අප අතරින් වියෝ වූ විපුල් ධර්මප‍්‍රිය ජයසේකර මාධ්‍යවේදියාණන් වෙනුවෙන් තැබෙනා සටහනකි.

[image title=”” size=”full” id=”7808″ align=”none” linkto=”none”]

සොඳුරු ගුණ පිරි විපුල සම්පත නිසල විය.

විපුල් ධර්මප‍්‍රිය ජයසේකර යන නම කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත යොමුවන්නේ නිරායාසයෙනි. ඔහු ගුවන්විදුලිය ඔස්සේ සුවහසක් ශ‍්‍රාවක පිරිසක් වෙත හඬ අවදි කළ නිවේදකයෙකි. ඔහුගේ හඬ ද ඔහු සේ ම නිවුණු, තැන්පත් ස්වභාවයකින් යුතු වූ පෑදි දිය සේ සුපැහැදිලි වූ හඬක් විය. එනිසා ම වරක් එ් හඬ ඇසූවෙකුට විපුල් ධර්මප‍්‍රිය ජයසේකරයන් කිසිදිනක අමතක වූයේ නැත.
ඔහු දක්ෂ සන්නිවේදකයෙක් පමණක් නො ව අති දක්ෂ ගී පද රචකයෙක් ද විය. ‘දූ පුතුනේ රට අපේ ය…, සුළෙඟ් ලෙලෙනා මල් සේ දඟපා…, සඟවන්න එපා හසරැල්…, අහස් ගැබේ තරුකැට ගානේ…, නො කී රහසක්…’ ආදි අතිශයින් ජනප‍්‍රිය වූ ගීතයන් බොහෝමයක් පදවැල් වූයේ ඔහුගේ පන්හිඳෙනි. ඔහුගේ ගී පදවැල් තුළ පවා වූ සංයමය, තැන්පත් ස්වභාවය ඔහුගේ ජීවිතයේ ම ඇතුළාන්තය කියාපාන්නක් වැනි යැයි කීමේ වරදක් තිබිය නො හැකි ය.

ඔහු ‘සාජන්ට් නල්ලතම්බි’ වේදිකා නාට්‍යයේ ද චිත‍්‍රපට කිහිපයක ද වේශ නිරූපණ ශිල්පියා ලෙස ද කටයුතු කළේ ය. එපමණක් නො ව ඔහු ප‍්‍රවීණ ප‍්‍රචාරණවේදියෙකු ද විය.

එ් සියල්ල පසෙකින් තැබුව ද මහාමේඝයේ අපට මේ මිනිසා ගැන තවත් සොඳුරු මතකයක් ඉතිරි ය. ‘සැරයටියෙන් නො දුටුව ලොව – දහම් ඇසින් දැකගන්නට’ දෘශ්‍යාබාධිත ප‍්‍රජාව වෙත සද්භාවයෙන් තිළිණ කෙරුන, ලොව ප‍්‍රථම සිංහල ශ‍්‍රව්‍ය සඟරාව වූ ‘නේත‍්‍රා’ මහාමේඝ ශ‍්‍ර‍්‍රව්‍ය සඟරාවේ ආරම්භයේ පටන් ම විපුල් ධර්මප‍්‍රිය ජයසේකරයන් ස්වකීය වාග් කෞෂල්‍යයෙන් ලබාදුන්නේ නො මඳ දායකත්වයකි. ඔහුගේ කතා බහ, හැසිරීම අපට සියලූදෙනාට ප‍්‍රිය උපදවන්නක් ම විය. ඔහුගේ උපරිමය අප වෙත ලබාදෙන්නට වසරක පමණ කාලයක් පුරාවට ඔහු කළ නිහතමානී කැපවීම පමණ කළ නො හැකි ය. ධර්මය දන් දෙන්නෙකු ලෙස එ් ගුණවත් මිනිසා සමාජයට ගෙන එන්නට අපට හැකි වීම ගැන අපි සතුටු වන්නෙමු.

අප හා මේ සමාජ සත්කාරමය ව්‍යාපෘතියට එක්ව විපුල් ධර්මප‍්‍රිය ජයසේකරයන් ගත කළ කාලය තුළ අප අත් දුටුවේ ඔහු මේ සමාජයේ මුණ ගැසෙන විරල ගණයේ සොඳුරු මිනිසත්කම් පිරුණු සත්පුරුෂයෙකු බව ය. මත්පැන්, දුම්වැටි ළං කරනොගත්, අහිංසක නිර්ව්‍යාජ දිවිපෙවත තුළ සිල්වත් වූ මේ සොඳුරු මිනිසා ඔහුගේ නාමයට සරිලන ආකාරයෙන් ම ‘ධර්මයට ප‍්‍රිය’ තැනැත්තෙකු විය. ඔහු තුළ වූ නිහඬ සංයමය වචනයෙන් ඉගැන්විය නො හැකි තරම් වූ මහා ජීවන අත්දැකීමක් අපට සමීප කරවන්නට සමත් විය. මිනිසෙකුට මොන තරම් නම් යහපත් ලෙස දිවි ගෙවිය හැකි ද යන්න ගැන සාක්ෂි සැපයූ විපුල් ධර්මප‍්‍රිය ජයසේකරයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘හොඳ මිනිසෙක්’ විය.

එ් හොඳ මිනිසා, එ් ශ්‍රේෂ්ඨ කලාකරුවා 2014. 05. 25 වන ඉරු දිනයේ මෙලොව ජීවිතය සමාප්ත කළේ ය. වසර පනහක් පමණ වූ ජීවිත කාලයක් තුළ ස්වකීය හඬ ද කලා කුසලතාවයන් ද සුභාවිත කරමින් ඔහු කළ මහඟු මෙහෙවරට ලාංකේය සමාජය එකහෙළා ගෞරව පූර්වක විය යුතු ය.

මහාමේඝ ශ‍්‍රව්‍ය සඟරාව ඔස්සේ සුවහසක් දනන් වෙත සත්‍යයේ සදහම් සන්දේශය ගෙන යන්නට දායක වීමෙන් රැස් වූ සියලූ කුසල ධර්මයන් ද මහාමේඝ මාධ්‍ය සත්කාරය හරහා අප රැස් කරන සියලූ කුසල ධර්මයන් ද මේ සොඳුරු කලාකරුවාණන් වෙත අනුමෝදන් වේවා! පරලොව ජීවිතය සුවපත් වේවා! සැපවත් වේවා!

නිවී සැනසී ගිය සිත කය වචන ඇතිව, අප සිත් ද නිවා සැනසූ සොඳුරු සහෘදයාණෙනි…, මේ ගෞතම සම්මා සම්බුදු සසුන තුළ දී ම සපුරා නිවී සැනසෙන්නට ම එ් සියලූ පුණ්‍ය ධර්මයන් ඔබට උපකාරක ධර්මයන් ම වේවා!

– ‘මහාමේඝ’ සහෘදයෝ –