සසර ගිනි නිවාලූ අසමසම වීර නරෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා!

ශ‍්‍රී ලාංකේය ජන සමාජය වූ කලි ථේරවාද බෞද්ධ පසුබිමක් මත පදනම් වූ, අභිමානවත් සංස්කෘතියකට සහ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ, භාග්‍යවන්ත, සුපින්වත් මනුෂ්‍ය කොට්ඨාසයකි. ශාක්‍ය වංශික වූ හෙළයා මේ මහා භාග්‍යයට උරුමකම් කියනුයේ අහඹුවකින් නො වේ. එය ඔවුන් මුළු හදින් සරණ ගිය ඒ අසිරිමත් ශාස්තෘන් වහන්සේගේ උත්තරීතර අධිෂ්ඨානය යි; පැතුම යි. එය හෙළයාගේ පාරම්පරික උරුමය යි. අශෝක අධිරජ පුත් මහා මහීන්ද්‍රයන් වහන්සේ සිරිලකට රැගෙන එන ලද්දේ ඒ අසහාය උරුමය වූ ශ‍්‍රී සම්බුද්ධ ශාසනය යි.

මේ විශ්වයේ යම්තාක් සුභාෂිත වූ ධර්මයන් වේ ද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේගේ ය. ස්වයංභූ ඤාණයෙන් අවබෝධකොට වදාළ තිලොවින් ශ්‍රේෂ්ඨ වූ ඒ අමා ධර්මය තමන් වහන්සේ විසින් ම ගුරු තන්හි තබා සැලකූ සේක. ප‍්‍රථමයෙන් ශාස්තෘන් වහන්සේ සරණ යන අප ‘‘ධම්මං සරණං ගච්ඡාමි…” යනුවෙන් පළමුව ද දෙවනුව ද තෙවනුව ද සරණ යන්නේ ඒ ආර්ය වූ ධර්ම රත්නය යි. එනම් බුදු මුවින් වදාළ ස්වාක්ඛාත වූත්, සන්දිට්ඨික වූත්, අකාලික වූත්, ඒහිපස්සික වූත්, ඕපනයික වූත්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වූත් ඒ නිර්මල වූ අසමසම මුනි දහම යි.

ලොව ප‍්‍රබලතම බෞද්ධ රාජ්‍යයක් වන ශ‍්‍රී ලංකාවේ බුදු දහමට එරෙහි ව අනේකවිධ වූ බලවේගයන් ක‍්‍රියාත්මක වන්නට වූයේ අද – ඊයේක සිට නො වේ. ඒවා දේශීය හා ජාත්‍යන්තර වශයෙන්, විවිධ මුහුණුවරින්, විවිධ ක‍්‍රමෝපායන් ඔස්සේ කරළියට පැමිණිය හ. එහි නවතම උපාය නම් නිර්ව්‍යාජ බෞද්ධයා වෙත මූලධර්මවාදී ලේබලය අලවා, බුදු මුවින් වදාළ, එමෙන් ම මහරහතන් වහන්සේලා දිවිහිමියෙන් සුරැකගත් පරම නිර්මල වූ ඒ අසහාය ධර්මය සරණ ගියා වූ, ප‍්‍රගුණ කරන්නා වූ, දහම් මඟ ගමන් කරන්නා වූ ගිහි-පැවිදි ශ‍්‍රාවකයන් මූලධර්මවාදීන් ලෙස ප‍්‍රසිද්ධියේ හංවඩු ගැසීම යි. මෙහි භයානක ම තත්වය නම් මෙය සිදු කරන්නේ ද සංවිධානාත්මක බෞද්ධ වේශධාරීන් පිරිසක් විසින් විනා අන්‍යාගමිකයින් නො වීම යි.

මූලධර්මවාදයේ ආගමනය

මූලධර්මවාදය යන්න මෑත කාලීන ජාත්‍යන්තර දේශපාලන කරළියේ බහුල ව ම කථාබහට බඳුන් වූ මාතෘකාවකි. ඒ ‘මුසල්මානු මූලධර්මවාදීන්’ යැයි කියැවෙනා පිරිසක් විසින් පතුරුවා හරිනු ලබන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය නිසාවෙනි. ක‍්‍රිස්තියානි මූලධර්මවාදය පිළිබඳ ව ද අප අසා නැතුවා නො වේ. කුරිරු අධිරාජ්‍යවාදී පාලනයෙන් ද අන්තවාදී ත‍්‍රස්තවාදයෙන් ද කලක් මුළුල්ලේ රිදෙන්නට බැට කෑ අපට ඒ පිළිබඳ අටුවා ටීකා අවශ්‍යය නො වේ. කෙසේ නමුදු මේ අයුරින් ශාස්තෘවරුන් විසින් වදාළ ධර්ම මූලයන්ගෙන් බැහැර ව, ස්වකීය අභිමතය පරිදි අටවාගත් විවිධ ආගමික නිකායන්, උක්ත ආගම් නාමයන් පෙරටුකොට ගෙන ලොවපුරා බිහිවන්නට විය. අනතුරු ව එකී ගුණමකු පිරිස් විසින් ම සිය ශාස්තෘවරුන් වදාළ මූලික හර පද්ධතීන් ඒ අයුරින් ම පිළිගන්නා, අනුගමනය කරන පිරිස මූලධර්මවාදීන් ලෙසින් හංවඩු ගැසූහ. ආගම් මූලධර්මවාදය ලොවට බිහිවන්නේ මේ අයුරිනි.

ද්වේෂය සහ ඉරිසියාව හමුවේ පාගා ගත් වලිගය

මේ පාපතර කුමන්ත‍්‍රණකාරීන් ද තෝරා ගත්තේ බෞද්ධයාට පහසුවෙන් පහර ගැසිය හැකි මාර්ගයකි. අන්‍ය ආගමික මූලධර්මවාදීන්, අන්තවාදීන් ලෙසින් ලොව හමුවේ හංවඩු ගැසෙනා අවධියක, බෞද්ධයාට පහර ගැසීම පිණිස අධර්මවාදී බලවේග විසින් භාවිත කළ මේ උපක‍්‍රමය ද සාර්ථක එකක් බව බැලූ බැල්මට යමෙකුට හැඟී යා හැකි ය. එහෙත්… බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ එක ම කරුණක් නිසාවෙනි. එනම් ශ‍්‍රී සම්බුද්ධ ශාසනයක් ලොව පිහිටුවා, චතුරාර්ය සත්‍ය ධර්මයන් ලොවට විවර කොට, දුකින් පෙළෙන, නුවණැති දෙව්මිනිසුන් හට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දී දුකින් මිදෙන මඟ තුළ ඒ නුවණැති සත්ත්ව ප‍්‍රජාව හික්මවාලීමට ය. බුදු දහමේ මූලධර්මය නම් මෙය යි. ශාස්තෘන්වහන්සේ පනවා වදාළ උතුම් ධර්මවිනය නම් මෙය යි. බුද්ධ ශ‍්‍රාවකයා වනාහි අන් සියලූ සරණයන් බැහැරකොට මුළු හදින්, දිවි හිමියෙන් ත‍්‍රිවිධ රත්නය සරණ කොටගත් අයෙකි. මෙයින් පරිබාහිර වූ යමෙක් බෞද්ධයකු වන්නේ කෙසේ ද?

මේ කුමන්ත‍්‍රණකාරීන් විසින් වියරුවෙන් මෙන් පහර ගසමින් හෙළා දකිනුයේ සිය ශාස්තෘන් වහන්සේ විසින් ලොවට හෙළි කළ ඒ පරමගම්භීර වූ අකාලික මුනි දහම යි. ඒ උතුම් දහම සරණ ගොස්, ගෞතම බුදු සසුනේ සිල් ගුණදම් පුරනා සුසිල්වත් ආර්ය මහා සඟරුවන යි. මෙම කුමන්ත‍්‍රණයන්ගේ මූලිකත්වය ගෙන කටයුතු කරනා, ගිහි-පැවිදි බෞද්ධ වේශධාරීන් වෙතින් ගිලිහී ගියේ ගෞතම බුද්ධ ශාසනයේ මූලික හරය යි. සිය ශාස්තෘන් වහන්සේගේ අවවාදය බැහැර කොට ඊට ගැරහීමට තරම් මොවුන් පිරිහීගොස් ඇති සෙයකි. භගවත් මුව මඬලින් දෙසා වදහළ මුල-මැද-අග පිරිසිදු වූ, ලෝසත සසර දුකින් මුදවාලන ඒකායන දහම ‘මූලධර්මවාදය’ ලෙසින් හඳුන්වන මේ කුමන්ත‍්‍රණයන්ගේ මීළඟ අරමුණ එම දහම් ලොවට විවර කළ ඒ අසහාය නරෝත්තමයාණන් වහන්සේ ‘මූලධර්මවාදී නායකයා’ වශයෙන් ලොවට හඳුන්වා දීම ද? ද්වේෂය සහ ඉරිසියාව පෙරදැරි ව සුසිල්වතුන් මූලධර්මවාදීන් ලෙසින් හංවඩුගසා අවිනයවාදී අධර්මය බලවත් කිරීමට ගන්නා ලද නිර්ලජ්ජිත වෑයම අවසන සිදු වූයේ, ශාස්තෘන් වහන්සේට සහ උන්වහන්සේ විසින් විවර කළ ධර්මයට එම දහමේ අනුගාමිකයන් යැයි කියාගන්නා පිරිස් විසින් ම පහර එල්ල කිරීම ය. ඔවුන් පාගා ගත්තේ ස්වකීය වල්ගය ම ය.

සංස්කෘතික කටගැස්ම

සංස්කෘතිය වූ කලි ඕනෑ ම සදාචාරසම්පන්න, ගුණගරුක සමාජ සන්දර්භයක් තුළ පහසුවෙන් මාකට් කළ හැකි ආකර්ෂණීය මාතෘකාවකි. ලාංකේය ජන සමාජය ද ඊට ම අනුගත වූවකි. එය එම ජනයාගේ හෝ සංස්කෘතියේ වරදක් නො වේ. හුදෙක් මානුෂීය සංවේදීත්වය නිසාවෙන් ඇති වූ උත්තේජිත ස්වභාවයකි.

මෙම තත්වය මැනවින් වටහාගත් අධර්මවාදී පාර්ශ්වයෝ මෙම කරුණ ම ඔවුන්ගේ ආයුධය කොට ගත්හ. ධර්මය, අධර්මයෙන් වෙන්කර ගැනීමට අපොහොසත් වීමේ මහා ඛේදයට මුහුණ දී සිටින වත්මන් ලාංකේය ගිහි-පැවිදි බහුතර බෞද්ධ ප‍්‍රජාව සිය සංස්කෘතිය තුළට ඈදාගන්නා ලද අධාර්මික සංස්කෘතික අංගයෝ බොහෝ ය. නිර්මල දහම ඉස්මතු වන විට, එය පිළිගැනීමට ලක් වන විට අධර්මයට පල්ලම් බැසීමට සිදු වීම සහ අධාර්මික සංස්කෘතීන් ප‍්‍රතික්ෂේප වීම නො වැළැක්විය හැකි කරුණකි.

අධර්මවාදය සහ එකී සංස්කෘතික අංගයන් ප‍්‍රතික්ෂේප වීම, ඒවායේ නිර්මාපකයින් සහ ඉන් බඩ වඩා ගත්තවුන් හට ඉවසුම් නො දීම ප‍්‍රකට කරුණකි. ගිලිහී යන නම්බු නාම, ගරුසැලකිලි, ලාභ සත්කාර හමුවේ කඩාවැටෙන ඔවුන්ගේ අධර්මවාදී ලෝකය රැකගනු පිණිස සංස්කෘතියේ වෙස් මුහුණු බැඳි ඔවුහු මේ වන විට එළිපිට යුධ වැදී සිටිති. පහසුවෙන් සමාජ අවධානය තමන් වෙත ඇද බැඳ තබාගැනීමේ උපක‍්‍රමයක් ලෙසින් මෙකී ‘සංස්කෘතිය’ පෙරටුකොට ගත්තා විනා මෙම ශාසනභක්ෂක, බඩගෝස්තරවාදී ව්‍යාපාරයන් තුළ සංස්කෘතිය රැක ගැනීමේ හෝ ගොඩනැඟීමේ කිසිදු අභිලාෂයක් නො මැති බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි.

අම්මෙක් නැති කල – දැයක් කොයින් දෝ

එදා අම්බස්තලයෙන් රැව් නැඟි සත්‍යයේ සිහනද සිව් හෙළය සිසාරා ගිගුම් දෙද්දී ගස්-ගල් පුදමින්, හිරු-සඳු යදිමින් හුන් සියලූ මිථ්‍යා සංස්කෘතීන් වියැකී ගොස් බිහි වූ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය පරම ගම්භීර වූ ඒ සත්‍යයේ හිරු කිරණින් මනා ව පෝෂණය ලද්දේ ය. අනතුරු ව සියලූ උප සංස්කෘතීන් මේ මහා සංස්කෘතික විප්ලවයට සමගාමීව පුනර්ජීවනය ලද්දේ ය. එමඟින් ධර්මයෙන් අධර්මය පැහැදිලි ව වෙන්කොට ගත් අතර සියලූ සංස්කෘතික අංගයන් ධර්මය මූලික කොට ගෙන ගොඩනැඟිනි. සෑම විට ම ධර්මය පෙරටු විය. මෙකී ධර්මය වනාහි බුදුරජාණන් වහන්සේ විසින් වදහළ, අප කලින් සඳහන් කළ බුදු දහමේ මූලික හරය යි. සියලූ සංස්කෘතීන් පෙළගැසෙන්නේ ඊට පසුපසිනි.

පිරිපුන් ශී‍්‍ර ලාංකේය සංස්කෘතියේ උදාරතර මාතෘත්වය නම් නිර්මල ධර්මය යි. ධර්මය බැහැර වූ කල යහ සංස්කෘතියක් ඉතිරි වන්නේ නැත. ධර්මයෙන් පරිබාහිර ව යහ සංස්කෘතියක් ගොඩනැඟිය හැක්කේ ද නො වේ. ධර්මය දෙවැනි තැනට දමා සංස්කෘතිය රැක ගත හැක්කේ ද නො වේ. යමෙක් ලාංකේය සංස්කෘතිය රැකගැනීමට හෝ ගොඩනැඟීමට යත්න දරන්නේ ද? හේ පළමුව ධර්මයට සත්කාර කළ යුතු ය. ධර්මය මූලික කරගත යුතු ය. ධර්මයෙහි හැසිරිය යුතු ය. එවිට යහ සංස්කෘතිය ද සමාජය තුළ නිරායාසයෙන් ස්ථාපිත වනු ඇත. තථාගත ධර්මයෙන් බැහැර වූ පරිහානික සමාජ ව්‍යුහයක් තුළ යහ සංස්කෘතියක් ගොඩනැඟීම හෝ රැකගැනීම යන්න සිහින මාත‍්‍රික සංකල්පයක් පමණක් ම බව ද මෙහි ලා නො කියා ම බැරි ය. අපි ගෙඟන් වතුර බී මුහුදට ආවඩන්නන් නො වෙමු!

අකාලික දිසාපාමොක් වළ පල්ලට

වසවත් මරුන් පරදා තිලොව ජයගත් ඒ අසහාය මුනිවරයාණන් වහන්සේ සිය ශාස්තෘත්වයේ තබන ලද්දේ, තමන් වහන්සේ විසින් ම අවබෝධ කරගත් ඒ ආශ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මය යි. අවාසනාවක මහත…! ඒ අසිරිමත් ශ‍්‍රී සම්බුද්ධත්වයෙන් 2600 වසක් ගෙවීයන තැන, මේ ජීවිතයේ දී ම පිරිසිඳ දැකිය හැකි හෙයින් සන්දිට්ඨික වූත්, අතීත – වර්තමාන – අනාගත යන කාලත‍්‍රයේ දී ම ප‍්‍රඥාවන්තයින් හට තම-තම නැණ පමණින් අවබෝධ කළ හැකි හෙයින් අකාලික වූත් ඒ අසමසම මුනි දහම වඳ බසින ලද දහමක් ලෙසින් සලකා අවඥාවෙන් බැහැර කිරීමට තරම් මේ කුමන්ත‍්‍රණකාරීන් සැහැසි වී ඇත; ගුණමකු වී ඇත; අසත්පුරුෂ වී ඇත. දහමෙහි හැසිරීමට පෙර සංස්කෘතිය රැකගත යුතු යැයි අබුද්ධභාෂිත ප‍්‍රලාප දොඩමින් බෞද්ධ සමාජය අඳුරින් අගාධයට ඇද දැමීමේ අති භයානක කුමන්ත‍්‍රණය මේ වනවිටත් දිවයින පුරා ප‍්‍රබල ලෙස දියත්වෙමින් පවතී.

ආර්ය පර්යේෂණයටත් අභියෝග

නිවන් මඟට උපකාරී වන මුල-මැද-අග පිරිසිදු වූ ඕපනයික ශ‍්‍රී සද්ධර්මය තවමත් ලොව ජීවමාන ය. ඒ උතුම් ධර්ම රත්නය පසෙක තබා තම අඩුපාඩු වසා ගැනීමට අන් අය වෙත ඇඟිලි දිගු කරමින්, සුසිල්වතුන් හට ගැරහීම පිණිස වූ මුසාවාද ගොන්නක් සහිත හුදෙක් ද්වේෂ මූලික වූ පර්යේෂණ ග‍්‍රන්ථ ලියමින් පවත්නේ ය. බුදුරජුන් විසින් පනවා වදහළ සිල්පද තම අභිමතය පරිදි වෙනස් කරමින්, පර්යේෂණාගාර තුළ හිඳ නිර්මල බුදු දහම තුළට මිථ්‍යා බමුණු මත රිංගවමින්, ආර්ය මහා ස`ගරුවනට එරෙහිව කැලෑ පත්තර ගසමින් සසුන කෙලෙසන හෙළ බුදු සසුනේ මේ කඳ පණුවන් හෙට දිනයේ සිරිලක් දෙරණින් බුදු දහම තුරන් කරන්නා වූ මාර පාක්‍ෂික සේනාවයි.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරන ලද, ලොව අතිශය බැ?රුම් වූත්, ගම්භීර වූත්, ශ්‍රේෂ්ඨතම වූත් පර්යේෂණයේ අග‍්‍රඵලය ලෙසින් චතුරාර්ය සත්‍ය ධර්මයත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සකළ දෙව්මිනිස් ප‍්‍රජාව හමුවේ විවර වූයේ මින් 2600 වසකට මත්තෙනි. ශ‍්‍රී සම්බුද්ධ ශාසනයක් තුළ පහළ වන්නා වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස වෙත ඔවන්ගේ වටිනා කාලය හා ශ‍්‍රමය වැය කරමින් සිදු කළ යුතු අන් කිසිදු ආකාරයේ පර්යේෂණයක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාරා නොමැත. කළ යුතු ආර්ය වූ පර්යේෂණය උන්වහන්සේ විසින් අති සාර්ථක ලෙසින් සිදුකොට හමාර ය. ශ‍්‍රාවකයන් වන අන් සියලූ දෙනා සිදු කළ යුතු ව ඇත්තේ, පෙන්වා දෙන ලද මාර්ගයේ ගමන් කොට එහි අග‍්‍ර වූ ඵලය බුත්ති විඳීම විනා පුහු පර්යේෂණ වෙනුවෙන් කල්මරමින්, සුසිල්වතුනට ගරහමින්, අභූත චෝදනා නගමින් හිඳ අපාගත වීම නො වේ.

ඇස් ඇත්තෝ                  දකිත්වා!
කන් ඇත්තෝ                  අසත්වා!
සිත් ඇත්තෝ                  සිතත්වා!
නුවණැත්තෝ                 නිවෙත්වා!

දේවදත්ත සහ කෝකාලික

ලබන්නා වූ පැවිද්දේ ඒකායන අරමුණ සියලූ දුක් කෙළවර කොට අමා මහ නිවන සාක්ෂාත් කිරීම වුව ද කල් යාමේ දී අටලෝ දහම ඉදිරියේ තම උතුම් පැවිද්දේ මූලික අරමුණ තුළ රැඳී සිටීමට අසමත් ව මහණකම වරද්දා ගත්තවුන්, අපාගත වී විඳිනා අනන්ත දුක් පිළිබඳ පේත වත්ථු තුළින් අපට මුණගැසේ. දහම මෙතරම් ම පිරිසිදුව විවර ව තිබියදීත් එය නො සලකා හැර, පවට ම යොමු වීම මහත් අවාසනාවකි. අතිශය ශෝචනීය තත්වයකි. මේ පාපකාරී සුනාමියට හසු වූ තවත් අවාසනාවන්ත පැවිදි දෙපළක් පසුගිය වකවානුවේ රඟදැක්වූ ‘මුළාවේ නාටකය’ ලාංකේය සඟ පිරිස අතර බෙහෙවින් කථාබහට බඳුන් වූවකි. ලාභ-සත්කාර, කීර්ති-ප‍්‍රශංසාවන්ගෙන් මුළා වී, බල ලෝභීත්වයෙන් උමතු වූ මෙම අසරණ පැවිදි යුවළ කන්නට දුන් අත සපා කමින්, තමනට දහම් මඟ විවර කරදුන් කාරුණික ගුරුවරයාට එරෙහි ව කැලෑ පත්තර ගසමින්, උන්වහන්සේගේ නිර්ව්‍යාජ ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙල විවේචනය කරමින්, පත‍්‍රිකා බෙදමින් සාවද්‍ය මඩ ව්‍යාපාර දියත්කරන ලද්දේ ඔවුන් තුළ පවතින අසත්පුරුෂ ලක්‍ෂණ මොනවට කියාපාමිනි. මෙයින් නො නැවතුණු මේ ගුණමකු දෙනම ලංකාවේ අනෙකුත් ස්වාමින් වහන්සේලා වෙත ගොස් සාවද්‍ය කරුණු ගැනහැර දක්වා මෙම සුසිල්වත් සඟ පිරිස කෙරෙහි ඒ සියලූ දෙනා බිඳවූහ. එයින් ඔවුන් රැස්කර ගත්තේ සංඝභේද පාපකර්මය යි. එහි ආදීන ව භාග්‍යවතුන් වහන්සේ විසින් උදාහරණ සහිත ව පෙන්වා දී ඇත. මේ පිළිබඳ කරුණු කාරණා විමසීමෙන් තොරව ම ගිලගත් බොහෝ පිරිස් එය දිරවා ගත නො හැකි ව තවමත් මේ සුසිල්වතුන් හට ගරහමින් පව් රැස්කර ගනිති. නුවණින් විමසා ධර්මයට අනුව කටයුතු කළ සුළු පිරිසක් පමණක් එම පාපකර්මයේ හවුල්කාර බවින් මිදුන හ.

තුන් ලෝකයක් නිවා සනාහාලූ මහා කාරුණික ඒ උත්තම මුනිඳුන් නසාලනු පිණිස ගල් පෙරළන්නට තරම් සිත් වූ කෲර අසත්පුරුෂයෝ එකලත් විසූහ. ලොවට උතුම් පින්කෙත වූ ආර්ය මහා සඟරුවන බිඳවා, බුදුරජුන්ගේ ලේ සොලවා රැස්කර ගත් ආනන්තර්ය පාපකර්මයන් හේතුවෙන් ඔවුහු අදටත් අවිචි මහා නිරයේ පැසෙති. කල්පයක් පුරාවට පැසෙන්නේ ය. තවමත් ඉන් ගෙවීගොස් ඇත්තේ වසර 2600කටත් අඩු කාලයකි.

සසුන පිරිහෙමින් පවතින මෙවන් යුගයක බුරුතු පිටින් පහළ වන එවැන්නන් ගැන කවර කථා ද? එළඹෙන්නේ අධර්මවාදී දේවදත්තයන්ගේ යුගය යි.

ගෞතම සම්බුදු සසුන රැකෙන්නට…

එදා බරණැස ඉසිපතන මිගදායේ දී ප‍්‍රවර්තනය වූ දම්සක තුළින් ලොව ස්ථාපිත වූ ඒ අසහාය බුද්ධ බලය කැටි වූ ශ‍්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වසර 1000ක් බව භාග්‍යවතුන් වහන්සේ වරක් ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් වහන්සේ වෙත පවසා වදාළ හ. එය එසේ ම විනා අන් අයුරකින් නො වී ය. ශාසන ඉතිහාසය මැනවින්, මධ්‍යස්ථ ව පිරික්සා බලන්නකු හට මෙම කරුණ මනා ව වැටහෙනු ඇත. එදා සිට මේ දක්වා වරින් වර බිහි වූ අසහාය බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා පිරිසිදු දහම පතුරුවා හැර ඒ උතුම් මඟ වෙත නුවණැති පිරිස් යොමු කරලීමේ උදාරතර කර්තව්‍යයට අඩු වැඩි වශයෙන්, තම තම ශක්ති පමණින් උර දුන්හ. වැලිවිට ශ‍්‍රී සරණංකර සඟරජ නාහිමිපාණෝ මෙහි ලා සඳහන් කළ යුතු සුවිශේෂී චරිතයකි. එකල මෙදා මෙන් ම මේ අධර්මවාදී කුමන්ත‍්‍රණයන් දරුණු ලෙසින් ක‍්‍රියාත්මක විය. රජුට බොරු කේලාම් කියා සඟරජ හිමියන් කන්ද උඩරටින් පිටුවහල් කරවීමට තරම් කුමන්ත‍්‍රණකරුවෝ සාහසික වූහ. මැර බලය යොදා උන්වහන්සේ අපවත් කරවීමට විවිධ උපක‍්‍රම ද යෙදවී ය. ඒ උතුම් දහම පිළිපදිමින්, දහම් මඟ හැසිරීමට උත්සහ ගත් අව්‍යාජ බෞද්ධ ප‍්‍රජාව කල්ලිවාදීන් ලෙසින් හංවඩු ගසා ඔවුන් ‘සිල්වත් සමාගම’ ලෙසින් අවඥාවට ලක් කළ හ. මේ අයුරින් ඉතිහාසය පුරාවට දිගින් දිගට ම ක‍්‍රියාත්මක වූ මේ ශාසනභක්ෂක ත‍්‍රස්තවාදයේ ආසන්නත ම ප‍්‍රබල උදාහරණය ලෙස ‘ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල සමය’ ගෙනහැර දැක්විය හැකි ය. එතුමන් විසින් ඇරඹි ශාසනහිතකාමී ඒ උත්තරීතර වැඩපිළිවෙල කඩාකප්පල් කීරීමට ඉදිරිපත් වූයේ ද බෞද්ධ වේශධාරී ගිහි-පැවිදි පිරිස් විනා අන්‍යාගමිකයින් නො වේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 2556 වසක් ගෙවී යන මෙම වකවානුවේ දී ද මේ කරුණු මේ අයුරින් ම සිදු වන්නේ ය. නිර්මල ධර්මය හිස ඔසවන සෑම අවස්ථාවක ම මෙකී කුමන්ත‍්‍රණයෝ අතිශය ප‍්‍රබල ලෙසින් ක‍්‍රියාත්මක වෙති. දහම සුරැකුණු, දහම බැබළෙන හෙට දවසක් ගෞතම බුදු සසුන තුළ තව දුරටත් පැතීම හෝ අපේක්ෂා කිරීම හුදෙක් ඉදිබුවාගෙන් පිහාටු පැතීමක් වැන්න. මේ උදා වී තිබෙන්නේ අතිශය දුර්ලභ කාල වකවානුවකි. ගෞතම බුදු සසුනේ සිල් ගුණදම් පුරමින් උතුම් නිවන් මඟ වඩිනා සුසිල්වත් සඟ රුවනක්, දහම කියාදෙන කලණමිතුරු සඟ රුවනක්, ලොවට උතුම් පින්කෙත වූ ආර්ය මහා සඟ රුවනක් වත්මනේ ලොව පහළ වී ඇත්තේ ය. මෙවන් අසිරිමත් සඟ රුවනක් මේ අයුරින් ලොව පහළ වීම සැබැවින් ම යුගයේ ප‍්‍රාතිහාර්යයකි; මෙකල මිනිසුන්ගේ වාසනාවකි; පිනෙහි ඉස්මතු වීමකි; පිනෙහි විපාකයකි. මෙය බෞද්ධයන් වශයෙන් අප සියලූ දෙනා වටහාගත යුතු ය. අප‍්‍රමාදීව පින්ඵල නෙළා ගත යුතු ය. ගෞතම බුදු සසුන තුළ මෙවන් සොඳුරු යුගයක යළි පහළ වීම කිසිසේත් අපේක්ෂා නො කළ යුත්තකි. එළඹෙන්නේ මාර බලවේග විසින් වෙළාගනු ලබන්නා වූ අධර්මවාදීන්ගේ පාපී අධම යුගයකි. සියලූ සැප කැමති නුවණැතියෝ සියලූ සත හට අපමණ මෙත් කරුණා පෙරදැරි ව දුලබ දහම තුළ අප‍්‍රමාදී වෙත්වා!

සිල් රකිනා සඟ රුවන                 රැකේවා
පිල් බෙදනා මිසදිටු දුරු               වේවා
කල් නො යවා බුදු සසුන              රැකේවා
ගෞතම සසුනේ පිහිට                 ලැවේවා…!