හැඩි දැඩි පුද්ගලයෙකු යන්න විස්තර කිරීමට ඔහු තරම් හොඳ උපමාවක් මට සොයා ගැනීම අසීරු ය. උසින් අඩු වටකුරු මුහුණකින් හා දැඩි වූ පේශී පද්ධතියකින් හෙබි ජයතිස්ස ක‍්‍රීඩකයෙකුගේ අතපයට වඩා ශක්තිමත් සහ ගොරහැඩි බවක් පෙන්වී ය. තියුණු ඇස් දෙකත්, මුහුණ පුරා ම වැවී ගිය සුදු වූ රැවුලත්, සුදු පැහැති බොකුටු කෙස් රොදත්, තල එළලූ ඔහුගේ මුහුණේ බියකරු බව වැඩි කරයි.

ඔහු දුටු සැණින් මට සිහි වුණේ මගේ අම්මා කුඩා කාලයේ දී කතන්දර කියා දෙන විට ඇතැම් විට සොරුන්ගේ චරිත හඳුන්වා දෙද්දී ‘නීල මහා හොරා’, ‘නීල දත්ත හොරා’ වැනි නම්වලින් නම් කළ මහා දරුණු හොරෙක් ලෙසට ය. නොයෙකුත් සොරකම් කරන පුද්ගලයින් අපට දිනපතා වාගේ සමාජයේ දී මුණ ගැසේ. එහෙත් වෘත්තීය හොරෙක් ජීවිතයේ මට හමු වූ පළමුවෙනි අවස්ථාව මෙය වූ බැවින් ඔහුගේ සුලමුල සෙවීමේ ආශාවක් මට ඇති විය.

පාසල් යන කොලූවෙකු හැටියට අවුරුදු 11 – 12 වයසේ දී වත්තකට පැන ඇන්තූරියම් පැළ සොරකම් කිරීමෙන් ඔහුගේ සොරදෙටු ජීවිතය ඇරඹුණි. ඒ සමඟ ම කළ සොරකම් කීපයක් නිසා ළමා අපරාධකාරයෙකු ලෙස තීන්දු කරනු ලැබ පරිවාසභාරයට පත් විය. ජයතිස්ස අත දරුවකු ව සිටිය දී වැඩිමහල් සහෝදරියන් දෙදෙනාත්, තමාත්, තම මවත් අත්හැර දමා පියා වෙනත් ගැහැනියක සමග ගමෙන් පිට ව ගොස් ඇත. දරුවන් තුන්දෙනා හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ජයතිස්සගේ මව තවත් දරුවන් තුන්දෙනෙකු සමග වැන්දඹු පුරුෂයෙකු හා දීග කන්නට පටන්ගෙන ඇත. ඒ පවුලේ සහෝදරියන්ගෙන් හා බාප්පාගෙන් නොයෙක් වෙනස්කම් කුඩා ජයතිස්සට අත්විඳින්නට සිදු වී ඇත. බාප්පාගේ ලොකු දුව මේ වන විට දීග ගොස් ඇයගේ දරුවන් ද ජයතිස්ස සමග පාසලේ පහළ පන්තිවලට ඇතුළු කර තිබුණි. කුඩා ජයතිස්සට මුහුණ දෙන්නට වූ ලොකු ම ගැටලූව වූයේ පාසලේ දී ඒ ළමයි ඔහුට ‘මාමා’ යැයි කියා ආමන්ත‍්‍රණය කිරීමයි. පාසලේ යහළුවන් ‘මාමා’, ‘මාමා’ යනුවෙන් උසුළු විසුළු කරන්නට පටන් ගත්විට ජයතිස්ස පාසල් යාම අත්හැරියේ ය.

මේ කාලය වන විට ඔහුට තම ප‍්‍රමුඛ අවශ්‍යතාව වී තිබුණේ චිත‍්‍රපට බැලීමයි. ඔහු එක ද සිංහල, දෙමළ, හින්දි චිත‍්‍රපටයක් අත්හැරියේ නැත. ගෙදර මිහිරි පරිසරයක් නො වූ නිසා දැන් දැන් ජයතිස්ස ගෙදර යන්නේ ද නැත. තැන තැන ගෙවල්වලට පැන සල්ලි සොරකම් කරගන්නා ඔහු ඒවා කෑමට – බීමටත්, චිත‍්‍ර‍්‍රපට බැලීමටත් යෙදවී ය. මේ අතරතුර ජයතිස්ස බාප්පාගෙන් රුපියල් 180ක් හොරෙන් ගෙන ගෙදරින් ද ගමෙන් ද පැන්නේ ය. ඉබාගාතේ ගිය ඔහුට මොරටුව දුම්රිය ස්ථානය අසල සෙනඟ වටකරගෙන සිංදු කියන සංගීත කණ්ඩායමක් හමුවිය. ජයතිස්ස ද එම සංගීත කණ්ඩායමට බැඳී ඔවුන්ගේ ගම් ප‍්‍රදේශයට ද ගියේ ය. මෙසේ ටික දවසක් සිටින විට සංගීත කණ්ඩායමේ අයට යම් චකිතයක් සිතී ජයතිස්සගේ බාප්පාට ඔහු ගැන විස්තර ලියා ලිපියක් යැවූ බව දැන ගන්නට ලැබිණි. ඒ නිසා සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු නැවත ගම් ප‍්‍රදේශයට ගියේ ය. ජයතිස්ස මිනිසෙකු කරන්නට සිතූ වැඩිහිටියන් ඔහු ගමෙන් කොළඹට ගෙනවිත් බම්බලපිටිය පැත්තේ ගරාජයක වැඩට දැමී ය. අවුරුදු 17ක් පමණ වයසැති ජයතිස්ස තරුණයාට මොටර් කාර්මික රැකියාව එතරම් ඇල්ලූවේ නැත. ‘දවසේ පඩියට මට ලැබුණු රුපියලෙන් කාල බීල චිත‍්‍රපටියකුත් බලනවා. කීයක් හරි ඉතිරි කරගෙන සත දහයේ කාසිවලින් ජැක්පොට් (සූදුවක්) ගහනවා.’ තමාට දවසට රුපියලේ ආදායම මදි වී ගෙන එනවිට ගරාජයෙන් පැන ගොස් නැවත තැන් තැන්වල ඔහු ඇවිදින්නට විය.

ජයතිස්සට මෙවර හමුවුණේ රත්නපුර පැත්තේ සිට පැමිණි හොරකම්වලට දක්ෂ හොඳ වැඩකාරයෙකි. අලූත් යාළුවාගෙන් ගුරුහරුකම් ද ගෙන දෙදෙනා ම හොරකමේ යෙදෙමින් සිටියේ ය. එක් දිනක නුගේගොඩ ප‍්‍රදේශයේ ගෙයක් බිඳ රත‍්‍තරන් සහ සල්ලි සොරකම් කර ඇති මොවුන් එම නිවසේ තිබූ මත්පැන් බෝතලයක් ද සොරාගෙන සිහි නැති වන තරමට ම බීමත් වී ළිඳක් අසල වැටී නිදාගෙන ඇත. සල්ලි සහ රත‍්‍රරන් බඩු ඒ මේ අත දමා, මත් වී වැටී සිටින මේ කොල්ලන් ගම් වැසියන් විසින් පොලීසියට භාර දී ඇත. නඩු විභාගයකට පසු ව අවුරුදු 3කට ‘වතුපිටිවල’ තරුණ වැරදිකරුවන් නිවැරදි කරන බන්ධනාගාරයකට ජයතිස්ස ඇතුළත් කෙරිණි. එහි දී තවත් තරුණ අපරාධකාරයන් පිරිසක් හමු වූ නිසා තව තවත් නො මඟට යාමට එය හොඳ තෝතැන්නක් වූ බව ඔහු ප‍්‍රකාශ කරයි. එහි දී ජයතිස්ස බොක්සිං, රෙස්ලිං, කරාටේ ආදි දේ හොඳින් ප‍්‍රගුණ කර ඇත.

අවුරුදු 3 අවසානයේ නිදහස් වී ආ ජයතිස්සට කරන්නට රැකියාවක් නැත. නැවත සොරකම් කිරීමට පටන් ගත් ජයතිස්ස වැඩි කල් යන්නට මත්තෙන් පොලීසියට හසු ව අවුරුදු 10ක සිර දඬුවමකට යටත් විය. ටික කලක් හිරබත් කමින් සිටි ජයතිස්ස හිර ගෙදරින් පැන්නේ ය. එහෙත් නැවත පොලීසියට හසු වූ ඔහුට අවුරුදු 19ක සිර දඬුවමක් නියම විය. බේරෙන්නට නො හැකි බව වැටහුණු විට බන්ධනාගාරය තුළ හොඳ මිනිසෙකු වන්නට ඔහු සිතාගෙන ඇත. ඔහුගේ හොඳ කල්කි‍්‍රයාව නිසා ම අවුරුදු 19 සිර දඬුවම අවුරුදු 11කට අඩු වී නිදහස් විය. හිරෙන් නිදහස් වූ ජයතිස්ස එළවලූ වෙළෙඳාම් කරන්නට පටන් ගත්තේ ය. තමා හිරබත් කමින් සිටිය දී බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිරකාරියක වශයෙන් සිටිනු දැක සිටි රමණි ඔහුට හමු වූයේ මේ අතරතුර දී ය. මේ වන විට තමා ගැබ්ගෙන ඇති බවත් එය නැතිකර ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා තමාට උදව් කරන ලෙස රමණී ජයතිස්සගෙන් ඉල්ලීමක් කළා ය. ඇස්වලට කඳුළු නඟාගත් ජයතිස්ස, ‘‘මහත්තයා, මට හරියට දුක හිතුණා. මනුස්ස ජීවිතයක වටිනාකම මට වැටහුණා. මම රමණීට කිව්වා, දරු ගැබ නැතිකර ගන්න එපා. දරුවා මගේ වගේ හදා වඩා ගන්නම්, මා එක්ක පවුල් කන්න එන්න” කියල. රමණි යෝජනාවට එකඟ වූ නිසා, ගෙදර එක්කරගෙන ගිහිල්ලා බාප්පලාට, අම්මලාට බොරුවකුත් කියලා හොඳින් පවුල් කන්නට පටන් ගත්තා. මම එළවලූ වෙළඳාමෙන් එදිනෙදා වියහියදම් පිරිමසා ගත්තා. ඕනෑම නරක චරිතයක වුවත් යහපත් සිතුවිලි හටගන්නා අවස්ථාවන් ඇති බවට මෙය කදිම නිදසුනකි.

මේ අතරතුරේ දී ජයතිස්සගේ අක්කා කෙනෙකු මැද පෙරදිග රැකියාවකට ගොස් පැමිණි අතර ඇය ගෙන ආ බඩු වගයක් විකුණා දීමට රමණිගේ අක්කා කෙනෙකුට දී තිබුණි. එහෙත් ඒ ගනුදෙනු හරිහැටි බේරුම් නො කිරීම නිසා එතැන් සිට ආරවුල් හටගෙන ඇත. ජයතිස්ස එම ණය බේරීමට එකඟ වුවත් එළවලූ වෙළෙඳාමේ ආදායම ඒ සඳහා ප‍්‍රමාණවත් නො වී ය. අකමැත්තෙන් වුව ද ජයතිස්ස නැවතත් සොරකමට පෙලඹුණේ ඒ අනුසාරයෙනි. හොරකමට යද්දී ඔහුට තවත් සොරමුලක් හමුවිය. ඒ සොරමුලේ නායකත්වයට වැටුණු ජයතිස්ස, ඉන් පසු ව ගෙවල්වලට පැන මංකොල්ල කන්නට පටන් ගත්තේ ය. මංකොල්ලකෑම නිසා නැවත පොලිසියේ රැහැනට හසු වූ ජයතිස්ස විසි අවුරුදු හිර දඬුවමකට ලක්විය. මේ අතර තමාගේ භාර්යාව වෙනත් පිරිමියෙකු සමඟ දීග කන්නට පටන්ගෙන ඇත.

යහපත් කල්කි‍්‍රයාව හේතුවෙන් සමා කාලයක් ද ලැබී මීට කලකට පෙර හිරෙන් නිදහස් වී ගමට පැමිණි ජයතිස්ස තම සහෝදරියන්ගේ දරුවන්ගේ උදව් ඇති ව හොඳ මිනිසකු මෙන් ජීවත් වීමට සිතාගෙන ඇත. ජයතිස්ස පවසන ආකාරයට, ‘මං හොරකමක් හෝ වරදක් නො කර සිටිය දී ගමේ මිනිසුන් පොලීසියට බොරු පැමිණිලි කරල සොර බඩු ළඟ තබා ගත්තා යැයි වරදකට ආපහු මට අච්චු කළා.’ පෙර වැරදි සමඟ ම අවුරුදු 46ක සිර දඬුවමකට යටත් ව ඔහු අද බන්ධනාගාරයේ සිරබත් කයි. ඔහුට දැන් තම භාර්යාව අහිමි වී ඇත. ඇය මේ වන විට මානසික රෝගියෙකි. තම දියණිය ද ඥතියෙකු භාරයේ රඳවා ඇත. ‘මාගේ මුළු ජීවිතේ ම කාලකණ්ණි වෙලා. ජීවිතේ පුරා ම මම සැප විඳපු දවසක් නැහැ.’ යනුවෙන් ජයතිස්ස කියාගෙන යන විට රෞද්‍ර මුහුණේ මාංශපේශි නලියන්නට විය.

‘මහත්තයා මට ඕනෑ ම අගුලක්, ඉබ්බෙක්, දොරක්, ජනේලයක් ඉතා සුළු මොහොතකින් අරින්න පුළුවන්.’ යැයි ඔහු සොරකම් ගැන විස්තර කළේ ගුරුවරයෙකු ගෝලයෙකුට ශිල්පයක් උගන්වන්නා සේ ය. මහත්තයා මං කොයිතරම් මිනිස්සුන්ට දුක් දීලා ඇද්ද? අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් ජීවිත කාලයක් උපයා ගත්තු දේවල් මම එක රැයෙන් සොරකම් කළා. මංකොල්ල කන්නට ගියා ම මං මිනිස්සුන් ව බය ගැන්වූවා. ඒ වගේ වෙලාවට මිනිස්සු කොයිතරම් බයට පත් වන්නට ඇද්ද? අනේ මං වගේ පවුකාරයෙක්.’ යනුවෙන් ජයතිස්ස පාපොච්චාරණයක් කළේ ය. අවුරුදු 60ක ජීවිත කාලයකින් අඩකට වඩා සිරකූඩුවල ජීවත් වූ ජයතිස්සට පේන තෙක් මානයක නිදහසක් නැත. අතිශයින් ශක්තිමත් ශරීරයකට උරුමකම් කියතත් ඵලක් ඇති ජීවිතයක් ගත කිරීමට ඔහුට වාසනාවක් නැත. ඔහු ආඩම්බරයෙන් මට කීවේ තවමත් බන්ධනාගාරයේ වේගවත් ම ධාවකයා තමා වන බවයි. බන්ධනාගාරය තුළ ශිල්පීය කලාකරුවා ඔහු ය. පොල්කටු කපා විවිධ කලා භාණ්ඩ සෑදීම ඔහුගේ විනෝදාංශයයි. ‘මගේ දුක් විඳින හිත සැහැල්ලූ කර ගන්න ඒක මහා උපකාරයක්.’

බුදු දහම තුළ උගන්වන්නා වූ සොරකමේ ආදිනවය ජයතිස්ස හොඳින් අත්දැක ඇත. කෙතරම් සොරකම් කළ ද කෙතරම් අනුන්ගේ දේ මංකොල්ල කෑව ද සදාකාලික ව ඔහු ගත කර ඇත්තේ දිළිඳු ජීවිතයකි. කෙතරම් මුදල් සෙව්ව ද ඔහුට කිසි දා මුදල් හදල් තිබී නැත. දිනපතා යම් පමණකින් කා බී ජීවත් වූවාට ඒ අධාර්මික ව ඉපයූ මුදල්වලින් කළ කී දෙයක් නැති බව ඔහු කනස්සල්ලෙන් ප‍්‍රකාශ කරයි. එම මුදල් වෙන පුද්ගලයෙකුට ලැබුණේ නම් ඔහු පොහොසතෙකු වන බව කියන ඔහු තමාට ඒ මුදල් හරි ගියේ නැත්තේ ඒවා අහිංසක මිනිස්සුන්ට ගින්දර දී ගත් ඒවා නිසා බව ප‍්‍රකාශ කරයි. ඔහු මගෙන් නිතර නිතර විමසා සිටියේ තමාට කවදා නම් හිරෙන් නිදහස් වී යා හැකි ද? යන්නයි. ‘හිරෙන් නිදහස් වෙලා ගෙදර ගියත් මිනිස්සු ඔක්කොම මා දිහා බලන්නේ අමුතු විදිහට. මිනිස්සුන්ට මා එළියේ ඉන්නවා දැක්කම බයක් සැකයක් හිතෙනවා. ඒ නිසා බොරුවකට හෝ පටලවලා ආපහු මාව හිරේට යවන්න කටයුතු කරනවා.’

මට ධම්මපදයේ දණ්ඩ වග්ගයේ අජගර නම් පේ‍්‍රතයා අරභයා දේශනා කළ ගාථාව සිහිගැන්විණි.

අථ පාපානි කම්මානි – කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ – අග්ගිදඞ්ඪෝ’ව තප්පති

‘අනුවණ තැනැත්තා තමා විසින් කරන ලද අකුසල්හි අනිටු විපාක විඳ ගින්නෙන් දැවුනෙකු මෙන් දැවෙන බව’ ඉන් කියවේ.

ඔහු ම පවසන ආකාරයට වෙනත් නිරයක් ගැන ඔහුට සිතන්නට දෙයක් නැත. ජීවිතය පුරාවට ම තමා වින්දේ නිරා දුක් බව ඔහු ප‍්‍රකාශ කරයි. එය එසේ නම් මරණින් මත්තේ ඔහු අත්විඳිය හැකි විපාක කොතරම් බියකරු විය හැකි ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල