හිරු රැස් චණ්ඩ වෙයි…..
ජල තරඟ ප‍්‍රබල වෙයි…..
මිහි මඬල සලිත වෙයි…..
ඔබ සූදානම් ද?

මහාමේඝයේ අපි මේ ප‍්‍රශ්නය ඔබෙන් ඇහැව්වේ 2011 අවුරුද්දේ බක් මාසයේ දී යි. අතිශය භයානක ගිනි දළු පිට කරමින් සිදු වුණ සූර්ය කැළඹීම, සූර්ය කුණාටුවක් හෙවත් සූර්ය සුනාමියක් ලෙස පෘථිවිය දෙසට පැමිණෙමින් තිබෙන බවට බොහෝ සාධක සලකා බලලයි අපි එදා ඒ ගැන ඔබව දැනුවත් කළේ. බොහොමයක් නක්‍ෂත‍්‍රකරුවන්, පේනකරුවන් පදනම් විරහිත අනාවැකි කියමින් මාධ්‍යයන් අරක්ගෙනහුන් යුගයක අපි යථාර්ථවාදී, සත්‍යය ම පදනම් වූ අරුත්බර පුවතින් ඔබ ව පෝෂණය කළා.

මුහුද ගොඩ ගලලා මහ විපතක් වෙන තුරු ම සුනාමි ගැන අල්ප මාත‍්‍රයක්වත් නො දැන හිටපු ශ‍්‍රී ලාංකික අපිට සූර්ය සුනාමි කියන්නෙත් අතිශයින් අලූත් මාතෘකාවක්. හැබැයි බටහිර ජාතීන්ට මේක අලූත් දෙයක් නො වෙයි. ඔවුන් කලක පටන් ම මේ ගැන කථා කළා.

පසුගිය වෙසක් මාසයේ ‘දෙව් ලොවින් ඇසෙන කථාවක්’ ලිපියෙනුත් ඉදිරියේ දි සූර්යයාගෙන් විය හැකි ලොකු අනතුරක් පිළිබඳ මහාමේඝයෙන් අපි දැනුවත් කළා.

සිදුකළ අනාවැකි යථාර්ථයක් බවට පත්කරමින් මේ වන විට ආයෙමත් දරුණු සූර්ය කුණාටුවක් පෘථිවිය කරා පැමිණ අවසන්. 2012.07.12 වෙනි දා හිරුගෙන් නිකුත් වුණ ගිනි දළු දැන් මෙහි ළඟා වෙලා. විශ්ව සන්නිවේදන පද්ධතියේත්, බලශක්ති ජනනයේත් බිඳ වැටීම් ඇති කිරීමට මෙය හේතු විය හැකි බවයි විද්‍යාඥයින්ගේ මතය. ඒ විතරක් නෙවෙයි. මෙයින් ඇති කෙරෙන විපර්යාස නිසා මිනිස් මනසේ ක‍්‍රියාකාරීත්වය පවා දැඩි ලෙසින් වෙනස් විය හැකි බවටත් ඔවුන් මත පළ කරනවා. ඔවුන් කියා සිටියේ තරහ, භය, ඊර්ෂ්‍යාව ආදි ආවේගශීලී, පහත් හැඟීම් මේ කාලයේ බහුල වශයෙන් ඉස්මතු වෙනවා කියලයි. දැනට ඇති දත්ත අනුව 2013 වෙනකොට සූර්ය කුණාටුවල උග‍්‍ර අහිතකර බලපෑම්වලට මුහුණ දෙන්නට පෘථිවිවාසීන්ට සිදු වෙනු ඇති.

කොහොමත් අපිට දැන් ඇස ගැටෙන වටපිටාව සුන්දර නෑ. සදාචාරය, ගුණධර්ම ඉතා ඉක්මණින් පිරිහීමෙන් ඇතිවුණ සමාජ සෝදාපාළුවේ ඛේදවාචකය අපි ළඟට එන්නේ සුසුම්  හෙළමින් කථා කළ හැකි මහා අපරාධයන් සහ අපචාරයන් ලෙසින්. දිනපතා අපි ඒ පිළිලයේ විෂ  ඕජාවෙන් අපේ ඇස් කන් පුරවා ගන්නවා. නො මිනිසුන්ගේ තිරිසන් ක‍්‍රියා දසදෙසින් දුගඳ වහනය කරවනවා. හිරු ප‍්‍රචණ්ඩ ලෙස මුළු මහත් ලෝකයට ම පහර දෙනවා. එන්න එන්න ම ගෝලීය උණුසුම වැඩි වෙනවා. ජීවත් වෙන්න නුසුදුසු තැනක් බවටයි පෘථිවිය මේ සුදුසුකම් සපුරන්නේ. එන්න එන්නම ඒ නුසුදුසුකම් වැඩි වෙන එක විතරයි වෙන්නේ.

සක්වල අතැඹුලක් කරන සන්නිවේදන සම්බන්ධතා තියෙද්දිත්…. අභ්‍යවකාශය පවා ජය ගත්ත සංවර්ධිත තාක්ෂණයක් තියෙද්දිත්…. විශිෂ්ට පරම්පරාවක් ලෙස තෝරා ගත් පිරිසක් පමණක් ඉතුරු කරලා සෙස්සන් ලොවෙන් ඉවත් කරවන සූක්ෂම වැඩපිළිවෙලවල් රහසේ ක‍්‍රියාත්මක කරන්න තරම් බලයක් තියෙද්දිත්…. ලෝකය ස්වාභාවික ව්‍යවසනයන් ඉදිරිපිට මුළුමනින් ම අසරණයි. ඔවුන් තවම අත්හදා බලනවා මේවට මුහුණ දෙන්න ක‍්‍රමයක්. රහස් උමඟකට හරි, බෙහෙතකට හරි, ආයුධවලට හරි, යන්ත‍්‍රයකට හරි මේ දේවල් සිදු වීමවත්, මේ දේවල්වලට මුහුණ දෙන්න සිදු වීමවත් වළක්වන්න බෑ කියන සත්‍යය ඔවුන් තේරුම් ගෙන නෑ.

අපි ඉන්න මේ ශිෂ්ටාචාරෙට වැඩිය බොහොම දියුණු ශිෂ්ටාචාර පෙර පැවතුණා. ඒ කිසිවක නො වෙනස්ව, නො නැසී පැවති දෙයක් නම් නෑ. ඒ සියල්ල වැනසිලා ගියා. මීට වැඩිය නො දියුණු ශිෂ්ටාචාරත් ඒ විදිහට ම වැනසිලා ගියා. නිත්‍ය වුණ කිසි දෙයක් නෑ. අපිටත් ඒ සිද්ධාන්තය පොදුයි. ඒකාන්තයෙන් ම මේ සියලූ දෙනාත්, මේ සියලූ දෙයත් නැසී වැනසී යනවා. එහෙම එකේ මේ ලෝකයෙන් අපිට මොන පිහිටක් ද? මොන පිළිසරණක් ද?

වරදවා ගන්න එපා!!! ….. අපි මේ කථා කරන්නේ ලෝක විනාශයක් ගැන නෙවෙයි. මිනිස්-සත්ත්ව ප‍්‍රජාවට සිදුවිය හැකි මහා ව්‍යසනයක් ගැන. දියුණු යැයි උදම් අනන ශිෂ්ටාචාරයක සෝචනීය කඩාවැටීමක් ගැන. ලෝක විනාශය සිද්ධ වෙන හැටි අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ සප්ත සූරියෝද්ගමන සූත‍්‍රයේ දී මනාව දේශනා කරනු ලබනව.

නැසී වැනසී යාම ඉදිරියේ එකම පිළිසරණ වන්නේ අපේ කාය ශක්තියවත්, වාග් ශක්තියවත් නො වෙයි. දඟලලා, කෑ ගහලා මොනවා ලබන්න ද?  අපිට රැකවරණය වෙන්නේ, පිළිසරණ වෙන්නේ ධර්මය දියුණු කිරීමෙන්, ප‍්‍රගුණ කිරීමෙන්, බහුලව භාවිතා කිරීමෙන් ඇති කර ගන්න චිත්ත ශක්තිය විතරමයි.

අතීතයේ යම්තාක් පිරිසක් මේ නැසෙන වැනසෙන ලෝකයේ අනිත්‍ය වසඟයෙන් නිදහස් වුණා නම් ඒ ඒකාන්තයෙන් ම උතුම් තිසරණයෙහි පිහිටා තිදොර සංවර කළ උතුම් බුද්ධශ‍්‍රාවකයින් ම යි.  වර්තමානයටත්, අනාගතයටත් එය ඒ ආකාරමයි. විපත් අබියෙස අසරණ වන අනාර්ය විද්‍යාව ශේෂ කරන්නේ තව තවත් විපත් බහුල වීමක්. එහෙත් උපත්, විපත් සියල්ලෙන්  සත්වයා නිදහස් කරලන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සනාතන, සදාතන ආර්ය විද්‍යාව තුළ ඇති කෙරෙන්නේ විමුක්තිය යි. ඒ විමුක්ති මඟ දෙව් මිනිස් ලෝකයාට තවමත් විවෘතයි. මේ තුන් ලෝකයේ ම සැපය, විමුක්තිය රැඳුනේ ඒ දහම් මඟෙහි අප‍්‍රමාදී වීම තුළ පමණ ම යි.

පමාද’මනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා
අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති

‘‘මේ ප‍්‍රඥාවක් නැති අන්ධ බාල ජනතාව කාම සැපයට අහුවෙලා, ප‍්‍රමාදයේම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප‍්‍රමාදී බව රැකගන්නෙ, තමන් සතු මහානීය ධනයක් රකිනවා වගේ.”
– ධම්ම පදය (අප්පමාද වග්ගය) 

විපත් බහුල ලෝකයෙන් මේ විමුක්ති මඟ අතුරුදන්ව යන්නට කලින් අද අද එන මරු දැක අප‍්‍රමාදී වීම පමණමයි කළ යුතුව තිබෙන්නේ…

නමෝ බුද්ධාය!