සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ දහම යනු ජීවිතයේ යථා ස්වභාවය ලෝ සත වෙත අවබෝධ කරදෙන්නට සමත්වන දර්ශනයයි. ඇස් පනාපිට අත්දකින ජීවිතයේ සත්‍යය තෝරා පහදා දෙන්නට, එ් හරහා ජීවිතාවබෝධය උපදවා ගන්නට මඟ කියන වෙනත් දහමක් ලෝකයේ මුණගැසෙන්නේ නැත. එ් දහම අනුන්ට ගළපා බැලිය යුත්තක් නො වී තමන් තුළට ගළපාගෙන, ප‍්‍රායෝගිකව පුරුදු පුහුණු කළ යුතු දහමක් වන්නේ ද මේ නිසා ය.

එදිනෙදා ජීවිතය තුළ සිතේ ඇති දේ එ් අයුරින් ම කියන, කියන දේ කරන මිනිසුන් අප අතර දුර්ලභ ය. බොහෝ දෙනා සිතන්නේ එක් දෙයකි, කියන්නේ වෙන දෙයකි, කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.

මෙසේ සිතන, කරන, කියන දේවල් එකිනෙකට සමරූපී නොවන විට සැබෑ මුහුණුවර සඟවා යහපත වෙස් බැඳගෙන දිවි ගෙවන්නට සිදු වේ. නමුත් මිනිස් ජීවිතයක යහපත් මුහුණුවර යනු අමුතුවෙන් බැඳ ගත යුතු, කලින් කල අලූත්වැඩියා කළ යුතු වෙස්මුහුණක් නො වේ. යහපතෙහි හැසිරෙමින් ජීවත් වීම ජීවන සම්ප‍්‍රදායක් බවට පත් කරගත් විට නිරායාසයෙන් ම ආකල්පයන්ගේ ද වචනවල ද හැසිරීමේ ද යහපත් ස්වරූපය මුල් බැස ගනී. ජීවිතය සෑම කල්හි ම යහපත් වන්නට නම් යහපත සලසන වැඩපිළිවෙළ ජීවිතය හා බද්ධ විය යුතු ය.

සම්බුදු දහම යනු ජීවිතයට යහපත සැලසෙන වැඩපිළිවෙළයි. දහම ජීවිතයට ගළපා ගැනීම යනු කලින් කලට මනා සූදානමින් යුතුව ධර්මයේ හැසිරීම නො වේ. එ් මනා සූදානම සෑම කල්හි ම එක සේ ම පැවතිය යුතු ය. එසේ නො වුණහොත් ධර්මයේ හැසිරීම හුදු ඇදහිල්ලක් බවට පත් වේ.

වර්තමාන සමාජයේ දන් පැන් පුදන්නේ වසරේ දිනයක් හෝ දින කිහිපයක් වෙන් කරගෙන එදින ‘දන් දෙන දවස’ බවට පත් කරගෙන ය. සිල් රකින්නේ ද ධර්මය ශ‍්‍රවණය කරන්නේ ද පින්දහම් කරන්නේ ද එලෙසින් ම ය. එ් හැරුණු කොට ජීවිතයේ ගෙවී යන සෑම මොහොතක් ම මේ පුණ්‍ය සිතුවිලි අනුව ගත කළ හැකි බව සිහිපත් කරන්නෝ නැති තරම් ය.

යම් දෙයකට නියම කරගත් මොහොතක් වුවමනා වන්නේ එය ජීවන සම්ප‍්‍රදායට සමීප නො වන විට ය. එසේ නම් ධර්මයේ හැසිරීම පිණිස ද සුවිශේෂී අවස්ථාවන් ම වුවමනා කෙරෙන්නේ එ් දහම ජීවන සම්ප‍්‍රදායක් නො වී ඇදහිල්ලක් වීම නිසා නො වේ ද?

එහෙත් අතීත හෙළයෝ ස්වකීය ජීවන ක‍්‍රමය බවට පත් කරගත්තේ ධර්මයත්, ධර්මයේ හැසිරීමත් මිස අනෙකක් නො වේ. ගතවන සෑම ඇසිල්ලක ම ඔවුන්ගේ සිත, කය, වචනය ක‍්‍රියාත්මක වූයේ ධර්මානුකූලව ය. ඔවුහු එදිනෙදා දන්පැන් පිදූහ, එදිනෙදා සිල් ආරක්ෂා කරගත්හ, එදිනෙදා ජීවිතය තුළ ම ධර්මය ප‍්‍රගුණ කළහ. ඔවුන්ගේ දිවි පෙවත ධර්මයෙන් බැහැර වූවක් නො වී ය. ධර්මය ඔවුන්ගේ ජීවිතවලට ආගන්තුක දෙයක් හෝ අමුතුවෙන් සමීප කරගත යුතු වූ දෙයක් හෝ නො වී ය. අප අතින් ගිලිහී ගොස් ඇත්තේ එ් අභිමානවත් දැහැමි ජීවන සම්ප‍්‍රදායයි.

අපට වඩා යස ඉසුරින් ආඩ්‍යව එ් පරපුර අතීතයේ ශ්‍රී විභූතිය හරහා අපට ගෙන එන්නේ එකම එක පණිවිඩයකි. එ් පණිවිඩය අනුව කටයුතු නො කොට ධර්මයෙන් ඵල නෙළීම උගහට ය.

එනම්, ධර්මය යනු හෙළයන්ගේ ජීවිතයයි; ධර්මය යනු හෙළයන්ගේ ජීවන සම්ප‍්‍රදායයි…!