ආභුසො සමෙන්ති එත්‍ථ රාගාදයොති වා අස්සමෝ
(රාගාදින් අතිශයින් ම මෙහි සංසිඳවත්නූ යි හෝ අසපුව නමි)

වියළී මියැදෙන්නට පෙර, ඔබ තෙමා සුරකිනු පිණිස උදා වූ චමත්කාරජනක සදහම් මහාමේඝය, සිරිලක පුරා විසිරී පැතිරී සිටින දහම් පිපාසිතයින්ගේ දම් පවස සංසිඳුවාලීමේ පරම පිවිතුරු චේතනාවෙන් ඇරඹි ‘මහමෙව්නාව’ නම් වූ මහා වනස්පතියෙන් දායාද වූ තවත් එක් අමා එලයකි. අනුරාධපුර මහමෙව්නාවේ මිහිඳු මාහිමියන් වහන්සේ විසින් පතුරුවන ලද ගෞතම බුදුරජුන්ගේ නිමල සදහම් සන්දේශය, යළිදු මේ ලෝකයට විවර කරන ලද අසිරිමත් පුණ්‍ය තීර්ථය වනුයේ ද මහමෙව්නාව මැයි. දෙවිමිනිසුන් ගේ හිතසුව පිණිස පවතින මේ පුණ්‍ය තීර්ථය ඇරැඹීමෙ හි ලා උදාරතර පුණ්‍ය චේතනාවට හිමිකම් කියන පුණ්‍ය ක්ෂේත‍්‍රය වන්නේ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද යතිවරයාණන් වහන්සේ ය. උන්වහන්සේ, මහමෙව්නාව නැමැති මෙම පුණ්‍යවන්තයින් ගේ පාරාදීසයට ‘අසපුව’ යන නම තැබූ සේක!

සැබැවින් ම මහමෙව්නාව මේ ගෙවී ගිය දහතුන් වසර පුරාවට ම, මගඵල නියං සායෙන් ඉරිතැළී ගිය මේ මිහිකත මතට සදහම් අමා වැසි වස්සවමින් සැබෑ ම අසපුවක් වූයේ ය. එහෙත් …. සුව නො වන රෝගයෙන් පෙළෙන ඇතැම්හු, තමා පමණක් ම ශාසනභාරධාරී නියාවෙන් මේ අසිරිමත් වැඩපිළිවෙළට අභූතයෙන් චෝදනා එල්ල කළහ. ඔවුහු තුළ තිබූ පහත් මානසිකත්වය කොතරම් ද කිවහොත් මේ අසපුව යන්න ද අශාසනික වදන කැයි කීහ. මේ චෝදනාවන්ට ශ‍්‍රාස්ත‍්‍රිය වශයෙන් මෙතෙක් කිසිවකු පිළිතුරු දී ඇති බව නො දන්නා හෙයින්, සියලූ දෙනා ගේ ශ‍්‍රද්ධාව තහවුරු වීම උදෙසා ගෞතම බුදු සසුන වෙනුවෙන් මා මෙසේ ලියමි.

පාළි-සිංහල දෙක ම නො දැන සසුන් බර දරන උගත්තු අද මෙරටේ සිටිති. ‘අසපුව’ යනු ‘අස්සම’ යන පාළි වදනේ ද, “ආශ‍්‍රම” යන සකු වදනේ ද හෙළ අරුත බැව් ඔවුන් නො දනිති. අසපුව යනු අශාසනික වදන කැයි චෝදනා නඟන්නේ එවැනි උගත්තු ය. (ඔවුහු අපගෙන් ද ඒ ගැන අසති) අදෝමැයි ! ඒ බව පූර්වයේ විසූ පාළි මහ පඬිවරුන් ගේ රචනා ආශ‍්‍රයෙන් ම පැහැදිලි කරන්නෙමි.

අධ්‍යාපනික, ලේඛක, කවිෂ්වර යන පාණ්ඩිත්‍ය ත‍්‍රිලක්‍ෂණයෙන් සමලංකෘත මහා ප‍්‍රාඥයෝ කලාතුරකින් ම පහළ වන්නාහ. විසිවන සියවසේ පහළ වූ එක ම අසහාය මහා ප‍්‍රාඥයා ලෙස අමරපුර චූලඝණ්ඨි නිකායාධිකර්තෘභූත පාළි මහා චක‍්‍රවර්තී යන රාජදත්තිය නාමෝපලක්‍ෂිත ඒ.යූ.ඒ ඥානතිලක ස්‍යාමරාජ පූජිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බව අවිවාදනේ සියලූ උගත්හු පිළිගත් හ. පාළි, සිංහල, සකු, ගාථා, කවි, සොලෝ එකවර දෙසියයක් පමණ ලිවීමේ හැකියාවකින් යුක්ත වූ මාහිමියෝ අපූර්ව වාග් ශක්තියකින් ද යුක්ත වූ සේක. උන්වහන්සේ විදේශීය රජුන්ගෙන් ලැබූ උක්කට්ඨමහා තිස්ස, හිස්හොලිනස් ආදි ගෞරව නාම ලැබීමට එතෙක් මෙතක් සුදුස්සකු පහළ නො වූහ. බුදුරජුන් ගේ භාෂාව යයි සලකා පාළියට පුදුම ආදරයක් මෙන් ම ගෞරවයක් ද දැක්වූ උන්වහන්සේ පාළි ව්‍යාකරණය ගැන පුදුම අයුරින් වෙහෙසුන සේක. එබැවින් මව්බස සේ ම පාළියෙහි පරප‍්‍රාප්ත වූ ඥාණතිලක ස්වාමීන්ද්‍රයෝ මව්බස හා පාළිය සමාන ව කථා කිරීමෙහි ද සමර්ථ වූහ.

උන්වහන්සේ ගේ පාළි ව්‍යාකරණ පටුත්වය ගැන දැන ගැනීමට එහිමියන් විසින් රචිත න්‍යාස, කාරිකා, නිරුත්තිරතනාකර, ගන්ධාභරණ, ඒකක්ඛරකෝස, වාචකෝපදේශාදී දේශ-දේශාන්තර පාළි ව්‍යාකරණ ග‍්‍රන්ථ 80 කට පමණ ලියූ විස්තර ව්‍යාක්‍යා ප‍්‍රමාණවත් ම ය. මාහිමියන් ගේ සාසනවංසදීප මහා කාව්‍ය (පාළිශාසන වෘත්තාන්ත – ගාථා 1672) විස්තර ව්‍යාක්‍යාවේ 13 වන ගාථාවට ලියූ විස්තරය පූර්වප‍්‍රකාර උගතුන්ගේ දුර්මත විදාරණය වීමට හේතුභූත වේ.

“ආණාය දේවපතිනෝ පන විස්සකම්ම
දෙවත‍්‍රජෙන විහිතෙ පවර’ස්සමස්මිං”

දේවපතිනෝ – ශක‍්‍රයා ගේ; ආණාය – ආඥාවෙන්; විස්සකම්ම – දේවත‍්‍රජේන පන; විස්කම් දෙව් පුත්හු විසින් වනාහි; විහිතේ – කරන ලද පවර’ස්සමස්මිං – උතුම් වූ අසපුවෙහි යනු භාව යි.

(සුමේධ තාපසයාණන්ට විස්කම් දෙව්පුත් විසින් මැවූ ‘අසපුව’ ගැන දක්වන විස්තරය යි. අස්සම යන පෙළට ‘අසපුව’ අර්ථය දී ඇති අයුරු මින් දැකගත හැක) මෙසේ මේ ගාථාවේ සමුදායාර්ථ දක්වා ඉක්බිති ව අවයවාර්ථ දක්වන විද්වජ්ජනතිලක භවත් ඥාණතිලක නායක ස්ථවිරපාදයෝ,

“ආ කොධං සමෙන්ති එත්ථාති වා
 ආභූසො සමෙන්ති එත්ථ රාගදයො තිවා අස්සමො”

(අපුබ්බ,උපසමේ – අ)
ආයිසේයී, කොධං – ක්‍රොධය; එත්ථ – මෙහි; සමෙන්ති ඉතිවා – සංසිඳවත්නූයි හෝ; එත්ථ – මෙහි; රාගාදයො – රාගාදීන්; ආයීසේසී, භූසො – අතිශයින්; සමෙන්ති ඉතිවා – සංසිඳවත්නූයිහෝ; අස්සමො – අස්සම නම්” (සාසනවංසදීප 1914-35 පිට)

(තව ද, මෙහි ‘පණ්ණසාලා = පන්සල’ යන්නට ද අසපුවෙහි සම අරුත් දී ඇත) රාගාදී ක්ලේෂයන් සංසිඳුවන ස්ථානය යි, ‘අසපුව’ යන්නට පූර්වචාරීන් අර්ථ දක්වන විට, රාගාදී කෙලෙසුන් නැසුමට ම ඇරැඹුණු මහමෙව්නාවට අසපුව යයි නම් තැබීමේ කවර නම් දොසක් ද? පූර්වෝක්ත ගාථාවෙහි ද ‘අස්සම’ යයි සඳහන් වනුයේ සුමේධ තාපසයන් වහන්සේගේ වාසස්ථානය බැවින්, මෙම වදන ශාසනික ව්‍යවහාරයෙහි යෙදේ දැ යි මීළඟට නැගෙන පැනය යි. මෙම වදන ශාසනික ව්‍යවහාරයෙහි භාවිත කළ තැනක් ද අපට හමු විය. එනම් බුරුම රජයෙන් උපසංඝරාජ ධුරය පිරිනැමීමෙන් සම්භාවිත වූ විනයාචාර්ය වැලිතර රාජගුරු සුදස්සන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විරචිත සන්න සහිත ‘චරියාපිටකයේ’ ය. එම ග‍්‍රන්ථය අවසාන ශුද්ධිපත‍්‍රාවලෝකනයෙන් පිළිගෙන වදාළේ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති හික්කඩුවේ සුමංගල සහ වස්කඩුවේ රාජගුරු සුභූති යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ය. යථොක්ත ග‍්‍රන්ථයේ විඥාපනයෙහි ලා චර්යා පිටක නිධානය හඳුන්වන උපසංඝරාජ භවත් සුදස්සන නායක ස්ථවිරපාදයෝ,

“නිග්‍රොධ නාම විදිතෙ පවර‘ස්සමස්මිං
සම්පස්සතා විහරතා හරතා ජිනෙන”

නිග්‍රොධ – නිග්‍රොධ යයි; නාම – නමින්; විදිතෙ – දන්නාලද; පවර – උතුම් වූ; අස්සමස්මිං – අසපුවෙහි යනුභාවයි. (චර්යාපිටකය 1904 – ඞඞෂඪ පිට) එතැන්හි බුදුරජුන් වැඩ විසූ ‘නිග්‍රොධාරාමය’ දක්වා ඇත්තේ ‘නිග්‍රොධ’ නම් උතුම් අසපුවෙහි යනුවෙනි.

ශුද්ධිපත‍්‍රාවලෝකනයෙන් මෙම ග‍්‍රන්ථය පිළිගත් හික්කඩුවේ සහ වස්කඩුවේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එක් අකුරකුදු නො හැර ත‍්‍රිපිටක ධර්මය සිය තීක්‍ෂණ බුද්ධියට හසු කළෝ වූහ. එවැනි උතුමන් වත්මන් වියතුන් අශාසනික වදනකුයි පවසන මේ ‘අසපුව’ යන වචනය බුදු රජුන් වැඩ විසූ වෙහෙරකට භාවිත කරන්නට දෙමින් බලාගෙන හිටියා පුදුම ය. වැරදී ඇත්තේ ඒ උතුමන්ට නො ව අවිචාරවත් විවේචන සිදු කරන වත්මන් වියතුන්ට ය. ඒ උන්වහන්සේලාට වත්මන් වියතුන්ට මෙන් සුව නො වන රෝගය වැළඳී නො තිබුණු බැවිනි.

මහමෙව්නාවෙන් සිදු වන සේවය තව තවත් මෙහි සඳහන් කරමින් පසුවීමට මා ප‍්‍රපඤ්ච නො වෙමි. ඒ මන්ද යත් නැණැතියන්ට පමණක් හඳුනාගත හැකි වන මේ අසිරිමත් මෙහෙවර ගැන නැණැතියන් ම දන්නා බැවිනි. එවන් මෙහෙවරක් සිදු කරන ආයතනයකට එක් වදනක් නිසා චෝදනා කිරීම නො හොබිනේ ය. එසේ නමක් නිසා යුග මෙහෙවරකට චෝදනා නගන්නෝ බුදුරජුන් ගේ ධර්මය නො දන්නෝ ය. ඒ බුදුරජාණන් වහන්සේ නාමයේ ඇති වටිනාකම් ගැන මැනවින් වදාරා ඇති බැවිනි.

පාපක නම් මානවකයෙක් තමාගේ නමේ නො සරුප් බව දැක දිසාපාමොක් ඇදුරිඳු වෙත අවුත් තමාට යෝග්‍ය නමක් ලබා දෙන මෙන් ඉල්වූයේ ය. ඇදුරුතුමා ද ඔහුට ජනපදය පුරා ඇවිද ගොස් සුදුසු නමක් සොයා ගෙන එන සේ පැවසී ය. ඔහු නැවත පැමිණියේ කලකිරුණු සිතිනි.

“ජීවකඤ්ච මතං දිස්වා ධනපාලිඤ්ච දුග්ගතිං
පන්ථකඤ්ච වනෙ මුල්හං පාපකෝ පුනරාගතෝති”

ජීවක (ජීවත්වන තැනැත්තා) මිය ගියේ ය. ධනපාලි (ධනය ඇති තැනැත්තී) දුප්පත් විය. පන්ථක (මාර්ගය දන්නා තැනැත්තා) වනයේ මං මුලා විය… යයි ඇදුරුතුමාට පවසා තමාගේ නම හොඳ යැයි කියමින් මානවකයා යන්නට ගියේ ය. (නාමසිද්ධි ජාතකය – ජාතක පාළි) මෙයින් ම නාමයේ ඇති වටිනාකම අපට දැක ගත හැක. නම තබා ඇත්තේ ලෝක සම්මුතිය හෙයිනි. මෑත යුගයේදී ද මෙවැනි අර්ථ විග‍්‍රහයක් මහාචාර්ය වල්පොල රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කර ඇත.

‘බුද්ධ ධර්මය ආගමක් ද, නැතහොත් දර්ශනයක් ද’ යනු, නිතර අසනු ලබන ප‍්‍රශ්නයකි. මෙයින් කවර නමක් යෙදුව ද කමක් නැත. කවර නමකින් හඳුන්වනු ලැබූව ද, බුද්ධ ධර්මය නම් බුද්ධ ධර්මය ම ය. නමේ ඇති වැදගත්කමක් නැත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වර්තමානයේ යොදන ‘බුද්ධාගම’ යන නම පවා සැලකිය යුත්තක් නො වේ.

නමෙහි ඇත්තේ කිම – අප රෝසය කියන මල
සෙසු කවර නමකින් ගත – මිහිරි සුවඳ ම පතුරයි

මෙපරිද්දෙන් ම සත්‍යයට නම් සටහනක් වුවමනා නැත. සම්ප‍්‍රදායවල නම් ගම් වනාහි සත්‍යය නිදහසේ තේරුම් ගැනීමට බාධාවක් ම ය. ඒ නම් ගම් නිසා මිනිසුන්ගේ සිත්වල ඇති වන්නේ වැරදි හැඟීම් ය.
(බුදුන් වදාළ ධර්මය-8 පිට)

මේ එක ම වැකි පෙළ මෙතෙක් දොස් නැඟූ වියතුන්ගේ දුර්මත සමුලච්ඡේදනය කරවීමට සමත් ය. ඒ දොස් නඟන්නෝ දොස් පැවරීම පසෙක තබා මැදහත් සිතින් විමසා බලා සත්‍යයට සුවසේ පැමිණෙත්වා! මේ සුරම්‍ය වූ ගෞතම බුදු සසුනේ දී සැමගේ උපන් ශ‍්‍රද්ධාවේ අභිවෘද්ධිය පිණිස, නූපන් ශ‍්‍රද්ධාව ජනනය වීම පිණිස මේ ලිපිය උපකාර වේවා!

මේ වගට
ගෞතම ශාසනස්ථිතිකාමී
රවීන් කෝදාගොඩ