මෙය ඔබට ම කරන ආමන්ත‍්‍රණයක් ද?

ගෞතම නම් වූ තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ජීවමාන ව ම බැබළෙමින් පවතිද්දී, උන්වහන්සේගේ නිර්මල ශී‍්‍ර සද්ධර්මයේ පහස නිසි ලෙස වින්දනය කරගැන්මට අවකාශ තිබිය දී, උතුම් මහ සඟ රුවනේ අනුහස, බැල්ම අපමණ ව ලැබෙද්දී මේ බුද්ධෝත්පාද කාලය තුළ මනුෂ්‍ය සම්පත්තියකට හිමිකම් ලැබ මේ සිරිලක උපත ලබන්නට කොපමණ වාසනාවක් පිනක් කෙනෙකුට තිබිය යුතු වේ ද? එබඳු දුර්ලභ වූ මිනිසත් බවක් ලබා මෙලොවට බිහි වන්නට කෙනෙකු වෙනුවෙන් අනන්ත දුක් ගැහැට විඳින්නේ අන් කිසිවෙකු නො ව අම්මා ය. කුස පිළිසිඳගත් දා සිට සිය සිරුරේ ලේ, මස්, ඇට, ඇටමිදුලූ ආදිය ම නිර්ලෝභීව ක්ෂය කොට කලාවෙන් කලාවට වැඩෙන දරු කලලයේ බර දස මසක් උසුලාගෙන සිටීම ම කොතරම් නම් ඇයගේ කැප කිරීමක් ද? උපන් දා සිට ඇකයේ හොවා ගෙන කිරට හැරවූ ලෙයින් දිවි රැක දී, අව්වැසි මුවා කරමින්, කවා පොවා නාවා ආදරයෙන් හදා වඩා ගත් තම දරුවා අතින්, මවකගේ දිවි තොර වීම අතිශය අවාසනාවති. එමතු ද නො ව මෙලොවත් ගතින් සිතින් මොහොතක් මොහොතක් පාසා ඉපිදි මැරෙන ඉසුරක් නැති ඉසුරුගේ කථාව කියැ වූ ඔබ, වැදූ මවට පමණක් නො ව මිහිකතටත් බරක් වූ මෙවන් පුද්ගලයින් ඇත්දැයි සිතන්නට ඇත.

ඉසුරුමත් තාරුණ්‍යය

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිතුමාගේ අවසරය ඇති ව මෙවර කථා කරන්නට මා තෝරා ගත්තේ ඇදහිය නො හැකි ඉරණමකට ගොදුරු වී සිටින පුද්ගලයෙකි. වෙන දා කථාවල දී අපරාධයේ හැටි දිගට විස්තර කෙරුණත් මේ පුවතේ දී සිද්ධියට වඩා එහි පසුතලය අප කාටත් පුදුම අත්දැකීමක් එක්කර දෙනු ඇත. වික‍්‍රම බණ්ඩාරගේ වාසගම ඇසූ පමණින් ඕනෑ ම කෙනෙකුට ඔහු උඩරට රදළ පවුලක කෙනෙකු බව පසක් වනු ඇත. ගම්පොළ නගරය ආසන්නයේ මහා දේපළ සම්භාරයකට උපතින් ම උරුමකම් කියූ ඉසුරුමත් පවුලක වැඩිමහල් පුතා වීමේ වාසනාව ඔහුට හිමි විය. 1966 වර්ෂයේ දී උපත ලැබූ ඔහු දැන් හතළිස් හය හැවිරිදි පියකරු කඩවසම් පුද්ගලයෙකි. සිරකරුවන් හැඳි ‘ජම්පරය’ තුළින් වුව ද ඔහුගේ කථාබහේ තිබුණේ වෙනසකි.

ඔහුගේ පියා උසස් පොලිස් නිලධාරියෙකු වූ අතර මව විදුහල්පතිනියක් වූවා ය. ගම් ප‍්‍රදේශයේ උසස් පාසලක ප‍්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහුගේ ඉදිරි අනාගතය සරු කරනු පිණිස දෙමාපියන් කොළඹට පදිංචිය මාරු කොට දිවයිනේ නමගිය ප‍්‍රමුඛතම පාසලකට ඇතුළත් කෙරුණි. හොඳින් අධ්‍යාපනය ලැබූ ඔහු ක‍්‍රීඩාව, සංගීතය ආදි බාහිර කි‍්‍රයාකාරකම්වල දී ද හපන්කම් දැක් වී ය. දෙමාපියන් ළමා කාලයේ තමාට දුන් ඉසුරුමත් සැපසම්පත් ගැන ඔහු කීවේ ඉහළ පන්තිවල දී පාසල් යාමටත් මෝටර් රථයක් මිලට ගෙන දුන් බවයි. ඔහුට කිසිවකින් අඩුවක් නො වී ය. යහළු මිත‍්‍රයන් ඔහු වටා රැස් කෑහ.

උගත්කම

පාසල් අධ්‍යාපනය සාර්ථක ව අවසන් කළ ඔහු භූගෝල විද්‍යාව විෂය පිළිබඳ ගෞරව උපාධිය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විය. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහුට වඩා මිල වැඩි මෝටර් රථයක් ලැබුණේ දෙමාපිය ආදරය වැඩි කරවමිනි. ඉගෙන ගන්නට හපනෙකු වූ ඔහුට ගෞරව පළමු පන්තියේ උපාධියක් ලැබුණ බව කී විට මා ගැස්සී පස්සට වීසි වූයේ සාමාන්‍ය උපාධියක් ලැබූ මට එය හිතන්නවත් අසීරු කරුණක් වන බැවිනි. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට බැඳීමට මඟ පෑදෙමින් තිබුණත් ඉහළ යාමේ අපේක්ෂා සහගත නාඹර බණ්ඩාර තරුණයා වැඩි රුචියක් දැක්වූයේ දේශපාලනයට සම්බන්ධ රැකියාවක නිරත වීමට ය. ඊට අවස්ථාව ලැබුණේ එවකට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමඟ ව ම සමීප ව සිටිමින් රැකියාවන් ගණනාවක් කිරීමෙනි. තමා ප‍්‍රිය කළ, ළඟින් ඇසුරු කළ දේශපාලන ප‍්‍රභූවරයා හදිසියේ අභාවප‍්‍රාප්ත වූයෙන් දේශපාලනයත්, කළ රැකියාවත් එපා වූ ඔහු, ප‍්‍රමුඛ පෙළේ සමාගමක විධායක නිලධාරියෙකු ලෙස ඉතා ඉහළ වැටුපකට රැකියාවක් ලබා ගත්තේ ය.

පාපී ඇසුර

විදේෂ් ඔහු කලෙක සිට ඇසුරු කළ ආසන්නතම මිතුරෙකි. පෞද්ගලික සමාගමක උසස් තනතුරක් දැරූ ඔහු විනෝදකාමී පුද්ගලයෙකි. තුරුණු දිවිය තුළ උපරිම ආස්වාදයන් වින්දනය කළ යුතු ය යන අදහසේ එල්බ ගත් විදේෂ් දුම්වැටියට, මත්පැනට, සිනමාවට, ගමන් යෑමට පමණක් නො ව අනාචාරයට ද පුරුදු වී සිටියෙකි. ඉඳහිට පැමිණෙන විදේෂ්, බණ්ඩාර ව හමු වන්නේ ලද විවේකයෙන් අසම්මත සතුටක් විඳීමට ඔහු ව ද කැඳවාගෙන යාමට ය. මුහුදේ දිය නෑමට හෝ චිත‍්‍රපටයක් බලන්නට යාම විනා අනෙකුත් කටයුතුවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමට බණ්ඩාර වග බලා ගත්තේ ය. විදේෂ් ඇබ්බැහි වී සිටියේ බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි එක්තරා සම්බාහන ආයතනයකට යාමට ය. බණ්ඩාර තම මිත‍්‍රයාගේ පෙලඹවීමට ගොදුරු නො වුණත් ඔහුට සහාය පිණිස ඇතැම් දිනවල දී තම වාහනයෙන් එහි ගෙන ගොස් බස්සවා ඒමට ඉදිරිපත් විය. නොයෙක් ලෙසින් පෙලඹවීම් කරනු ලැබුවත් බණ්ඩාර ඒ දෙසට නම්මවා ගැනීමට විදේෂ්ට හැකි නො වීය.

තරුණ අපචාර

එක් දිනෙක විදෙෂ් ඇතුළු බණ්ඩාරගේ මිතුරන් දහ දෙනෙකු පමණ ‘තනිකඩයින්ගේ සාදයක්’ (Bachelors Party) පැවැත්වූහ. කොළඹ අවන්හලකට රැස් වුණු මිතුරන් මත්පැනින් හා රස මසවුලෙන් සැනසී සතුටු වූහ. ගාලූ මුවෙදාර පිට්ටනියට පැමිණි බීමත් මිතුරෝ එහි ද නටන්නට වූහ. බණ්ඩාර පැවසුවේ තමා එදින වත් මත්පැන් බින්දුවක් හෝ දුම්වැටියක් හෝ රස නො බැලූ බවයි. අනෙක් මිතුරන් සමඟ එක සේ විනෝද වුවත් ඉන් ගැල වී සිටීමට සමත් වූ බව ඔහු කියයි. සාදය නැටුමෙන් කෙළවර වුණේ නැත. රාත‍්‍රී 11 පමණ වූ විට විදේෂ්ගේ යෝජනාව වූයේ සියලූ දෙනා තම හුරු පුරුදු මසාජ් ක්ලිනික් එකට යා යුතු බව ය. එය සියලූ දෙනාගේ ම කැමැත්ත වූ බැවින් ඊට අනුගත වීමට බණ්ඩාරට ද සිදු විය. මේ මැදියම් රැයේත් සේවා සැපයූ එම සම්බාහන හලෙන් තරුණියන් නව දෙනෙකුගේ සේවය ලබා ගැනීමට අනෙක් මිතුරන් කටයුතු කළත් බණ්ඩාර ඊට සහභාගි නො වී පිළිගැනීම් ශාලාවේ රැඳී එහි කළමනාකරු සමඟ පිළිසඳරක යෙදෙමින් චෙස් ඇදීමට පටන් ගෙන ඇත. මැදියම් රැය පසු වත් ම සම්බාහනයේ නො ව අනාචාරයේ හැසිරුණු මිත‍්‍රයන් එළියට පැමිණියේ බණ්ඩාරට උසුළුවිසුළු කරමිනි. මේ ටික වෙලාවට කළමනාකරුගෙන් මේ සම්බාහන කර්මාන්තය පිළිබඳ විස්තරාත්මක තොරතුරු රාශියක් ලබා ගන්නට ඔහුට හැකි විය. යහළුවන් හතර දෙනෙකු තම වාහනයේ නංවා ගත් බණ්ඩාර ඔවුන්ගේ නිවෙස් හා නවාතැන්වලට හැරලවා එළි වන්නට කිට්ටුව තම නිවසට ගියේ ය.

ගොදුරු වීම

සතියකට පමණ පසු ව බණ්ඩාර මුහුදේ නාන්නට සූදානම් වූ ඉරිදාවක විදේෂ් එකවර නිවසට පාත් වූයේ සම්බාහන හලට ඔහුව ද කැඳවාගෙන යාමට ය. මෙවර ද ඊට මැළි බවක් දැක් වූ බණ්ඩාර තම මිතුරා යාමට කැමති තැනට බස්සවා මුහුදේ නෑමට යාමට සිතා අවශ්‍ය කරන ඇඳුම් ආදිය ද රැගෙන වාහනයට ගොඩ විය. තම මිතුරා ද මේ අනාචාරයට එකතු කර ගන්නට යන එන ගමනේ දී පවා විදේෂ් නො ගත් උත්සහයක් නැත. විදේෂ් සම්බාහන හලෙහි බැස්ස වූ බණ්ඩාර වාහනය හරවා එළියට ගන්නට සැරසෙද්දි ගේට්ටුවෙන් ඇතුළට එමින් සිටි එහි කළමනාකරු ඉදිරියෙන් ම මුණ ගැසුණි. පසුගිය දා පැය ගණනක් දොඩමළු ව මිතුරු වූ කළමනාකරු සමග ටිකක් කථා නො කොට යාමට බණ්ඩාරට නො හැකි විය. වාහනය නැවැත් වූ බණ්ඩාර කළමනාකරුගේ ආරාධනයෙන් සිසිල් බීම වීදුරුවක් බීමට සම්බාහන ශාලාවට ඇතුළු විය. තමාට බීම වීදුරුව ගෙන ආ රූමත් තරුණිය දුටු බණ්ඩාර වික්ෂිප්ත විය. ‘‘මම ඇයගෙ පුදුමාකාර ලස්සනක් දැක්කා. පස්සෙ තේරුම් ගියා ඇත්තට ම ලස්සනක් තිබුණා ද කියා. ඇත්තට ම එදා මම ඇයට වශී වුණා.” බණ්ඩාර කියාගෙන ගියේ ය. ඒ එක්කම කළමනාකරුගෙන් යෝජනාවක් යොමු විය. ‘‘සර්ට ම හොඳ ගෑනු ළමයා. අලූතෙන් ම අපේ තැනට බණ්ඩාරවෙල පැත්තෙන් ආපු ළමයෙක්. හරි හොඳයි.” හිතක් වෙනස් වන්නට ගත වන්නේ ක්‍ෂණයකි. දිය නෑම පසෙක තැබූ බණ්ඩාර කළමනාකාර මිතුරාගේ ආරාධනයෙන් මේ ළාබාල රූමත් තරුණිය සමඟ කාමරයක තනි විය. මේ නුහුරු අත්දැකීමෙන් අන්ද මන්ද වූ නිසා දෝ මේ තරුණිය සමඟ කථා බහ කරමින් කාලය ගත කළ බණ්ඩාරට ඇය පිළිබඳ ව ඇති වුණේ බලවත් අනුකම්පාවකි. පියා අහිමි වීමෙන් පසු ව මැද පෙරදිග රැකියාවකට ගිය සෞම්‍යා අසනීප වීමේ හේතුවෙන් එහි සිටිය නො හැකි වී මාස 06කින් ආපසු ලංකාවට පැමිණ ඇත. අගහිඟකම්වලින් පීඩාවට ලක් ව සිටි තම පවුලේ අම්මාත්, බාල සහෝදර සහෝදරියන් තුන් දෙනාත් පෝෂණය කිරීම සඳහා ඉක්මනින් මුදල් සෙවිය හැකි මෙම රැකියාව තෝරා ගත් බව බණ්ඩාරට ඇය කියා ඇත. කළමනාකරුගේ පොරොන්දුව වී ඇත්තේ මේ තරුණිය වෙනත් කිසිවෙකුට නො විකුණා බණ්ඩාර වෙනුවෙන් ම වෙන් කොට තබන බවයි. එය ද මහ බොරුවක් බවත්, එම මුළාව ගණිකා වෙළඳාමේ උපායක් ම බවත් තමන්ට පසු ව වැටහුණු බව බණ්ඩාර කියයි. කෙසේ වුවත් බණ්ඩාර සෞම්‍යා සොයා නිතර එහි යෑමට පෙලඹුණි. තමාට ඇය ගණිකාවක් නො ව ආදරවන්තියක් ලෙස හැඟී ගිය බවත්, ඉන් ඔබ්බට ගිය අනුකම්පාවක් ඇති වූ බවත් බණ්ඩාර කියයි.

හොඳ නරක වැටහී

මේ සබඳතාව තම පවුල් පසුතලයටවත්, අධ්‍යාපන මට්ටමටවත්, රැකියාවේ තත්වයටවත් නො ගැලපෙන බව වටහා ගන්නට බණ්ඩාරට වැඩි කලක් ගත නො වී ය. මාස තුන හතරකින් පසු ව ක‍්‍රමයෙන් සෞම්‍යා අමතක කොට රැකියාවේ කටයුතු ගැන වැඩි අවධානයක් යොමු කොට තම අනාගතය අඳුරු කර නො ගැනීමට බණ්ඩාර ඉටා ගත්තේ ය. බණ්ඩාර සෞම්‍යා ද අමතක කොට සම්බාහන හලට යාම ද ස්ථීර ව නතර කළේ ය. විදේෂ්ගේ ඇසුරෙන් ද කෙමෙන් ඈත් විය. දෙමාපියන්ගේ යෝජනාවක් පරිදි අම්මාගේ පෙළපතට සම්බන්ධ නුවර ප‍්‍රදේශයේ ඉතා සම්භාවනීය පවුලක වින්ධ්‍යා නම් වූ කුල කුමරිය විශාල දායාදයක් ද සමඟ ලොකු මංගල්‍ය උත්සවයක් පවත්වා විවාහ කරගත් බණ්ඩාර කොළඹ පදිංචිය තහවුරු කර ගත්තේ ය. ඉතා හොඳින් තම ස්වාමි දියණියට ද සලකමින් සාර්ථක පවුල් දිවියක් ගත කරමින් යද්දී නොබෝ කලකින් ම ඔවුනට පුතෙකු ද ලැබුණි. බණ්ඩාර දැන් ඉතා හොඳ සැමියෙකු ද පියෙකු ද වේ. මේ අතරතුර දෙවෙනි දරුවා ලැබීමට කොළඹ නම ගිය පෞද්ගලික රෝහලකට තම බිරිය නතර කෙරුණේ සියලූ වෛද්‍ය පහසුකම් උපරිම ලෙස සැලසීමටයි. තම බිරියට දුවක් ලැබුණත් ඇය අසනීප තත්වයෙන් පසු වූ බැවින් වැඩිපුර දින කීපයක් රෝහල් ගත වී සිටින්නට සිදු විය. තම රැකියාවට ගියත් නිතර නිතර ම තම බිරිය බලන්නටත් සිඟිති දියණිය බලන්නටත් යාමට බණ්ඩාර උත්සුක විය.

හමුවුණේ ඇයි?

දිනක් තම බිරිය බලා රෝහල් භූමියෙන් පිටත් ව තම වාහනය නවත්වා තිබුණු තැනට ගමන් ගත් බණ්ඩාර පුදුම එළවන අයුරින් සෞම්‍යා මුණ ගැසුණි. අවසන් හමුවීමෙන් වසර තුනක් පමණ ගෙවී ඇතත් ඇයගේ රූ සපුවේ වෙනසක් වී තිබුණේ නැත. පාර අයිනට බණ්ඩාරගේ අතින් ඇද ගෙන ගිය සෞම්‍යා ඉකි ගසා හඬමින් තමා අතහැර දැමීම ගැන කනස්සල්ලෙන් කථා කළා ය. සෞම්‍යාගේ වතගොත ඇසූ බණ්ඩාරට ආදරයට වඩා නැවත ද දැනුණේ අනුකම්පාවකි. සබඳතාව අලූත් විය. නුගේගොඩ ප‍්‍රදේශයෙන් එක් කාමරයක් සහිත ඇනෙක්ස් එකක් කුලියට ගෙන සෞම්‍යා එහි නවත්වා දෙවැනි පවුල හොර රහසේ නඩත්තු කරන්නට බණ්ඩාර පියවර ගත්තේ ය. මෙසේ පවුල් දෙක ම නඩත්තු කිරීමට තරම් සෑහෙන ආදායමක් බණ්ඩාරට එවකට ලැබුණු අතර වැඩි කලක් යන්නට පෙර බණ්ඩාර නිසා සෞම්‍යාට දුවක ද ලැබුණි. උපදින්නට සිටින දරුවාගේ අනාගතය ගැන බැලූ බණ්ඩාර හොර රහසේ ම සෞම්‍යා ද නීතියෙන් කසාද බැන්දේ ය. දැන් දැන් වින්ධ්‍යාට පමණක් නොව බණ්ඩාරගේ මවට ද පුතාගේ අසම්මත හැසිරීම් හෙළි වී අවසන් ය. හඬා වැලපී, කලහ කොට සැමියාගේ මඟ වෙනස් කර ගැනීමට ගත් උත්සහය අසාර්ථක වූ තැන වින්ධ්‍යා තම දරුවන් දෙදෙනා ද සමඟ තනි ව ජීවත් වීමට සිතා බණ්ඩාර අත්හැර දැම්මේ ය. ඉතා දැඩි ගති ඇති බණ්ඩාරගේ මව කෝපයෙන් වෙළී ගොස් බණ්ඩාර පවුලෙන් ම නෙරපා හැරියේ ය. දැන් ඔහුගේ එක ම බිරිය සෞම්‍යා ය. සෞම්‍යාගේ මව හා සහෝදර සහෝදරියන් සියලූ දෙනාට ගජ වාසි ය. සොම්‍යාට දෙවැනි දරුවා ද ලැබුණි. මහරගම නිවසක් තනා පදිංචියට ආ බණ්ඩාර සෞම්‍යාගේ පවුලේ සෑම දෙනා ම පෝෂණය කළේ ය.

අවුඩි පිස්සුව

කවදත් අලූත් අලූත් වාහනවල යාමට ඇලූම් කළ බණ්ඩාරට තිබුණු නො නිමි වූ ආශාව අවුඩි මෝටර් රථයක් මිලට ගැනීම ය. වින්ධ්‍යාට සහ ඒ පවුලේ දරුවන්ට අඩුපාඩුවක් නැත්තේ අම්මාගේ ද රැක්ම ඇති ව පරම්පරාවේ බූදලයට ඔවුන් හිමිකම් කියන නිසයි. දැන් දැන් බණ්ඩාරට රැකියාවෙන් ලැබෙන ආදායම සෞම්‍යාත්, දරුවන් දෙදෙනාත්, සෞම්‍යාගේ පවුලේ අම්මා සහ සහෝදර සහෝදරියනුත් නඩත්තු කිරීමට ප‍්‍රමාණවත් නැත. සෞම්‍යාගේ මල්ලී කෙනෙකුට කාර්මික වැඩපොළක් සාදා දෙන්නට ඔහුට විශාල වියදමක් දරන්නට විය. මේ සියල්ලත් ”අවුඩි ආශාවත්” නිසා ඔහුට කිසි දිනෙක නො තිබුණු සල්ලි පිපාසයක් ඇති විය. එය සුළු මුදලකින් පිරිමැසිය නො හැකි බව වටහා ගත් බණ්ඩාර විශාල මුදලක් සෙවීමේ කූට උපායක් යෙදී ය.

මුදල් සෙවූ හැටි

දැවැන්ත කර්මාන්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ බණ්ඩාර ඒ සඳහා රුපියල් මිලියන 2500ක ණයක් දිවයිනේ ප‍්‍රමුඛ වාණිජ බැංකුවකින් ඉල්ලා සිටියේ ය. ආකර්ෂණීය ව්‍යාපෘති යෝජනාව පිළිගත් වාණිජ බැංකුව ණය මුදල අනුමත කළේ ය. එහි පළමු වාරිකය ලෙස රුපියල් මිලියන 650ක් අතට ගත් බණ්ඩාර සිත් සේ මුදල් වැය කරන්නට පටන් ගත්තේ ය. ආපසු නො ගෙවන්නට සිතා වංචාසහගත සිතින් ගත් මුදලක් නිසා ඉන් ගැලවී යාමට ණය මුදලට අදාළ සියලූ ලේඛන, ලිපිගොනු ආදිය පමණක් නො ව සියලූ ම පරිගණක වාර්තා සටහන් ආදිය ද ඉවත් කොට මකා දැම්ම වී ය. ඒ කටයුතු ඔහු කර ඇති ආකාරය විස්මය ජනක ය. අදාළ වාණිජ බැංකුවට මහත් ගැටලූවකි. බැංකුවෙන් රුපියල් මිලියන 650ක් නිදහස් වී ගොස් ය. කුමන කරුණක් සඳහා කවරෙකු එම මුදල ගත්තා දැයි අනාවරණය කර ගැනීමට බැංකුවට මහත් අසීරු කරුණක් විය. මෙය නො විසඳුණු අභිරහසක් ව වසර දෙකක් පමණ ගත වෙමින් පැවතියේ ය. වරද කළ මුත් තමා ඊට හසු වීමට කිසිදු ඉඩ කඩක් නැති බවට බණ්ඩාරට විශ්වාස ය. අසාධාරණ මුදලින් සෞම්‍යාගේ පවුලට ඉසුරුමත් කාලයක් උදා වී ඇත. වාහන තුනක් මිලට ගත් බණ්ඩාර ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරයි.

ඇඟිලි සළකුණු

මේ අතරතුර නිවාඩුවක් ගත කිරීමට කොළඹින් බැහැරට ගිය බණ්ඩාර, සෞම්‍යා සහ දරු දෙදෙනා ආපසු කොළඹට එමින් සිටිය දී ඔවුන්ගේ වාහනය පොලීසියෙන් නතර කෙරුණේ අධික වේගයෙන් පැදවීමේ හේතුවෙනි. වාහනය නැවැත් වූ පොලිස් නිලධාරියා හැඩකාර සෞම්‍යාට අනවශ්‍ය විහිළුවක් කළ බවත්, ඉන් කෝපයට පත් වී තමා පොලිස් නිලධාරියා සමඟ ගැටුමක් ඇති කරගත් බවත් බණ්ඩාර කියයි. මේ ගැටුම කෙළවර වූයේ බණ්ඩාර පොලිස් ස්ථානයේ දී පොලිස් පොතට කට උත්තර දීමෙන් ය. කට උත්තර සටහන් කරගත් පොලිස් නිලධාරීහු බණ්ඩාරගේ අත් දෙකේ ම ඇඟිලි සටහන් කරගෙන ඒවා වැඩිදුර විමර්ශනය සඳහා කොළඹ පොලිස් මධ්‍යම ඇඟිලි සලකුණු කාර්යාංශයට එවූහ. බැංකු ණයට අදාළ සියලූ ලිපි ලේඛන ඉවත් කරවනු ලැබුවත් මුල් අවස්ථාවේ දී ගනු ලැබූ ඇඟිලි සලකුණු සටහන් පමණක් එක ම සාක්ෂි ලියවිල්ල ලෙස ඉතිරි වී තිබුණු බව බණ්ඩාර දැන සිටියේ නැත. මේ මුල් ලියවිල්ලේ ඇඟිලි සටහනුත්, විමර්ශනයට පොලීසියට එවූ ඇඟිලි සලකුණුත් සැසඳුනි. බණ්ඩාර අත්අඩංගුවට ගැනුණි. වංචාවට සහාය වූ අනෙක් අය රටින් පිට වී ගොස් ය. විභාග වූ නඩුවෙන් මුදල් වංචාවට වැරදිකරු වූ බණ්ඩාරට 2006 වර්ෂයේ දී අවුරුදු 28ක සිර දඩුවමක් නියම විය. ඔහු රිමාන්ඞ් භාරයට පත් වූ 2001 වර්ෂයේ සිට ම මේ වන විට අවුරුදු 11ක් සිර බත් කා ඇත. ඔහුට නිදහස් වීමට ඇත්තේ වර්ෂ 2034 දී ය. කෙසේ වෙතත් සමා කාලයක් ලැබී 2021 දී පිට වී යා හැකි යැයි ඔහු ගණන් බලමින් සිටියි.

අහිමි වූ සුන්දර ජීවිතය

තමාගේ කඩා වැටුණු සුන්දර ජීවිතය අබියස මහත් කම්පාවෙන් බලා සිටින බණ්ඩාර උපතින් ක‍්‍රිස්තු භක්තිකයෙකු වූවත් බුදු දහමේ ඉගැන්වෙන කර්මය නිසා මේ සියල්ල සිදු වූ බව කියා සිටී. කිතුනුවෙකු වුවත් බුද්ධාගම ගැන සෑහෙන දැනුමක් තමාට ඇති බවත්, වෙනෙතක් තබා සෞම්‍යාගේ නැගණියට අ.පො.ස. (සා.පෙ.) විභාගයට බුද්ධාගම කියා දුන්නේ තමා බවත් කියයි.

වැරදුණු තැන

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නො හැකි බව කියන බණ්ඩාර, පාප මිත‍්‍ර සේවනය නිසා තම අනාගතය අඳුරු කරගත් කෙනෙකුට දිය හැකි හොඳ ම නිදසුනකි. ‘‘මේ සියල්ලට ම හේතුව ප‍්‍රඥාව නැතිකමයි. මම ප‍්‍රඥාව ඉල්ලගන්නට ඕනෑ වෙලාවට සල්ලි ඉල්ලූවා. යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙනකොට මම හිර ගත වෙලා අවසන්. තාරුණ්‍යය කියන්නේ හැඟීම්වලට වහල් විය යුතු තැනක් නො වේ. මම ඉතා ප‍්‍රවේසමෙන් ඒක රැකගෙන හිටියත් එක වේලාවක දී ගැස්සිලා ගියා. ඒක මගේ අවාසනාව. නරක ආශ‍්‍රය මගේ පරිහානියට හේතු වුණා. දැන් ඒ යාළුවෝ කවුරුවත් මට නැහැ. මගේ ආදරණීය බිරිය වින්ධ්‍යාත්, දරු දෙදෙනාත් අදටත් මා බලන්නට එනවා. ඒ දරුවන් දෙදෙනා ම දැන් උසස් අධ්‍යාපනය ලබනවා. ‘‘මොන වරදක් තිබුණත් අපි අප්පච්චිව භාරගන්නවා” යැයි දරුවන් කියනවා. ”සෞම්‍යා සුපුරුදු රැකියාව කරමින් ගණිකා මඩමක් භාර ව ඉන්නා බව ආරංචියි. මම වංචාවෙන් ගත්තු සල්ලිවලින් හුඟක් දෙනෙක් අද සැප විඳිනවා. මම හිර ගේ ඇතුළෙ. ඔහු දිගට ම කියාගෙන ගියේ පාපොච්චාරණයක් මෙනි.

කොපමණ හොඳ කෙනෙකු වූවත්, කොපමණ ශික්ෂණයකින් සිටින කෙනෙකු වූවත්, අප වටා සැරිසරන විෂ සහිත බලවේග නිසා අමාරුවේ වැටෙන්නට ගත වන්නේ අසුරු සැණක් බව බණ්ඩාර අපට කියා දෙයි. මාරයාට අයත් තම සිතට වඩා ශ‍්‍රද්ධාව කෙරෙහි විශ්වාසය තැබුවා නම් බණ්ඩාර අදත් ගෞරවණීය පුරවැසියකු මෙන් අප අතර ම සිටිනු ඇත.

‘‘මහත්මයා මට මේකෙන් ගැලවෙන්න බැහැ. මම වැරදි කළා. ඒවාට මට දඬුවම් විඳින්න වෙනවා. මහත්මයා ඔය කියන ලිපිය කියවා මා වගේ අමාරුවේ වැටෙන්න සිටින කීප දෙනෙකු හරි ගලවා ගත හැකි නම් එය මට මහා අස්වැසිල්ලක්.” බණ්ඩාර කියයි. තමා කිතුනුවෙකු වූවත් බෞද්ධ පොත්පත් බැලීමට දැඩි ආශාවක් දක්වන බවත් රැඳවියන්ගේ ප‍්‍රයෝජනයට පොත්පත් ටිකක් ලබා දිය හැකි නම් බලවත් සේ ප‍්‍රයෝජනවත් බවත් ඔහු කියයි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල