හිටි හැටියේ සිදු වෙන දේවල්වලින් අඩුවක් ලෝකයට නැත. අප අසන දකින බොහෝ දේවල් සිදු වන්නේ ම හිටි හැටියේ ය. හදිසියේ ය. හදිසි අනතුරු, හදිසි ආපදා, හදිසි මරණ ආදී බොහෝ දේ මේ හිටි හැටියේ සිදු වන දේවල්වලට අයිති ය. සියලූ දෙය හදිස්සියෙන් කරන්නට දත කන ලෝකයට ‘හදිසිය’ විසින් බොහෝ කොට ඇති කරවන්නේ මහ කම්පනයන් ය. පසු තැවීම් ය. සසල වීම් ය.

වෛද්‍ය ප‍්‍රියංගිකා කුමාරි ගුණසේකර මෙනෙවිය ගේ හදිසි අභාවය නිසා පසු ගිය පොසොන් පොහෝ දිනයේ දී බදුල්ල මහ රෝහල තුළ ද දක්නට වූයේ සසැලූන ස්වභාවයකි. 28 හැවිරිදි ඇය මිය ගියේ හිටි හැටියේ ය. පේරාදෙනි සරසවියෙන් වෛද්‍ය උපාධිය ලද ඇය සිය වෘත්තීයමය ජීවිතය අරඹා ගෙවී ගොස් තිබුණේ කෙටි කලකි. රටට බොහෝ වැඩ ඇති වෛෙද්‍යවරියක හිටි හැටියේ මෙලෙස ජාතියට අහිමි වීම බොහෝ සිත් කම්පනයට පත් කළ සිදුවීමක් විය.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන බව ළමා වියේ සිටම ඔප්පු කළ පි‍්‍රයංගිකා, මා පිය, ගුරුවරුන් ගේ සුබ බලාපොරොත්තුවක් වූ බව නිසැක ය. මේ හදිසි මරණය නිසා ඒ සියලූ සුබ ප‍්‍රාර්ථනාවන් සැණෙකින් බිඳ වැටිනි. රටම සුවපත් කරවන වෛද්‍යවරියක් බවට පත් වීම දක්වා පැමිණි ඇගේ ගමන වටා ගොනු වූ සියල්ලන්ට ම ඉතිරිව ඇත්තේ දුක් සහගත මතකයක් පමණි.

කලින් දැනුම් දී පැමිණෙන මරණයක් නැති නිසා මෙවැනි හිටි හැටියේ සියල්ල අහිමි වීම් අප බලාපොරොත්තු විය යුතු ම ය. එය සියල්ලන්ට පොදු වූ ලෝ දහමකි. අප කැමති වුව ද, අකැමති වුව ද සිදු වන්නේ එයයි. අප කැමති අයට ද, අකැමති අයට ද සිදු වන්නේ එයයි. අපි එකම ඉරණමක් විවිධ අවස්ථාවල දී, විවිධ ස්වභාවයෙන් අත් විඳින්නන් පමණක් ම වෙමු. සදාකාලික නොවූ ලොවක මෙවැන්නක් ම මිස අන් කවරක් නම් බලාපොරොත්තු විය හැකි ද? අවසානයට ඔබට දුරකථන ඇමතුමක් දුන් කෙනා නැවත කිසි දිනක ඔබට කථා නො කරන්නට ඉඩ තිබේ. මෙය කියවන ඔබ ඊ ළඟ මොහොතේ ජීවතුන් අතර නො සිටින්නට ද ඉඩ තිබේ. ජීවිතය වෙලා ගත් සැබෑව එයයි.

හදිසියෙන් හදිසියෙන් සියලූ දෙය සිදු වනු දකින්නට ලෝකයට ඇත්තේ අරුම පුදුම උවමනාවකි. මේ ඉවුරෙන් ඒ ඉවුරට යන්නට සිහින පොදි කර ගසාගෙන මුළු මහත් ලෝකය ම ගමන් කරන්නේ හදිසියෙන් ය. ඉවුරු දෙකෙලවර යා කරන පාලම බිඳ වැටෙන්නේ හදිසිය වැඩිකමත්, හීන කන්දේ බර වැඩිකමත් නිසා ය. අනතුරු රහිතව ඉවුරට යෑමට නම් සිහින බර සැහැල්ලූ කර ගනිමින් හෙමින් සීරුවේ යා යුතු ය.

ඉක්මන් වීම තුළ අනතුරු සහගත බව වැඩි නිසා හෙමින් ගමන කොයි අයුරිනුත් හොඳ ය. අනාරක්ෂිත ජීවිතයට ආරක්ෂාවක් සපයා ගන්නට හැක්කේ එවැන්නකින් පමණි. අප මේ කියා සිටින හෙමින් ගමන හිටි හැටියේ සිදු වන විපතක දී අප සුරක්ෂිත කරවන එකම ආරක්ෂාව වන බව නම් නිසැක ය.

හිස හැරුන හැරුන අත දිව යන ලෝකයේ මොහොතක් නැවතී කල්පනා කරන්නට සහ කලණ මිතුරන් ඇසුරේ මුණ ගැසෙන ඒ එකම පිළිසරණ සදා ගන්නට දිනෙන් දින අපට අසන්නට දකින්නට ලැබෙන හිටි හැටියේ සිදු වන සදාතන අහිමි වීම් පමණක් ම ප‍්‍රමාණවත් ය. අන් කවරදාකටවත් වඩා හෙමින් යා යුතුව ඇත්තේ දැන් ය.
සබද, හදිසි නොම වී අප‍්‍රමාදීව යන මේ හෙමින් ගමනට එක් වනු මැන….

හෙමින් යෑම යනු ප‍්‍රමාද වීම නොවේ; ප‍්‍රවේශම් වීම ය.

නමෝ බුද්ධාය!