දත යුතු සියල්ල දැන ගත්, දැකිය යුතු සියල්ල දැක ගත්, උතුම් දැක්මෙන් ද උතුම් ඥානයෙන් ද උතුම් ධර්මයෙන් ද යුතු අතිශයින් ශ්‍රේෂ්ඨ වූ යම් මේ මහා පුරුෂයෙක් ලොව පහළ වන්නේ නම් එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!

අපා, දෙපා, සිවුපා, බහුපා සතුන් අතරේ ද රූපී, අරූපී සතුන් අතරේ ද සඤ්ඤී, අසඤ්ඤී, නේවසඤ්ඤනාසඤ්ඤී සතුන් අතරේ ද එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන් ම අග‍්‍ර වන සේක..!

ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ පාපී මාරයෙකුට හෝ බඹෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නො හැකි ලෙස, ආපසු හැරවිය නො හැකි ලෙස උතුම් ධර්ම චක‍්‍රය කරකවා, අමා මහ නිවන නම් වූ අමෘතය දන් දෙන්නේ ධර්මස්වාමී වූ එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!

සම්මා සම්බුදුවරයෙකුගේ පහළ වීම වනාහී සියලූ දුක්ඛ දෝමනස්සයන් සන්සිඳවන, අනවරාග‍්‍ර සසරේ කෙළවර කරා සැදැහැ සිත් ඇති නැණැතියන් යොමු කරවන මහා ප‍්‍රඥලෝකයේ පහළ වීමයි. ලොව කොතෙක් සත්වයන් උපත ලැබුව ද ඔවුන් තමන්ව හෝ අන්‍යයන්ව යළි යළි ඉපදීමෙන්, යළි යළි ජරාවට පත් වීමෙන්, යළි යළි ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන්, යළි යළි සිදු වන මරණයට පසු යළිත් උපතක් කරා යොමු වීමෙන් නිදහස් කරවන මඟ හෙළි කරන්නේ නැත. ඇවිත් යන, ගොසින් යළි එන, යෑම් ඊම් අතර මහ පොළොවට පස් වෙමින් පොළොව පුරවාලන සංසාරගත දෝෂයෙන් එ් කිසිවෙකුත් නිදහස් වන්නේ නැත.

හීන වූත්, ප‍්‍රණීත වූත් කාම සැපයන් ලූහු බඳිමින්, එ් එ් තැන සතුටින් පිළිගනිමින්, පසිඳුරන් පිනවීම ම සැප යැයි පිළිගත් ලෝක සත්වයා අති දීර්ඝ සසර ගමනක් තුළ ගිලී ගිය මෝහාන්ධකාරය දුරු කරන්නට සමත් වන්නේ ප‍්‍රඥා ප‍්‍රදීපයෙන් සියලූ මිථ්‍යාවන් දුරැර දැමූ එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය..!

දුක් විඳිනා ලෝ සත කෙරෙහි උපන් ළතෙත් දයා ගුණයෙන් සමලංකෘත නිකෙලෙස් හද මඬලින් සුපෝෂිත නේක ලොව්තුරු ගුණයන්ගෙන් විරාජමානව වැඩ සිටි එ් දිව්‍ය සුපූජිතයාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ සමුදාය අපට වචන කළ නො හැකි ය. සම්බුදු කෙනෙකුන් ම මිස සමානයෙකු නැති හෙයින් අසමසම නම් වූ, අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ, පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙයිය නම් වූ, නිසැක ගුණ ඇති හෙයින් නික්කංඛ නම් වූ, සියලූ නුගුණින් බැහැර වූ හෙයින් අනපණත නම් වූ, සියලූ ගුණයට දක්ෂ හෙයින් සක්ක නම් වූ, නැති නො වන ගුණ ඇති හෙයින් අප්පහීණ නම් වූ, මහා ගුණ ඇති හෙයින් මහා නම් වූ, අසාමාන්‍ය ගුණ ඇති හෙයින් අතුල නම් වූ, උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ, නිමල ගුණ ඇති හෙයින් විමල නම් වූ එ් විශාරද ගුණ මුහුදාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

එ් මහා ගුණ සමුදාය ලොවට හඬ ගා කියන්නට ම සියලූ සිත් යොමු වේවා!

සම්පන්නං මුනිනෝ චිත්තං
කම්මනා ව්‍යප්පථේන ච
විජ්ජාචරණසම්පන්නං ධම්මතෝ නං පසංසයී

සිත – කය – වචන – මුනිඳුන්ගේ පිරිසිදු ය
බබළන නුවණ – හැසිරෙන ගුණ විසිතුරු ය
මෙලෙසින් දැන හැඳින – සම්බුදු සමිඳුන්ව
කිව මැන බුදු ගුණ ම – මුළු ලොව පැතිරෙන්ට
(හේමවත සූත‍්‍රය – සුත්ත නිපාතය)