අපේක්ෂා පොදි බැඳගත් ජීවිතය

විල්සන් තම කථාව ඇරඹුවේ ‘‘මහත්තයා, අපි පරම්පරාවලින් ම දුප්පත් මිනිස්සු. ධනවත් කීර්තිමත් පරපුරකට අයත් මහා ඉඩම් යායක අපේ මුතුන්මිත්තන්ගේ පටන් සේවය කරමින් ඇවිත් තිබෙනවා. ඒ විදියට පරම්පරා ගණනක් සේවය කළ නිසා ම ඒ අයගේ අනුකම්පාවට අක්කර භාගයක පමණ ඉඩමක් අපේ තාත්තට ලැබී තිබුණා. ඉඩම් කැබැල්ලේ පුංචි නිවසක් තනාගෙන තාත්තාත් අම්මත් මා ඇතුළු දරුවනුත් ජීවත් උනා. අපට ඒ තරම් අධ්‍යාපනයක් ලබන්න බැරි උනා.” ලොකු මහත් වූ විල්සන් ජීවනෝපාය වශයෙන් තෝරා ගත්තේ මාළු වෙළඳාමයි. මාළු වෙළඳාමෙන් යම් ආර්ථිකයක් ගොඩනැගෙද්දී යාබද ගමක සුනීතා හමු වුණේ ඇය පාසල් යන අවදියේ දී ය. අවුරුදු 6ක් පමණ පැවති පේ‍්‍රම සම්බන්ධතාවයකින් පසු ව දෙමාපියන්ගේ කැමැත්ත ඇති ව විල්සන් සුනීතා ආවාහ කර ගත්තේ ය. ඔහුගේ වචනයෙන් කීවේ ‘‘මා බින්න බැස්සා” යනුවෙනි. ටික කලක් තම බිරියගේ නිවසේ ජීවත් වූ විල්සන්ට වෙන ම කුටුම්භයක් ගොඩනඟා ගැනීමේ වුවමනාව ඇති විය. බිරියගේ පියා තම දියණියට වෙන් කර දුන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලේ කාමර දෙකක් සහිත ව කුඩා ගෙයක් තනාගත් විල්සන් පාඩුවේ තම දිවි පෙවත ගෙන ගියේ ය. ‘‘අපේ නැති බැරිකමට ඒ ගෙදර හදා ගත්තේ මෝඩ ගල්වලින්. පොල් අතු හෙවිලි කරල යන්තම් පදිංචි වුණා” විල්සන් කියද්දි ද ඔහුගේ දෑසට කඳුළු ඉණුවේ ජීවිතය ගොඩනඟා ගන්නට තරුණයෙකු වශයෙන් තමා ගත් වැර වෑයම සිහිපත් වූ නිසා විය යුතු ය.

පවුල ගොඩනැඟෙයි
මේ අතරතුර සුනීතාට කුලූඳුලේ පුතෙකුත් ඊට වසර දෙකකට පසු දුවකුත් ලැබිණි. ගේ‍ දොර පිළිවෙළකට හදාගෙන, දරුවන් දෙදෙනාට හොඳට උගන්වා ටිකක් ඔළුව උස්සන්න හිතාගෙන සුනීතා මැද පෙරදිග යන්නට තීරණය කළේ එතරම් හිතකින් නො වේ. දරුවන් දෙදෙනා තම අම්මා ළඟ රැඳවූ සුනීතා අරාබියේ රැකියාවකට ගියත්, තමා සේවය කළ නිවසේ දී මුහුණ දීමට සිදු වූ කරදර නිසා අවුරුද්දකින් ආපසු මව් රටට පැමිණියා ය. නැති නාස්ති නො කොට ඉතිරි කර ගත් මුදලින් ගෙදර තවත් ටිකක් වැඩි දියුණු කර ගන්නට විල්සන්ට හැකි විය. මේ වන විට මාළු වෙළඳාම අත් හැර දමා තිබුණු විල්සන් මිතුරෙකුගේ මාර්ගයෙන් පෞද්ගලික බසයක කොන්දොස්තර රැකියාවක් සොයා ගත්තේ ය. ‘‘දවසේ රැකියාව අවසන් වී හැන්දැවේ බස් එක හෝදල තියල මම පොඩි ඩි‍්‍රන්ක් එකක් දාලා, කඩෙන් බඩු මුට්ටු අරගෙන ගෙදර යාම පුරුද්දක් හැටියට කරගෙන ගියා.” විල්සන් කියා ගෙන ගියේ තමා සුනීතා සහ දරුවන් සමඟ සමගියෙන් සමාදානයෙන් ජීවත් වූ බව අඟවමිනි.

අල්ලපු ගෙදර උදවිය
මේ අතරතුර අල්ලපු ඉඩමේ තිබුණු විල්සන්ගේ තරමට ම ප‍්‍රමාණය ඇති ගෙයක් කුලියට ගෙන පවුලක් පදංචියට ආවේ ය. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් අලූත් පවුලේ ප‍්‍රධානියා සෝමරත්න විය. එළවළු වෙළෙඳාමෙන් ජීවත් වූ සෝමරත්නත්, ඔහුගේ බිරියත් විල්සන්ගේ පවුලට සමීප වූහ. පවුල් දෙකේ දරුවන් මාරුවෙන් මාරුවට ගෙවල් දෙකෙහි ය. සෙල්ලම් කරන්නේ ද එකට ය. ලූණු, මිරිස් ටික පවා අඩු පාඩු වුණා ම අත මාරු කර ගැනීමට තරම් සමගි දම් වැඩෙන්නට විය. මුදල් නැති බැරිකමක් වූ විට ද විල්සන් හා සෝමරත්න අතර ගනුදෙනු සිදු වුණත් ගැටලූ මතු නො වී ය. ඉඳ හිට හැන්දෑවට දෙදෙනා මත්පැන් ටිකක් පානය කිරීමටත් පටන් ගත්තත් බිරියන්ගේ සතුටක් ඒ සඳහා නො වී ය.

වැරදී ගිය ගනුදෙනුව
සෝමරත්නගේ බිරිය සුනීතාගෙන් රුපියල් 15000/-ක් ණයට ඉල්ලා ගෙන ඇත්තේ තම සැමියාගේ වෙළදාමෙන් වූ පාඩුවක් ගෙවා දැමීමට ය. දින, සති, මාස කීපයක් ම ගත වී ගියත් මුදල් ගැන කථා බහක් නැත. බැරි ම තැන සුනීතා ඒ ගැන විමසූ විට ඉක්මනින් ආපසු දෙන බවට පොරොන්දු ලැබුණි. එහෙත් මුදල් නම් ලැබෙන පාටක් නැත. දෙපැත්තේ ගමන් බිමන් අඩු විය. සෝමරත්නගේ දරුවන්ට විල්සන්ගේ ගෙදර යාම තහනම් විය. මුදල් ගනුදෙනුව මත පවුල් දෙක අතර විරසකය මතු වන්නට විය. මුදලත් නැතිවන ලකුණු ඇත. මිතුරාත් නැති වෙමින් යයි. දිනක්, දෙකෙන් එකක් වෙන්නට කියා විල්සන් සෝමරත්නගේ මිදුලට ගොස් තමාට මුදල් හදිස්සියක් කියා ලබා ගත් මුදල ආපසු දෙන ලෙස ඉල්ලී ය. ‘‘මගේ බිස්නස් හොඳට ම වැටිලා. ඒ සල්ලි දැන් ම දෙන්න විදියක් නැහැ. ලැබුණ වෙලාවක දෙන්නම්” කියා සෝමරත්නගේ මුවින් තමා අපේක්ෂා නො කළ ප‍්‍රතිචාරයක් ලැබෙන විට විල්සන් පුදුමයට පත් විය. මේ කථා බහෙන් පසු ව දෙදෙනා අතර අමනාපකම් වැඩි වන්නට පටන් ගැනුණි. පවුල් දෙක වෙන් වුණේ පැල ඉනි වැටකින් වුණත් සම්බන්ධකම් බොහෝ දුරස් වී තිබුණි. විල්සන්ට මිදුලට බැස්සාම ගනුදෙනුව අල්ලාගෙන ඇනුම් පදයක් නො කියා ම බැරි ය. සෝමරත්නත් හරි හෝ වැරදි ඕනැ ම දෙයක් කරන්නට හැකි කෙනෙකු බව ඉස්මතු කළේ ය. මුදල ආපසු දෙනවා වෙනුවට සෝමරත්න වෑයම් කළේ විල්සන්ගේ පවුල ඒ ගෙදරින් පන්නා ගැනීම ය. හැන්දෑවට කට ගොන්නක් බීගෙන ගෙදර එන සෝමරත්න දින කීපයක් ම තිත්ත අශෝබන වචනවලින් බැන වැදී ඇත. දිනක් විල්සන් ගේ ඇතුළත සිටිද්දී සෝමරත්න තම පවුලට අපහාස කරමින් පරුෂ වචනයෙන් බැණ වදින්නට පටන් ගෙන ඇත. මාරාවේෂ වූ විල්සන් කැත්තක් අරගෙන එළියට පැන්නත් විය හැකි වූ විනාශයක් වැළකුණේ සුනීතාගේ උත්සාහය නිසා ය. විල්සන් ගෙදර නැති එක් දිනක බීමත් ව පැමිණි සෝමරත්න විල්සන්ගේ ගෙදරට ගල් ගසන්නට පටන් ගෙන ඇත. තම දරුවන් දෙදෙනා ද තුරුළුකර ගෙන සුනීතා ගේ ඇතුළට වී දොර වසා ගත්තා ය. හැන්දෑවේ ගෙදර ආ විල්සන්ට මේ බවක් නො ඇඟවූයේ විල්සන් ද මහ වස මිනිසෙකු බව සුනීතා දන්නා නිසා ය. ‘‘පොලීසියට පැමිණිල්ලක් දැම්මත් වැඩක් වුණේ නැහැ. මොන හේතුවක් ද දන්නේ නැහැ. පොලීසිය සෝමරත්න නිවැරදිකාරයා විදියට සලකල කටයුතු කළායින් මට බරපතළ අසාධාරණයක් වුණා.” විල්සන් එසේ කීවේ දැඩි කනස්සල්ලෙනි.

අවාසනාවන්ත රාති‍්‍රය
පොසොන් පොහොයට ඇත්තේ දින දෙකකි. මෝරන පොසොන් සඳ දීප්තිමත් ආලෝකයක් සපයයි. පෞද්ගලික බස් රථයේ සේවය අවසන් කොට, බස් එක සෝදා පවිත‍්‍ර කොට, මත්පැන් ටිකක් මඟ දී ම පානය කළ විල්සන් ගෙදරට විත් ඉස්තෝප්පු කෑල්ලේ පටුවක ගිමන් හරින්නට විය. බඩගින්න දැනෙන්නට වූ නිසා තම දරුවන්ට ද කෑම දුන්නේ දැයි විමසා තමාට ද බත් ටිකක් බෙදා දෙන්න යයි විල්සන් බිරියට කියා ඇත. හඳපානේ සහන් එළිය විනා වටපිටාව ම අඳුරු ය. බිරිය ගෙනැවිත් දුන් බත් පිඟාන හිටි අසුනේ ම හිඳගෙන රස විඳින්නට පටන් ගත් විල්සන්ට කටට දමා ගත හැකි වූයේ බත් කටවල් කීපයක් පමණි. අඳුරේ ම අගුව දිගේ පසු පසින් යමෙකු හොල්මන් කරනු දැනුණු විට නැඟිට පසු පසට හැරෙත් ම විල්සන්ට එල්ල වූයේ පොලූ පහරකි. කමින් සිටි විල්සන්ගේ බත් පිඟාන බිම වැටුණි. පුද්ගලයා අන් කිසිවකු නො ව සෝමරත්න බව විල්සන් අඳුරේ ම හඳුනා ගත්තේ ය. ඔහු එළි පත්තේ සිට විල්සන් පස්සෙන් පන්නා ගෙන ගියේ විය හැකි විනාශයක් වළක්වා ගැනීමට ය. එහෙත් සෝමරත්න නො නවතින බව විල්සන්ට වැටහුණි. ඔහු තම ආරක්‍ෂාවට ඇත්තේ කුමක්දැයි ඉදිරියට එන සෝමරත්න ගැන විපරම් කරන ගමන් ම කළුවරේ අත පත ගා බැලී ය. ඔහු තම පුතා මිදුලේ සෙල්ලම් කර අගුවේ තබා තිබුණු සෙල්ලම් උදලූ කොටය අඳුරේ ම තම දකුණු අතට හසු කර ගෙන, සමූහ දිවීමේ තරගයක දී කී‍්‍රඩකයෙකු පෙර ධාවකයා දුන් යෂ්ටිය තදින් අල්ලා ගන්නාක් මෙන් අල්ලා ගත්තේ ය. වැඩි පමාවකින් තොර ව සෝමරත්නගේ හිස මත පතිත වූ උදලූ කොටය විල්සන්ගේ ඉරණම තීරණය කළේ ය. විල්සන්ට ජීවත් වීමට තවත් වාසනාව හිමි වූ අතර සෝමරත්න තම බිරියත් දරුවන් හතර දෙනාත් හැර ගොස් ය. මේ අවස්ථාව වන විට දැඩි ද්වේශය කොතරම් ඇවිලී තිබුණේ ද යත් තම සතුරා සදහට ම සමු ගැනීම විල්සන්ට උදම් අනන්නට තරම් සතුට ගෙන දෙන්නක් විය. ගෙට ඇතුළු වුණු විල්සන් මේ කිසිවක් නො දැන සිටි තම බිරියගේ කරට අත දමාගෙන සෝමරත්නගේ සිරුර ළඟට ගොස් ”ඔන්න ඉතින් අපට තිබුණු කරදරය ඉවර කළා. අපට සැනසිල්ලේ ඉන්න පුළුවන්. සෝමරත්න ඉවර යි.” උදම් අනමින් පවසා ඇත. විල්සන් පවසන අන්දමට නඩුවේ දී තමාට බරපතළ ම අවාසිය සිදු වී ඇත්තේ සුනීතාට පැවසූ මේ කියමන ඉස්මතු වීම ය.

නීරස හිරබත්
අද වන විට වසර පහකට වැඩි කාලයක් තිස්සේ හිර බත් කන විල්සන්ට සියලූ දේ අත් හරින්නට සිදු වී ඇත. මරණීය දඬුවම නියම වී ඇති විල්සන්ට තවත් බත් කන්නට වාසනාව ඇත්තේ මෙරට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීම දැනට අත්හිටුවා ඇති බැවිනි. තම දරුවන් දෙදෙනා ම මේ වන විට විවාහා වී ඇත. මුණුබුරු මිනිබිරියන් තුන් දෙනෙකු සිටිය ද ඔවුන්ගේ සුරතල් බලන්නට විල්සන්ට වාසනාව නැත. සැමියා හිරගත වීම නිසා සුනීතා නැවත පිටරට රැකියාවකට ගියා ය. මේ වනවිට පවුල සී සී කඩ ය. මහත් බලාපොරොත්තු ඇති ව යහපත් ජීවිතයක් ගොඩනඟා ගන්නට විල්සන් තැනූ අහස් මාලිගා සියල්ල සුණු විසුණු වී ගොස් ය.

සෝමරත්න මෙලොව හැර ගොස් දස වසරක් ඉක්මී ඇත. ඔහුගේ අසරණ බිරිය සහ කිසි වරදක් නො කළ අහිංසක දරුවන් හතර දෙනා මේ වසර දහය තුළ කොපමණ නම් අමාරුකම්වලට මුහුණ දෙන්නට ඇත් දැයි ඔබට මවා ගත හැකි වනු ඇත. සෝමරත්න මිය යාමෙන් ටික දිනකට පසු ව බිරියත් දරුවනුත් එම බදු නිවස අත් හැර දමා වෙනත් ප‍්‍රදේශයකට පදිංචියට ගොස් ඇත.

තමාට අත් වූ ඉරණම පිළිබඳ ව ඉපදි ඉපදී දිනකට දහස් වර මිය යන විල්සන් තමා අත්විඳින සිත් තැවුල අද සිහිපත් කරන්නේ සෝමරත්න ගැන ද අනුකම්පාවක් දනවමිනි. පාපොච්චාරණයක් වැනි යමක් කියමින් විල්සන් මිමිණුවේ ‘‘මා අහිංසක ජීවිතයක් ගත කළ මිනිහෙක් මහත්තයා. ඒ මිනිහාට මං කිසි වරදක් කළේ නැහැ. මිනිහා ජීවිතේ නැති කර ගත්තේ විහින්” කියා ය. සෝමරත්න මරන්නට තමාට කිසිදු චේතනාවක් හෝ පෙර සූදානමක් නො තිබුණු බව පුන පුනා කියූ විල්සන් තමා බන්ධනාගාරය තුළ දී කිසියම් පින්කමක් කළත් සෝමරත්නට ද පින් පමුණුවන බව ප‍්‍රකාශ කළේ ය. එහෙත් එය අශ්වයා පැන ගිය පසු ස්තාලය වැසීමක් නො වේ ද?

දහමේ පිහිට ලැබුණා නම්
මෙවන් විපත්වලට බහුල ව ම මුහුණ දෙන්නේ නැති බැරි අය පමණක් ද? නැති බැරිකම සහ වරප‍්‍රසාද අහිමි වීම අධ්‍යාපනයක් ලැබීමට බාධාවක් ද? අඩු අධ්‍යාපනික මට්ටම් නිසා ආදායම් අඩු වෙනවා ද? අඩු ආදායම් සමඟ සමාජ විරෝධී කි‍්‍රයාවලට නැඹුරු වීම, අධාර්මික රැකියා තෝරා ගැනීම සහ මත්පැන් දුම්වැටියට ඇබ්බැහි වීම මිනිසා අනතුරට ඇඳ දමනවා ද? අපට සියල්ල ලැබෙන්නේ අප ගෙන ආ තරමට බව වටහා ගන්නට තරම් දහමේ සැනසිල්ල අප ලබා ගත හොත් මෙබදු වියවුල්වලින් මිදීමට මඟ සැලසෙන බව නො රහසකි. විල්සන්ටත්, සෝමරත්නටත් භාග්‍යවතුන් වහන්සේගේ සදහම් පහස මඳකට හෝ දැනුණා නම් මේ සියල්ල වෙනස් මඟකට හැරී යනු ඇතැයි මම ගැඹුරෙන් විශ්වාස කරමි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල