highlights of the week
Home » Archives » මහාවංශය 5

මහාවංශය 5

37. පාපී භික්ෂූන්ගේ පක්ෂය ගත් ඒ රජ තෙමේ ද ඇමතිවරුන් ව එහි යැව්වේ ය. නමුත් බුදුසසුනෙහි පහන් සිත් ඇති දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ ඇමතිවරුන්ට පාර වැරදී   වෙනත් තැනකට ගියහ.

38. ඒ ඇමතිවරුන් ව පිටත් කළ මිහිපල් තෙමේ රාත‍්‍රියෙහි නිදා සිටිද්දී සිහිනයක් දුටුවේ ය. එනම් තම ශරීරය නිරයේ ලෝදිය සැලියක වැටී ඇති ආකාරයයි.

39. රජතුමා අතිශයින් ම බියට පත්විය. රජතුමා ව අස්වසනු පිණිස ඔහුගේ නැගණිය වූ නන්දා නම් රහත් ස්ථවිරීන් වහන්සේ අහසින් වැඩම කළෝ ය.

40. ‘‘රජතුමනි, නුඹවහන්සේ විසින් කරන ලද්දේ බරපතල කර්මයකි. ධාර්මික වූ භික්ෂු සංඝයාගෙන් සමාව ගන්න. නුඹවහන්සේ ධාර්මික භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගෙන බුද්ධ ශාසනයට උපකාර කරන්න.

41. මෙසේ කළ විට නුඹවහන්සේට සෙතක් වන්නේ ම ය” කියා ඕ තෝමෝ පිටත්ව ගියා ය. රජතෙමේ උදෑසනින් ම විශාලා මහනුවර බලා නික්ම ගියේ ය.

42. ඒ රජතෙමේ විශාලාවෙහි මහාවනයට ගොස් භික්ෂු සංඝයා රැස් කරවා දෙපක්ෂයෙහි ම මතවාද අසා ධාර්මික වූ භික්ෂු සංඝයාගේ පක්ෂයට කැමති වී,

43. ඒ දැහැමි වූ සියලූ භික්ෂු සංඝයා වහන්සේලා කමා කරවාගෙන තමන්ගේ ධාර්මික වූ ශාසනික පක්ෂපාතීභාවය ප‍්‍රකාශ කොට නුඹවහන්සේලා කැමති පරිද්දෙන්,

44. බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න යැයි ප‍්‍රකාශ කොට උන්වහන්සේලාට ආරක්ෂා රැකවරණ ලබා දී තමන්ගේ නගරයට ගියේ ය.

45. එකල්හි එම දසවස්තුව විනිශ්චය කිරීම පිණිස සංඝයා වහන්සේ රැස් වූ සේක. එකල්හි කෙළවරක් නැති වාද විවාද කථාවන් සංඝයා මැද හටගත්තේ ය.

46. ඉක්බිති ඒ රේවත මහරහතන් වහන්සේ සංඝයා මැදට වැඩමකොට සංඝයාට කරුණු අස්සවා දසවස්තුව පිළිබඳ ව විනිශ්චය කිරීම පිණිස, අධර්මවාදී පිරිස සංඝයාගෙන් බැහැර කිරීම වෙනුවෙන් කරන උබ්භාහිකා නම් විනය කර්මය නිර්දේශ කළ සේක.

47. ඒ සඳහා පෙරදිගවාසී රහතන් වහන්සේලා සතර නමක් ද, පාවෙය්යක භික්ෂූන් සතර නමක් ද සම්මත කළ සේක. ඒ භික්ෂූන් වහන්සේලා අට නම උබ්භාහිකාව සම්මත කළ සේක.

48. සබ්බකාමී රහතන් වහන්සේ ද, සාළ්හ රහතන් වහන්සේ ද, ඛුජ්ජසෝභිත නම් රහතන් වහන්සේ, වාසභගාමික රහතන් වහන්සේ ද අයත් වූයේ පෙරදිගවාසී භික්ෂු සංඝයාට ය.

49. රේවත රහතන් වහන්සේ ද, සාණුවාසී සම්භූත රහතන් වහන්සේ ද, කාකණ්ඩපුත‍්‍ර යස රහතන් වහන්සේ ද, සුමන රහතන් වහන්සේ ද අයත් වූයේ පාවෙය්යක සංඝයාට ය.

50. මෙම රහතන් වහන්සේලා අට නම නිශ්ශබ්දතාවයෙන් යුතු ව නිරාකූල ලෙස මෙම දසවස්තුව සංසිඳුවනු පිණිස වාලූකාරාමයට වැඩම කළහ.

51. එහි දී නවක භික්ෂූන් වහන්සේ නමක් විසින් පණවන ලද යහපත් ආසනයෙහි මහාමුනීන්ද්‍රයන් වහන්සේගේ අදහස් ගැන අවබෝධයක් ඇති මහා ස්ථවිරයන් වහන්සේලා වැඩහුන්හ.

52. මෙම දසවස්තුව පිළිබඳ ව එක එක කරුණ ප‍්‍රශ්න විමසීමෙහි දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ විසින් සබ්බකාමී මහරහතන් වහන්සේගෙන් විමසා සිටි සේක.

53. එකල්හි සබ්බකාමී මහරහතන් වහන්සේ සූත‍්‍ර දේශනා උපුටා දැක්වීමෙන් දසවස්තුවට අදාළ එක් එක් කාරණය කැප නො වන බවට පවසා වදාළහ.

54. ඒ රහතන් වහන්සේලා මනා පිළිවෙලකින් යුක්ත ව එම ආරවුල බැහැර කොට සංඝයා මැදදීම එහි ප‍්‍රශ්න විමසීමත්, විසඳීමත් කළ සේක.

55. ඒ මහා ස්ථවිරයන් වහන්සේ දසවස්තුව ප‍්‍රසිද්ධ කොට එයට යොමු වූ පාපී භික්ෂූන් වහන්සේලා දසදහසක් පිරිසට නිග‍්‍රහ කළ සේක.

56. එකල්හි මෙම පෘථිවියෙහි සංඝයා අතර වැඩිමහලූ තෙරුන් වහන්සේව වැඩසිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ උපසම්පදාව ලැබ එකසිය විසි වස් ඇතිව වැඩ සිටි සේක.

57. සබ්බකාමී රහතන් වහන්සේ ද, සාළ්හ රහතන් වහන්සේ ද, රේවත රහතන් වහන්සේ ද, ඛුජ්ජසෝභිත රහතන් වහන්සේ ද, කාකණ්ඩපුත‍්‍ර යස රහතන් වහන්සේ, සාණුවාසික සම්භූත රහතන් වහන්සේ ද,

58. යන මේ රහතන් වහන්සේලා ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වූ සේක. වසභගාමික රහතන් වහන්සේ ද, සුමන රහතන් වහන්සේ ද යන මෙම රහතන් වහන්සේලා දෙනම

59. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වූ සේක. ඒ සියලූ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ දැකීමට වාසනාව ලද භික්ෂූන් වහන්සේලා වූ සේක.

60. මෙම කරුණ උදෙසා භික්ෂූන් වහන්සේලා දොළොස් ලක්ෂයක් රැස්වූහ. ඒ සංඝ සන්නිපාතයෙහිලා ප‍්‍රමුඛව වැඩසිටියේ රේවත මහරහතන් වහන්සේ ය.

61. එහෙයින් එවිට ඒ රේවත මහරහතන් වහන්සේ චිරාත් කාලයක් සද්ධර්මය පවතිනු පිණිස ධර්ම සංගායනාවක් කරවන්නට ඒ සියලූ භික්ෂු සංඝයා අතරින්,

62. අර්ථ, ධර්ම, නිරුක්ති, ප‍්‍රතිභාන යන පටිසම්භිදාලාභී ත‍්‍රිපිටකධාරී රහතන් වහන්සේලා හත්සිය නමක් තෝරාගත් සේක.

63. ඒ සියලූ රහතන් වහන්සේලා කාලාශෝක නරේන්ද්‍රයන් විසින් කරන ලද රැකවරණ සහිත වූ වාලූකාරාමයෙහි රේවත මහරහතන් වහන්සේ මුල්කොට ගෙන ධර්ම සංගායනාව කළ සේක.

64. කලින් ප‍්‍රථම ධර්ම සංගායනාවෙහි කරන ලද අයුරින් ම මේ ධර්මය ප‍්‍රශ්න ඇසීම ද, විමසීම ද ආදිය කොට අට මසකින් සංගායනාව නිම කළ සේක.

65. මේ අයුරින් දෙවෙනි ධර්ම සංගීතිය කළ මහා කීර්ති ඇති, දොස් රහිත වූ ඒ රහතන් වහන්සේලා ද සුදුසු කල්හි පිරිනිවන් පා වදාළහ.

66. මේ අයුරින් උතුම් ප‍්‍රඥාවෙන් යුක්ත වූ, ලොව්තුරු ගුණයන් පමුණුවා ගන්නා ලද, භවත‍්‍රයවාසීන් හට සෙත සලසන ලෝකනාථයන් වහන්සේගේ පුත‍්‍ර වූ රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම නම් වූ මරණය සිහිකොට සාර රහිත වූ සංඛත ධර්මයන්ගේ ස්වභාවය නුවණින් විමසා ධර්මයේ හැසිරීම පිණිස අප‍්‍රමාදී විය යුත්තේ ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ද්විතීය ධර්ම සංගීතිය නම් වූ සිව්වෙනි පරිච්ඡේදය නිමා විය. –

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය

ඒ සත්‍ය වූ, නිර්මල වූ ධර්මය ම භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ හැටියට පනවලයි අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ.