පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන් තමයි අපේ අකුසල් ඉස්මතු වෙලා පේන්නේ. පිරිස සමඟ වාසය කරනකොට එකිනෙකා කෙරෙහි ඉරිසියාව මතුවෙලා එනවා පෙනෙයි. කුහකකම, ගැටෙන ගතිය මතුවෙලා පෙනෙයි, අඩුපාඩු හොයන ගතිය මතුවෙලා එයි. කම්මැලිකම මතුවෙලා එයි. ‘මේ කටයුත්ත තව කෙනෙක් කරපුවාවේ. මම ඕන නෑ’ කියල මඟහරින ගතිය, සට කපට මායා ගතිය මතුවෙලා එයි. එ්වා දකින්ට පුළුවන් වෙන්නෙ පිරිසක් එක්ක ඉන්න කොටයි. හැබැයි එ් සඳහා අපි සිත පිරිසිදු වීම පිණිස ඇති කරගත් ඉලක්කයක ඉන්ට ඕනැ.

කැලයක් කපන්ට යනකොට නේ ද කටුලඳු ඔක්කොම අහුවෙන්නේ? නැත්නම් ඈතින් කැලේ බල බලා යනකොට හිතෙනව ‘හරී ලස්සනයි, ෂා… කුරුල්ලෝ ඈතින් යනවා. අන්න උන් කැලේ වහනවා’ කියල. නමුත් කැලේ කපන්ට යනකොටයි පේන්නේ කටු පඳුරු ඔක්කොම. එ් නිසා අපි පිරිසිදු වෙන්න ඕන කියන අදහසින් පිරිස සමඟ වාසය කරන්ට ඕන. අන්න එතකොට එයා තුළ අපිරිසිදුකම ඇති කරන්නා වූ කරුණු මතුවෙලා පේනවා. එතකොට එයාට එ්වා දුරුකරගන්ට අවස්ථාවක් තියෙනවා. එ් නිසා පිරිසෙන් වෙන්ව යෑම අකුසල් දුරුකර ගන්ට උපකාර වෙන එකක් නෙවෙයි. පිරිසෙන් වෙන්ව යෑම, වෙන්ව සිටීම කියල කාරණයකුත් ධර්මයේ තියෙනවා. එ්කෙන් කියන්නේ හුදෙක් තනි තනිව ඉඳීම නෙවෙයි. එ්කෙන් අදහස් කරන්නේ පිරිස සමඟ ඉඳිමින් එකිනෙකාට උපකාර කරමින්, තනි තනිව අකුසල් දුරුකරගන්න කල්පනා කළ යුතුයි කියන එකයි.

අපි ගියවර කතා කළේ ‘චූල ගෝසිංහ සූත‍්‍රය’ යි. භාග්‍යවතුන් වහන්සේ එම සූත‍්‍රයේ දී මේ විදිහට අහනව, ‘‘කොහොමද සමඟිය එහෙම? සමඟිව සතුටින් වාද විවාද නැතිව ඉන්නවා නේ ද…? එකිනෙකා කිරියි, වතුරයි වගේ ප‍්‍රිය ඇසින් බලමින් වාසය කරනවා නේ ද?” කියල. බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදය ඔබ ‘තරයේ හිතට ගනිත්වා!’ කියල අපි කල්පනා කරනවා. මේ අවවාදය අපේ එකක් නෙවෙයි, භාග්‍යවතුන් වහන්සේගේ එකක්. අපි කළේ සිහිපත් කරල දීම විතරයි. එ් අවවාදය හිස් මුදුනින් පිළිගත්ත කෙනා පිරිස අතරේ පි‍්‍රය මනාපව වාසය කරනවා. ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් වාසය කරනවා. ඇයි? එයා ඉටුකරන්ට බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව. භාග්‍යවතුන් වහන්සේ කැමති වුණේ යමක් ද, එ්ක ඉටුකරන්ට එයා කැමතියි. එයාට කුසල් වැඩෙනවා.

බලන්න අනුරුද්ධ රහතන් වහන්සේ කොහොමද පිළිතුරු පවසන්නේ කියල, ‘‘ඇත්තෙන්ම ස්වාමීනී, අපි සමඟියෙන් ඉන්නවා. අපි සමඟියෙන් සතුටු වෙනවා. වාද විවාද කරන්නේ නෑ. කිරියි, වතුරයි එකතු වුණා වගේ එකිනෙකා කෙරෙහි ප‍්‍රිය ඇසින් බලමින් තමයි වාසය කරන්නේ.”

භාග්‍යවතුන් වහන්සේ විමසනව ”පින්වත් අනුරුද්ධ, ඔබ කොයි විදියට ද සමඟිව ඉන්නේ? සමඟිව සතුටු වෙන්නේ? වාදවිවාද නැතිව ඉන්නේ? කිරියි වතුරයි එකතු වුණා වගේ එකිනෙකා ප‍්‍රිය ඇසින් බලමින් ඉන්නේ කොහොමද?” කියල. අනුරුද්ධ රහතන් වහන්සේ ප‍්‍රකාශ කරනවා,

‘‘ස්වාමීනී, මට මේ විදියටයි හිතෙන්නේ. ‘ඇත්තෙන්ම මට ලාභයක්! ඇත්තෙන්ම මට යහපත් ලාභයක්! මේ වගේ උතුම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කරන්ට ලැබුණානේ’ කියලා. ස්වාමීනී, එ් ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ වැඩ හිටියත් නැතත් මෛත‍්‍රී සහගත වැඩ කටයුතුවලින් යුක්තවෙලයි මම ඉන්නේ. එ් වගේ ම, එ් ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මෛතී‍්‍ර සහගත කතා බහෙන් ම යි ඉන්නේ. එ් වගේ ම, එ් ආයුෂ්මතුන් වහන්සේලා මං ඉදිරියේ හිටියත් නැතත් මෛත‍්‍රී සහගත අදහස්වලින් ම යි ඉන්නේ. ස්වාමීනී, මට මෙහෙමත් හිතෙනවා ‘මගේ හිත අයින් කරල එ් ආයුෂ්මතුන් වහන්සේලාගේ ස්වභාවය මං ඇතිකර ගන්නවා’ කියල. ඉතින් ස්වාමීනී, මං මගේ හිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදියට ම හිතනවා. එතකොට ස්වාමීනී, අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි. අපි හදවත්වලින් එකයි.”

දැක්ක ද නිවන් මගට බහින තැන…? දැක්ක ද නිවන පිණිස පිවිසෙන තැන…? දැක්ක ද සන්සිඳීම ඇතිකරවන තැන…? දැක්ක ද භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය ඉටු කරන්නේ කොහොමද කියන කාරණාව…? එහෙම නැතුව ‘මට මේගොල්ලෝ එක්ක ඉඳල හරියන්නේ නෑ…’ කියල ද උන් වහන්සේලා කල්පනා කළේ? නැහැ.

යම් කෙනෙක් මේ විදියට කල්පනා කළොත්, එයා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා ම යි. භාග්‍යවතුන් වහන්සේ යම් ඉලක්කයක් පෙන්නුවා නම් එයා එ් ඉලක්කය කරා යන කෙනා ම යි. එයා ශ‍්‍රාවකයෙක්. භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරුකරන ශ‍්‍රාවකයෙකුට යමක් ද ලැබෙන්නේ, අන්න එ් ප‍්‍රතිලාභය එයාට ලැබෙනවා ම යි. එ් නිසා අපි සියලූ දෙනාටම සිහි කරල දෙන්නේ, නිවන පිණිස පුහුණු කළ යුතු වැඩපිළිවෙළක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා නම් මේ විදිහටයි එ් වැඩපිළිවෙළේ ආරම්භය සිද්ධ වෙන්නෙ.

කල්පනා කරල බලන්න, භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් මේ ශාසනයේ පැවිදි වුණා නම් එ් අය ‘රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕනෑ’ කියන අදහස් ඇති කරගෙනයි පැමිණෙන්නෙ. එ්ක එ් අය තුළ තියෙන ගුණයක් ද? නැද්ද…? ගුණයක්. නමුත් එ් අදහස තිබුණා කියල, එ් අය තුළ රාගය ඉස්මතු නො වෙයි ද…? ද්වේෂය ඉස්මතු නො වෙයි ද…? මෝහය ඉස්මතු නො වෙයි ද…? ඉස්මතු වෙනව. එහෙනම් එ් පිරිස තුළ රාගය ඉස්මතු වීම ද අපි නරක විදියට කල්පනා කළ යුත්තේ? ‘රාගය දුරුකරන්ට ඕන’ කියන හැඟීම ද හොඳ දෙයක් විදියට කල්පනා කළ යුත්තේ? එ් පුද්ගලයා මැනිය යුත්තේ කොයි කාරණයෙන් ද…? බලන්න, යම් කෙනෙක් ශාසනයට ඇතුළුවෙනවා නම්, එ් බහුතරයක් දෙනා ‘රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕන’ කියන අදහසින් එන්නේ. එහෙනම් අන්න එ් අදහසින් එ් පුද්ගලයා මැන ගන්න එක ද හොඳ…? නැතිනම් එයා තුළ රාගය මුල්වෙලා යම් අකටයුත්තක් සිදුවුණොත් එ්ක මුල් කරගෙන මනින එක ද හොඳ…?

අපි හිතමු, කේන්තිය කියල. ඔන්න කෙනෙක් කේන්තිය මුල් වෙලා සැර වචනයක් කියනවා. එ්ක මුල්කරගෙන එයාව මනින එක ද හොඳ?, නැත්නම් කලින් එයා තුළ තිබුණ අදහස මුල්කරගෙන මනින එක ද හොඳ…? කලින් එයා තුළ තිබුණ අදහස මුල්කරගෙන මනින එකයි හොඳ. අන්න එතකොට තමයි සමඟිය ඇති වන්නේ. ගරුසරුබව ඇතිවන්නේ එතකොටයි.

යමෙක් තුළ ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනව නම් අන්න එ් අරමුණ මුල්කරගෙන එ් අයට ගරු කරන්න පුරුදුවෙන්න. රාගය තියෙන නිසානේ එයා රාගය දුරුකරන්ට කල්පනා කරන්නේ. එ් වගේ ම ද්වේෂය තියෙන නිසානේ එ්කත් දුරුකරන්ට කල්පනා කරන්නේ. ඉතින් ‘මෙන්න මෙයාට කේන්ති යනවා’ කියල එයාව අයින් කළා ම හරි ද…? එ් නිසා අපි දැනගන්න ඕන, එයාට කරුණාවෙන් උපකාර කරන්න. එතකොටයි එයා එ්ක නැතිකර ගන්නේ. එහෙම නැතිව ‘මෙන්න මේ අය තරහ යන කට්ටිය… මේගොල්ලෝ මෙහෙමයි…’ කියල අපි එ් අයට නිගා කරන එක සුදුසු නෑ. අපි කල්පනා කරන්න ඕන, එ් අය තුළ තියෙන රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕන කියන අපේක්ෂාව ගැන. එ් අපේක්ෂාව නැත්නම් එ් අය එහි සමාදන් කරවන්ට ඕන.

මේ ලෝකේ රාග, ද්වේෂ, මෝහ දියුණු කරන්න කැමති පිරිස ද වැඩි? දුරුකරන්න කැමති පිරිස ද වැඩි…? එ්වා දියුණුු කරන්න කැමති පිරිස වැඩියි නේ ද…? එහෙනම් බලන්න, මේ ලෝකේ විශාල පිරිසකගෙන් රාග, ද්වේෂ, මෝහ දුරුකරන්න කැමති පිරිස ටිකයි. එහෙනම් රාග, ද්වේෂ, මෝහ දුරුකිරීමේ අපේක්ෂාව නේ ද ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙනම් එ් අදහසින් යුතු අය ගුණවත් අය කියල අපි කල්පනා කිරීම හරි නේ ද…? එහෙනම් අපි කවුරුත් රාග, ද්වේෂ, මෝහ දුරුකරන්ට ඕනෑ කියන අදහස තුළ ඉන්න ඕන. එ් සඳහා සීලය පුරුදුවෙනවා. බුදුගුණ පුරුදුවෙනවා. දහම් ගුණ පුරුදු වෙනවා. කීකරුකම ඇතිකරගන්ට පුරුදුවෙනවා. නිහතමානීකම ඇතිකරගන්ට පුරුදුවෙනවා. ඊළඟට අපි වත්්පිළිවෙත් කරන්ට පුරුදු වෙනවා, පිරිත් කියන්න පුරුදුවෙනවා, මේ පුරුදු වෙන ඔක්කොම උපකාර වෙන්නේ කුමකට ද…? රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කිරිමට. එතකොට අන්න එ් පිරිස ගුණවත් අය කියල එකිනෙකා කල්පනා කළොත්, එ් පිරිස තුළ සමඟියෙන් ඉන්ට පුළුවන් පරිසරයක් හැදෙනවා. එතකොට එබඳු පිරිසක් ඇසුරු කිරීම ලාභයක් ද, පාඩුවක් ද…? එ්ක ඇත්තෙන්ම ලාභයක් නේ ද…? අපිට මේ ලෝකේ රාග, ද්වේෂ, මෝහ දියුණුු කරන පිරිස තමයි වැඩියෙන් හමුවෙලා තියෙන්නේ. එ්වා දුරුකරන්ට කැමත්ත තියෙන අය හමුවෙලා තියෙන්නේ කලාතුරකින්. එහෙනම් එ්ක ඇත්තෙන්ම ලාභයක්.

එහෙනම් මේ දේශනාවේ කියා දෙන කරුණු අපිටත් ගැළපෙනවා නේ ද…? මේවා පුරුදු කළොත් අපිට යහපතක් ද?, අයහපතක් ද…? යහපතක් සිද්ද වෙනවා. මෙතැනින් පටන් ගන්නේ නැතිව වෙන තැනකින් පටන් ගන්න ගියොත් මොකද වෙන්නේ? ‘මේක හරියන්නේ නෑ, මේගොල්ලන් එක්ක බෑ’ කියල යනවා. එ්ක නේ ද සිද්ධ වෙන්නේ? වෙන දෙයක් සිදු වෙන්නේ නෑ. එහෙනම් අපි සියලූ දෙනා ම මේක කල්පනා කළ යුතුයි. ඇයි ඔක්කොම ධර්මය පුරුදු කරන්න ඕන. සියලූ දෙනා ම පුරුදු කළ යුත්තේ නිවන් මග. එහෙනම් සියලූ දෙනා ම මේ විදියට කල්පනා කරන්ට ඕනැ. ‘ඇත්තෙන්ම මට ලාභයක්! ඇත්තෙන්ම මට යහපත් ලාභයක්! මේ වගේ උතුම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කරන්ට ලැබුණා නේ ද?’ කියල. අන්න එ් අය මෛත‍්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පුරුදු කරමින් වාසය කරනවා නම්, අන්න එ් සියලූ දෙනාගේ සිත් එක වගෙයි. එ් අය කයින් ඈත හිටියත්, ශරීරවලින් වෙන්වෙලා හිටියත් සිතින් එකයි නේ ද…? එහෙනම් ඔබලාට එකිනෙකාගේ සිත තමාට පමුණුුවාගෙන වාසය කරන්න පුළුවන් නේ ද…?

‘‘ඉතින් ස්වාමීනී, මං මගේ සිත පැත්තකින් තියනවා. මේ ආයුෂ්මතුන් වහන්සේලා හිතන විදියට ම හිතනවා” කියලා කිව්වේ එ්කයි. ඉතින් හැම කෙනෙක් ම මේ විදියට හිතුවොත් එකිනෙකා සමානයි නේ ද…?

එහෙනම් ‘මමයි ලොකු…’ කියල හිතන දෙයක් ද එතැන තියෙන්නේ? නෑ නේ ද…? එතකොට මේ විදිහට පුහුණුවන පිරිස දහම් කාරණාවක් අහනකොට වේවා, කියන කොට වේවා, තමා ඉස්මතු වීම පිණිස ද එය සිද්ධ කරන්නෙ? නැහැ.

මේ විදියට එකිනෙකාට ගරුසරු ඇතිව, එකිනෙකා කෙරෙහි කල්පනා කරන කෙනා මේ දේශනාවේ තියෙන ආකාරයෙන් පිරිස ගැන ම කල්පනා කරනවා. ‘මේ වගේ උතුම් සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබීම මට ලාභයක්! මනා ලැබීමක්! මට එ්කාන්තයෙන් ලැබීමක්!’ කියල කල්පනා කරනවා. අන්න එ් සත්‍යය කල්පනා කරන්න. එතකොට මිහිරක් දැනෙයි. ආස්වාදයක් දැනෙයි. පි‍්‍රයමනාප බවක් දැනෙයි. අන්න එ් අය කිරියි දියයි එකතු වුණා වගේ එකතු වෙයි. එ්ගොල්ලෝ වෙන් වෙන්නේ නෑ. එ් කියන්නේ එ් අය අතර ළාමක ඇසුරු කිරීම් නෑ.

එ් නිසා ඔයගොල්ලෝ මේ ළාමක ඇසුර අයින් කරල භාග්‍යවතුන් වහන්සේ අපේක්‍ෂා කළ විදියේ ඇසුරක් ඇති කරගන්න මේ ධර්මය පුරුදු කරගන්න. අන්න එතකොට එකිනෙකාට ගරුසරු ඇති අය බවට පත්වෙලා යනවා. ඊට පස්සේ එ් පිරිස කල්‍යාණ මිත‍්‍රයාට නැඹුරුවෙලා වාසය කරනවා.

අන්න එතකොට කල්‍යාණ මිත‍්‍රයා යමක් කිව්වම ඇහුම්කම් දෙන්න කැමතියි. අන්්න එ් අයගේ හිතට මේ ධර්මය යනවා. එ් අය සන්සිඳෙනවා. එකිනෙකාට කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන්, උපකාර කරනවා. අන්න එ් අය තුළ සන්සිඳීම හට ගන්නවා. එ් අය තුළ සේඛධර්ම හට ගන්නවා. එ් අය සේඛධර්ම පුරුදු කරනවා. අන්න එ් අය තුළ ටිකෙන් ටික සීලය රැුකෙන්ට පටන් ගන්නවා. දැන් එ් අය සේඛබල සහිතව සීලය රකින නිසා සිල්පද කැඩෙන්නේ නෑ. නො කැඞී තියෙන්ට පුරුදු වෙනවා. යම් කලක දී එ් අය අවබෝධයෙන් සීලය රකිනවා. අවබෝධයෙන් සිල් රකින කෙනාගේ සීලය කැඩෙන්නේ නෑ. අන්න එ් අය ‘සීල විශුද්ධිය’ කරා යනවා.

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ