තරුණ සිරකරුවෙක්
මහාමේඝයේ අපරාධයක තීන්දුව පිටුව සරසන්නට මෙවර මා කථා කරන්නේ තරුණ වරදකරුවන් විශෝධන සිරකඳවුරක සිටින රැඳවියකු සමඟ ය. ඔහු අවුරුදු 21 වයසේ පසුවන භද්‍ර යෞවනයේ තරුණයෙකි. අද රටේ කෙරෙන වැරදි වැඩ දෙස බලන විට දඬුවම් විඳින්නට තරම් වරදක් ඔහු කර ඇද්දැයි ඔබට යම් ගැටලූවක් පැන නඟින්නට ද හැකි ය. එහෙත් වරද පසු පස දඬුවම ලූහුබැඳ එන බව අප පසක් කර ගත යුතු වේ.

කටුක පරිසරය
තිලාන් දිළිඳු පවුලක උපන්නෙකි. දුප්පත්කම සමඟ ඈඳෙන අනෙකුත් ස්වාභාවික ගැටලූ ඔහු වෙලාගෙන තිබුණි. තිලාන්ගේ පවුලට ගෙයක් දොරක් පිළිවෙළකට තනා ගැනීමට උපන් බිමේ බිම් අඟලක් නො වී ය. ගෙයක් සාදා ගන්නට තරම් වත්කමක් ද නො වී ය. අයිතිකරුවන් නො දන්නා ඉඩම්වල හිතුවක්කාර ලෙස තනා ගත් පැල්පත් නිවාසය ඔවුන්ගේ සෙවණ විය. කොළඹට නුදුරු උප නගරයක ‘කොරියාව’ යැයි නාමයකින් හැඳින්වූ මේ නිවාස පන්තියේ ගෙවල් එකකට එකක් පෑහෙන්නට තිබුණි. පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිවන විට පොඩි කාමරයක් සහිත ගෙය ප‍්‍රමාණවත් නො වෙද්දී වැඩිහිටියන් නිදාගත්තේ මාරුවෙන් මාරුවට ය.

අහිමි වූ මාපිය සෙනෙහස
තිලාන්ට මල්ලිලා තුන් දෙනෙකු ද නංගි කෙනෙකු ද විය. පියා හොඳ මේසන් බාසුන්නැහේ කෙනෙකි. බාල ම මල්ලී ලැබෙන්නට තිබිය දී ම පියා තම මව අතහැර දෙහිවල ප‍්‍රදේශයේ වෙනත් කාන්තාවක සමඟ පවුල් කන්නට පටන් ගෙන ඇත. තාත්තා ඉඳ හිට ගෙවල් පැත්තේ ඇවිද මුදල් ටිකක් දී යයි. අම්මා ද බාප්පා කෙනෙකුගේ පිළිසරණ පැතී ය. මවගේ ඊළඟ තීරණය විදේශ රැකියාවක් සොයා ගැනීම ය. ඒ අනුව දරුවන් පස්දෙනා ම ආච්චිගේ භාරයට පත් කොට තිලාන්ගේ මව මැදපෙරදිග රැකියාවකට ගියා ය. මවගේත් පියාගේත් හවුහරණක් නැති තිලාන් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන මේසන් වැඩවලට අත්උදව් දෙන කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ඇරඹී ය.

වැරදී ගිය පරෙවි විනෝදය
ගෙවල් මණ්ඩියේ ගැටවරයන්ගේ විනෝදය රැඳුණේ පරෙවියන් ඇති කිරීම තුළ ය. ගෙවල් දහයක දොළහක ම පරෙවි කූඩු විය. අවුරුදු 3-4කට පෙර තිලාන් ද තරගයට මෙන් පරෙවියන් ඇති කරන්නට පටන් ගත්තේ ය. හැන්දෑවට එකතු වී පරෙවියන් උඩ යැවීම තරුණයන්ගේ ක‍්‍රීඩාව විය. උඩ පියාසර කළ තමාගේ පරෙවියා හොඳින් කරනම් ගසා නැවත තමා වෙත ගෙන්වා ගැනීම ඔවුන්ට මහත් ආශ්වාදයක් ගෙන දුන් කි‍්‍රයාවක් විය. තම පරෙවියා වෙනත් කෙනෙකුගේ කූඩුවකට යන්නට හැකිවාක් මෙන් ම වෙනත් අයගේ පරෙවියෝ තමාගේ කූඩුවට ද එති. ඒ අවස්ථාවල දී පක්ෂින් ආපසු හුවමාරු කර ගැනීම සමාන්‍ය සිරිත වේ.

මනුෂ්‍යයන්ට ඉන්නට ගෙදර ඉඩකඩ ප‍්‍රමාණවත් නැතත් පරෙවියන්ට ලගින්නට නම් ගෙට යා කොට ලොකු කූඩුවක් තිලාන් සාදා ගෙන තිබුණි. මේසන් අත්වැඩවල දී දවසට උපයන රු.850න් රු.150ක් පමණ මුදලක් දිනපතා පරෙවියන්ට කෑම සඳහා වැය කරන්නට සිදු විය. මේ වන විට තිලාන්ට පරෙවියන් 50ක් පමණ සිටි අතර ඔහුගේ ජීවිතය ම මේ පරෙවියන් විය. දිනක් තමාගේ හැඩකාර පරෙවියෙකු වෙනත් කෙනෙකුගේ කූඩුවකට වැදී ඇත. තමාගේ පරෙවියා දෙන්නැයි ඉල්ලූවත් එම ඉල්ලීම ද ඉටු නො වී ය. පරෙවියන්ට ඇති ආශාවත් ඇවිළුණු කෝපයත් නිසා තිලාන් යාළුවන් දෙදෙනෙකුගේ ද සහය ඇති ව රාත‍්‍රි කාලයේ තාප්පයෙන් පැන එම නිවසට ඇතුළු වී තමාගේ පරෙවියා අතට ගෙන තවත් පරෙවියෙකු ද සොරා ගත්තේ ය. තම නිවසට සොරුන් පැමිණ ඇතැයි ගෙහිමියා ‘119’ දුරකතනයෙන් ඇමතූ විට පොලිස් සංචාරක රථය වහා ම පැමිණියේ ය. ඒ වන විට පරෙවියන් දෙදෙනා ද රැගෙන තිලාන් තාප්පයෙන් පනිමින් සිට ඇත. තිලාන් පරෙවියන් දෙදෙනා ද අතහැර පැන දුවන්නට විය. තිලාන් පොලිස් අත්අඩංගුවට පත් විය. තිලාන් පැමිණියේ පරෙවියන් සොරකම් කරන්නට ද ගෙවල් බිඳින්නට දැයි පොලිස් නිලධාරීන්ට ද සැකයක් ඇති විය. වෙනත් හෝඩුවාවක් නො තිබුණත් මේ තරුණයාට රිමාන්ඞ් බාරයේ මාස හයක් ගත කරන්නට විය. නඩුව අවසානයේ සොරකම් චෝදනාවකට වැරදිකරු වූ තිලාන්ට මාස 6ක සිර දඬුවම නියම විය. මේ වන විට ඔහු තම සිර දඬුවමින් මාස තුනක් අවසන් කොට ඇත. තවත් මාස තුනකින් ඔහු නිදහස් වී සමාජයට එක් වනු ඇත.

සියල්ල අහිමි වී ඇත
අද සිටින්නේ මීට අවුරුද්දකට පමණ පෙර සිටි තිලාන් නො වේ. ඔහු සමාජය කෙරෙහි වෛර කරන බව කථාවෙන් හෙළි විය. තමාගේ සුන්දර තරුණ වියෙන් අවුරුද්දක් රිමාන්ඞ් සිර ගෙදර සහ දඬුවම් විඳිමින් ගත කරන්නට සිදු වී ඇත. අම්මා රට සිට මේ කාලය තුළ මෙරටට ඇවිත් ගොස් ඇතත් කිසි දිනෙක තිලාන් බලන්නට පැමිණ නැත. තාත්තා හෝ කිසිවකු තමා බලන්නට වත් නො පැමිණියේ තමා කාටත් එපා වෙලා නිසා දැයි ඔහු මගෙන් විමසී ය. කලක් ඇසුරු කළ ඔහුගේ පෙම්වතිය දැන් තමා අත හැර ඇති බව පවසන තිලාන් සියල්ල එක්කොට ගත් කළ තමාට සියල්ල එපා වී ඇති බව කනස්සල්ලෙන් යුතු ව පවසයි.

සිර දඩුවමේ කටුක බව
තම ගෙවල් මණ්ඩියේ නරක වැඩ කරන අය නිතර නිතර සිර ගත වී ආපසු නිදහස් වී ඒම තමා හොඳින් දන්නා නමුදු තරුණ වියේ තිලාන් කිසි විටක බන්ධනාගාරයක සිර දඬුවමක් විඳීම මෙතරම් කටුක දෙයක් යැයි සිතා නැත. තරුණ කාලයේ ම මාස කීපයකට වුව ද සිරබත් කෑම නිසා තිලාන්ගේ බය සැක ගියා සේ මට හැඟුණි. ඔහු කීවේ එය තම ජීවිතයට බරපතළ කැළලක් වූ බවයි. තම හොඳ නමට හානියක් බව පැවසූ ඔහු කියන්නේ තමා සිර බත් කෑ කෙනෙකු බව සමාජය දන්නා නිසා වැරදිකාරයෙකු ලෙස හන්වඩු ගසනවා නිසැක බවයි. දැන්නම් සිර ගෙදර ඔහුගේ සගයන් සියලූ දෙනා ම අවුරුදු 18-25ත් අතර තරුණයන් ය. එසේ වුවත් ඔවුන් අතර සොරකම්, ස්තී‍්‍ර දූෂණ, මිනීමැරුම් වැනි බරපතළ අපරාධ සිදු කළ අපරාධකරුවන් ද ඇත. මාස 6ක් තිස්සේ තිලාන් ඇසුරු කරන්නේ ඔවුන් ය. දොඩමලූ වන්නේ ඔවුන් සමඟ ය. ඔහු පවසන අන්දමට දරුණු ම අත්දැකීම රිමාන්ඞ් බාරයේ සිටි මාස හයයි. ඒ කාලය තුළ ඔහුට කුඩුකාරයින් සමඟ මත්ද්‍රව්‍ය ද ගැනීමට සිදු වූ බව පවසයි. එහි දී ගංජා බීමට ද පුරුදු වූ තිලාන්ට රටේ නම ගිය අපරාධකාරයින් කිහිප දෙනෙකු සමඟ ද ඇසුරු කරන්නට ලැබී ඇත. තවත් මාස තුනකින් බන්ධනාගාරයෙන් පිට වී යන තිලාන් අද ලබන වෘත්තීය පුහුණුව, ආගමික වැඩසටහන්, පුනරුත්ථාපන උපක‍්‍රම ආදිය නිසා යහපත් මනුෂ්‍යයකු වේ ද? නැති නම් අවුරුද්දක පාපී ඇසුර නිසා පන්නරය ලත් අසත්පුරුෂයකු වේ ද? මේ නිසා ම බන්ධනාගාරයේ අධිකාරී සේනානායක මහතා සමඟ එක් ව විශේෂ දහම් වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන්නට දැන් අපි සැලසුම් කරමින් සිටිමු. එය තිලාන්ට මෙන් ම මෙහි සිටින 350ක් පමණ වූ රැඳවියන්ගේ යහපත උදෙසා හේතු වනු ඇත.

වරද කාගේද ?
තිලාන්ට කුඩා කල සිට ම යහපත් සමාජ පරිසරයක් තුළ ජීවත් වන්නට ඉඩ ලැබී නැත. ඔහු ජීවත් වූ ගම්ගොඩ බෙහෙවින් කිළිටි වූ පරිසරයකි. ඉඳ හිට තරුණකමට විනෝදයට පෝයට පන්සල් යාමක්, වෙසක් දිනයට පහන් කූඩු සෑදීම, දන්සැල් දීම වැනි දේවල් හැරුණු විට තිලාන් පමණක් නො ව වත්තේ හැම කෙනෙකු ම පාහේ නමට බෞද්ධයන් ය. සියලූ දෙනාගේ ම වෑයම හොඳින් හෝ නරකින් දවස සප්පායම් වීම ය. යහපත් කල්කි‍්‍රයාවක් ගත නො කළ දෙමාපියන් නිසා ගෙදර ද අපායකි. විදේශගත වූ අම්මා නිසා මවු සෙනෙහස ද ඔහුට අහිමි විය. නිවසේ පූර්වාචාරීන් තම වගකීම පැහැර හැර ඇත්තේ කෙතරම් අවාසනාවන්ත ලෙස ද? සැබැවින් නාඹර තරුණයෙකු අත්දුටු මේ අනුවේදනීය සිද්ධි මාලාව සහ හෙට දින ඔහු මුහුණ දෙන ලෝකය පෙර කළ කර්මයක විපාකයක් නිසා ද? සමාජයේ කුරිරු බලපෑමක් ද? ඔබ අපට ද මේ වයස්වල දරුවෝ සිටිති. ඔවුන් මෙබඳු අත්දැකීමකට මුහුණ දුන්නේ නම් අපට වාවාගත හැකි වේ ද?

 

විශේෂ පුණ්‍යානුමෝදනාව
අපරාධයක තීන්දුව ලිපි පෙළ ඉදිරිපත් කිරීමෙන් මා රැුස් කර ගන්නා ධර්ම දානමය කුසල් බෙලෙන්, මා ප‍්‍රයෝජනවත් මනුෂ්‍යයෙකු ලෙස ලොවට දායාද කිරීම තම ජීවිතයේ එක ම එක අභිලාෂය කොට ගත්, පසුගිය 09 වැනි දා තම ජීවිතයේ සියක් ආයු ම`ග සළකුණ පසු කළ මගේ ආදරණීය මෑණියන්ට නිරෝගී සුවය, දීර්ඝායුෂ වැලඳීමටත් ගෞතම බුදු සසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමටත් හේතු වාසනා වේවා!

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල