1. මහා මුනීන්ද්‍ර වූ අපගේ සර්වඥයන් වහන්සේ මහා සම්මත රාජවංශයෙහි මෙම කල්පය ආරම්භයෙහිදී මහා සම්මත නම් රජුව සිටියහ.

2. එසේම රෝජ, වරරෝජ, කල්‍යාණ, වරකල්‍යාණ, උපෝසථ, මන්දාතු, චර, උපචර,

3. චේතිය, මුචල, මහාමුචල, මුචලින්ද, සාගර, සාගරදේව,

4. භරත, භාගිරථ, රුචි, සුරුචි, ප‍්‍රතාප, මහාප‍්‍රතාප, පනාද, මහාපනාද,

5. සුදස්සන, මහාසුදස්සන, නේරු, මහානේරු වශයෙන් මහා සම්මත රාජවංශයෙහි මුල් රජ පරපුරෙහි දරු මුනුබුරෝ පහළවූහ.

6. අසංඛෙය්ය ආයු ඇතිව සිටි මේ අටවිසි රජවරු කුශාවතිය, රාජගෘහ ය, මිථිලාව යන නගරයන්හි රජකළහ.

7. එම රජපරපුරෙහි දරු මුනුබුරෝ සිය දෙනෙක් ද, පනස් හය දෙනෙක් ද, සැට දෙනෙක් ද, අසූ හාර දහසක් ද, එයින් මෑත භාගයේ

8. තිස් හය දෙනෙක් ද, විසි අට දෙනෙක් ද, විසි දෙදෙනෙක් ද, දහ අට දෙනෙක් ද, දහ හත් දෙනෙක් ද, පහළොස් දෙනෙක් ද, දහ හතර දෙනෙක් ද,

9. නව දෙනෙක් ද, සත් දෙනෙක් ද, යළි දොළොස් දෙනෙක් ද, විසි පස් දෙනෙක් ද, ඉන්පසු විසි පස් දෙනෙක් ද, නැවත දොළොස් දෙනෙක් ද, නැවතත් දොළොස් දෙනෙක් ද, නව දෙනෙක් ද,

10. මඛාදේව ආදී අසූ හාරදහසක් දෙනෙක් ද, කළාරජනක ආදී අසූ හාරදහසක් දෙනෙක් ද,

11. ඔක්කාක රජු දක්වා යළි දරු මුනුබුරෝ දහසය දෙනෙක් ද වශයෙන් ඔවුහු කැමති පරිද්දෙන් රාජ්‍ය අනුශාසනයෙහි යෙදුණාහ.

12. ඔක්කාක රජහු හට ඔක්කාමුඛ නමින් ජ්‍යෙෂ්ඨ කුමාරයෙක් විය. නිපුර, චන්දිමන්තු, චන්දමුඛ, සිවි, සඤ්ජය,

13. වෙස්සන්තර මහරජ, ජාලිය, සීහවාහන, සීහස්සර ආදී වශයෙන් දරු මුනුබුරෝ පහළ වූහ.

14. සීහස්සර රජහු හට අසූ දෙදහසක් දරු මුනුබුරෝ ය. ඔවුන්ගේ අන්තිමයා ජයසේන නම් විය.

15. කපිලවස්තු නගරයෙහි ශාක්‍ය රජවරුන් ලෙස මොවුහු ප‍්‍රසිද්ධ වූහ. සිංහහනු මහරජතුමා ජයසේන රජුගේ පුත‍්‍රයා ය.

16. ජයසේන රජු හට යශෝදරා නමින් දියණියක් ද සිටියාය. දේවදහ නගරයෙහි දෙව්දහ ශාක්‍ය නමින් රජෙක් සිටියේය.

17. ඔහුට අඤ්ජන නමින් කුමාරයෙක් ද, කච්චානා නමින් කුමාරියක ද වශයෙන් දරුදෙදෙනෙක් වූහ. කච්චානා කුමාරිකාව සිංහහනු රජුගේ අග‍්‍රමහේෂිකාව වූවාය.

18. අඤ්ජන ශාක්‍ය රජහුගේ අග‍්‍රමහේෂිකාව වූවා යශෝදරාවෝ ය. එම අඤ්ජන රජු හට මායා නමින් ද, ප‍්‍රජාපතී නමින් ද දූකුමරියෝ දෙදෙනෙක් වූහ.

19. එමෙන්ම එම රජු හට දණ්ඩපාණී ශාක්‍ය නමින් ද, සුප‍්‍රබුද්ධ ශාක්‍ය නමින් ද කුමාරවරු දෙදෙනෙක් වූහ. සීහහනු රජු හට පුත් කුමාරවරුන් පස් දෙනෙක් ද, දූ කුමාරිකාවෝ දෙදෙනෙක් ද වූහ.

20. සුද්ධෝදන, ධෝතෝදන, සක්කෝදන, සුක්කෝදන, අමිතෝදන වශයෙන් පඤ්ච පුත‍්‍රයෝ වූහ. දියණිවරු දෙදෙනා අමිතා, ප‍්‍රමිතා නම් වූහ.

21. සුප‍්‍රබුද්ධ ශාක්‍ය රජුගේ මහේෂිකාව වූවා අමිතාවෝ ය. මේ දෙදෙනා හට භද්දකච්චානා නමින් දූ කුමරියක් ද, දේවදත්ත නමින් පුත් කුමරෙක් ද වූහ.

22. මායා කුමරියත්, ප‍්‍රජාපතී කුමරියත් සුද්ධෝදන රජුගේ මෙහෙසියෝ වූහ. සුද්ධෝදන මහරජුට දාව මායා බිසව්ගේ කුසින් අප සර්වඥයන් වහන්සේ උපන් සේක.

23. මෙසේ මහාවංශ රාජ පරම්පරායෙහි ආවාහ විවාහ ආදිය තුළින් නොබිඳී පැවති ක්ෂත‍්‍රිය වංශය නම් වූ මෙම මහා සම්මත රාජ වංශයෙහි අපගේ මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ අවසාන ජන්මය විය.

24. බෝධිසත්ව වූ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ මහේෂිකාව වූවා භද්දකච්චානා කුමාරිකාවෝ ය. ඒ මහේෂිකාවගේ පුත‍්‍රයා වූයේ රාහුල කුමාරයා ය.

25. බිම්බිසාර කුමාරයා ද, සිද්ධාර්ථ කුමාරයා ද යහළුවෝ ය. ඒ  දෙදෙනාගේ පියරජවරුන් ද යහළුවෝ ය.

26. අප බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජු හට වඩා පස් අවුරුද්දකින් වැඩිමහළු වූ සේක. මහබෝසතාණන් වහන්සේ විසින් අභිනිෂ්ක‍්‍රමණය කරන ලද්දේ වයස විසි නවයේ දී ය.

27. සය වර්ෂයක් පටන් වෙර වඩමින් දුෂ්කර ක‍්‍රියායෙහි යෙදී (එය අත්හැර මැදුම් පිළිවෙත තුළින්) උතුම් සම්බෝධියට පත්ව, තිස් පස් වැනි වියෙහිදී අප බුදුරජාණෝ බිම්බිසාර රජු කරා වැඩි සේක.

28. බිම්බිසාර රජු තම පියා විසින් අභිෂේක කරන ලද්දේ වයස පහළොවේදී ය. මහා ප‍්‍රාඥ වූ බිම්බිසාර රජ තෙමේ එතැන් සිට රජකරන්නට විය.

29. බිම්බිසාරයන් රජ පැමිණි දහසය වෙනි වසරේ දී ශාස්තෘන් වහන්සේ දහම් දෙසූ සේක. හෙතෙම පනස් දෙවසරක් රජකම් කළේය.

30. අපගේ සර්වඥයන් වහන්සේ මුණගැසෙන්නට පෙර ඔහු පසළොස් වසරක් රජ කළේය. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි කල්හි තිස් හත් වසරක් රජකළේය.

31. බිම්බිසාර රජහුගේ පුත‍්‍ර වූ කෲර සිත් ඇති මහා මිත‍්‍රද්‍රෝහී වූ අජාතසත්තු කුමාරයා බිම්බිසාර රජහු මරවා අවුරුදු තිස් දෙකක් රාජ්‍ය පාලනය කළේය.

32. අප මුනිඳාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අජාසත් රජ වී අටවෙනි වර්ෂයෙහිදී ය. ඉන්පසුව ඔහු විසි හතර වර්ෂයක් රජ කළේ ය.

33. සකල ගුණයෙන්ගෙන් මුදුන් පත් වූ අප තථාගතයන් වහන්සේ ක්ලේශ වසඟයනට පත් නොවූ සිතින් අනිත්‍යභාවයට පත්ව පිරිනිවන් පා වදාළ සේක. මෙසේ මේ ලෝකයෙහි භය උපදවන්නා වූ අනිත්‍ය ස්වභාවය යමෙක් නුවණින් විමසා අවබෝධ කරයි ද, ඔහු දුකෙන් එතෙර වන්නේ ය.

හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි මහාසම්මත වංශය නම් වූ දෙවෙනි පරිච්ඡෙදය නිමාවට පත්විය. –