ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ රනින් නම් කරවන ලද රටවල් කිහිපයකට මැදිව ය. රන් ත‍්‍රිකෝණය නම් වූ තායිලන්තය, බුරුමය හා ලා ඕසයත්, රන් චන්ද්‍රවංකය නම් වූ ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයත් අප රටට නුදුරින් පිහිටි අසල්වැසි රාජ්‍යයන් ය. මේ අසල්වැසි භාවය ම අද වනවිට අපට පාරාවළල්ලක් වී ඇත.

එ් රටවල් එසේ නම් කෙරුණේ ලෝකයේ වැඩිම මත්කුඩු නිෂ්පාදනයත්, ප‍්‍රවාහනයත් මේ රටවල් කේන්ද්‍ර කොටගෙන සිදුවන නිසාවෙනි. ඔවුන්ට අසල්වැසියන් වූ නිසා ම ලෝකයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වන්නට අපට සිදුව ඇත.

පසුගිය දින කිහිපය පුරාවට ම රටේ නොයෙක් ප‍්‍රදේශයන්ගෙන් අසන්නට ලැබුණේ මත්කුඩු සම්බන්ධ වැටලීම් පිළිබඳවයි. ධනවතුන් ද දුප්පතුන් ද උගතුන් ද නූගතුන් ද ළමයින් ද තරුණයන් ද වැඩිහිටියන් ද මත්කුඩු ළඟ තබා ගැනීම නිසාවෙන් අත්අඩංගුවට ගැනෙන අවස්ථා එන්න එන්න ම සුලබ වනවා මිස අඩුවක් පෙනෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාශ 43න් ම මත්කුඩු සම්බන්ධ අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. එනම් මේ උවදුර රට පුරා ම ව්‍යාප්ත වූවකි.

අප රටේ මත්කුඩු නිපදවෙන්නේ නැත. එහෙත් 2011 වසරේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව අප රටේ වීදි මට්ටමින් මත්කුඩු භාවිත කරන්නන් වෙනුවෙන් දිනකට මත්කුඩු කිලෝ 02ක් භාවිත වී ඇත. 2014 වනවිට මේ අගය තවත් ඉහළට පැමිණ ඇති බව නිසැක ය. අප පමණක් නොව මුළුමහත් ලෝකය ම නූතනයේ මුහුණපා සිටින දැවැන්ත ම අර්බුදය නම් මත්ද්‍රව්‍ය භාවිතය හා මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයයි.
මත්ද්‍රව්‍ය භාවිතය මූලිකව මනස වියවුල් කරවයි. එයින් ඇති කරන මානසික යැපීම මත පුද්ගලයෙකු එ්වාට ඇබ්බැහි වීම සිදු වේ. සිහිය ද සෞඛ්‍ය තත්ත්වය ද ධනය ද විනාශ කරන මත්ද්‍රව්‍ය මෙලොවත්, පරලොවත් දුක උපදවන්නක් මිස සැප ඇති කරන්නක් නො වේ. එ්වා භාවිත කරන්නේ නම් බිඳ වැටෙන්නේ සිල් පදයකි. එ්වා වෙළඳාම් කරන්නේ නම් සිදුවන්නේ සම්බුදුරජාණන් වහන්සේ විසින් නො කළ යුතු යැයි පනවා වදාළ වෙළඳාමකි. එ් ඔස්සේ සිදුවන්නේ මිථ්‍යා ආජීවයකි. කවර අයුරකින් බැලූව ද මත්ද්‍රව්‍ය අපව දහමෙන් ඈත් කරවයි.

අප රටේ නීතිය අනුව මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 02කට වඩා ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙන බරපතළ වරදකි. මෙලොව එසේ ආදීනව ලැබෙද්දී මේ දුරාචාරයන්ගේ යෙදීම නිසා ලැබෙන පරලොව ආදීනවයන් ද සුළුපටු එ්වා නො වේ. එය අපායගාමී අකුසලයකි. මනු ලොව උපන්නේ නම් උමතු ස්වභාවය, ලැජ්ජා රහිත ස්වභාවය, දිළිඳු බව, රෝග පීඩා හා විරූපී ශරීර ස්වභාව ඇති කරවන්නකි. මානසික උත්තේජනයක් හෝ මුදල් ලාභය හෝ අපේක්ෂාවෙන් මත්ද්‍රව්‍ය භාවිතයටත්, වෙළඳාමටත් යොමු වීමෙන් සිදු වන්නේ මහත් අලාභයක් ම පමණි.

රටක් වශයෙන් එක පෙළට හිඳිමින් මේ උවදුරෙන් ගැලවෙන්නට අප ක‍්‍රියාත්මක විය යුතු ය. සදාචාරවත් දිවි පෙවත අගයන සමාජයක මෙවැනි දුරාචාරයන් හිස එසවිය යුතු නැත. නීති මඟින් පමණක් නො ව, තනි තනියෙන් ද මෙහි දී කළ යුත්තක් තිබේ. පළමුවැන්න අප කිසිසේත් මේ සමාජ පිළිලය පෝෂණය කරන්නන් බවට පත් නො වීමයි. දෙවැන්න මේ ව්‍යසනයට ගොදුරුව සිටින අපගේ හිතමිතුරන් හට එයින් නිදහස් වීම පිණිස දයානුකම්පීව උපකාර කිරීමයි.

නීතිය නීතියේ වගකීම ඉටු කරද්දී අපට එසේ මනුෂ්‍යත්වයේ වගකීම ඉටු කරන්නට හැකි නම්, මතින් තොර හෙටක් බිහි කරන්නට වෙනත් විකල්පයක් වුවමනා නො වනු ඇත.