මේ ලෝකයේ එකමෙක මහානීය ධනයක් තිබෙනවා. ඒ ධනයට උරුමකම් කියන්නෙ පුණ්‍යවන්තයින් ම පමණයි. කවරෙකු හෝ එය තමන් සතු කර ගන්නව නම් ඒ කෙනා දුක්, සුසුම් හෙලීම්, වැළපීම් ඇති කරවන හැම දෙයින් ම නිදහස් වෙලා සදාතනිකව සැප ලබන සොඳුරුතම ක්‍ෂේම භූමියට පිවිසෙනවා. සැබැවින් ම එය මහානර්ඝ ධනයක් ම යි නේ ද?

ඒ මහානීය ධනය තමයි ‘ශ‍්‍රද්ධා ධනය’.

ශ‍්‍රද්ධා! ඒ වචනය පවා ඉතාමත් සුන්දරයි. ශ‍්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය අදහාගැනීම, ‘ශ‍්‍රද්ධාව’ කියා හඳුන්වනවා. නො එසේ නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් අවබෝධය පිළිබඳව යම් අයෙකුගේ සිත තුළ සුපහන් භාවයක් ඇති වනවා නම්, එයට යි ශ‍්‍රද්ධාව කියා කියනු ලබන්නේ.

ලෝකයේ පහල වී වදාළ අනුත්තරීය මනුෂ්‍යරත්නය ගුණ වශයෙන් හඳුනාගෙන, අවබෝධයෙන් අදහා ගැනීමක් සිදුකරන වාසනාවන්ත මිනිසුන් ඒ නිදුකාණන් වහන්සේ පෙන්වා වදාළේ යම් දෙයක් ද එය ඒ ආකාරයෙන් ම පමණක් සිදුවන බව දන්නවා; හැම මොහොතක ම ඇලීම්, බැඳීම්, ගැටීම් තුළින් ප‍්‍රශ්න හදාගෙන, කෙලෙස් ගින්නෙන් දැවි දැවී පීඩා විඳින ජීවිත සුවපත් කරන සුපසන් මඟ ඒ සම්බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළ සොඳුරු නිවන් මඟ පමණයි කියලත් දන්නවා.

ඒත් ලෝකයේ බහුතරයක් මේ බව දන්නෙ නෑ. දන්න අයට වුණත් එතැනින් එහාට කළ යුතු දේ ගැන සැබෑ මාර්ගෝපදේශනයක් ලැබෙන්නෙ නෑ. සැපයි කියලා හිතාගෙන ලෝකය වැළඳගෙන ඉන්න රාග, ද්වේශ, මෝහ අතරෙ ම ඔද්දල් වෙන්න බොහෝ දෙනෙකුට සිදු වෙන්නෙ ඒ නිසයි.

කෙලෙසුන් නිසා ආකූල වී ව්‍යාකූල වී පවතින එවන් වූ සිත් සතන්, සැදැහැයෙන් පුබුදුවා, සුපහන් කිරීම අරමුණු කර ගනිමින් ඇරඹෙන නවත ම රූපවාහිනී නාලිකාව තමයි ‘ශ‍්‍රද්ධා’.

ශ‍්‍රද්ධාව නො තිබීම නිසා ම නො පහන් වූ දිවි මඟ තුළ, නිවන් ඵල ලබා දෙන ‘ශ‍්‍රද්ධා බීජය’ රෝපණය කරවන්නටයි මේ සැදැහැති මාධ්‍ය ව්‍යායාමය. ඒ වෙනුවෙන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර මුඛ බුද්ධ භාෂිතයන් ඒ අයුරින් ම ශ‍්‍රද්ධා හරහා ඔබ වෙත ගෙන එනවා.

ඒ වගේ ම, මිනිසෙකු වශයෙන් ජීවිතය පවත්වාගෙන යද්දි ප‍්‍රායෝගිකව මුහුණ දෙන්නට සිදුවන ගැටළුත්, ඒවා සාර්ථක ව අභිබවන ආකාරයත් ශ‍්‍රද්ධා තුළින් කතිකාවතට ලක් කෙරෙනවා. මේ ආකාරයෙන් ආධ්‍යාත්මික ගුණ ධර්ම ප‍්‍රගුණ කර ගැනීමටත්, සාර්ථක ලෞකික ජීවිතයක් ගොඩ නංවා ගැනීමටත් උවමනා කෙරෙන නිවැරදි ම මඟ පෙන්වීම සිදු කිරීම, ඒ කිව්වේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් ම වදාළ මඟ ලොවට හෙළිදරව් කිරීම තමයි ශ‍්‍රද්ධා හරහා ඉටු කෙරෙන සමාජ වගකීම.

හරසුන් දෙය රසවත් කොට ඔබට වෙළඳාම් කරන ලෝකයක, රසවත් වූ හරවත් දෙය සෙනෙහසින් ඔබට තිළිණ කරන්නටයි මේ ‘ශ‍්‍රද්ධා’ බීජය රෝපණය වන්නේ.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විටත් සම්බුදු දහම පදනම් කර ගනිමින් විකාශනය වන රූපවාහිනී නාලිකා කිහිපයක් ම තිබෙනවා. එසේ තිබියදීත් ඇයි මේ තවත් නාලිකාවක් ආරම්භ කරන්නේ කියා ඇතැම් විට ඔබට ගැටලූවක් මතු වන්නට පුලූවන්.

ඔබ දන්නවා මාධ්‍ය කියා කියන්නේ සමාජය සහමුලින් ම උඩුයටිකුරු කළ හැකි දෙයක් බව. දැන් තිබෙන්නේ මාධ්‍ය කලාවක් නෙමෙයි; මාධ්‍ය ව්‍යාපාරයක්, මාධ්‍ය ජාවාරමක්. නවීන තාක්ෂණික පෙරලීන් සමග ඉදිරියට යන ඒ මාධ්‍ය ව්‍යාපාර බොහොමයකින් සමාජයට සිදු වන්නේ යහපතකට වඩා අයහපතක්. ඒවායින් මිනිසුන් ගේ සිත් සතන් සංසිඳවනවා වෙනුවට මිනිසුන්ගේ ආශාවන් සහ තවත් නොයෙක් අකුසල් අවුස්සා වියවුල් කරවනු ලබනවා. ඒ වගේ ම වත්මන් මිනිසුන් ජීවත් වන්නේ අවිවේකී සහ අසහනයෙන් පිරුණු වටපිටාවක. සිත් සතන් හැම අතින් ම දූෂිත වෙලා. මේ නිසා ම සිදු වන නොයෙකුත් ව්‍යසනයන් පිළිබඳව අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනවා. මේ ඔඩු දුවපු ව්‍යසනයන්ගෙන් සමාජය ගලවාගෙන මිනිසුන් සුවපත් කරවන, සිත් සතන් නිවා සංසිඳවන පණිවුඩයක් සමාජයට ලබා දියහැකි මාධ්‍ය ආයතන එකක් දෙකක් නොව, සිය ගණනක අවශ්‍යතාවයක් වත්මනෙහි පවතිනවා.

බුදු දහම කියා කියන්නේ මුලූමණින් ම මිනිසුන් ගේ සිත්සතන් සංසිඳුවන ධර්මයක්; රාග ද්වේශ මෝහ දුරු කර සිත් සුවපත් කරවන ධර්මයක්. ඒ සංසිඳීමේ දහම යළි යළිත් ඇසෙන්නට සලස්වන එක පමණමයි මේ දැවෙන තැවෙන ලෝකය සුවපත් කිරීම සඳහා කළ යුත්තේ.

රාග ද්වේශ මෝහ අවුස්සන, මිනිසුන්ගේ සිත් නො සන්සිඳුවන මාධ්‍ය ආයතන දිනපතා බුරුතු පිටින් බිහිවන සමාජයක, රාග ද්වේශ මෝහ සංසිඳවා සිත් සුවපත් කරවන මාධ්‍ය ආයතන අතලොස්සක් බිහිවුණත්, අයහපත් දෙය දුරැර යහපත් දේ තෝරා ගන්නා සමාජ ක‍්‍රමයක් නිර්මාණය කරවන්නට ඒවා ප‍්‍රමාණවත් වන්නේ නැහැ. එහෙයින් ම අපේ ප‍්‍රාර්ථනාව වන්නේ මෙවැනි නාලිකා තව තවත් මේ සමාජය තුළ බිහිවේවා යන්න යි. මේ නිස යි ශ‍්‍රද්ධා රූපවාහිනී නාලිකාව ඔබට තිළිණ කරන්නට අප අදහස් කළේ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයෙහි ලා සැලකූ, ඒ වගේ ම උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව සිව්වණක් පිරිසට ශාස්තෘ බවට පත් වූ උතුම් ශී‍්‍ර සද්ධර්මය තමයි ‘ශ‍්‍රද්ධා’ තුළින් ඔබට පිදෙන උත්තුංග දායාදය. ඇත්තෙන් ම මූලික වශයෙන් සිද්ධාර්ථ ගෞතම මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් වදාළ චතුරාර්ය සත්‍ය ප‍්‍රකාශිත මිහිරි ශ‍්‍රී සද්ධර්මය ශ‍්‍රද්ධා රූපවාහිනී නාලිකාව තුළින් ඔබට මුල සිටම සරළව ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

ඔබේ දහම් ගැටළුවලට පිළිතුරු දෙමින්, ධර්ම සාකච්ඡා කරමින් ධර්ම ප‍්‍රචාරණයේ නවමු ප‍්‍රවේශයක් මේ තුළින් තහවුරු කෙරෙනවා. අප බොහෝ දෙනෙකු තතු නො දත් ඉපැරණි බෞද්ධ සාහිත්‍යය ගැනත්, බෞද්ධ ව්‍යාපාරික සංකල්ප ගැනත් ශ‍්‍රද්ධා හරහා කතා කෙරෙනවා.

‘ශ‍්‍රද්ධා’ තුළින් ඔබට ලැබෙන්නේ එපමණක් නොවෙයි. වයස් භේදයකින් තොරව වැදගත්වන අධ්‍යාපනික වැඩසටහන්, ඔබේ ජීවිතය සුවපත් ව පවත්වාගෙන යෑමට අදාළ වෛද්‍ය විද්‍යාත්මක වැඩසටහන්, ඒ වගේ ම අපේ බෞද්ධ සාරධර්ම සහ සමාජීය වටිනාකම් පිළිබඳ ඉගැන්වෙන වැඩසටහන් ආදියත් මේ හරහා ඔබ වෙත ගෙන එනවා.

දවසින් දවස නරකට ඇද දැමෙන සිත් සතන්, නරකට ඇබ්බැහිවීමෙන් වළක්වන අයුර සහ ඇබ්බැහිවීම්වලින් මුදවා ගන්නා අයුරත්, අතීතය, වර්තමානය, අනාගතය කියන දේවල් ගැන පසුතැවෙන සිත්වලට පසු නො තැවී සිටිය හැකි අයුරුත් ශ‍්‍රද්ධා තුළින් කතා කෙරෙනවා. පරිසර හිතකාමී ව, මානව හිතවාදී ව, දැහැමි ව වගා කිරීම මේ කෘෂිකාර්මික දේශය තුළ යළි පණ නැංවීම සඳහා ශ‍්‍රද්ධා තුළින් මුල පුරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අයුරින් ඔබේ ජීවිතය මෙලොවත්, පරලොවත් වශයෙන් මුලූමණින් ම සුවපත් කරවන නොයෙක් වැඩටහන් මේ තුළින් ඔබට නැරඹිය හැකි වෙනවා.

අපි බහුතරයකට තිබෙන්නේ ඉතා සුළු දෙයකිනුත් අවුල්වන, වියවුල්වන ජීවිත. එවන් ජීවිතවල ආකල්පමය වශයෙන් යහපත් ව ඇති කරවන පුංචි වෙනස, ජීවිතයේ ලොකු වෙනසකට මුල පුරනවා. හිතන විදිහ වැරදි නිසා වැරදීම් බහුල වුණ ලෝකයට, වැරදි තැනකදි වුණත් හරි විදිහට හිතන්න පුළුවන් සුපහන් සිතක් සුජනිත කරවන්නයි ශ‍්‍රද්ධා රූපවාහිනි නාලිකාව ඔබ වෙත එන්නේ.

භාග්‍යවතුන් වහන්සේගේ පරම ශේ‍්‍රෂ්ඨ අවබෝධය ගැන හදවතේ දරා ගත් ශ‍්‍රද්ධාවෙන් යුතුව ම ඔබ වෙත පිදෙන ‘ශ‍්‍රද්ධා’ මාධ්‍ය සත්කාරය ඇරඹෙන්නේ කිසිදු වානිජ අරමුණකින් තොරවයි. ශ‍්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයක් හරහා යහපත් සංකල්පනාවන් සමාජගත කිරීම සමාජ පෙරලියක් ම පමණක් නෙමෙයි, එය අතිශයින් භාරදූර කර්තව්‍යයක්. මේ සඳහා අවශ්‍ය සියලූ පිරිවැය සපිරෙන්නේ මෙවැන්නක අවශ්‍යතාවය බොහෝ කොට දැකපු සහ මේ සත්කාර්යය ඉමහත් සතුටින් අනුමෝදන් වුණ සැදැහැතියන් ලබා දෙන ආධාරයන්ගෙන්.

මේ මාධ්‍යමය සද්පාවාඩය ඔබේ පිය නැගීම උදෙසා ඔබට තිළිණ වන්නේ බිනර මස 29 වන පුන් පොහෝ දිනයේ සිටයි. තුන්ලෝකාග‍්‍ර භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල සදහම් පණිවිඩයෙන් ඔබේ සිත් සතන් සුවපත් කරවීමේ උත්තරීතර අරමුණෙන් ඔබට පිදෙන ‘ශ‍්‍රද්ධා රූපවාහිනී නාලිකාව’ සෑම සතියේ දිනකම උදෑසන 05.00 සිට උදෑසන 06.30 දක්වා සහ සවස 01.00 සිට සවස 06.45 දක්වා ටී.එන්.එල් (TNL) රූපවාහිනිය ඔස්සේත් සෑම දිනකම පෙ.ව. 05.00 සිට රාතී‍්‍ර 11.00 දක්වා ශ‍්‍රී ලංකා ටෙලිකොම් PEO TV චැනල් අංක 99 ඔස්සේත් ඔබට සමීප කෙරෙනවා.

ගිනිගෙන දැවෙන මේ ලෝකයේ නිවී සැනසීම ම යි වටින්නේ. රාග, ද්වේශ, මෝහ නිසා ආතුර වූ ලෝකයේ අනාතුර ව සිටීම ම යි වටින්නේ. එයට මඟ කියන ‘ශ‍්‍රද්ධා ධනය’ ඔබ සතු කර ගන්න අවශ්‍ය පසුබිම සකසන්නයි ‘ශ‍්‍රද්ධා රූපවාහිනී නාලිකාව’ විද්‍යුත් මාධ්‍ය කලාවට නවමු සහ සොඳුරු අරුතක් එක් කරවමින් ජාතියට තිළිණ වන්නේ.

සුවහසක් සිත් සතන් සුපහන් කරවමින්, ‘සුපහන් සිත’ ගෞතම බුදු සසුන තුළ නො නැසෙනා අයුරෙන් මැනැවින් රෝපණය කරවීම උදෙසා පිනැතියන් වෙත සැදැහැයෙන් පිදෙන මේ මාධ්‍ය සත්කාර්යය සමඟ සියල්ලෝ රොද බැඳ ගනිත්වා!