දස මස කුස හොවා දරුවන් රකින්නී අම්මා ය. නො දුටු දරුවන් පවා ළෙහි හොවා නළවන්නී, සනසවන්නී අම්මා ය; කවන්නී අම්මා ය; පොවන්නී අම්මා ය. නිමක් නැති දරු සෙනෙහසින් ඇඟ ලෙය කිරට හරවන්නී අම්මා ය. මහපොළව සේ සියලූ දුක් විඳ දරාගන්නී අම්මා ය. මහ සයුරසේ කඳුළු හෙළන්නී අම්මා ය. නිල් අහසසේ බලා හිඳින්නී අම්මා ය. අපරිමිත දරු සෙනෙහසින් ලොව ප‍්‍රාණය නගන්නී අම්මා ය. ඔව්… ඇය ඔබේත්, මගේත් අම්මා ය.

අප මේ කථා කරන්නට යන්නේ ඒ අම්මාවරුන් ගැන නම් නොවේ. සම්මා සම්බුදුවරුනට මතු බුදුවන්නට විවරණ දුන් අම්මාවරුන් වෙනුවෙන් අපරිමිත කැපවීම් කරන්නා වූ බෝසත් දරුවන් ගැන ය.

මෙයින් අසංඛ්‍යෙය කල්ප විසි ලක්ෂයකට පෙර මහ සයුර මැද අනතුරට පත්ව සිටිය දී මවු කර තබා ගෙන සත් දිනක් මුළුල්ලේ සයුරු දියෙහි පීනා ගිය යොවුන් පුතෙකු ගිලී මියෙන්නට නො දී මරුගෙන් මවු රැක ගත් හැටි අපි අසා ඇත්තෙමු. පරක්, තෙරක් නො පෙනෙනා සංසාර සාගරයෙන් සත් වග එතෙර කරවමින් ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ ඒ බෝසත් පුතු ය.

මෙයින් සියවස් ගණනකට පෙර මහලූ මව සියතින් ම නහවා, කවා, පොවා, සතපවා රාජ සභාවට ගිය පුතෙකු ගැන ද අපි අසා ඇත්තෙමු. ඒ අග්බෝ නමින් ලක්දිව කිරුළු පලන් රජ පුතු ය.

දුර ඈත එවන් යුගයන්හි දී මුණ ගැසුණ බෝධිසත්ව ගුණෝපේත දරුවන් අපේ යුගයට සුලබ නැත. එදිනෙදා පුවත් බොහොමයකින් අප දකින්නේ දේපල වස්තු තණ්හාව නිසාවෙන් මවුවරුන් තලනපෙළන දරුවන් ය. අත, පය වාරු නැති වීම නිසාවෙන් ම මව්පියවරුන් මහලූ මඩම්හි ගාල් කරන දරුවන් ය. මහලූ මව දරා ගත නො හැකි බරක් ලෙස සලකමින් මහ මඟ දමා යන දරුවන් ය. ළෙහි හොවා තමන් හැදු මව සියතින් ම මරා දමනා දරුවන් ය. අප අත්විඳින ඛේදනීය සමාජ යථාර්ථය එය යි.

එවන් සමාජ වටපිටාවක අබලදුබල ව ගිය මහලූ මෑණියන් දෙනෙත් සේ රැක බලා ගන්නා මෙවන් දරුවන් මුණ ගැසෙන්නේ බෝසත් සිරිත යළිත් සිහි ගන්වන්නට මෙනි. ඔවුහු මිල මුදලින් ප‍්‍රකෝටිපතියන් නො වේ. අඟපසගින් අඩුපාඩු නැත්තන් ද නො වේ. ඒ සියල්ල පරයා ඉස්මතු වන බෝසත් ගති ගුණයෙන් ඔවුන් අන්කිසිවෙකු ට නො දෙවනි තරමින් පොහොසත් ය.

ඔබ මෙහි දකිනා ශී‍්‍ර ලාංකික මිනිසා තල් අත්තකින් සෙවණ කළ වීල්බැරෝවක තබා ගෙන තමන් යන තැනට මව රැගෙන යන්නේ ඇස් මානයේ තබා ගනිමින් මව බලා කියා ගැනීමට ඇති වුවමනාව නිසා ය. ඔහු පොල් කැඞීමෙන් ජීවිකාව කර ගෙන යන්නෙකි. පිටරැටියෙකු වූ අනෙකා ද සිය ආබාධිත බවවත් ගණනකට නො ගෙන මවට ඇප උපකාර කිරීමෙහි යෙදෙන්නෙකි.

මෙවන් දරුවන්ට බෝසත් දරුවන් යැයි කියනු හැර අන් කවර නමක් නම් කිව යුතු ද?

එහෙව් බෝසත් දරුවනට මතු හිමිවන තැන පිළිබඳ සම්බුදු මුව මඬලින් වදහළ දේ අවසන සනිටුහන් කරන්නේ ලොව පුරා වෙසෙන යම් තාක්වූ මෙවන් උත්තම ගුණැති දුවාදරුවනට උත්තමාචාර පුද කරමිනි.

‘‘පින්වත් මහණෙනි, යම් පවුල්වල දරුවන්ගෙ මව්පියෝ තම නිවසේ දී ම පිදුම් ලබනවා නම් ඒ පවුල් සිටින්නේ බ‍්‍රහ්මයා සහිත ව යි. පූර්ව ආචාර්යවරු සහිත ව යි. දුර සිට නමුත් රැගෙන එන ආහාරපානාදියෙන් උපස්ථාන ලැබීමට සුදුසු උතුමන් සමඟ යි. ප‍්‍රජාවට අනුකම්පා කරන මව්පියවරු වනාහි බ‍්‍රහ්මයෝ ය. පූර්ව ආචාර්යවරු, පූර්ව දේවතාවන් කියලා කියන්නෙත් ඔවුන්ට යි. පින්වත් මහණෙනි, ආහුණ්‍යෙය යනු දෙමව්පියන්ට නමකි. ඒ මව්පියෝ තම දු පුතුන් හට බොහෝ උපකාර කරන්නෝ ය. හදාවඩා ගන්නෝ ය. පෝෂණය කරන්නෝ ය. මෙලොව පෙන්වන්නාහු ය. දුර සිට නමුත් ආහාරපාන රැගෙනවිත් උපස්ථාන ලැබීමට සුදුසු ය. ඒ නිසා නුවණැති පුද්ගලයා ඒ දෙමාපියන් හට වඳිනවා. ආහාරපාන ආදියෙන්, ඇඳ පුටුවලින්, ඇඳුම් පැලඳුම්වලින් උපස්ථාන කරන අතරේ ඇඟපත සේදීම්, නැහැවීම්, පා දෝවනය කිරීම් ආදියත් කරනවා. මව්පිය උපස්ථානය කරනා නුවණැත්තා මෙලොව දී ප‍්‍රශංසාවට ලක් වෙනවා. ඒ අය මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ උපදිනවා.”
(සබ‍්‍රහ්මක කුල සූත‍්‍රය – අංගුත්තර නිකාය)

නමෝ බුද්ධාය!