දේවාතිදේව වූ ද බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම වූ ද සියලූ දෙව් මිනිසුන්ගේ ආමිෂ පූජාවන් හා ප‍්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට ඒකාන්තයෙන් ම සුදුසු වූ ද ආහුණෙය්ය වූ ද අග‍්‍රදක්ඛිණෙය්ය වූ ද භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

තවත් කෙනෙක් නැතේ ලොවේ

ඒ භාග්‍යවතුන් වහන්සේ අසම ගුණ ඇති හෙයින් නිසභ ය; පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙය්ය ය; ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හෙයින් බ‍්‍රහ්මපත්ත ය; ලොවෙහි මුදුනට පත් වූ හෙයින් අග්ගපත්ත ය; සත්‍යයට පත් වූ හෙයින් තථාගත ය; එවැනි වෙන කෙනෙකු නැති හෙයින් අප්පටිපුග්ගල ය; සමාන කෙනෙක් නැති හෙයින් අසම ය. ලොවට අග‍්‍ර වූයේ, ලොවට ජ්‍යෙෂ්ඨ වූයේ, ලොවට ශ්‍රේෂ්ඨ වූයේ ඒ භාග්‍යවතාණෝ ය. ඒ ආශ්චර්යවත් අනුත්තරීය මනුෂ්‍ය රත්නය ලොවෙහි කාට නම් සම කොට දක්වන්න ද?

‘‘යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන”

‘‘මෙහි හෝ පරලොව හෝ ඇති යම් වස්තුවකට
දෙව්ලොව හෝ තිබෙනා යම් උතුම් ම මැණිකට
නො හැකි ය ගන්නට කිසි විට බුදු රජ සම කොට”

ඒ අසමසම, මහා වීර, නරෝත්තම මුනිවරයාණන් වහන්සේට යළිදු මාගේ නමස්කාරය වේවා!

ලබා උතුම් විවරණ සිරි

මවුන් කරතබා ගෙන සත් දිනක් මුළුල්ලේ සයුරු තෙර පීනා ගොස් මතු බුදු වන්න යැයි මවගෙන් විවරණ ද දෙව් බඹුන්ගෙන් ඇරයුම් ද ලද ඒ බෝසත් පුතු ඉන් අසංඛ්‍යෙය කල්ප ලක්ෂ දහසයකට පසු මහා විවරණ ලැබුවේ ය. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේට කළල් ගොහොරුව නො පාගා වඩිනු පිණිස ඒදණ්ඩක් අයුරට මඩෙහි වැතිර ගත් සුමේධ තවුසාණන් දුටු උන්වහන්සේ, ඔහුට මතු බුදු වන්නට පින් ඇති නියාය දැක මෙසේ වදාළ සේක.

‘‘මහණෙනි, මට දිවි පුදාහොත් පුරුෂයා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නම් බුදු වෙයි.”

දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එලෙස විවරණ දුන් පසු උද්දාමයට පත් දෙව් බඹ පිරිස් බෝසතාණන් වහන්සේට පුද සත්කාර දැක්වූ අයුරු පූජාවලියේ මනරම් ලෙස විස්තර කෙරේ.

‘‘එතෙපුල් ඇසූ දෙව් මිනිසුන් දුන් සාධුකාර ශබ්දය බඹ ලෝ ගසා පැවැත්ත; එදා බුදුන්ට පූජාවට රැස් වූ දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජ දරුවෝ සතළිස් දහසක් දිවමල් මිටින් පූජා කොට ගියහ. තව ද දසදහසක් ශක‍්‍රයෝ ද දසදහසක් සුයාමයෝ ද දසදහසක් සන්තුෂිතයෝ ද දසදහසක් සුනිර්මිතයෝ ද දසදහසක් පරනිර්මිතයෝ ද දසදහසක් සක්වළ අරූපතල ‐ අසංඥතල සත්වයන් හැර එක්ලක්ෂ පණස්දහසක් බ‍්‍රහ්මලෝකවල බ‍්‍රහ්මරාජයෝ ද යන මේ සියලූ දිව්‍යෙන්ද්‍රයෝම එකි එකී දිවමල් මිටින් බෝසතුන්ට පුදා ගියහ.

සමහර ලොවෙක දෙවියෝ දිවමල් කඳු පුදා යෙති; තව ද සමහර ලොවෙක දෙවියෝ දිවසුවඳින් පුදා යෙති; දිව්‍ය භෙරිනාදයෙන් පූජා කොට යෙති; දිව්‍ය වීණා ගායනාවෙන් පූජා කොට යෙති; දිව්‍ය නෘත්‍යයෙන් පූජා කොට යෙති; දිව්‍ය ගීතිකාදියෙන් පුදා යෙති; දිව්‍ය ධ්වජමාලා වෙන් පුදා යෙති; ‘නුඹ මතු බුදු ව සද්ධර්ම දේශනාවෙන් සතුන් සන්තුෂ්ටකරණ දෑ ම ය,’ යි කිය කියා දිව මල් දම දමා දිව සුවඳ ඉස ඉස ගායනා පතුරුව පතුරුවා හැම දෙවියෝ ගියහ.
(පූජාවලිය, විවරණ පූජා)

ඇයි දෝ මෙතරම් අසිරිය වන්නේ

විවරණ ලද බෝසතාණන් වහන්සේට ඒ සා පුද පූජාවන් සිදු වූ කල්හි තුන්ලෝකාග‍්‍ර වෙමින් ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ බුද්ධ වීරයාණන් වහන්සේට කවර අයුරකින් පුද පූජා සිදු විය යුතු ද?

‘‘මෙසේ මාගේ ස්වාමි දරුවන් ලොවුතුරා බුදු වූ වේලෙහි දසදහසක් සක්වළ මඟුල් ගෙයක් මෙන් සැරහී ගියහ. එදා දෙවියන් කරන පූජා හා මාගේ ස්වාමි දරුවන්ගේ ඒ ආශ්චර්ය හා බුදු මඟුල් වෙන වෙන වර්ණනා කෙරෙම් නම් මාගේ එක මුඛයක් තබා සියක් දහසක් ලක්ෂයක් මුඛයෙනුත් කියා නිමවනු බැරි ම ය.” යනුවෙන් පූජාවලි කතුවරයා පවසන්නට යෙදුණේ සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි සිදු කළ ඒ පුද පූජාවන් වර්ණනා විෂය ඉක්මවා යන නිසා ම විය යුතු ය.

එදා පටන් අද දක්වා ම තුන්ලෝකාග‍්‍ර මහා මුනිවරයාණන් වහන්සේ තුන් ලොවෙන් ම අග‍්‍ර වූ පුද පූජාවන් ලබන්නේ ය. සැබැවින් ම අග‍්‍රතම දෙය සුදුසු වන්නේ අග‍්‍රතම වූවන් පුද දෙන්නට ය. සියල් ගුණයෙන් සියලූ ලොවට අග‍්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ම හැර අන් කවරෙක් නම් අසදෘස වූ අග‍්‍ර වූ පූජාවන් පිළිගැනීමට සුදුසු වන්නේ ද?

‘මාගේ මේ ශරීරයෙහි ලේ මස් වියැළී යතොත් වියැළේවා! සම් නහර ඇට ඉතිරි වෙතොත් ඉතිරි වේවා! යම් පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක‍්‍රමයකින් සාක්ෂාත් කළ යුතු අවබෝධයක් ඇද්ද එය අවබෝධ නො කොට මම මේ අසුනින් නො නැඟිටිමි’ යි තිර අදිටනින් බෝසතාණන් වහන්සේ ඇසතු බෝධි මූලයේ අසුන් ගත් මොහොතේ දස දහසක් ලෝක ධාතුන් හි වූ අප‍්‍රමාණ දෙව් බඹ සේනාවෝ ප‍්‍රීති ඝෝෂා පැවැත්වූහ. නැටුම්, ගැයුම්, වැයුම් සහිත වූ චමත්කාරජනක ප‍්‍රමුදිත බවක් ලොව වෙලා ගති. බුදුවරයෙකුගේ පහළ වීම කෙතරම් නම් දුර්ලභ ද යන්න දැන සිටි දේව බ‍්‍රහ්ම සේනාවෝ ඒ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය පුද දෙමින් තම තමන්ට කළ හැකි සියලූ පූජාවන් එකකුදු නො හැර සිදු කළහ.

භාග්‍යවතුන් වහන්සේ බොහෝ කොට පුරන ලද පෙරුම් ඇත්තේ, පිනෙන් පිරීතිරී ගිය ජීවිතයක් ඇත්තේ ඒ සියලූ පූජාවන්ට සුදුසු වූවා සේ ම ඒ සියලූ ආකාරයේ පූජාවන්ට නිරන්තරයෙන් ම පාත‍්‍ර වූ සේක. මලින් සුවඳින් හා ප‍්‍රදීපයෙන් ද නැටුමෙන්, ගැයුමෙන් හා වැයුමෙන් ද රනින් රිදියෙන් හා මුතු මැණිකෙන් ද සිසිල් පැනින් උණු පැනින් හා සුවඳ පැනින් ද සේසතින් වියනෙන් පාවඩයෙන් හා ඡුත‍්‍රයෙන් ද ආහාර පානාදියෙන් රස මසවුලෙන් ද සිවුරු සෙනසුන් හා ගිලන්පසින් ද නොයෙකුත් අයුරින් මහත් බැතියෙන් දෙව්, බඹ, නර පමණක් නො ව ඇතැම් දුගතිගත සත්ත්වයින් පවා මහත් හරසරින් පුදනු ලැබූවෙකු ලොව පහළ වී නම් ඒ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. බුද්ධානුභාවයෝ සැබැවින් ම අසිරිමත් ය.

සසරේ බොහෝ කාලයක් මුළුල්ලේ බොහෝ ජනයාට අර්ථයෙන්, ධර්මයෙන් යුතු කථාවෙන් සංග‍්‍රහ කිරීම නිසා ද කවර ශිල්පයක් වුව මනා කොට සකසා ඉගැන්වීම නිසා ද දෙව් මිනිසුන් අතර උත්තම පවර භාවයත්, ශ‍්‍රමණයන් වහන්සේලාට කැප වූ යම්තාක් දේවල් ඇත්ද ඒ සියල්ලත් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට හිමිවන බව ලක්ඛණ සූත‍්‍රයේ සඳහන් ය. භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍ය බල මහිමයේ තරම යම් තරමකින් හෝ අපට සිතා ගත හැකි වන්නේ උන්වහන්සේ උදෙසා සිදු වූ හා සිදුවන මහා පූජාවන් දකින්නට අසන්නට ලැබෙන විට ය.

දෙවියන්, බඹුන් සේ ම මිනිසුන් ද විචිත‍්‍ර අයුරින් භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. විශාලාවට විපත් පැමිණි මොහොතේ භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩි මඟ, රජගහනුවර සිට ගංගා නම් ගඟ දක්වා යොදුන් පහක මඟ සුදුවැලි අතුරුවා, දණහිස තෙක් වැසෙනා ලෙස සුවඳ මල් පුරවා, මඟ දෙපස තොරන්, ධජ, පුන්කලස් සහ හිසට සේසත් නැගුවේ බිම්බිසාර රජු ය. ඒ සා විසල් විපතක් සිදු වී තිබියදීත් ලිච්ඡුවීහු එයටත් වඩා පූජා පවත්වා බුදුරජුන් පිළිගත්හ. පෙරලා වැඩි බුදුරජුන් වෙනුවෙන් බිම්බිසාර රජු සියලූ පූජාවන් ඉක්මවා ගිය සේසත් පූජාවක් පැවැත්වී ය.

පූජනීය අති පූජිතයාණෙනි වන්දේ

දස දෙසට ම හමා ගිය සුවඳ ඇති අග‍්‍රතම ශීලයකින් යුතු වූ ඒ ශීලසුගන්ධිතයාණන් වහන්සේ සුවඳ මල්වලින්, සුවඳ පැන්වලින්, සුවඳ ධූමයෙන් ආදි නොයෙක් සුවඳින් පුද දීමෙහි කවර වරදක් ද? අමා දම් බෙරය වයමින් තුන්ලොවක් සනසාලූ ඒ අමතදුන්දුභීදායකයාණන් වහන්සේ පංචතූර්යනාදයෙන් පුද දීමෙහි කවර වරදක් ද? කුරවීක නදින් යුතු වූ ඒ මිහිරිසරාණන් වහන්සේගේ ගුණ සයුර පදවැල් කොට ගයා පුද දීමෙහි කවර වරදක් ද? සැමට විමුක්ති මඟ හෙළි කළ ඒ විමුක්තියේ ධජධාරණයාණන් වහන්සේ ධජයෙන්, සේසතින් පුද දීමෙහි කවර වරදක් ද? තුන්ලොව කිරුළ හෙබ වූ තිලෝකනායකයාණන් වහන්සේ රන්, මැණික්, මුතු ආදියෙන් පුද දීමෙහි කවර වරදක් ද?

බෝධි සම්භාර සපුරමින් පැමිණි ගමනේ සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලැබ ගනිද්දී ඒ ඒ සම්බුදුරජාණන් වහන්සේට අප මහ බෝසතාණන් වහන්සේ පුද සත්කාර දැක් වූ අයුරු අපි අසා ඇත්තෙමු.

සුමන සම්බුදුරජුන්ගේ සමයේ අතුල නම් නාගරාජයෙකු ව හුන් බෝසතාණෝ ඒ බුද්ධප‍්‍රමුඛ ශ‍්‍රාවක සංඝයා වහන්සේලාට කඩුපුල් මල් පුදා මිණිවීණාවක් වයමින් බුදු ගුණ ගැයූහ. රේවත සම්බුදුරජුන්ව වර්ණනා කරමින් ගී ගැයූ අතිදේව බ‍්‍රාහ්මණයා වූයේ ද අනෝමදස්සී බුදු සමිඳුන්ට දන් පුදා මහා සතුටින් බුදු ගුණ ගැයූ යක් සෙනෙවියා වූයේ ද අප මහ බෝසතාණන් වහන්සේ ම ය.

එසේ ම උන්වහන්සේ අත්ථදස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සුසීම නම් ඍෂිවරයෙක් ව ඉපිද දිව්‍ය පුෂ්පයන්ගෙන් ඡුත‍්‍රයක් සකසා බුදු සමිඳුන්ට පූජා කළ සේක. අනතුරුව ධම්මදස්සී බුද්ධරාජ්‍යයේ දී සක් දෙවිඳු ව ඉපිද දිව මල් වගුරුවමින්, දිව්‍ය සුගන්ධ පතුරුවමින්, දිව්‍ය තූර්යනාදයන් වයමින් බුදුගුණ ගායනා කළේ ය. අතුල නම් නාග රාජයෙකු ව ඉපිද මහාර්ඝ මාණික්‍යයෙන් සරසවන ලද රන්වන් ධර්මාසනයක් විපස්සී බුදුරජුන්ට පූජා කළ බෝසතාණන් වහන්සේ සිඛී බුදුරජුන්ගේ සමයේ අරින්දම නම් රජු ව ඉපිද සියල් සැප සම්පත් බුදු සසුනට පූජා කළ සේක.

ඒ සා මහා පූජාවන් කරමින් පෙර බුදුරජාණන් වහන්සේලා පුද දුන්නේ යම් ආකාරයෙන් ද ඒ ආකාරයෙන් ම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද පුද පූජා ලැබූ සේක.

පින් අස්වනු නෙළා ගන්ට

පිදුම් ලැබීමට ඒකාන්තයෙන් ම සුදුසු වූ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ නිකෙලෙස් හදැති මුනිවරයන් වහන්සේලා සිහි කොට පූජා පැවැත්වීම මහා පින් අස්වැන්නක් නෙළා දෙන පුණ්‍ය ක්ෂේත‍්‍රයකි. තෙල්, මල්, පහන්, සුවඳ දුම් වුව ද නැටුම්, ගැයුම්, වැයුම් වුව ද ධජ පතාක සේසත් ආදි කවරක් වුව ද සුපසන් සිතින්, ශාස්තෘ ගෞරවයෙන් යුතු ව මනා කොට සකසා පිළිගන්වන්නේ නම්, එවැන්නක් දැක බලා අනුමෝදන් වන්නේ නම් කවරෙකු වුව ද ජීවිතයට සලසා ගන්නේ මහා යහපතකි.

එවන් අග‍්‍රතම පින්පල නෙළා ගත් සුපින්වත් පිරිස් ගැන අපදානපාළියෙහි සඳහන් ය. ඒ ඇතැම් අරහත් මුනිවර මුනිවරියන්ට සසර සැඩ පහර නවතාලන්නට උපකාර වී ඇත්තේ පැහැදුණු සිතින් කරන්නට යෙදුණු බුද්ධ පූජාවන් ම ය.

පදුමුත්තර බුදු රජුන්ට ස්වර්ණමය ඡුත‍්‍රයකින් පූජා පවත්වා ශ‍්‍රාවකබෝධියට ආශිර්වාද ලැබුවේ ආනන්ද මහ රහතන් වහන්සේ ය. මහකච්චායන මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදු සමිඳුන් උදෙසා ඉඳි කළ ‘පදුම’ නම් චෛත්‍යයේ ආසනයක් ස්වර්ණාලේප කරවා බුදුසමිඳුන්ට ස්වර්ණමය ඡුත‍්‍රයක් හා වල්විදුනාවක් නගා සිටුවීමෙන් ද රේණුපූජක රහතන් වහන්සේ විපස්සී බුදුරජුන් නාමල් රේණුවලින් පුද දීමෙන් ද මෝරහත්ථිය රහතන් වහන්සේ මොණරපිල් කලඹකින් බුදු රජුන් පුද දීමෙන් ද ශ‍්‍රාවකබෝධිය උදෙසාවන පින්පල නෙළා ගත් සේක.

ජතුකණ්ණි මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජුන්ට තූර්ය වාදනයෙන් පූජා පැවැත්වීමෙන් ද බුද්ධූපට්ඨාක රහතන් වහන්සේ විපස්සී බුදුරජුන් ව සක් නදින් පුද දීමෙන් ද සොඳුරු නිවන් මඟට පිළිපන් සේක.
සුමංගල රහතන් වහන්සේ එපින් රැස් කරගත්තේ අත්ථදස්සී බුදුරජුන් දැක සතුටු සිතින් අත්පොළොසන් දීමෙනි. ධ්වජදායක රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජුන්ගේ බෝධි වෘක්ෂයෙහි ධජ නැන්වීමෙන් ද සුගන්ධ මහ රහතන් වහන්සේ කාශ්‍යප බුදුරජුන් ව වර්ණනා කිරීමෙන් ද අරහත් මඟට එළඹි සේක.

සත්තුප්පමාලිකා රහත් තෙරණින් වහන්සේ සිඛී බුදුරජුන්ට උපුල්මල්දම් සතක් පිදීමෙන් ද උත්පලවණ්ණා රහත් තෙරණින් වහන්සේ පදුමුත්තර බුදුරජුන් ප‍්‍රභා විහිදෙන මණ්ඩපයක මිණි මුවා පළඟක වඩා හිඳුවා දන් පිළිගැන්වීමෙන් ද නිවන් මඟ එළඹි බව ථේරිඅපදානයේ සඳහන් ය.

බුදු පුදට ඇයි විච්චූරණ?

දැනුදු භාග්‍යවතුන් වහන්සේ පුද දෙන්නට නා නා ප‍්‍රකාර පූජා විධි යොදා ගැනෙන්නේ සියලූ සම්බුද්ධ රාජ්‍යයන්හි දී දෙව් මිනිසුන් මනෝරම්‍ය වූ පූජාවන් සිදු කළ පරිද්දෙන් ම ය. මෙලෙස විචිත‍්‍රාකාරයෙන් පූජාවන් සිදු කිරීම පිළිබඳ ව ශාසන ඉතිහාසය යථෝක්ත ව දැක්වුවෙමු.

වත්මන් සමාජය නැටුම්, ගැයුම්, වාදනයන් ද මිල මුදල් අබරණ ද ආහාර පාන ද යොදා ගන්නේ ම කාම සන්තර්පණය උදෙසා ය. එනිසාවෙන් ම දෝ තැන නො තැන හෝ පාදක කාරණය නො සලකමින් ඇතැමුන් සිතන්නේ නැටුම්, ගැයුම්, වාදන ආදියෙන් කළ හැකි එකම දෙය කාමය ඉස්මතු කරවීම කියා ය.

ගින්දර ගැන අපි දන්නෙමු. ඒ ගැන මැනැවින් නො දන්නා අය ගින්දරට පැන පිච්චී විනාශ වී යති. ගින්දර ගැන මැනැවින් දන්නා අය විනාශ නො වී එයින් ප‍්‍රයෝජන ගනිති; ආහාර පිසිති; ශීතල මොහොතට උණුසුම උපදවා ගනිති; උවමනා මොහොතට උවමනා අයුරට ගින්දර භාවිත කරති. භාග්‍යවතුන් වහන්සේ කාමයන් පෙන්වා දුන්නේ ද ගින්නක් ලෙසට ය. ඒ ගැන අවබෝධයට පත්වන ආර්ය ශ‍්‍රාවකයා ගින්නෙන් අනතුරක් විය හැකි බව මැනැවින් දන්නේ, අනතුරට ලක් නො වී එය තම ප‍්‍රයෝජනයට යොදා ගනී. බුදු පුදට වෛවාරණ විච්චූරණ එක් කෙරෙන්නේ ද ඒ අයුරින් ම ය.

මුළු මහත් ලෝකය ම හීන වූ, ග‍්‍රාම්‍ය වූ කාමාශාවන් තෘප්තිමත් කරවන්නට යොදා ගන්නා දෙය, විරාගී හද මඬලක් දරා වැඩ සිටිනා නිකෙලෙස් මුනිවරයෙකු පුද දෙන්නට සුභාවිත කිරීම පහසු කටයුත්තක් නො වන්නේ ය. එවැන්නක් සිදු කරන්නේ නම් එහි යෙදෙන්නවුන්ට සැලසෙන්නේ සුළුපටු ලාභයක් ද නො වේ. ථේරාපදානය පුරාවට හෙළි කෙරෙන්නේ එකී සත්‍යයයි.

ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී වාම දළදා වහන්සේ උදෙසා ධජ පතාක නැටුම්, ගැයුම්, වැයුම් මධ්‍යයේ මහා හස්තිරාජයන් පිරිවරා දින ගණනාවක් මුළුල්ලේ පුද සත්කාර පැවැත්වෙන්නේ ද දිවයිනේ දස දෙස බුද්ධ පූජා ම ය පෙරහැර පැවැත්වෙන්නේ ද මේ පුණ්‍ය ක්ෂේත‍්‍රය අර්ථ ගන්වමින් නො වේ ද?

එවන් මහා පූජාවන් දැක මුදල් නාස්තියකැයි කියා හෝ එවැන්නක් අනුචිත යැයි කියා හෝ යමෙකු අපහදින්නේ නම් එය ද සුළුපටු අලාභයක් නම් නො වේ. භෝග සම්පත්වලින් අග‍්‍රව උසස් කුලවන්තයෙකු වන්නට පින් තිබියදීත් පෙර කලෙක බුදුරජුන් ප‍්‍රමුඛ භික්ෂූ සංඝයාට සිදු කළ මහා පූජාවක් දැක අපැහැදී පරුෂ වචන පැවසීමේ පාපය නිසා උපන් හැටියේ අමු සොහොනක අතැර දැමුනෙකු ගැන කියැවෙන පස්වන කුමාර පේ‍්‍රත වස්තුව පෙන්වා දෙන්නේ එයයි. එසේ ම ස්ථූප වන්දනාවක් සිදු කරන්නට ගිය පිරිසකට බාධා පමුණුවා, කෙණෙහිලිකම් කොට ඔවුන් වළක්වා, ස්ථූප පූජාවට නින්දා කිරීමේ පාපයෙන් පේ‍්‍රතයෙකු ව උපන්නෙකු ගැන කියැවෙන දසවන ධාතුවිවණ්ණික පේ‍්‍රත වස්තුවෙන් ද එය තහවුරු කෙරේ. කණගාටුවට කරුණ නම් මෙවන් පාපයන්ගේ දුක්ඛිත වූ නිරයගාමී විපාකයන් දැන දැනත්, අදටත් බුදුරජ පහස ලද මේ ධර්මද්වීපයේ පවා ස්ථූප වන්දනාවන්, බුද්ධ වන්දනාවන් සඳහා ගරහන, නින්දා කරන, බාධා පමුණුවා, කෙණෙහිලිකම් කරන ‘බෞද්ධ’ යැයි කියාගන්නා ගිහි-පැවිදි පිරිස් අතිශය බහුල වීම ය.

ඇතැමුන් කියන්නේ මෙවන් විසිතුරු පින්කම් සිදු කරනවාට වඩා දුගීමගී යාචකයන් උදෙසා කුසට අහර ද හිසට සෙවණ ද සැපයීම වඩාත් හොඳ බව ය. දෙලොව සැපදෙන බුදුපුද පරයා බලූ-කපුටු දානය වණනා ‘සුපින්වත් බෞද්ධයන්’ ද නැතුවා නො වේ. එවැනි යහපත් ක‍්‍රියාවන්ගෙන් පින් රැස්වන බව සැබෑවකි. එහෙත් පින පමණක් සලකා බැලූව ද අග‍්‍ර වන්නේ බුදුරජුන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් රැස්වන පින ම ය. මෙවන් අග‍්‍රතම පුණ්‍යක‍්‍රියාවන්ට ගරහා හෝ ඒවා අවඥවෙන් බැහැර කොට, එපින් ඉක්මවා යන පින් රැස් කිරීමක් නම් සිදු වන්නේ නැත. උතුම් සම්බුද්ධ පූජාවන්ගෙන් රැස්වන පින ගැන නො දන්නා සහ පින, පව ගැන අවබෝධයක් නැති නාමමාත‍්‍රික බෞද්ධයින් පිනට ගරහා මේ කරන්නේ සැපවත් දිවි පැවැත්ම අහිමි කරගැනීමක් බව දන්නේ ද නැත.

කළ යුත්තේ ධර්ම විනය නො දන්නාකම නිසා මේවා ගැන අපැහැදී අවැඩ සිදුකර ගැනීම නො ව අවබෝධයෙන් යුතු ව ඒ සියලූ ආකාරයෙන් කුසල් දහම් රැස්කර ගැනීම ය… ඒවා අනුමෝදන් වීම ය… එයින් සැපවත් වූ දිවි පෙවතක් ඇති කොටගෙන සසර දුකින් අත්මිදීම ය.

බුදුපුද වරුණ
උදුලා පද්මාවතී