකොට එ් තරහට බලවත් වෙලා නැගිටලා ඔබව හසුරුවන්නට දෙන්න එපා. එ් තරහව හිතට එද්දි ‘මම තරහට – අමනාපයට – හිතට යට වෙන්නේ නැහැ…. තරහින් නරක දෙයක් කරන්නේ නැහැ’ කියලා තරහව යටපත් කරගන්නට ඔබට පුළුවන් නම් හැබෑවටම මේ ලෝකේ තියෙන අසීරු ම යුද්ධය කිරීමට යුද පිටියට පැමිණුන ශ්‍රේෂ්ඨ සොල්දාදුවෙක් වෙන්නට ඔබට පුළුවන්. පටන් ගත් වීර්යයෙන් යුතුව, මනා සිහියෙන් යුතුව, මේ එළඹි කටයුත්තෙහි අත්නොහැර යෙදෙන්නට ඔබට පුළුවන් නම්, කෙලෙස් යුද්ධයෙන් දිනූ නිකෙලෙස් විරුවෙක් බවට ඔබ පත් වෙන බව නිසැකයි.

සොල්දාදුවෙක්