මිල කළ නො හැකි වස්තු සම්භාරයක් ඔබට හිමි වන්නේ නම් ඔබ ලොව සුපිරි ධනවතෙක් බවට පත්වනු ඇත. එසේ වන්නට නම් සතර මහා නිධානයවත් පහළ විය යුතු යැයි ඇතැම් විට ඔබට සිතෙන්නට ඇත. සතර මහා නිධානය නැතත්, රට පුරා ඇතැයි පැවසෙන නිධානවලින් එකක්වත් හිමි වන්නේ නම් මහා ධනවතෙකු වීමේ සිහිනය ඉටු කරගත හැකි යැයි සිතා කටයුතු කරන්නන් අප රටේ දුලබ නැත. එ් නිසා ම නිදන් වස්තු සොයා සිදුකරන පොළොව කැණීම් නිතර නිතර මාධ්‍යයන් ඔස්සේ වාර්තා වේ.

සියවස් ගණනාවක ඉතිහාසයක් පුරා දිවයන ඉපැරණි රාජධානි සහිත වූ හෙළ භූමිය මුතු මැණික්, රන් රිදී ආදිය නිදන් කොට සැකසූ මහා නිධානයක් බව ජනප‍්‍රවාදයේ පැවත එන ප‍්‍රවෘත්තීන්ගෙන් ගම්‍ය වේ. රාජ රාජ ලීලාවන්ගෙන්, ධන සම්පතින් ආඪ්‍යව විසූ පෙර රජදරුවන් පරසතුරු ආක‍්‍රමණ අභිමුව ස්වකීය වස්තුව සුරක්ෂිතව වළලා, වුවමනා විටදි යළි එය ගොඩ ගැනීම පිණිස සලකුණු දක්වා එ් බැව් නිදන් වදුලූ ලෙස ලියා තබා පළා ගිය බව අප දන්නා ජනප‍්‍රවාදයයි. එ් නිසා මේ රටේ පැරණි රාජධානි සිසාරා නොයෙක් සලකුණු සහිතව සැඟවී සිටින මහා වස්තු සම්භාරයක් ඇතැයි අපි සිතා සිටින්නෙමු.

පොළොවේ ඇති යම් දෙයක් වේ ද එ් සියල්ලේ අයිතිය ඇත්තේ රජයට ය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පෙන්නා දී තිබෙන්නකි. එ් අනුව මේ බිමේ වස්තු තැන්පත් කළ නිධාන වේ නම් එය තමන් සතු කරගැනීමට පුරවැසියන්ට අයිතියක් නැත. එ් නිසා නිධන් හෑරීම යනු දඬුවම් ලැබෙන වරදකි. නීතියට හසු නො වී කෙසේ හෝ මේ නිධානයක් තමන් සතු කරගත්ත ද එය පරිහරණය කිරීමේ දී කිසියම් හෝ ආකාරයකින් තම වරද හෙළි වේ ද යන බිය සැක ඇතිව සිටිය යුතු වේ. කෙසේ හෝ නිධානයකින් සැප සම්පත් ලැබුව ද මරණයෙන් පසුව එ් කිසිවක් ගෙන යන්නට නො හැකි ය. වසර සිය දහස් ගණනකට එහා මේ නිදන් කොට ඇති වස්තූන්ගේ සැබෑ උරුමකරුවන් වූ රජ මැතිවරුන් පවා මිය පරලොව ගියේ එ් කිසිවක් රැගෙන නො වේ. එ් වස්තුව කෙරෙහි සිතෙහි වූ ලොල් බව අත්හැරගන්නට ඔවුන්ට නො හැකි වූයේ නම් මරණින් මතු දුගතියේ ඉපිද වස්තුවට අරක්ගෙන සිටිනවා වන්නට ද පුළුවන.

මේ සියල්ල සැබෑ වුව ද නිධානයකට උරුමකම් කියන්නට කවුරු නම් අකැමති වෙත් ද? නිදන් වදුලක් අතපත් වූවොත් නිධානය සොයා යන්නට අප නො පසුබට වනු ඇත. අප කාටත් සොයා යා හැකි, අත්පත් කරගත හැකි, නීතියේ දඬුවම් නො ලබා පරිහරණය කළ හැකි නිධානයක් මේ බිමේ ඇති බව ඔබ කවදා හෝ අසා තිබුණේ ද?

එ් නිධානය සොයා යන්නට බලි බිලි පුද පූජා වුවමනා නැත. පේන කියන්නන්, කට්ටඩියන්, අංජනම් බලන්නන් වුවමනා නැත. මේ නිධානය ගොඩගන්නවා කියා දඬුවම් පමුණුවන්නට නීතියට නො හැකි ය. එපමණක් නො ව, මේ නිධානය රැුගෙන ස්වකීය පරිහරණයට යොදවන්නේ නම් මෙලොව පමණක් නො ව මරණින් මතු යන තැනට ද එ් වත්කම ගෙනයන්නට හැකි ය. මේ සියලූ කාරණා කැටි වූ එක ම නිධානයක් ලොව වේ නම් එ් මේ නිධානය ම ය. එකී නිධානය ගැන අපට කියන නිදන් වදුල ලියැවුණේ හෙළදිව බෞද්ධ ඉතිහාසයේ අරුණෝදයේ දී අනුරාධපුර මිහින්තලාවේ දී ය.

මේ නිධානය අපට ලැබුණේ අසල්වැසි ඉන්දියාවෙනි. එරටේ ඉහළ ම රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව මෙරටට ගෙන ආ එ් නිධානය එකල හෙළදිව විසූ රජුත්, රටවැසියනුත් පිළිගත්තේ තම ජීවිත එ් නමින් පූජා කරමිනි. එ් නිධානය ලද කල සිදුවූ සමාජ, දේශපාලනික නැගී සිටීම පෙර නො වූ විරූ අභිවෘද්ධියක් පෙන්නුම් කරන ලදී.

එ් නිධානය වනාහී ඉන්දු ගංගා නිම්නයේ පැතිරී ගිය, හෙළදිව තුළ අසහාය, අති විශිෂ්ට ධර්ම සම්ප‍්‍රදායක් බවට පත් වූ තථාගත ශ්‍රී සද්ධර්මයයි. අවිහිංසාව, ඉවසීම, මෙත් මුදිතා දයා ගුණයන් ජීවිතයට අරුත් සපයන ශ්‍රේෂ්ඨ ගුණාංග බවට පත් කෙරුණේ එ් උත්කෘෂ්ට ධර්ම සම්ප‍්‍රදායෙනි. තණ්හාවෙන්, ද්වේෂයෙන් ඇවිළ ගත් සිත් සතන් ලූහුබැඳ ගිය යුද වැදීම් වෙනුවට ධර්මයේ ජයග‍්‍රහණය ම එක ම විජයග‍්‍රහණය බවට පත් කෙරුණු, මුදු මොළොක් කල්පනා ගුණයෙන් සපිරි චින්තන සම්ප‍්‍රදාය අභිෂේක කෙරුණු මේ ධර්ම නිධානය හෙළදිව නිදන් වූයේ සම්බුද්ධ ආඥවෙන් බැඳුණු සීමා මායිම් ඇතිව ය. හෙළදිව වැසියන්ගේ හිතසුව පිණිස ශ්‍රී බුද්ධ වර්ෂ 237 වැන්නේ අති උතුම් පොසොන් පුන් පොහෝ දිනයේ හෙළදිව උතුරු මැද නිම්නයේ පිහිටි අම්බස්තල කඳු මුදුනට වැඩමවා වදාළ අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ එවක හෙළදිව පාලකයා වූ දේවානම් පියතිස්ස නිරිඳුන්ට එ් ධර්ම නිධානය භාර කොට වදාළහ.

‘සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා’

‘මහරජ..! ධර්මරාජයන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වූ අපි ශ‍්‍රමණයන් වහන්සේලා වන්නෙමු. ඔබට අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියෙමු.’

සිතූ පැතූ සම්පත් දෙන මහානීය නිධානයක හිමිකරුවන් බවට අප පත්වූයේ ඉනික්බිතිව ය. යමෙක් පැතුවේ මෙලොව සාර්ථකත්වය ද මේ නිධානය තුළ එය තිබුණි. යමෙක් පැතුවේ පරලොව සාර්ථකත්වය ද මේ නිධානය තුළ එයත් තිබුණි. යමෙක් පැතුවේ දෙලොව සාර්ථකත්වය ද මේ නිධානයේ එය ද තිබුණි. එපමණක් නො වේ….! දිය කෙළි, දඩ කෙළි, අවි සරඹ ආදි හීන වූ ග‍්‍රාම්‍ය වූ ජීවන රටාවන් වැදගත් කරගත් මිනිස් සමාජයක එ් සියල්ල යටපත් කොට ශීල, සමාධි, ප‍්‍රඥා ගුණයන්ගෙන් ශෝභමාන වුණ නිකැලැල් ජීවන දර්ශනයක් ඉස්මතු කරලීමේ අපූර්ව බල පරාක‍්‍රමයක් ද එ් නිධානය සතු විය. මිථ්‍යාවන්ගෙන්, අභිචාර ඇදහිලිවලින් මුසපත්ව ගිය ජන වර්ගයක් එ් සියල්ලෙන් එක් සැණෙකින් නිදහස් වීම කවර නම් ආශ්චර්යයක් ද? එකී ආශ්චර්යවත් හැකියාවෙන් මේ සද්ධර්ම නිධානය පරිපූර්ණ විය.

විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට අසමසම වූ පදනම බිහි කරමින් මහා මහින්ද මහ රහතන් වහන්සේ අම්බස්තලය මස්තකයේ වැඩ හිඳ හෙළවැසියන් හට ලැබ දුන් එ් නිධානයට අලගු තබන්නට මේ භූමිභාගයේ නිධන්ව ඇතැයි කියන අන් කවර නිධානයකටවත් නො හැකිවා පමණක් නො ව සතර මහා නිධානයටවත් එය කළ නො හැක්කේ ම ය.

සිංහලයේ සෑම යස ඉසුරකට ම මුල් වූයේ මේ සද්ධර්ම නිධානය බව රහසක් නො වේ. එයින් ඇති කළ ආගමික සමාජයීය බුද්ධි ප‍්‍රබෝධය සිංහල රාජ්‍යයේ ස්වර්ණමය හැරවුම් ලකුණක් සනිටුහන් කරන ලද්දේ ය. විජයාවතරණයෙන් ඇරඹි බව පැවසෙන හෙළයේ වංශකථාව ධර්මයෙන්, සුසිරිතෙන්, විද්‍යාවෙන් පිරීගත් අද්විතීය ජීවන සම්ප‍්‍රදායක් තුළ බැසගත්තේ මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ලංකාවතරණයත් සමඟිනි.
එතෙක් හෙළදිව මුල් බැසගෙන තිබුණු ගස් ගල් පර්වත පූජා පැවැත්වීම් ද මළවුන්, යකුන් ඇදහීම් ද ක‍්‍රමයෙන් තුරන්ව ගියේ අම්බස්තලයෙන් පැන නැගුනු සදහම් අමා ගඟුල දස දෙස සිසාරා ගලා හැලෙමින් එ් අමා පණිවිඩය මත ගොඩනැගුණ බෞද්ධ ශිෂ්ටාචාරය නිසාවෙනි. එ් ධර්ම නිධානය නිසාවෙන් ම ප‍්‍රබුද්ධ ජාතියක් බවට පත් වූ හෙළ ජාතිය තුළ ධර්මයෙන් වේවා, ගුණයෙන් වේවා, ප‍්‍රඥවෙන් වේවා, ප‍්‍රතාපයෙන් වේවා මුදුන්පත් වීමක් වූයේ නම් එ් නිසැකව ම මේ සද්ධර්ම නිධානය නිසාවෙනි.

‘බෞද්ධ සභ්‍යත්වයේ දරුවා නැළැවුණු තොටිල්ල’ ලෙසින් ඉතිහාස විශාරදයන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ මිහින්තලයේ දී අප සතු වුණ එ් පූජනීය සද්ධර්ම නිධානය කෝටි සංඛ්‍යාත දෙව් මිනිසුන්ගේ නිසැක පිළිසරණය පිණිස උපයෝගී කරගත්තේ වුව ද මේ අද දක්වා ම එය කිසිදු සම්පතකින් පිරිහී නැත. එහි අඩු වූ දෙයක් නැත. කිලිටි වූ දෙයක් නැත. දුර්ලභව ලොව පහළ වන්නා වූ සම්මා සම්බුදුවරයෙකුගේ බුද්ධ රාජ්‍යය ජීවමාන කරන්නා වූ එ් සද්ධර්ම නිධානය එකල මෙන් ම මෙකල ද ජනී ජනයාගේ හිතසුව පිණිස එකසේ ම පරිපූර්ණව, විවෘතව පවතින්නේ ය.

ඉදින් අප නීතියට බිය වැද සැඟවෙමින් වටිනා වස්තු සොයා යා යුතු ද? මෙලොව පමණක් අල්ප වූ සැපයක් සලසන නිධන් සොයන්නට ජීවිතය ම කැප කිරීමේ කවර ඵල ප‍්‍රයෝජනයක් ද? මෙලොව සේ ම පරලොව ද යහපත සලසන, එමතුදු නො ව උපන්නා වූ සත්වයන්ගේ ජීවිතවලට පැමිණෙන සකලවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස්ව පරම සැපතට පත් වීමේ එ්කායන මාර්ගය පෙන්වා දෙන සද්ධර්ම නිධානය ඔබ අප හමුවේ නිර්මලව බැබළෙනා කල්හි එයින් බිඳ බිඳ උකහාගෙන ජීවිතය සුඛිත මුදිත කරවාගැනීම පිණිස වීර්ය කරන්නට ප‍්‍රමාද විය යුතු ද?

ධම්මචාරීව වෙසෙනා කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා එ් නිධානය අපට පෙන්වා දෙන සේක. මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට ගෙන ආ එ් නිධානය වළලා දැම්මේ නැත, සඟවා තැබුවේ නැත. ජීවිත යාත‍්‍රාව ගෙන යන කල්හි එ් සද්ධර්ම නිධානයෙන් මඟ වියදම් සලසාගෙන සසර සැඩ පහරින් එතෙරට යන්නට වෙර වෑයම් කරවනු පිණිස සද්ධර්ම නිධානය විවර කොට තැබූ එ් අතීත සම්බුද්ධ ශ‍්‍රාවකයෝ මතු පරපුර උදෙසා එ් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ග‍්‍රන්ථාරූඪ කළහ. යුගයෙන් යුගයට සැප සලසමින් එකී සද්ධර්ම නිධානය මේ දක්වා ම අපට උරුම වූයේ එලෙසිනි.

එ් නිධානය අම්බස්තලයේ වැළලී නැත. මේ හෙළ දෙරණේ සිල් ගුණ සුවඳ විහිදුවමින් විරාජමාන වන සද්ධර්ම නිධානය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කොට සදහම් ධජ ඔසවන්නට අප අප‍්‍රමාදී විය යුතු ම ය.

නිධානයේ සටහන
උදුලා පද්මාවතී