පාරම්පරික කලාකරුවා

මේ වන විට අවුරුදු 58ක් වයසැති ඔහු කන්ද උඩරට රාජ සමයේ සිට නම්බු නාම ලැබූ පාරම්පරික උඩරට නර්තන ශිල්පී පරපුරකින් පැවත එන්නෙකි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ රාජ සභාවේ දක්ෂ ලෙස නර්තන ශිල්ප දැක්වීමෙන් තම පරපුරේ මුතුන් මිත්තන්ට ලැබුණු ‘නර්තනරාජ’ (අන්වර්ථ නාමයකි) ඔහුගේ වාසගම විය. උඩරට නැටුම් පිළිබඳ ව දන්නා සෑම කෙනෙකු ම නර්තනරාජ ශිල්පියා දන්නේ ඔහු එතරම් ම නර්තනයේ ප‍්‍රවීණයෙකු, මහ ඇදුරෙකු වන නිසා ය. එපමණක් නො ව දෑසට කඳුළු එක්කොට ඔහු සඳහන් කළේ ‘‘මං රජයේ නැටුම් ගුරුවරයෙකු හැටියටත් පසු ව ගරු උපදේශකයෙකු හැටියටත් අවුරුදු 24ක් සේවය කළා. මගේ ගෝලයෝ රට පුරා ම ඉන්නවා.” යනුවෙනි. ඔහුගේ පුතුන් තුන්දෙනාත් ඔවුන් විවාහ කරගෙන සිටින ලේලිවරුන් තිදෙනාත් දක්ෂ නර්තන ශිල්පීන් මෙන් ම රජයේ නැටුම් ගුරුවරු ලෙස දැනටමත් ඉතා ගෞරවනීය සේවයක් ඉටු කරති.

කලාවෙන් මුදල්
‘‘මං මුල සිට ම කලාවට ළැදියි. මගේ ඇඟේ තිබෙන්නේ නැටුම් ම යි. ඒ නිසා මා දන්නා දෙය උගන්වලා නව නැටුම් පරම්පරාවක් හදන්නත් උඩරට නර්තන ශිල්පය දේශ දේශාන්තරවල ජනපි‍්‍රය කරවන්නත් මට මහා ආශාවක් මුල හිටන් ම තිබුණා. ඒ නිසා ඉස්සර වෙලා මං කලායතනයක් ආරම්භ කළා. ඒක ආණ්ඩුවේ ලියාපදිංචි කළ හොඳ කලායතනයක් වගේ ම එයින් මං අවුරුදු ගණනක් තිස්සේ හොඳ ගෝල පරපුරකුත් හැදුවා. ඒ අය දැන් හොඳ හොඳ තැන්වල ඉන්නවා.” යනුවෙන් ඔහු තම අතීතය කියාගෙන ගියේ ය. උඩරට නැටුමට දක්ෂ තම කලායතනයේ තම ගෝල පිරිස් අරගෙන රට රටවල ඇවිද සංදර්ශන පවත්වා මුදල් උපයන්න ඔහුට මඟ පෑදුණි. ‘‘මගෙ කණ්ඩායමේ නැටුම් ලස්සන නිසා මට ඉල්ලූම වැඩි වුණා. මේ වෙන කොට මං රටවල් 48ක සංචාරය කරල නැටුම් සංදර්ශන පෙන්නලා තියෙනවා.” තමා ප‍්‍රංශය, ජර්මනිය, එංගලන්තය ආදි රටවල කීප වතාවක් ගිය බව පවසන්නේ සතුටිනි. ‘‘මගේ කණ්ඩායම දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන්වලටත් අරගෙන ගියා. විශේෂයෙන් රටවල තිබෙන ඩාන්සිං ෆෙස්ටිවල්වලට මගේ කණ්ඩායම් ගෙන යාමට මට ආරධනා ලැබුණා. මට හොඳට ගෙව්වා. ඒ ගමනක් අවසන් කරල ගෙදර එන විට මට ලක්ෂ ගණනක ලාභයක් තිබුණා. මට ඇති තරම් සල්ලි තිබුණා.” ඔහු ආඩම්බරෙන් පැවසී ය.

ඕස්ටේ‍්‍රලියාවේ රැකියාව
මේ අතරතුර ඔහුට මහඟු අවස්ථාවක් ලැබුණි. තම රැකියාවෙන් වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කරගෙන ඕස්ටේ‍්‍රලියාවට රැකියාවකට යාමට ලැබුණි. ඒ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර Victoria art centre හි නැටුම් ගුරුවරයෙකු හැටියට අවුරුදු හතරහමාරක් සේවය කොට ආපසු ශී‍්‍ර ලංකාවට එන විට අත මිට ද සරු වී තිබුණි. තම දරුවන්ට ඉගැන්වීමටත් දේපළ එකතු කිරීමටත් ගේදොර හොඳට හදා ගැනීමටත් ඒ මුදල් යොදා ගෙන ඇත.

ආගන්තුක හමුවීම
ආපසු තම රටට ආ නර්තනරාජ ගුරුතුමා තම රැකියාව කරන අතරතුර ම කලායතනයේ කටයුතු ඉතා සාර්ථක ව කරගෙන ගියේ ය. ඒ අතරතුර ලැබෙන ආරාධනයකින් පිටරට සංචාරයක් කොට නැටුම් සංදර්ශන වැඩ සටහන් ද කරගෙන ගියේ ය. වරෙක ඔහු 14 දෙනෙකුගේ ශිෂ්‍ය කණ්ඩායමක් ද සමඟ නැටුම් සංදර්ශනයක් පැවැත්වීමට මැලේසියාවට ගියේ ය. උඩරට නැටුමෙන් සති හයක් පමණ රට පුරා රසිකයන් පිනවූ මෙම කණ්ඩායම ශී‍්‍ර ලංකාවට ඒමට පෙර දින තුනක් ම ක්වාලාලම්පුර්හි සංදර්ශන කීපයක් පැවැත්වී ය. නර්තනරාජ ගුරුතුමාට ඒ සංදර්ශනයක් අවස්ථාවේ දී ශී‍්‍ර ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් මුණ ගැසිණි. එම භික්ෂුව ජපානයේ සිට මෙරටට පැමිණෙන අතරතුර මැලේසියාවේ දින කීපයක් නතර වී සිට ඇත. බොහෝ ආඪ්‍ය පෙනුමකින් යුතු වූ මේ භික්ෂුන් වහන්සේ කෙරෙහි පැහැදුණු ගුරුතුමා මහත් සේ වන්දනා කොට ගෞරව දැක්වී ය.

හාමුදුරුවන්ගේ යෝජනාව
‘‘මං නිතර ජපානයේ යන කෙනෙක්. ජපානයේ ගියා ම මං මාස ගණනක් එහේ ඉන්නවා. මා දන්නා හඳුනන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ අය යමක්කමක් කරන්න පුළුවන් අය. මේ ගුරුතුමාගේ කණ්ඩායමේ නැටුම් දැක්කම මට හිතුණා මේ කණ්ඩායම ජපානයට ගෙනියලා සංදර්ශන පෙළක් පවත්වන්න. ලබන සතියේ ලංකාවට ගියා ම ඉක්මනට මගේ පන්සලට ඇවිත් මාව මුණ ගැහෙන්න.” එම ප‍්‍රකාශය නර්තනරාජට දැනුණේ මහා උල්පතක් පෑදුනා සේ ය.

ජපන් සංචාරයට පෙළ ගැසීම
මෙරටට පැමිණ දින කිහිපයකින් ම නර්තනරාජ හාමුදුරුවන්ට දුරකතන ඇමතුමක් දී වෙලාවක් වෙන්කර ගෙන උන්වහන්සේ වැඩ සිටි පන්සලට පැමිණ හමුවිය. හාමුදුරුවන්ගෙන් නර්තනරාජට කෑම බීම ආදි සැලකිලි නො අඩු ව ලැබුණි. වැඩපිළිවෙලක් ද සාකච්ඡා කොට තීරණවලට එළඹුණි. මාස තුනේ චාරිකාවට ගිවිසුම් ගත මුදල රුපියල් ලක්ෂ පනහකි. ගමනට පෙර ලක්ෂ විසිපහක් ලැබෙන අතර තෑගි – බෝග, ගුවන් ගමන් වියදම්, ඉඳුම් – හිටුම්, කෑම – බීම සියල්ල හැර නිවෙස් බලා එන විට ඉතිරි ලක්ෂ විසි පහ ලැබෙනු ඇත. අලූත් නැටුම් ඇඳුම් සකස් කිරීම අවශ්‍ය බව ද සඳහන් කළ නිසා එවලේ ම රුපියල් ලක්ෂ පහක මුදලක් හාමුරුදුවන්ගෙන් ලැබුණි. කථා කර ගත් පරිදි තවත් සතියකින් අනෙක් රුපියල් ලක්ෂ විස්ස ද නර්තනරාජට ලැබුණි. ජපානයේ සංදර්ශනයට ගැළපෙන නව නැටුම් අංග ද නිර්මාණය කොට පුහුණු කළ ඔහු තම කණ්ඩායමට අලූත් ඇඳුම් කට්ටල ද සකස් කළේ ය. තවත් මාසයකින් පමණ ගමන යෙදෙතැයි විශ්වාසයෙන් සියලූ කටයුතු සිදුවෙද්දී හාමුදුරුවන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප කට්ටලයක් සකස් කිරීම අවශ්‍ය බැවින් වහාම තම කණ්ඩායම සමඟ යොදාගත් දිනයේ දී පන්සලට පැමිණෙන ලෙසයි. අලූත් ඇඳුම් – පැළඳුම් ආයිත්තම් ආදිය ද රැගෙන තම කණ්ඩායම සමඟ නර්තනරාජ හාමුදුරුවන් වැඩ සිටි පන්සලට පැමිණියේ වර්ණවත් රඟ දැක්වීමක් රූප ගත කර ගනු පිණිස ය. එය එලෙස ම සිදු විය. දිනක් වෙහෙස වී දේශීය සිරිත් – විරිත් අනුව රංගන මණ්ඩපයක් ද සකස් කෙරුණේ කොහොඹා කන්කාරියේ රඟමඬලක ආකෘතියෙනි. විශාල පිරිසක් පන්සලේ එහා මෙහා ඇවිදිමින් සිටිය ද එය ගුරුතුමාට අමුත්තක් නො වී ය.

සැකය මතු වීම
රූපගත කිරීම ආරම්භ කෙරුණි. කැමරා ශිල්පීන්, කැමරා, ආලෝක ධාරා කලබලකාරී ව කි‍්‍රයාත්මක වෙද්දී නැරඹීමට විශාල පිරිසක් ද රැස්වී සිටියහ. නර්තනරාජ ගුරුතුමා සහ තම කණ්ඩායමේ පිරිස දර්ශනය ලෙස නැටුම් රඟ දක්වද්දී තරුණ පිරිසක් රංග මණ්ඩපය තුළ විවිධ ආවතේව කටයුතුවල යෙදෙන්නට වූහ. තව ද නර්තන ශිල්පීන්ගේ ඇඳුම් ආයිත්තම් ඒ සමහර දෙනෙකුට පැලඳවීමට ද හාමුදුරුවන්ගෙන් අණ ලැබිණි. තම කණ්ඩායමේ 14 දෙනාත් තමාත් හැරුණු විට මේ ගමනට තවත් 50 දෙනෙකු ද මේ නැටුම් කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සහ විවිධ ආවතේව කටයුතුවලට යැයි සම්බන්ධ කිරීමටත් ඒ සියලූ දෙනා එකට හසුවන සේ රූප ගත කරන්නටත් සැරසෙන බව නර්තනරාජ ගුරුතුමාට වැටහෙන්නට පටන් ගති. මේ ගැන වැඩි සතුටක් නො දැක් වූ නර්තනරාජ නෝක්කාඩු සිතින් හාමුදුරුවන්ගෙන් විමසන්නට පටන්ගෙන ඇත. ‘‘මොකක් ද හාමුදුරුවනේ මේ කෝලම. අපේ සාම්ප‍්‍රදායානූකූල නැටුම් ආයිත්තම් කලඑළි මංගල්‍යයකට පය නො තියපු මේ කොල්ලන්ට අන්දන්න බැහැ.” යනුවෙන් ඔහු පවසා ඇත. ඉතා සංයමයෙන් නර්තනරාජ ගුරුතුමා සැනසූ හාමුදුරුවෝ ඇත්ත ම එළිදරුව් කළහ. ‘‘ගුරුතුමාගේ කණ්ඩායම නැටුම් එළි දක්වන්න ජපානයට යනවා. ඒ අය නැටුම් කරාවි. මගේ තවත් පනහක විතර කට්ටියක් ඒ එක්කලා ම යනවා. ඒ අය යන්නේ වෙනත් වෙනත් වැඩවලටයි. මේ කරන්නේ ඒ අයත් නැටුම් කණ්ඩායමේ අය ලෙස පෙන්නලා වීසා ගන්නයි. නැත්නම් ජපන් වීසා ගන්න හරි ම අමාරුයි. ඒ කට්ටියගේ ප‍්‍රශ්නයක් ගුරුන්නාසෙට වැඩක් නැහැ. ඔය විදියට වැඩේ කරගෙන යන්න.” හාමුදුරුවන් ඕන දෙයක් කර ගත්තදෙන් තමාට එයින් ප‍්‍රශ්නයක් නැතැයි සිතා ගත් නර්තනරාජ තම කණ්ඩායමේ නැටුම් කරන අතරතුර අනෙක් අය ද ඒ කටයුතුවලට සම්බන්ධ කර ගත්තේ ය. දැන් සියලූ දෙනා ම එක ම කණ්ඩායමක පිරිසක් මෙන් රූගත වී අවසාන ය. එක් එක් කෙනා අත පින්තූර ද ඇත.

උගුලේ පැටලූණා
රූපගතවීම් අවසානයේ නර්තනරාජ කණ්ඩායමත්, අනෙක් පිරිසත් ගම්බිම් බලා ගියහ. හාමුදුරුවන්ගෙන් කිසි තොරතුරක් නැත. දින, සති, මාස ගත විය. හාමුදුරුවන්ගෙන් ඇමතුමක් ලැබෙන තුරු නර්තනරාජ බලා සිටින්නේ තමාට විදේශ නිවාඩු අනුමත කරවා ගැනීම් ආදි කටයුතු ද තිබෙන නිසා ය. ජපානයේ යාමට දැඩි ආශාවකින් සිටි ගෝලයින්ගෙන් දැන් දැන් නර්තනරාජට බේරීමක් නැති විමසුම් ය. මේ අතරතුර ජපානයට යාමට අපේක්ෂාවෙන් රූපගතවීම්වලට සම්බන්ධ වූ තරුණ පිරිස ද හාමුදුරුවන් මුණ ගැසීමට ගත් උත්සහයන් ව්‍යර්ථ වී ඇත. නර්තනරාජට නම් අලාභයක් සිදු වී නැත. ඔහුට රුපියක් ලක්ෂ විසිපහක් මේ වන විට ලැබී ඇත. එහෙත් ජපානයේ රැකියාවන් ලබා දෙන පොරොන්දුව මත අනෙක් තරුණයන්ගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හත බැගින් හාමුදුරුවන් අය කරගෙන ඇති බවත් දැන් හාමුදුරුවන් ඉන්නා තැන සොයා ගැනීමට නැති බවත් පවසමින් ගුරුන්නාසේ වත් තොරතුරක් දන්නේ දැයි විමසා ඒ පිරිසේ එක් එක්කෙනා නර්තනරාජ හමුවන්නට ද පැමිණෙන්නට පටන් ගැනුණි. නර්තනරාජට මෙය මහත් හිසරදයක් විය.

හාමුදුරුවන් ගැන කිසිදු තොරතුරක් නැත. රැවටීමට ලක්වූ තරුණයෝ නීතියේ පිළිසරණ පැතූහ. හාමුදුරුවන්ට එරෙහි ව දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල පොලිස් ස්ථානයන්හි පැමිණිලි වැටුණි. එම පැමිණිලිවල දී ඉදිරිපත් කෙරුණු ඡායාරූප ආදිය නිසා නර්තනරාජ ද ඉබේ ම සහය චූදිතයෙකු බවට පත් විය. නර්තනරාජ වරදක් නො කළ ද ඔහු අහිංසක පාර්ශ්වයක් ලෙස සලකන්නට ඇති ඉඩකඩ අඩු ය. හාමුදුරුවන් අදටත් ආ ගිය අතක් නැති ය. ඔහු පැවිදි ව හෝ ගිහි ව හෝ ලංකාවේ කොතනක හෝ සිටී දැයි තවමත් තම දරුවන් සොයන බව නර්තනරාජ පවසයි. හාමුදුරුවන් මෙරට නැතැයි ඔහු තරයේ විශ්වාස කරයි.

නො දැනීම නීතියේ රැහැනට
නර්තනරාජට විරුද්ධ ව නඩු 48ක් වැටුණි. ඒ දිවයිනේ නන් දෙස පිහිටි උසාවිවල ය. අද එක නඩුවක් වරකාපොල ඇසෙන විට තවත් නඩුවක් හෙට අම්පාර උසාවියේ ඇසෙයි. අනිද්දා තවත් නඩුවක් අලූත්කඩේ ය. පසු ව දා තවත් නඩුවක් කුලියාපිටියේ ය. කුරුණෑගල, ගංගොඩවිල, දඹුල්ල ආදි බොහෝ තැන්වල නඩු විභාග වේ. ඔහු අන්දුන් කුන්දුන් වී ඇත. ඇතැම් නඩුවලින් වරෙන්තු වී තිබෙන්නේ ඔහුට නඩුවලට පෙනී සිටින්නට තබා හැරෙන්න වත් ඉඩක් නො මැති කම නිසා ය. තමන්ට විරුද්ධ ව පැවරුණ නඩු සමහරක දී තමන් නිර්දෝෂී බව ඔප්පු කර ගත හැකි වී නිදොස් ව නිදහස් වූ බව නර්තනරාජ කියයි. කෙසේ හෝ නඩු හතළිස් අටෙන් විස්සකට ඔහුට දඬුවම් එල්ල විය. වැරදිකරු වූ නඩුවල සිර දඬුවම අවුරුදු 35 මාස 4ක් වේ. 2001 වර්ෂයේ සිට මේ දක්වා ඉන් අවුරුදු 12ක සිර දඬුවම් අවසන් කොට ඇත. මෙතෙක් ඔහුගේ යහපත් කල්කි‍්‍රයාව සහ ලැබුණු විවිධ සමාවන් හේතුවෙන් තවත් අවුරුදු 11ක් පමණ ඉදිරියට සිර දඬුවම පවතී.

බන්ධනාගාර ජීවිතය
ඔහු බන්ධනාගාරය තුළ ද හැම කෙනෙකුගේ ම පාහේ ආදරයට ලක් ව ඇති පුද්ගලයෙකු බවත් ඒ ඔහු බන්ධනාගාරයේ නැටුම් ගුරුවරයා මෙන් ම, බන්ධනාගාරයේ උඩරට නැටුම් කණ්ඩායමේ ප‍්‍රධානියා වීම ද නිසා ය. සෑම උත්සවයක දී ම නර්තනරාජ තම කණ්ඩායම සමඟ පෙළ ගැසී අවුරුදු 30ක් වයසැති තරුණයෙකු මෙන් පිනුම් සමඟ නැටුම් පෙන්වන බව පවසයි.

විශේෂය නම් ඔහු 2010 වසරේත් 2011 වසරේත් දිවයින පුරා ඇති බන්ධනාගාර පද්ධතියේ රැඳවියන් අතර ‘හොඳ ම සිරකරු’ ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමයි. ”මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේ යි. එහි දී අනෙක් පිරිස සමඟ නර්තන අංග රැසක් ඉදිරිපත් කළා. හොඳ ම සිරකරු ලෙස මගේ නම ප‍්‍රචාරය වුණා ම ගරු ජනාධිපතිතුමාගෙන් පදක්කම පලඳවා ගන්න මා ගියා ම ‘මේක සිරකරු පදක්කමක්. ඔය උතුම් ඇඳුමේ මේ පදක්කම පලඳවන්න මට බෑ. මේක අතට ගන්න. ඔය ඇඳුම ඉවත් කළා ම ආයතනයේ ප‍්‍රධානියෙකු ලවා පලඳවා ගන්නැ’යි කියා එතුමා පදක්කම අතට දුන්නා. හොඳ ම සිරකරු වීම නිසා මට දඹදිව වන්දනාවේ යන්න ලැබෙනවා. ඒ දඹදිව ගමන අවසන් කොට ආපහු ආවා ම මට සමාව ලැබී නිදහස් වෙන්න පුළුවන් වේ යයි මං තදබල විශ්වාසයකින් ඉන්නේ.” මහත් බලාපොරොත්තු ඇති ව නර්තනරාජ කියයි.

වැරදුණ තැන
තමාට වැරදුණේ කොතන දැයි නර්තනරාජ නිතර විමසයි. මුදල් ගොඩක් ලැබෙන විට දෑස් අන්ධ වී තව තවත් මුදලට ආශාවෙන් ගිජු ව ඒ පසු පස දිවීම මේ රැවටිල්ලට හේතු වූ බව ඔහු තරයේ විශ්වාස කරයි. පැවිද්දකු මෙබඳු විනාශයක් කොට තමාත්, තම කීර්තියත් විනාශ කොට දමනු ඇතැයි තමා කිසි විටෙකත් විශ්වාස නො කළ බව නර්තනරාජ තැවෙමින් කියයි.

සියල්ල සිදුවන්නේ මනුෂ්‍යයාට බවත් මේ සියල්ල තමා පෙර කරන ලද පවක කර්ම විපාකයක් බවත් පවසන ඔහු ලාභ – අලාභ, යස – අයස සියල්ල සම සේ විඳින්නට පන්නරය බන්ධනාගාරය තුළ දී තමාට ලැබුණු බව පවසයි. බන්ධනාගාරය තුළ රැඳවියන් උදයේ ම පන්සිල් සමාදන් කරවීම, උදේ සවස බුද්ධ වන්දනා කිරීම් ආදියෙහි යෙදවීමට මූලිකත්වයක් දෙමින් සිටි. තම මුත්තා සහ පියා තමාට නර්ත ශිල්පය ඉගැන්නුවා සේ ම තම දරුවන්ට ද එය ප‍්‍රගුණ කළ බව ආඩම්බරයෙන් පවසන නර්තනරාජ තම බලවත් ආශාව එම කාර්යය තමා අතින් ම තම මුණුබුරන් ව ද පුහුණු කිරීම ය.

අපට පාඩම
නර්තනරාජගේ දුක් මුසු පුවත අපට කියාදෙන පාඩම නම් අප අවට විෂඝෝර සර්පයන් මෙන් විවිධ පුද්ගලයන් සැරිසරන බවත්, ඔවුන් කවර වේශයකින් ආවත් ප‍්‍රවේසම්වීමට තරම් ඉවක් හා අවබෝධයක් අප සතු ව තිබිය යුතු බවත් ය. වෙනත් දෙයකට මෙන් ම මුදලට ද ගිජු ව දැඩි ආශාවෙන් හඹා ගියහොත් අප උගුලේ වැටෙන්නට ඇති ඉඩකඩ බොහෝ ය. ‘අපරාධයක තීන්දුව’ පුරා ම දිවෙන ආදර්ශය වන්නේ කෙනෙකු උගුලක පැටලෙන්නේ අවට සිටින පුද්ගලයින් ඔහුගේ දුර්වලතා හඳුනාගෙන ඉන් ප‍්‍රයෝජන ගැනීමෙන් බව ය. අප බිලි ගන්නට එන විෂම බලවේග නිරන්තරයෙන් අප වටා සැරිසරන බැවින් ඒ අවදානම්වලින් බේරී සිටීමට අප කොතරම් නම් විචක්ෂණශිලී විය යුතු ද යන්න නර්තනරාජ අපට උගන්වන පාඩමයි. දැඩි ඇලීමත්, ආශාවන් පසු පස ගිජු ව හඹා යාමත් මෙන් ම දැඩි ගැටීමත් පුද්ගලයින්ට වන විපතේ ආදීන ව සහිත ව පහදා දෙන දහමේ ආශීර්වාදය තරම් අන් කවරක් අපට පිළිසරණ වේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල