ලෝකය යනු කුමක්ද කියා වරක් නැගුන ප‍්‍රශ්නයකට මහා ප‍්‍රඥා ඇති අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා. ‘‘ඇස, කන, දිව, නාසය, කය, මනස යන ආයතන හයෙන් යුතු මෙම බඹයක් තරම් වූ ශරීරය තුළයි ලෝකය පවතින්නේ.” එ් කියන්නේ අපේ ලෝකය ගොඩ නැගෙන්නේ මෙම ආයතන හය තුළින් ලැබෙන අරමුණු වන රූප, ශබ්ද, ගඳ-සුවඳ, රස-පහස සහ මනසට සිතෙන සිතිවිලිවලිනුයි.

මිනිසාට බාහිර පරිසරය තුළ සිදුවන නොයෙකුත් තොරතුරු දැන ගැනීම සඳහා තමයි ජනමාධ්‍ය කියල දෙයක් බිහිවෙලා තියෙන්නෙ. ඉතින් මේ ජනමාධ්‍ය මිනිසා කරා යොමුවන්නේ ඇසත්, කනත් කියන ආයතන ඔස්සේ. එම නිසා ම මිනිසා තුළ ගොඩනැගෙන රූප ලෝකයට, ශබ්ද ලෝකයට ප‍්‍රධාන වශයෙන් පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය, නොයෙක් ලිපි, පොත් පත් ආදිය සමඟින් ජනමාධ්‍යය විශාල බලපෑමක් ඇති කරනවා.

රටක සමාජය තුළ සැම එ්කකයක් ම වගේ ජනමාධ්‍ය වෙත යොමු වෙලයි පවතින්නේ. එ්ක නිසා සමාජයක දියුණුව වාගේ ම පිරිහීමටත් ජනමාධ්‍යයේ විශාල බලපෑමක් තියෙනවා. මිනිසාට නිතර දකින්නට අසන්නට ලැබෙන දේවල් ඔස්සේ තමයි සිතිවිලි ක‍්‍රියාත්මක වන්නෙ. ඊට අනුව තමයි කයින් වචනයෙන් ක‍්‍රියාත්මක වන්නෙ. ඉතින් ජනමාධ්‍ය තුළින් සමාජයට නිතර ම අනුබල ලැබෙන්නෙ පිරිහීම කරා නම් එ්ක රටකට හා සමාජයකට මහත් ඛේදජනක ඉරණමක්.

අද අපේ රටේ පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය ගත්තොත් උදෑසන සිට දවස පුරාම බොහෝ විට දකින්නට අසන්නට ලැබෙන්නේ රාග, ද්වේෂ, මෝහ වැඩෙන මිනිසුන්ගේ සිත් ඇවිස්සෙන විදිහේ තොරතුරු හා වැඩසටහන්. එ් අතර බොහොම කලාතුරකින් තමයි සමාජයට වැඩදායක වූ දෙයක් ඉදිරිපත් වෙන්නෙ.

සමස්තයක් ලෙස ජනමාධ්‍ය තුළ මුල් තැනක් ලැබිල තියෙන්නෙ රටේ ලෝකයේ ජනප‍්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත තුළ තිබෙන අඩුපාඩු ක‍්‍රියාකාරකම් හාස්‍යයට ලක් කරමින් ඕපාදූප කතා බහ කිරීමටයි. අපි ගත්තොත් අන්තර්ජාලය තුළ ඕපාදූප කතා කිරීම සඳහා ම වෙන් වුණ වෙබ් අඩවි පවා නිර්මාණය වෙලා තියෙනවා. ශිෂ්ට සම්පන්න වූ සමාජ සංස්කෘතියක් තිබෙන අපේ වැනි රටකට එ්ක කොතරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් ද? සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය මෙවැනි දේවල්වලට නිරායාසයෙන් ම ඇදී යන එක. එ් වුණාට තමන්ටත්, අනුන්ටත් කිසිදු යහපතක් සිදු නොවන මෙවැනි ඕපාදූප සෙවීමට වැයවන අපගේ කාලය තමාටත් රටටත් හිත සුව පිණිස පවතින දෙයකට යොදවන්නට පුළුවන් නම් එ්ක කොච්චර අර්ථවත් ද?

අද අප බරපතළ ලෙස නො සිතුවාට කුඩා ළමයින් සඳහා වෙන් වුණ රූපවාහිනි නාලිකා සහ වැඩසටහන් තුළ පවා බොහෝ වෙලාවට දක්නට ඇත්තේ තරගකාරි බව ළමා මනසට කාවදින ආකාරයේ දේවල්. එහෙමත් නැත්නම් මනස තුළ තරහ ඇතිවන ආකාරයේ සටන්වලින් යුක්ත වූ කාටුන ආදියයි. නමුත් එකමුතුකමේ වටිනාකම, අනුන්ට උපකාර කිරීම, දෙමව්පියන්ට සැලකීම වැනි යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම දක්නට ඇත්තේ ඉතාමත් අඩුවෙන්.

එ් වගේ ම තමයි මෙකල සෑම දිනක ම උදෑසනින් ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනි නාලිකා තුළින් රට තොට පුවත් දකින්නට සහ අසන්නට සලස්වනවා. එ්ත් මේකෙදි බොහෝ විට දකින්නට සහ අසන්නට ලැබෙන්නෙ මනසට සුවයක් ගෙන දෙන දේවල් නම් නො වෙයි. උදෑසන තිබෙන ප‍්‍රබෝධවත් මනස අවුල් වෙලා යන ආකාරයේ දේවල් සහ විවිධාකාර ඕපාදූපයන් එ් හරහා අපේ ජීවිත කරා ළං වෙනවා. එවිට අවුල්වන මනසින් යුතුව තම රැුකියාවට යන අප බොහෝ විට රැුකියාවට ගොස් කතාබහ කරන්නෙත් එ් දේවල්. තමන්ගේ කාර්යාල වේලාව නිකරුනේ මේ කතාබහට නාස්ති වෙලා යනව. ඉතින් මේකෙදි තමනුත් පෞද්ගලිකව සංවර විය යුතු වෙනවා. එ් වගේ ම ජනමාධ්‍ය සතු විශාල වගකීමක් තමයි යම්කිසි පාලනයකින් හා විධිමත් යාන්ත‍්‍රණයකින් යුතුව ජනතාවට වැඩසටහන් ඉදිරිපත් කිරීම.

ශ‍්‍රී ලංකාව කියන්නෙ නිර්මල බුදු දහමින් පෝෂණය වූ ගුණ දහමින් සැකසුන සංස්කෘතියකට උරුමකම් කියන රටක්. නමුත් මේ වන විට අප රටේ මාධ්‍ය ආයතන අතර ඇති ජනප‍්‍රියත්වය තුළින් ඉහළට යෑමේ තරගකාරිත්වය හමුවේ රටේ සංස්කෘතිය නොයෙක් පැතිවලින් සෝදාපාළුවකට ලක්වෙමින් පවතිනවා. බොහෝ විට මාධ්‍යයන් ජනප‍්‍රියත්වයට පත්වීමට ඉලක්ක කර ගන්නේ රටේ තරුණ ප‍්‍රජාව. ඊට හේතුව ඔවුන් ඉතා ඉක්මනින් යමකට ඇදී යාමේ ඇති ප‍්‍රවණතාවය සහ අනුකරණය කිරීමට ඇති කැමැත්තයි. ඉතින් මාධ්‍ය ආයතන තුළ සිටින නිර්මාණශීලී හැකියාව ඇති අය නොයෙකුත් ආකාරයේ වැඩසටහන් රටට හඳුන්වා දෙනව. එහි දී එ් වැඩසටහන හේතුවෙන් රටට, සමාජයට, සංස්කෘතියට සිදුවන බලපෑම පිළිබඳ ව කිසි ම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. බොහෝ විට වර්තමානයේ නව ආරක් කියමින් නිර්මාණය වන එම වැඩ සටහන් තුළින් පුද්ගලයාගේ හිරි ඔතප් නැතිවෙලා යන එක තමයි සිද්ධ වෙන්නෙ.

මෙහි දී මාධ්‍ය සතු බරපතළ වගකීමක් තමයි, යම් කිසි දෙයක් සමාජයට විවෘත කිරීමට පෙර එම වැඩසටහන රටේ යහපත් සංස්කෘතියට තර්ජනයක් වේ ද, එ් වගේ ම මෙය කාලෝචිත ද යන කරුණු සොයා බලා මනා පාලනයකින් යුතුව වැඩසටහන් ඉදිරිපත් කිරීම. එ් වගේ ම යමක් ඉදිරිපත් කිරීමේ දී එ් තුළින් සමාජය නොමඟ යාමකට ඉඩ නො තබා අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීමත් ඉතා වැදගත්. අපි හිතමු යම් ප‍්‍රශ්නයකට සිය දිවි නසාගත් කෙනෙක් පිළිබඳ ප‍්‍රවෘත්තියක් වාර්තා කරනව කියල. ඉතින් එ් ප‍්‍රවෘත්තිය අහගෙන හිටපු එවැනි ම ප‍්‍රශ්නයක් තියෙන කෙනෙකුට හිතුණොත් ‘හරි මටත් එහෙනම් තියෙන විසඳුම සිය දිවි නසා ගැනීමයි’ කියල, එ් ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමේ දී යම් බරපතළ දෝෂයක් සිදු වී තියෙනව.

කෙනෙකුට කියන්න පුළුවන් ”කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි” කියා. නමුත් මෙකල සමාජය තුළ සිහි බුද්ධියෙන් කල් ගෙවන අය සොයාගැනීම එතරම් පහසු නැහැ. ඉතින් ජනමාධ්‍ය සතු වගකීම තමයි රටක සමාජයේ යහපත හා සුබ සිද්ධිය ගැන හොඳින් සලකා බලා පුවත් සහ නිර්මාණ ඉදිරිපත් කිරීම. එ් වගේම බුද්ධිමත් ජනතාව, මාධ්‍ය විසින් ඉදිරිපත් කරන තමාටත් අනුන්ටත් අයහපත පිණිස පවතින දේවල් බැහැර කිරීමට තම සිහි නුවණ මෙහෙයවීම තමයි කරන්ට තියෙන්නෙ.

ඉතින් ජනමාධ්‍යයට පුළුවන් තාරුණ්‍යයේ ඇති ජවය උපයෝගි කර ගනිමින් රටට සමාජයට යහපත දියුණුව පිණිස පිරිස පෙළ ගස්වන්නට. එ් වගේ ම මිනිසුන්ගේ සිත් සතන් නිවමින් සමාජයට වැඩදායි පිරිසක් බිහි කිරීමේ වගකීමේ කොටස්කරුවන් වන්නට. ජනමාධ්‍යවේදීන් විදිහට තම තමන් සමාජානුගත කරන අදහස්, අරමුණු ඔස්සේ සමාජයීය වශයෙන් වන බලපෑම පළමුව සලකා බැලිය යුතු වෙනවා. එ් හරහා රටේ ආර්ථික, සමාජයීය, ආගමික, ආධ්‍යාත්මික, සංස්කෘතික ආදි වූ හර පද්ධතීන්ගේ ධනාත්මක වර්ධනයක් සිදු කිරීමයි ජනමාධ්‍යයේත්, ජනමාධ්‍යවේදීන්ගේත් වගකීම සහ යුතුකම වන්නේ.

නොයෙක් අංශයන්ගෙන් සංවර්ධන ඉලක්කයන් සපුරා ගනිමින් ශීඝ‍්‍ර ඉදිරි ගමනක් කරා රට මෙහෙයවන්නට පිඹුරුපත් සැකසී තිබෙන, එ් වෙනුවෙන් මහඟු අවස්ථාවන් උදා වී තිබෙන මෙවන් කාල වකවානුවක එකී යෝධ කර්තව්‍යයේ විශාල මෙහෙයුමක් ජනමාධ්‍ය වෙත නිතැතින් ම පැවරෙනවා. ලොව පුරා තොරතුරු සම්පේ‍්‍රෂණය කර ගන්නා ජනමාධ්‍ය හරහා අපට ගැළපෙන සහ ප‍්‍රායෝගික ව භාවිතයේ යෙදවිය හැකි නියමු ව්‍යාපෘති, සංකල්ප නිතර නිතර ඉදිරිපත් කෙරෙනවා නම් එය මේ කාර්යයේ නියමුවන්ට මහත් රුකුලක්. එ් වගේ ම එය රට වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් සිදු කරන අතිශය ඵලදායී ආයෝජනයක්. රට හමුවේ ඇති සංවර්ධන ඉලක්ක කරා පිය නැගීමට උත්තේජනයන් සැපයීම ජනමාධ්‍යයේ වගකීමක් බවට පත් කර ගත යුතු වන්නේ එ් නිසයි.

රාජ්‍ය ප‍්‍රතිපත්තීන්වලටත්, රටවැසියන්ගේ මනසටත් එක සේ ම ග‍්‍රහණය කර ගත හැකි පරිද්දෙන් රට දියුණු කළ හැකි යහපත් ක‍්‍රමවේදයන් හෙළිදරව් කරන්නට ජනමාධ්‍ය යොමු වනවා නම් එය ම යි රටේ සංවර්ධනයේ ශක්තිමත් ම පදනම වන්නේ. නීති රීති, අණ පනත් කිසිවකින් කළ නො හැකි ආකාරයේ ප‍්‍රබලතාවයකින්, නිර්මාණශීලී ව සිත් සතන් ආමන්ත‍්‍රණය කරන්නට ජනමාධ්‍යයට හැකියි. එ් හැකියාව සුභාවිත කරමින් මනුෂ්‍යත්වයේ උතුම් ගුණධර්ම සුරැුකෙන සහ රට හමුවේ ඇති සංවර්ධන ඉලක්ක සපුරා ගන්නට උපකාරී වන ජනමාධ්‍ය සංස්කෘතියක් අප රටේ බිහි වේවා යන්න අපගේ ප‍්‍රාර්ථනාවයි.

සටහන
කෝසල සමරසේකර