කාරුණික බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය ඇති ව මෙවර මා කතාබහෙහි යෙදෙන්නට ඉඩ සලසා ගත් පාලිත පොලොන්නරුව ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක විසූ ගම් වැසියෙකි. මරණීය දණ්ඩනයට ගොදුරු වී සිර මැදිරයක් තුළ කාලය ගත කළත් තම දෛවය තුළ එවැන්නක් උදා වෙතැයි ඔහු කිසි දින කිසි සේත් සිතා නැත. එක වර මා සමඟ කථාවට නො වැටී බිමට රුවා ගත් හිසින් යුතු ව සිටි පාලිතගේ හඬ අවදි කරන්නට සිතූ මම ‘‘මොකක් ද කර ගත්ත කරදරය?” කියා ඇසුවෙමි. දින තුන හතරක පමණ කාලයක් නො කැපීමෙන් අඟල් කාලක් තරම් දික්වූ මුහුණ පුරා වටාපතක් මෙන් වැවී ගිය ඝන රුවුල පිරිමදිමින් හිස එස වූ පාලිත ‘‘උන්ගෙ පවුලේ තාත්තයි, පුතයි දෙන්න ම මං මැරුවා” යැයි වේගයෙන් කියාගෙන ගියේ ය. මේ වන විට සිද්ධියෙන් අවුරුදු 13ක් පමණ කාලයක් ගත වී ඇතත් සිහිපත් වන විට තවමත් ඔහුට බුර බුරා නැගෙන්නේ ඉවසුම් නැති කෝපයකි.

පෙර කර්මය ද?
‘‘අපි ගොවිතැන් බතක් කරගෙන ගම්බද ව ජීවත් වුණු අහිංසක මිනිස්සු” පාලිත තම සුල මුල දිග හරින්නට පටන් ගත්තේ ඉතා දුක් මුසු බවක් දනවමිණි. තම දෙමාපියන් ද අනුන්ගේ කුඹුරුවල කුලී ගොවිතැන් කළ ගොවීන් වූ අතර, ගමේ පාසලේ පස් වැනි පන්තියෙන් අධ්‍යාපනය හමාර කළ පාලිත ද තම ජීවනෝපාය ලෙස තෝරා ගත්තේ ගොවිතැන් කිරීම ය. පිටස්තර ඉඩම් හිමියන්ට අයත් කුඹුරු අක්කර පහක් පමණ අඳයට වී වගා කළ පාලිතට ඉන් ලැබුණු ආදායම පවුලේ නඩත්තුවට සෑහුණි. ඔහු ඊට අමතර ව කිරි හරක් ටික දෙනෙකුත් ඇති කළේ ය. යන්තම් අවුරුදු විස්සක් පිරෙත් ම කිට්ටු ව ගම්මානයක විසූ කුමුදිනි ආවාහ කර ගත් ඔහු ඉක්මනින් දරුවන් හතර දෙනෙකුගේ පියෙකු බවට ද පත් විය. වැඩිමහල් සහ බාල දියණියන් දෙදෙනෙකු ද මැද පුතුන් දෙදෙනා ද පෝෂණය කිරීම ඔහුට මහත් භාරදූර කාර්යයක් විය.

දරුවන්ට අහිමි වූ මවු සෙනෙහස
අභාග්‍යයේ පෙර නිමිති පහළ වන්නට පටන් ගත්තේ පාලිත විවාහ වී අවුරුදු10ක් පමණ ගත වෙද්දී තම බිරිය කුමුදිනී මානසික රෝගියෙකු බවට පත්වීමත් සමඟ ය. ගමේ සිට කළ ප‍්‍රතිකාරවලින් කිසිවක් වැඩක් නො වූ බැවින් ඔහු තම බිරිය අංගොඩ මානසික රෝහලේ ප‍්‍රතිකාර සඳහා නතර කළේ ය. මවු සෙනෙහස අහිමි වී ගිය දරුවන් හතර දෙනාට ඔහු මවක් ද විය. තම දරුවන්ට බලවත් සේ ආදරය කළ පාලිත සිය සතුට විනෝදය සහමුලින් ම ඒ වෙනුවෙන් කැප කළේ ය. යාබද ඉඩම්වල පාලිතගේ සහෝදර සහෝදරියන් කීප දෙනෙකු ම ජීවත් වූ නිසා දරුවන් දවල් යාමයේ ගෙදර තනි කොට වුවත් යාමට පාලිතට බියක් නො දැණුනි.

වැඩිමහල් දියණිය අවුරුදු 14ක් වන විට වැඩිවියට පත්වූ අතර මඳ සුවයක් ලැබූ කුමුදිනී ද මානසික රෝහලෙන් ඉවත් කොට එවනු ලැබිණි. වැඩි කලක් ගත වන්නට පෙර නැවත ඇයගේ රෝග තත්ත්වය උත්සන්න විය. කුමුදිනීට පාලිත ව පෙන්නන්ටත් බැරි විය. ඔහු දුටු විට ම කෝපයට පත් වන කුමුදිනී අසභ්‍ය වචනවලින් බැන වැදෙමින් කලහකාරී ව හැසිරෙන්ට වීම මෙවර ඇයගේ රෝගයේ බරපතළ ස්වභාවය විය. එනිසා ම ඇය වහාම නැවතත් අංගොඩ මානසික රෝහලේ නතර කරණු ලැබිණි. එදා වේල සරිකිරීමට අමතර ව දරුවන් හතර දෙනාගේ රැකවරණය සැලසීම ද ඔහුගේ වගකීමක් බවට පත් විය. අවට වෙසෙන ඔහුගේ සහෝදරියන් ද හැකි හැම විට ම දරුවන් ගැන අවධානය යොමු කර ඇත.

අධම කි‍්‍රයාවක්
1999 වසර වන විට 15 හැවිරිදි දැරියක් වූ වැඩිමහල් දියණිය පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ අතර වයසට වඩා වැඩුනු ආකර්ෂණීය පෙනුමකින් ද යුතු ළමයෙකු විය. කුඹුරේ වැපිරීම් වැඩ නිසා පාලිතට බෙහෙවින් කාර්ය බහුල කාලයක් උදා විය. පාසල් ගමන මඟ හරවා පුතුන් දෙදෙනා ද කුඹුරු වැඩවලට සහභාගී කර ගනු ලැබිණි. තම නිවසට කිලෝමීටර් 6ක් පමණ ඈත යාබද ගම්මානයේ එක්තරා තරුණයෙකු තම දියණිය දැක ඇයට ඇලූම් කරමින් සිටි බව පාලිත දැන සිට නැත. යුද හමුදා භටයෙකු ලෙස සේවය කරමින් සිටි පි‍්‍රයන්ත නිවාඩුවට ගෙදර පැමිණි එක් දිනයක පාලිතගේ දියණිය මුණගැසීම සඳහා නිවසට පැමිණ ඇත. වයස අවුරුදු පහළොවක දියණිය සහ නො තේරෙන අවුරුදු හතරේ දියණියන් දෙදෙනා තනි ව සිටින නිවසට රසවත් කෑම චොක්ලට් ආදිය රැගෙන පැමිණි පි‍්‍රයන්ත මේ ලාබාල ගැහැනු දරුවන් සමඟ කථාවට වැටී, රැවටිලි බස්, රසවත් කථා ආදිය කියමින් පැය ගණනක් එහි රැඳී සිට ඇත. ලොකු දුව ලවා කෑම ද උයවාගෙන බුක්ති විඳිමින් නිදහසේ නිවසේ රැදී සිටි පි‍්‍රයන්ත ගැන අවිශ්වාසයක් සිතා නැත්තේ දියණියන්ගේ නො මේරූ කමත්, පි‍්‍රයන්තගේ චාටු බසත් නිසා ය. සවස් වත් ම බාල දියණිය නින්දට වැටුණි. තමා ඇයට ආදරය කරන බවත්, ඉක්මනින් විවාහ කර ගන්නා බවත් කියමින් රවටා පි‍්‍රයන්ත මේ අහිංසක දැරිය දූෂණය කර ඇත.

වී වැපිරීම් ආදි දවසේ වැඩ අවසන් කළ පාලිත හා පුතුන් දෙදෙනා ගෙදරට එන විට ඇඳිරි වැටී තිබුණි. පියාට මුහුණ දීමට නො හැකි ව දියණිය මඟ හරිමින් සිටියත් පාලිතට වැඩි අමුත්තක් තේරී ගොස් නැත. දින දෙකක් ගත වෙද්දී සිදු වූ දෙයෙහි බරපතළකම දියණියට වැටහෙන්නට පටන් ගැනීමෙන් ඇය මහත් බියට පත් වී ඇත. පි‍්‍රයන්ත තමා රවටා මඟ හැර ගොස් ඇති බව පසක් වීමෙන් පසු කිට්ටුව නිවසක පදිංචි ව සිටි පාලිතගේ නැඟණියක් හමුවී සිදු වූ හදිය ඇයට විස්තර කොට ඇත.

විසඳුමකට යොමු නො වුනේ ඇයි?
නැඟණියගෙන් මේ පුවත කන වැකීමෙන් පාලිතට කර කියා ගත හැකි කිසිවක් නො වී ය. දැඩි කෝපයට පත් වූ පාලිත දියණියගේ කම්මුල හරහා පහරවල් කීපයක් ගසා තොරතුරු සියල්ල ද ලබා ගත්තේ ය. ඔහු නැවතුණේ පොලීසියේ ය. පාලිත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා මුණ ගැසී විස්තරය කියා එහි පැමිණිල්ලක් සටහන් කළේ ය. පි‍්‍රයන්ත ගැන හෝඩුවාවක් තිබේ නම් දන්වන්න යැයි පොලීසියෙන් උපදෙස් ලැබී ඇත. ඊළඟට පාලිත කළේ කෙලින් ම පි‍්‍රයන්තගේ නිවසට යාම ය. ඒ වන විට පි‍්‍රයන්ත හමුදා පුහුණුවක් සඳහා දියතලාව හමුදා කඳවුරට ගොස් තිබුණි. කෝපාවිෂ්ට වූ පාලිත මේ සියල්ල පි‍්‍රයන්තගේ දෙමාපියන්ට කියූ විට ඔවුන් කියා ඇත්තේ තමන්ගේ පුතා අතින් වරදක් සිදු වී ඇති නම් ළමයා බන්දලා දෙමු ය කියා ය. ඉන් එහා වෙනත් විසදුමක් නො පෙණුන නිසා පාලිත ද ඊට එකඟ වී වහා ම පුතා ගෙන්වා ගෙන මේ පිළිබඳ ව බේරුමක් කර ගන්නා ලෙසට දැනුම් දී ආපසු ආවේ ය. කිසිදු හෝඩුවාවක් නැති ව මාස තුනකටත් වැඩි කාලයක් ගත විය.

නිවැරදි විසඳුම ද?
පි‍්‍රයන්ත ගෙදර පැමිණි විටක ඒ පිළිබඳ ආරංචියක් ලබා ගැනීම පිණිස පාලිත උපක‍්‍රම කීපයක් යෙදී ය. සිද්ධියෙන් මාස හතරකට පමණ පසු ව දිනයක පි‍්‍රයන්ත නිවාඩුවකට ගමට පැමිණ සිටින බවට ආරංචිය පාලිතට ලැබුණි. වහා ම කි‍්‍රයාත්මක වූ පාලිත පොලීසියේ පැමිණිල්ලක් යොදා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ එහි ගියත් හෝඩුවාව ඉව වැටී පි‍්‍රයන්ත පැන ගොස් තිබුණි. කෙසේ හෝ පොලිස් නිලධාරීන්ගේ නියෝගය පරිදි එදින හැන්දෑවේ හත වන විට සියලූ දෙනා පොලීසියට පැමිණිය යුතු විය. පාලිත තම දියණියත් සොහොයුරියත් සමඟ පැමිණි අතර පි‍්‍රයන්ත තම පියා සහ තවත් දෙදෙනෙකු සමඟ පැමිණ තිබුණි. පොලිස් පරීක්ෂණයේ දී පි‍්‍රයන්ත කියා සිටියේ මේ සියල්ල බොරු බවයි. දියණිය හා වැලපෙමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ සියල්ල විස්තර කරද්දී පි‍්‍රයන්ත කියා සිටියේ ඒ සියල්ල අසත්‍යය බවත්, තමා කිසිදු වරදක් නො කළ බවත් ය. පාලිතගේ කෝපයට කෙළවරක් නැති විය. පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් වරදවා ගත් කනිෂ්ඨ නිලධාරීහු ප‍්‍රකාශ සටහන් කරගෙන සියලූ දෙනා මුදා හැරියහ. මෙය තම පවුලට කරන ලද මහත් නින්දාවක් නිසා ඊට පළිගැනීමට තමාගේ ගිනි අවියකින් පාලිතට වෙඩි තබන බවත් පි‍්‍රයන්ත තර්ජනාත්මක ව කියා ඇත. වහා ම පොලීසියෙන් පිටත් ව ගිය පාලිත දියණියත් සොහොයුරියත් නිවසට ඇරලවා ආපසු කඩමණ්ඩියට ගියේ එන මඟ දී පි‍්‍රයන්ත අල්ලා ගැනීමට ය. පොලිසියේ සිට එමින් බස් රථයෙන් බසිද්දී කරුවලේ ම රැක සිට පි‍්‍රයන්ත අල්ලා ගත් පාලිත ඔහුට පිහියෙන් ඇන මරා දැමී ය. නිමක් නැති කෝපයෙන් වියරු වී පි‍්‍රයන්තගේ පියා ද සොයා ගිය පාලිත ඔහු ද පිහියෙන් ඇන මරා දැමී ය.

අනාථ වූ පවුල
වසර ගණනක නඩු විභාගයකින් අනතුරු ව පාලිත මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මේ වන විට මරණීය දණ්ඩනය නියම ව සිටී. මේ වන විට තම දරුවන් හතර දෙනා ම විවාහ වී ඇති බව කියන පාලිත කරදරයට පත්වූ දියණිය විවාහ වී දැනට දරුවන් තුන් දෙනෙකුගේ මවක බව ද පැවසී ය. තමා දුරදිග නො බලා කටයුතු කිරීම නිසා දරුවන් හතර දෙනාගේ ම අධ්‍යාපනය කඩා කප්පල් වී ගිය අතර ජීවිත ද ආලෝකමත් කර ගැනීමට අවස්ථාවක් නො ලැබුණු බව ඔහුගේ අදහසයි. භාර්යාව තවමත් මානසික රෝගියෙකු වන අතර මේ වන විට ඇය ගෙදර ගෙනැවිත් ප‍්‍රතිකාර කරමින් සිටින බව තමාට දැන ගන්නට ලැබිණැයි ද ඔහු පැවසී ය.

මෙලොව පරලොව දුක් දෙන ආදීනව
පි‍්‍රයන්ත සල්ලාලයා කරන ලද නිහීන කි‍්‍රයාවත්, ඉන් නො නැවතී ඉන් පසු ව එම සිද්ධිය යටපත් කොට ඔහු තම දියණිය අනාථ කර දැමීමට ගත් අධම කි‍්‍රයාවත් මේ සියල්ලට ම මුල් වූ බව පාලිත පුන පුනා කියයි. පි‍්‍රයන්තට ද සහෝදරියන් සිට ඇත. තම සහෝදරියකට කිසියම් තරුණයෙකු මෙවන් විපතක් කළා නම් කෙබඳු පියවරක් ඔහු ගන්නවා ඇද්ද? ශ්‍රේෂ්ඨ බුදු වදනට අනුව තමා ව උපමාවට ගෙන මෙවන් සාහසික වැරදිවලින් අත් මිදෙන්නේ නම් සිදු විය හැකි මහා විනාශයන් මඟ හරවා ගැනීමට පුද්ගලයන්ට හැකි වනු ඇත. ක්ෂණික සතුටක් උදෙසා නො මනා කි‍්‍රයා කරන්නෙකු තමා වෙත ද විපතක් කැඳවා ගන්නා බව අවබෝධ කර ගන්නට පි‍්‍රයන්ත පමා වූවා වැඩි ය. තමා කළ අධම කි‍්‍රයාවට අත් විඳින්නට වූ දඬුවම තමාගේ ජීවිතයෙන් වන්දි ගෙවීමකට සීමා නො වී ය. වරදට වූ දායකත්වය කෙබඳු වුව ද තම පියාගේ මරණය පවා ළඟා කර දීමට එය හේතු විය. එමතු ද? ඔවුනට දුගතියෙන් මෙපිට ලොවක් තිබිය හැකි ද?
වරදක් සිදු කරනු ලැබුවහොත් මෙලොව දීත් පරලොව දීත් විපාක අත්විඳින්නට සිදු වීම වැළැක්විය නො හැකි ය. සමාජ සම්මත නීතියක් ද කි‍්‍රයාත්මක වේ. පි‍්‍රයන්ත කළ වරදට ඔහුට එරෙහි ව නීතියේ පිළිසරණක් ලබා ගැනීමට පාලිත මීට වඩා බුද්ධිමත් ව කි‍්‍රයා කළ යුතු ව තිබුණි. එහෙත් ඇවිලගත් කෝපය නිසාත්, ඉන් හට ගත් ද්වේෂය නිසාත්, පැතිර ගිය වෛරය නිසාත් නීතිය තමා අතට ගෙන ඔහු ඉවක් බවක් නො මැති ව කටයුතු කර ඇත. ඒ නිසා ම කලාතුරකින් පමණක් ලබාගත හැකි මිනිස් ජීවිත දෙකක් මෙලොවින් තුරන් කෙරුණි. එපමණක් නො ව පාලිත තම ජීවිතය ද අද පෝරකය අබියසට ගෙන ගොස් ඇත.
රාගයත්, ද්වේෂයත් ඒ හා බැඳුණු මෝහයත් නිසා අනුවණ පුද්ගලයින්ගේ ජීවිත මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් දුකට පත් කෙරෙන බවට මේ පුවත ප‍්‍රායෝගික නිදසුනක් නො වේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල