පුංචි කාලේ අපි අහපු හැම කථාවෙ ම වගේ වීරයෙක් හිටියා. සතුරු බලමුළු, නපුරු මායාකාරයෝ, භයංකාර වන සතුන් වගේ නොයෙක් අන්තරාදායක බලවේග එක්ක සටන් වැදිලා ජයග‍්‍රහණය කරන ඒ වීරයන්ට අපේ සිත්වල වෙන් වුණේ සුළුපටු ඉඩක් එහෙම නෙමෙයි. අපේ ලෝකය වුණේ ඒ අය. අපේ ඔළුවල තිබුණෙ කවද ද අපිත් එහෙම වීරයෙක් වෙන්නෙ කියන එක.

අපේ ළමා වියේ අපිට මුණ ගැහුන ඒ වීරයන්ට පුදුම හිතෙන විදිහේ අපූරු ශක්තීන් තිබුණා. පුදුම උපක‍්‍රමයන් තිබුණා. අරුම පුදුම බලයන් තිබුණා. පිටස්තර හැම බලවේගයක් ම මැඩගෙන ජයග‍්‍රහණය කරන්න වාසනාව තිබුණා. පොත් පත්වල, කතන්දරවල සර්වබලධාරින් වුණ ඒ වීරයෝ සැබෑ ලෝකයේ නම් කොතැනකවත් මුණ ගැසුණෙ නෑ. ලොකු මහත් වෙනකොට අපි හැමෝට ම තේරුම් ගියා ඒ වීරකම් නිකම් ම නිකම් කතන්දර ගොඩක් විතර ම යි කියලා. සැබෑවට ම මුණ නො ගැසෙන ඒ කතන්දර වීරයෝ තව දුරටත් අපේ හිත්වල රැඳුනෙ නෑ. අපිට තව දුරටත් ඒ අය වගේ වෙන්න උවමනා වුණෙත් නෑ.

ඒ වෙනුවට අපිට ඇහෙන, පෙනෙන, දැනෙන ලෝකයෙන් වීරයෝ තෝරාගන්න පටන් ගත්ත. දේශපාලනය, ක‍්‍රීඩාව, සිනමාව සහ තවත් නොයෙකුත් ක්ෂේත‍්‍රවල අපි වීරයෝ හදා ගත්ත. ඒ වීරයොත් කාලෙන් කාලෙට වෙනස් වුණා. අපේ ඒ වීරයෝ අපි නො හිතපු ඉරණම්වලට ගොදුරු වුණා. සමහරු වයසට ගිහින් ජරාජීර්ණ වෙලා සිහි මුලා වෙලා මරණෙට පත් වුණා. තවත් කොටසක් සතුරු බලපෑම් නිසා මරණ බයෙන් සැඟවෙන අය බවට පත් වුණා. සමහරු බොහොම පිළිකුල් හිතෙන විෂමාචාරවල නියැලෙන්නන් වුණා. අන්තිමට අපිට ම ලැජ්ජා හිතෙන්න ගත්තා ‘අනේ මේ අයනේ අපි වීරයෝ හැටියට මහ ඉහළින් පිළිගත්තේ ’ කියලා.

ඇත්තට ම ලෝකයේ වීරයෝ බිහි වෙන්නේ නැද්ද?

ලෝකයේ වීරයෝ බිහි වුණා. අදටත් බිහි වෙනවා. අර්බුදය ඇති වෙන්නේ වීරයෝ බිහි වෙන හෝ නො වෙන තැනින් නෙමෙයි; අපි වීරත්වය හෝ වීරයන් නිර්වචනය කරන තැනින්. සැබෑ වීරයා වෙන්නේ බය රහිත කෙනා. දඬු මුගුරු කිසිවක් නො දරා ම ආරක්ෂිතව ඉන්න කෙනා. සැක රහිත කෙනා. දුක් සුසුම්, වැළපීම් නැති කෙනා. ඇලීම්, බැඳීම්, ගැටීම් නැති කෙනා. සැබෑ ම වූ ක්ෂේම භූමියට පැමිණි කෙනා. ඒක නේ ද සැබෑ ම වීරත්වය?

ඒත් අපි ජීවත් වෙන ලෝකය බය සහිත ව සිටිද්දි ම, දුක් සුසුම් වැළපීම් ඇතිව සිටිද්දි ම, ඇලෙන බැඳෙන ගැටෙන ලොවෙන් නිදහස් නො වී සිටිද්දි ම යම් යම් පුද්ගලයින්ට වීරත්වය ආරෝපණය කරනවා. එනිසයි සැබෑ වීරත්වය ගැන නො සොයන්නේ සහ ඒ වෙනුවට පුහු වීරත්වය ඉස්මතු වෙන්නේ. ඒ පුහු වීරත්වය තුළ අභිෂේක ලබන්නට බහුතරය කරන්නෙ හීන, ග‍්‍රාම්‍ය දේවල් කරපින්නා ගන්න එක.

ඒ නිස්සාර, හිස් දේවල් දකිද්දි අධිමුත්ත මහ රහතන් වහන්සේ ව මතක් වුණා. බිලි පූජා පවත්වමින් වස්තුව සොයා යන හොරු කණ්ඩායමක් බිල්ලක් විදිහට අධිමුත්ත ස්වාමින් වහන්සේ ව රැගෙන යද්දි උන්වහන්සේගේ වයස අවුරුදු හතයි. මහා සඟ පිරිස වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන කැමැත්තෙනුයි ඒ පුංචි ස්වාමින් වහන්සේ හොරුන්ට නර බිල්ලක් වෙන්න ඉදිරිපත් වුණේ. වේගයෙන් මතුර මතුර, කඩුව මුවහත් තබමින් ගෙලේ මල් මාලා පළඳවමින් බිලි දෙන්න සූදානම් කරද්දිවත් මේ පුංචි ස්වාමින් වහන්සේ තුළ අංශුමාත‍්‍ර තැතිගැනීමක්වත් ඇති වුණේ නැහැ. ප‍්‍රියමනාප ඉරියව් ඇති ව, සංසුන් සිත් ඇති ව, සිනාමුසු මුහුණින් එදෙස බලා සිටියා මිස උන්වහන්සේ දඟලමින් හඬා වැළපුණේ නැහැ. කඩුව ඔසවා ගෙලට පහර එල්ල කරද්දි පවා ඒ ශාන්ත පැවතුම් වෙනස් වුණේ නැහැ. කඩු පහර වැරදිලා හොරු වික්ෂිප්ත ව බලා හිඳිද්දිත් උන්වහන්සේ හුරු පුරුදු සංසුන් බව තුළ ම රැඳී සිටියා.
ඒ වෙලාවේ හොරු මෙහෙම කියනවා.

‘‘ඉස්සර අපි බිලි පූජාවලටත්, සල්ලි ගන්ටත් මිනිස්සු මැරුවා. අපි ඒ මිනිස්සුන් ව යටත් කර ගත්තහ ම ඒ ගොල්ල හරියට බය වුණා. බයට පත් වෙලා වෙව්ලන්න පටන් ගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා.

එහෙත් හරි පුදුමයි. ඔබ බය වෙලා සිටින බවක් අපිට පේන්නේ නෑ. අනික ඔබේ ශරීරයත් ලස්සනට බබලනවා. මේ වගේ භයානක අවස්ථාවක් ඉදිරියේදි වැළපෙන්නැතිව ඉන්නෙ කොහොම ද?”

අවුරුදු හතක පුංචි ස්වාමින් වහන්සේ මෙහෙම උත්තර දෙනවා.

‘‘පින්වත, මං ඉන්නේ අපේක්ෂාවක් නැති සිතින්. මට කිසිම මානසික දුකක් නෑ. හැම බන්ධනයක් ම නැති කරලා දාපු කෙනෙකුට බිය උපදින හැමදේ ම ඉක්මවා යන්න පුළුවන්.

චතුරාර්ය සත්‍ය ධර්ම සම්පූර්ණයෙන් ම අවබෝධ කළොත් භව රැහැන් ඔක්කොම කැඩිලා යනවා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා ම මරණය ඉදිරියේ භය වෙන්න කිසි දෙයක් නෑ.

මං මේ උතුම් ජීවිතයේ ඉතා හොඳට හසුරුවලා තියෙන්නේ. නිවනට යන මඟ සම්පූර්ණ කරලා තියෙන්නේ. මරණය ගැන මට කිසි ම භයක් නෑ. මරණය කියලා කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් වගේ දෙයක්.”

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ළය මඬලෙහි උපන්න අනුජාත පුත‍්‍ර රත්නයක් ඒ ආකාරයෙනුයි මරණය පෙනි පෙනී සිංහනාද කළේ. සියලූ බැමි සුනු විසුනු කළ සැබෑ ම වීරත්වය නේ ද ඒ? අවුරුදු හතක් වෙද්දි සුපර්මෑන්ලා, ස්පයිඩර්මෑන්ලා වීරයන් කරගෙන හීන ලෝකවල, හීනමානයක හුදකලා වෙන අපේ දරුවන්ට අපි කියලා දෙන්න ඕන මේ ලෝකයේ ජීවමාන ව හුන් ඒ වීර විකුම් පරපුර ගැන නෙමෙයි ද? ඒ අරහත් ධජයේ පවතින්නේ ම බිය සැක නැති බව. ඒ තමයි එකම අභය භූමිය. සැබෑ ම ක්ෂේම භූමිය. නිකෙලෙස් හදැති මුනිවරුන් දිනා ගත් විජය භූමිය.

එවන් වීරයන් යළි යළිත් බිහි කළ හැකි සහ බිහි විය යුතු යුගයක් මේ. ඒ විමුක්ති මඟ අදටත් ජීවමානයි. ඒ නිසා ප‍්‍රබන්ධ වීරත්වය පසෙක ලා සැබෑ වීරත්වය පෙරටු කරගෙන ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප‍්‍රශංසා, දුක-සැප අබියස අකම්පිත ශ්‍රේෂ්ඨ පරපුරක් බිහි කරන ගමනට නො පමාව අපිත් එකතු වෙමු. සැබෑ වීරයන් බිහි වෙන්නේ ප‍්‍රබන්ධ තුළ නො ව අප අතර ම යි. ඒ වීරත්වයට මඟ කියන්නෙත්, ඒ වීරයන් බිහි කරන්නෙත් ‘මහා වීර ගුණ ඇති හෙයින් ‘වීර’ නම් වූ’ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් නිධානය පමණ ම යි.

නමෝ බුද්ධාය!!!

(ඇසුර: අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත ‘ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා’ ග‍්‍රන්ථය)