01. මුලින් ම මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ.

02. මුල සිට වර්ෂ සියයක් ම පැවතුණේ එක ම ථේරවාදය යි. ඉන් පසු ව වෙනත් ආචාර්යවාදයෝ පහළ වූහ.

03. දෙවන ධර්ම සංගායනාවේ දී රහතන් වහන්සේලා විසින් නිග‍්‍රහ කොට බැහැර කරන ලද පාපී භික්ෂූන්ගේ ගණන දස දහසකි.

04. ඔවුහු ‘මහාසංගීති’ නාමයෙන් ආචාර්යවාදයක් ආරම්භ කළහ. එම මහාසංගීතිවාදී භික්ෂූන්ගෙන් ‘ගෝකුලික’ නමින් ද ‘ඒකබ්බෝහාරික’ නමින් ද විශ්වාස දෙකක එල්බගත් භික්ෂූන් දෙපිරිසක් භින්න වූහ.

05. එහි ගෝකුලික භික්ෂූන්ගෙන් ‘ප‍්‍රඥප්තිවාද’ නමින් භික්ෂු පිරිසක් ද ‘බාහුලික’ නමින් මත ගත් භික්ෂු පිරිසක් ද බිහි වූහ. ඒ භික්ෂූන්ගෙන් ම ‘චේතිවාදය’ නම් වූ අන්‍ය මතයක් ගත් භික්ෂු පිරිසක් ද බිහි වූහ. ඒ සියලූ භික්ෂු නිකාය හය ම අයත් වන්නේ මහා සංඝිකයන්ට ය.

06. යළිදු ථේරවාද භික්ෂූන්ගෙන් ‘මහිංසාසක’ නමින් භික්ෂු පිරිසක් ද ‘වජ්ජිපුත්තක’ නමින් භික්ෂු පිරිසක් ද වශයෙන් වෙන් වී ගියහ.

07. ඒ වජ්ජිපුත්තක භික්ෂූන්ගෙන් ‘ධම්මුත්තරිය’ නමින් භික්ෂු පිරිසක් ද ‘භද්‍රයානික’ නමින් භික්ෂු පිරිසක් ද ‘ඡුන්නාගාරික’ නමින් භික්ෂු පිරිසක් ද ‘සම්මිතීය’ නමින් භික්ෂු පිරිසක් ද වෙන් වී ගියහ.

08. මහිංසාසක භික්ෂූන්ගෙන් ‘සර්වාස්තිවාදී’ නමින් භික්ෂු පිරිසක් ද ‘ධම්මගුත්තිය’ නමින් භික්ෂු පිරිසක් ද වශයෙන් දෙකොටසකට බෙදී ගියහ.

09. යළිත් සර්වාස්තිවාදී භික්ෂූන්ගෙන් ‘කස්සපීය’ නමින් භික්ෂු පිරිසක් කැඞී ගියහ. ඒ කස්සපීය භික්ෂූන්ගෙන් ‘සංක‍්‍රාන්තික’ නමින් භික්ෂු පිරිසක් ද ඒ භික්ෂූන්ගෙන් ‘සූත‍්‍රවාද’ නමින් භික්ෂු පිරිසක් ද වෙන් වී ගියහ.

10. මෙසේ ථේරවාදය සමඟ එයින් වෙන් වී ගිය නිකායන් ද එක් කළ විට දොළොසකි. කලින් කියන ලද මහා සාංඝිකවාදීන්ගේ නිකාය සය සමඟ සියල්ල දහ අටකි.

11. මෙසේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයක් ගිය කල ථේරවාදය ඇරුණු කොට මතවාද දහහතක් විය. ඉන් මෑත ආචාර්යවාදයෝ උපන්හ.

12. එනම් ‘හේමවත’ භික්ෂූහු ය. ‘රාජගිරික’ භික්ෂූහු ය. එමෙන් ම ‘සිද්ධාර්ථික’ භික්ෂූහු ය. ‘පුබ්බසේලික’ භික්ෂූහු ය. ‘අපරසේලික’ භික්ෂූහු ය.

13. එමෙන් ම ‘වාජිරික’ භික්ෂූහු ය. මෙසේ නිකාය සයකට බිඳී ගිය සියලූ සඟ පිරිස ජම්බුද්වීපවාසී භික්ෂූහු වෙති. එමෙන් ම ලංකාද්වීපවාසී භික්ෂූන් ද ‘ධර්මරුචික’ වශයෙනුත්, ‘සාගලික’ වශයෙනුත් කොටස් දෙකකට කැඞී ගියහ.

14. කාලාශෝක රජතුමාගේ පුත‍්‍ර වූ සොයුරන් දහ දෙනෙක් වූහ. ඔවුහු වසර විසි දෙකක් ජම්බුද්වීපයෙහි රාජ්‍යානුශාසනා කළහ.

15. ඒ දසබෑ රජුන්ට අනතුරුව නන්දරාජ පරම්පරාවෙහි නව දෙනෙක් පිළිවෙළින් රජ කළහ. ඔවුහු ද වසර විසි දෙකක් රාජ්‍යානුශාසනා කළහ.

16. ‘මෞර්ය’ නම් වූ රාජවංශයෙහි උතුම් ශ‍්‍රී දරණ චන්ද්‍රගුප්ත නමින් ප‍්‍රසිද්ධ කුමාරයෙක් උපන්නේ ය. එහි දී චානක්‍ය නම් බ‍්‍රාහ්මණ පුරෝහිතයෙක්,

17. නන්දරාජ පරම්පරාවේ නව වැනියා වූ ධනනන්ද රජුව චණ්ඩ වූ ක්‍රෝධයෙන් යුතු ව ඝාතනය කරවා සකල ජම්බුද්වීපයට චන්ද්‍රගුප්ත කුමාරයා රාජාභිෂේක කර වී ය.

18. ඒ චන්ද්‍රගුප්ත රජතෙමේ විසි හතර වර්ෂයක් ජම්බුද්වීපයෙහි රජ කළේ ය. ඔහුගේ පුත‍්‍ර වූ බිංදුසාර කුමරු රජ බවට පැමිණ විසි අට වර්ෂයක් රජකම් කළේ ය.

19. ඒ බිංදුසාර රජු හට ප‍්‍රසිද්ධ වූ පුත් කුමාරවරු එකසිය එක් දෙනෙක් වූහ. ඔවුන් අතුරින් පුණ්‍ය තේජසින් ද බල ඍද්ධියෙන් ද යුක්ත වූ අශෝක නම් කුමාරයෙක් වූයේ ය.

20. ඒ අශෝක රාජකුමාර තෙමේ වෙනත් මව්වරුන්ගෙන් උපන් අනූනවයක් සහෝදර කුමාරවරුන් මරවා සකල ජම්බුද්වීපයට තනි රජෙක් බවට පත්වූයේ ය.

21. සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසිය දහඅටක් අශෝක රජුගේ අභිෂේකයට පෙර ගෙවී ඇති බව දත යුත්තේ ය.

22. වර්ෂ හතරකට පසු ව මහා කීර්තිඝෝෂා ඇති අශෝක රජු විසින් පාටලීපුත‍්‍ර නගරයෙහි තමන්ගේ අභිෂේකය සිදු කරන ලදි.

23. අශෝක අධිරාජ්‍යයාගේ රාජාභිෂේකයත් සමඟ ම ආකාශයෙහි ද පොළවෙහි ද යොදුනක් යොදුනක් පාසා නිරන්තරයෙන් ම පවතින රාජ ආඥාව බලපැවැත් වී ය.

24. දිනපතා අනවතප්ත විලෙන් පැන් අට කදක් දෙවියෝ රැගෙන ආහ. රජතෙමේ ජනයා හට ද ඒවා බෙදා දුන්නේ ය.

25. එමෙන් ම දෙවිවරු ම හිමාල පර්වතයෙන් නොයෙක් දහස් ගණනකට පාවිච්චි කළ හැකි පරිදි නාලිය දැහැටි ගෙන ආහ.

26. එමෙන් ම බෙහෙත් නෙල්ලි ද බෙහෙත් අරළු ද උත්තම වූ වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ අඹ ඵල ද හිමාලයෙන් ගෙන ආහ.

27. පංච වර්ණයෙන් යුක්ත වස්ත‍්‍ර ද සිනිඳු අත්පිස්නාවන් ද දිව්‍ය වූ පාන වර්ග ද හිමාලයෙහි ඡුද්දන්ත විලෙන් ගෙන ආහ.

28. ඒ පාටලීපුත‍්‍ර නගරයෙහි මැරෙන්නා වූ මුවෝ ද ඌරෝ ද ලිහිණියෝ ද රජුගේ මුළුතැන්ගෙයි සමීපයට අවුත් තුමූ ම මිය යති.

29. (රාජානුභාවයෙන් ලත් අමනුෂ්‍ය බලවේගයන් නිසා) ව්‍යාඝ‍්‍රයෝ මැදිහත් වූ ගවයන් ව ගොදුරු කවා ගවගාලට රැගෙන එති. කෙත් වත් විල් ආදිය ආරක්ෂා කරන්නෝ මුවෝ හා ඌරෝ ය.

30. සමන් මල් වැල් ද දිව්‍යමය මහනෙල් ද සුවඳ විලවුන් ද අඳුන් ද නාගයෝ නා විමනින් ගෙන ආහ.

31. ගිරව් ඡුද්දන්ත විලෙන් දිනපතා ඇල් වී ගැල් අනූදහසක් ගෙන ආහ.

32. රජ ගෙයි වසන මීයෝ ඒ ඇල් වී නො කැඩෙන පරිදි පොතු ගලවා පිරිසිදු සහල් උපදවා දෙති. රාජකුලය අනුභව කරන්නේ එයින් ලත් බතයි.

33. ඒ රජ හට නිරතුරුව ම මී මැස්සෝ මී වද බැන්ඳාහු ය. එසේ ම රජුගේ කම්මල්වල වලස්සු කුළු ගැසූහ.

34. මනෝරම්‍ය වූ මධුර ස්වරයෙන් යුතු ව කුරවී කෙවිල්ලෝ පැමිණ අශෝක අධිරාජ්‍යයා හට මිහිරි වූ නාද කළහ.

35. රාජාභිෂේක ලද අශෝක අධිරාජ තෙමේ තිස්ස නම් වූ තම බාල සහෝදරයා යුවරජ තනතුරෙහි අභිෂේක කළේ ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි ධර්මාශෝක අභිෂේකය නම් වූ පස්වෙනි පරිච්ජේදයෙහි කොටසකි. –