‘මේඝිය සූත‍්‍රය’ කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. ‘මේඝිය’ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක්. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායක හැටියට පත්වෙන්න කලින් මේඝිය ස්වාමීන් වහන්සේ කාලයක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. දවසක් මේඝිය ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ වඩිද්දී ‘කිමිකාලා’ කියන නදිය අසබඩ ලස්සන අඹ වනයක් තියෙනවා දැක්කා. ඉතින් මේඝිය ස්වාමීන් වහන්සේට මහත් වූ සතුටක් ඇතිවුණා ‘ෂා.. හරි ෂෝක් අඹ වත්ත.. මේ ගස් හෙවණේ භාවනා කරගත්තොත් නම් මට ඉක්මනට සමාධියක් ඇතිවෙයි’ කියලා හිතුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ එ් කාරණයත් හිතේ තියාගෙන පිණ්ඩපාතෙත් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇප උපස්ථාන කටයුතුත් කරලා කිව්වා,

‘‘අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං අද පිණ්ඩපාතයේ වඩිද්දී කිමිකාලා කියන නදී තෙර ලස්සන අඹ උයනක් තියෙනවා දැක්කා. ස්වාමීනී, මට පුදුම ආසයි. මට හිතෙන්නේ එතැනට ගියොත් නම් මට හිත හරිගස්ස ගන්න පුළුවන් වෙයි කියලයි.” එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘භික්ෂුව කලබල වෙන්න ඕන නෑ.. තව පොඞ්ඩක් ඉන්න. මෙතැනත් කවුරුවත් නෑනේ…” ‘‘අනේ භාග්‍යවතුන් වහන්සේට නම් ඉතින් මොකක් ද? භාග්‍යවතුන් වහන්සේ නම් ඔක්කොම කරගෙනනේ තියෙන්නේ! මට තව මේකේ සම්පූර්ණයෙන් ම කරගන්න තියෙනවානේ. එ් නිසා භාග්‍යවතුන් වහන්ස, අනේ මම යන්නම්….” එයාගේ පිටිපස්සේ එ්කට යන්න බාධාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එ් බාධාව දන්නවානේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ බාධාව කියන්නේ නැතුව ‘‘නෑ.. කලබල වෙන්න එපා. පොඞ්ඩක් ඉන්න කවුරුහරි එනකම්..’’ කිව්වා.

නමුත් මෙයා ආයෙමත් කියනවා, ‘‘නෑ.. භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නම් ඉතින් සියල්ල සම්පූර්ණ කරගෙනනේ තියෙන්නේ. අනේ, මට මේක තව කරගන්න ඕනනේ. මට හිතෙනවා එතැන තරම් මේ හිත හදාගන්න පුළුවන් වෙන තැනක් නෑ කියලා.” ඉතින් බුදුරජාණන් වහන්සේ  ‘‘හිත හදාගන්න ඕනම කියනවා නම් හා.. ඉතින් යන්න” කිව්වා. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේ හරි සතුටින් වැඩියා. ගිහින් ගඟ අයිනේ තිබුණු හොඳ ෂෝක් අඹගහක් හෙවණේ වාඩිවුණා. වාඩිවෙලා ඇස් වහගත්තා. දැන් ඔන්න භාවනා කරන්න පටන් ගත්තා. ආනාපානසතිය හරි, අසුභය හරි, කායානුපස්සනාව හරි භාවනාවක් කරන්න පටන් ගත්තා. මොන පටන් ගැනිලි ද? හිතපු නැති ආකාරයට රාගාදී කෙලෙස් එන්න ගත්තා. එ් නිසා නීවරණ ඇවිස්සුණා. ඊට පස්සේ මෙයා සිහිය පිහිටුවා ගන්න හදනවා.., හදනවා.., නමුත් සතර සතිපට්ඨානයට එන්න බෑ. මේ විදිහට හවස් වෙනකල් ම හිතත් එක්ක ඔට්ටු වුණා, එ්ත් බෑ. ඊට පස්සේ මෙයා කල්පනා කළා ‘අයියෝ.. මම කොච්චර ශ‍්‍රද්ධාවෙන් මහණ වුණු කෙනෙක් ද? මම මේ ගෞතම ශාසනයේ ධර්මයේ හැසිරෙන්න සිවුරු දරාගත්තේ කොච්චර ශ‍්‍රද්ධාවෙන් ද? නමුත් අද මගේ හිත ම මේකට හරස් වෙලානේ. මම නො සිතූ ආකාරයට සිතට රාගය ඇතිවෙනවානේ..’

නමුත් මෙතැන රාගය ඇතිවෙන්න වෙන අරමුණක් පේන්න නෑ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහෝ ම සංවේගයෙන් හවස් වෙලා ආපහු වැඩියා. වැඩලා භාග්‍යවතුන් වහන්සේට කියනවා, ‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම මේ හිත ගැන හරී සංවේගයට පත්වුණා. සිද්ධවුණේ මම හිතපු නැති එකක්. ස්වාමීනී, මට රාගය ඇවිස්සුණා… ද්වේෂය ඇතිවුණා.. මට හිතා ගන්න බෑ..” බුදුරජාණන් වහන්සේ එ් වෙලාවේ දේශනා කරනවා, ‘‘භික්ෂුව, ඔය ඔබ ආත්මභාව පන්සීයක් රජ කුමාරයෙක් වෙලා නැටුම් නටපු තැනක්..” බලන්න, නැටුම් නටපු තැනට ගියා ම කෙලෙස් ඇවිස්සිලා ආපු විදිහ. එතකොට අපට පේනවා, අපි යම්කිසි තැනකට ගියා ම එ් භෞතික පරිසරය පවා පරණ පුරුද්දට, පරණ සිද්ධියට රුකුල් දෙනවා. එ් දේවල් අපට හරියට විග‍්‍රහ කරගන්න බෑනේ. දැන් එ් ස්වාමීන් වහන්සේ දැක්කේ ගඟ.. අඹ වනය.. සිසිල් සෙවණ.. ශාන්ත පරිසරය.. විතරනේ. නමුත් එතැන උන්වහන්සේ කලින් ආත්මභාව ගණනාවක් විනෝදකාමීව හිටපු තැනක්. නමුත් එතැන එ්කේ කිසිම සටහනක් නෑ. නමුත් එ් සිද්ධියට අදාළ යම්කිසි චුම්භකත්වයක් එතැන තියෙනවා. එ්ක මොකක් ද කියලා අපට හොයාගන්න බෑ.

කර්මය විපාක දෙන ස්වභාවය අපට වැටහෙන්නේ නෑ…
කර්මය එවේලේ ම විපාක දීපු අවස්ථාවකුත් තියෙනවා. දවසක් ‘නාගිත’ කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිටුපස්සෙන් උන්වහන්සේගේ පාත‍්‍ර සිවුරු අරගෙන වඩිනවා. ඔහොම වඩිද්දී පාරේ දෙමංසන්ධියක් මුණගැසුණා. එ් කියන්නේ මේ පැත්තටත් හැරෙන්න පුළුවන්.. එ් පැත්තටත් හැරෙන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘‘භික්ෂුව, අපි මේ පාරෙන් යමු.” එ්ත් නාගිත ස්වාමීන් වහන්සේ කියනවා. ‘‘නෑ.. භාග්‍යවතුන් වහන්ස, අපි මේ පාරෙන් යමු..” මෙහෙම කියන්නේ අර පොඩිනම. එ් කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි ශ‍්‍රාවකයා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙමත් වදාළා, ‘‘නෑ.. භික්ෂුව අපි මේ පාරෙන් යමු..” එතකොට එ් නාගිත ස්වාමීන් වහන්සේ ආයෙමත් කියනවා, ‘‘නෑ.. භාග්‍යවතුන් වහන්ස, මේ පාරෙන් යමු..”. නමුත් උන්වහන්සේ එකඟ වෙන්නේ ම නෑ. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් දේශනා කළා, ‘‘භික්ෂුව, මේ පාරෙන් වඩිමු..” එතකොට නාගිත ස්වාමීන් වහන්සේට කේන්ති ගියා. ‘‘එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, මෙන්න සිවුර.. මෙන්න පාත‍්‍රය.. ඔබවහන්සේ ඔහෙන් වඩින්න.. මම මෙහෙන් එන්නම්..” කිව්වා. බලන්න, බුදුරජාණන් වහන්සේටත් එහෙම කළා නම් මේ වගේ යුගයක දී එ් වගේ දේවල් සිදුවීම ගැන කවර කතා ද?

ඊට පස්සේ නාගිත ස්වාමීන් වහන්සේ අර පාරේ වැඩියා. බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තෙන් වැඩියා. නාගිත ස්වාමීන් වහන්සේව හොරු රංචුවකට අහුවුණා. ඉතින් හොරු ටික නාගිත ස්වාමීන් වහන්සේට හොඳට ම ගැහුවා. ඉතින් හොඳට ම ගුටිකාලා, සිවුරුත් ඉරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. බුදුරජාණන් වහන්සේ ‘‘එ්කනේ කියන්නේ..” කියලා කියන්න ඇති. එතකොට බලන්න, එ්ක එ් වෙලේ ම විපාක දුන්නා.

එක තැනක තවත් එ් වගේ සිද්ධියක් සඳහන් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වඩිද්දී එක තැනක දී නැවතිලා සිනහා පහළ කළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියා, ”භාග්‍යවතුන් වහන්ස, ඇයි, සිනහා පහළ කළේ..?” ‘‘ආනන්දය, මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩසිටපු තැනක්..” කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනින් ම දෙපට සිවුර එළුවා. ‘‘භාග්‍යවතුන් වහන්සේත් මෙතැන වැඩසිටින සේක්වා..! එතකොට මෙතැන බුදුරජාණන් වහන්සේලා දෙනමක් වැඩහිටපු භූමියක් වෙනවා” කියලා කිව්වා. භූමියක් තුළ තිබෙන එ් ස්වභාවයට අපට ‘චුම්භකය’ කියන වචනය දාන්න බෑ. නමුත් භූමියක් තුළ අපට නො තේරෙන, නො දන්නා යම්කිසි දෙයක් තියෙනවා. අදාළ පුද්ගලයා එනකොට එ් ස්වභාවය ඉස්මතු වෙලා එනවා. හරියට නිධානවලට වගේ. පුද්ගලයෙක් නිධානයක් හැංගුවට පස්සේ එ් පුද්ගලයා නිධානය උඩින් යනකොට නිධානය ඉස්සෙනවා කියනවානේ. මේකත් එ් වගේ. තමන්ගේ ජීවිතය පුරුදු කරපු රටාවට යම්කිසි අදාළ බවක් මේ ධර්ම මාර්ගයේ තියෙනවා.

අපි එ්ක තව පොඞ්ඩක් ගැඹුරට බැලූවොත්, ගොඩක් දුරට පුද්ගලයෙක් ආත්ම දෘෂ්ටියට වැටෙන්නේ කර්මවිපාකවලිනුත් නෙවෙයි, විඤ්ඤාණයෙන්. මොකද, විඤ්ඤාණය භවයෙන් භවයට යනවා කියලා එයාට හිතෙනවනේ. නමුත් විඤ්ඤාණය භවයෙන් භවයට යන්නේ නෑ. එතැන වෙන්නේ හේතුව නිසා ඵලය හටගන්නවා. හේතුව නිසා ඵලය හටගන්න මේ රටාව අහුවුණේ නැති නිසා එයා භවයෙන් භවයට විඤ්ඤාණය යනවා කියලා රැවටෙනවා. මොකද අපි ගත්තොත් ඔන්න අපි මැරෙනවා. මැරුණා ම කර්මානුරූපව සකස් වූ විඤ්ඤාණය චුතවෙනවා. කර්මානුරූපව සකස්වෙලා නැත්නම් නිරුද්ධ වෙනවා. එ් කියන්නේ පිරිනිවන්පානවා.

අන්තරාභව කතාව පසුකාලීනව ආපු එකක්…
මේ අන්තරාභව කතාව බුද්ධකාලීනව තිබුණු ප‍්‍රශ්නයක් නෙවෙයි. මේක පසුකාලීනව බුදුරජාණන් වහන්සේ වදාළ සමහර දේශනා නුනුවණින් ගෙන යම් යම් මතවාද ඇතිකරගත් කණ්ඩායම් විසින් ගෙනාපු ප‍්‍රශ්නයක්. විනය පිටකයේ සඳහන් වෙනවා, දවසක් එක භික්ෂුවක් පාංශුකූල සිවුරක් හොයාගෙන සොහොනට වැඩියා. යනකොට අලූතෙන් මරණයට පත්වූ මනුෂ්‍යයෙකුගේ මිනියක් ගෙනත් දාලා තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වෙනදා වගේ ම පුරුද්දට අර රෙද්ද ගත්තා. ගන්න කොට ම මිනිය නැගිට්ටා. නැගිටලා ‘‘දෙනවා.. මගේ රෙද්ද” කියලා කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ දන්නවා, මෙයා මැරුණු කෙනෙක් කියලා. ඉතින් එ් නිසා මේක අත්හැරියේ නෑ. එ් රෙද්දත් අරගෙන ම දිව්වා. දුවන කොට මළමිනියත් පස්සෙන් පැන්නුවා. මේ ස්වාමීන් වහන්සේ කුටියට ම දිව්වා. කුටියට ම දුවලා දොර වහගත්තා. මළමිනිය ඇවිල්ලා දොරට වැදිලා වැටුණා. මේ කාලයේ නම් එහෙම එකක් වුණොත් තොවිල් කරලා කෙළවරක් නෑනේ්.

නමුත් මේ ස්වාමීන් වහන්සේ හෙමිහිට දොර පොඞ්ඩක් ඇරලා බැලූවා. මිනිය වැටිලා තියෙනවා. ආයෙමත් කකුල් දෙකෙන් ඇඳගෙන ගිහිල්ලා සොහොනට දැම්මා. බලන්න, එ් කාලයේ හිටියේ හොඳ එඩිතර අය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා, ‘‘භාග්‍යවතුන් වහන්ස, මෙහෙම සිද්ධියක් වුණා” කියලා කිව්වා. ඊට පස්සේ විස්තර විග‍්‍රහ මොකුත් නෑ. ‘‘මහණෙනි, ඕක මේකයි වුණේ.. අරකයි වුණේ.” කියලා එ් කතා මොකුත් නෑ. එ්කේ වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික නායකත්වයයි. අපි නම් එ්කේ අල ගිය මුල ගිය තැන් හොයලා, අවුළලා, අමුණලා සති ගාණක් එ්ක ම කතා කරනවානේ. බුදුරජාණන් වහන්සේ ‘‘මීට පස්සේ සතියක්වත් නරක් වෙනකම් ඉන්න, ඊට පස්සේ ගන්න” කිව්වා. එච්චරයි උත්තරේ. අපි වගේ නම්, හේතුව හොයමින් යන එකේ ඉවරයක් නෑනේ. ‘එ්ක කොහොමද වුණේ..? එතකොට එ් වෙන දිෂ්ටියක් ද? එ් මැරුණු කෙනා ම ද..?’ කියලා ප‍්‍රශ්න සමූහයක් ඇතිවෙනවානේ. එ් වගේ ම තමයි ඔය අන්තරාභව කතාවත් එන්නේ. සමහර විට එ් මැරුණු කෙනාම භූත ආත්මයේ ඉපදිලා ඉන්න ඇති. එතකොට එතැන උප්පත්තියක් ලබලා මිසක් එ්ක අන්තරාභවයක් නෙවෙයි.