36. ඒ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පිය රජතුමා බ‍්‍රහ්මභක්තික හැට දහසක් බ‍්‍රාහ්මණයන්ට නිතිපතා දන් වැළඳවීය. ඒ ධර්මාශෝක රජතෙමේ ද තුන්වසරක් පුරා ඒ බ‍්‍රාහ්මණයන්ටම දන් දුන්නේ ය.

37. නුවණින් යුතුව අශෝක නරේන්ද්‍ර තෙමේ දන් පූජා කරන කල්හී බ‍්‍රාහ්මණයන් තුළ පැවති නොසංසිඳෙන ස්වභාවය දැක ‘නුවණින් පිරික්සා දන් දීම මැනැව’යි ඇමතියන් මෙහෙයවීය.

38. මෙසේ ඇමතියන් මෙහෙයවා නා නා මතධාරී නොයෙක් තාපසාදීන් කැඳවා ඔවුන් අසල හිඳීමෙන් ඔවුන්ගේ සංයමාදිය විමසා දන් පිළිගන්වා පිටත් කොට යැව්වේය.

39. එක් අවස්ථාවක උඩු මහලෙහි සීමැදිරි කවුළුව අසලට පැමිණි රජතුමා ඉතා ශාන්ත ඉඳුරන් ඇති සංසිඳුණු ගති ඇති නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වීදියෙහි වඩිනු දැක සිත පහදවා ගත්තේය.

40. ඒ නිග්‍රෝධ සාමණේර තෙම වනාහී බිංදුසාර රජතුමාගේ පුත‍්‍රයන් අතර සියල්ලන්ටම වැඩිමහල් සහෝදර වූ සුමන කුමාරයාගේ පුත‍්‍රයෙකි.

41. ඒ අශෝක කුමාර තෙම තම පියරජු විසින් දෙන ලද උදේනි රාජ්‍යය අත්හැර බිංදුසාර රජතුමා රෝගාතුර වූ කල්හී පාටලීපුත‍්‍ර නගරයට පැමිණියේය.

42. එසේ පැමිණි කුමාරයා නගරය තමා සතු කරගෙන පිය රජු මියගිය කල්හී වැඩිමහල් සහෝදරයාව ඝාතනය කොට උතුම් පාටලීපුත‍්‍ර නගරයෙහි රාජ්‍යය ගත්තේය.

43. ඒ සුමන නම් වූ ජ්‍යෙෂ්ඨ කුමාරයාගේ සුමනා නම් වූ ගර්භිනී බිසව්තොමෝ ඒ පාටලීපුත‍්‍ර නගරයෙන් නික්ම නැගෙනහිර ද්වාරයෙන් පිටත වූ,

44. සැඩොල් ගමකට පිටත්ව ගියාය. ඒ ගමෙහි නුග රුකට අධිපති වූ දෙව්දුව ඇය නමින් අමතා ඇයට නිවසක් මවා දුන්නාය.

45. ඒ සුමනා දේවී තොමෝ එදවසෙහිම උතුම් පුත‍්‍රයෙකු බිහි කොට දේවතා අනුග‍්‍රහයෙන් තම පුත්රුවන ලද හෙයින් ඔහුට නිග්‍රෝධ යැයි නම තැබුවාය.

46. ඇය දුටු ඒ සැඩොල් ගමෙහි ජ්‍යෙෂ්ඨ සැඩොලා තමන්ගේ ස්වාමි දියණියක් මෙන් සිතමින් ඉතා ආදරයෙන් යුක්තව ඇයට සත් අවුරුද්දක් උපස්ථාන කළේය.

47. එකල්හී මහා වරුණ නම් රහතන් වහන්සේ මාර්ගඵල ලාභී වීමට හේතු සම්පත් ඇති නිග්‍රෝධ කුමරු දැක මෑණියන්ගෙන් පැවිද්ද පිණිස අවසර ඉල්ලූ සේක.

48. ඒ නිග්‍රෝධ කුමාර තෙමේ පැවිදි කරවූයේය. හේ ඒ පැවිදි කරන අවස්ථාවේදීම අරහත්ඵලයට පැමිණියේය. ඉක්බිති ඒ නිග්‍රෝධ සාමණේර තෙම මව් බිසොවුන් වහන්සේ දකින්නට වඩින්නාහු,

49. නගරයෙහි දකුණු ද්වාරයෙන් ඇතුළු වී ගමට යන මාර්ගයෙන් වඩිද්දී රජ මළුව මතින් වඩිනා සේක.

50. මිහිපති අශෝක තෙමේ සාන්ත වූ ඉරියව් වලින් යුතුව වඩින සාමණේරයන් වහන්සේ දැක සිත පහදාගත්තේය. පෙර ආත්මභාවයක එකට වාසය කළ ගතිගුණ ස්පර්ශ වීමෙන් උන්වහන්සේ කෙරෙහි ආදරය හටගත්තේය.

51. අතීතයෙහි මීපැණි වෙළඳාමෙහි යෙදෙන සහෝදරයෝ තිදෙනෙක් වූහ. එයින් එක් වෙළෙන්දෙක් මී පැණි විකුණයි. දෙදෙනෙක් මී රැගෙන එති.

52. එකල්හී එක් පසේබුදුරජාණන් වහන්සේ නමක් සිරුරෙහි හටගත් තුවාල නිසා රෝගාතුර වූ සේක. තව පසේබුදුරජාණන් වහන්සේ නමක් ඒ රෝගාතුර වූ පසේබුදුන් හට ඖෂධ පිණිස මී පැණි අවශ්‍ය වූයේ,

53. පිඬු සිඟා වඩිමින් නගරයට පිවිසි සේක. එවිට දිය ගෙනෙනු පිණිස පැන් තොටට යන එක්තරා වතුර ගෙන යන දාසියක් උන්වහන්සේව දුටුවාය.

54. උන්වහන්සේගෙන් විමසා මී පැණිවල අවශ්‍යතාවය දැන අත දිගු කොට ‘ස්වාමීනී, මී පැණි වෙළඳසැල තියෙන්නේ අතනය. එහි වැඩිය මැනැව’යි කීවාය.

55. එහි වැඩම කළ පසේබුදුන් කෙරෙහි සිත පහදවා ගත් වෙළෙන්දා පාත‍්‍ර මුවින් පැණි ඉතිරී යන පරිද්දෙන් පාත‍්‍රය පුරා මී පැණි දන් දුන්නේය.

56. පාත‍්‍රය පිරීගියා වූ ද, ඉතිරී ගියා වූ ද, පොළොවේ වැටුණා වූ ද මී පැණි දුටු පහන් සිත් ඇති ඒ වෙළෙන්දා මේ අයුරින් ප‍්‍රාර්ථනාවක් කළේය.

57. ‘මා හට මේ දානය කරණ කොට ගෙන ජම්බුද්වීපයෙහි තනි රාජ්‍යයක හිමිකරු වේවා! අහසේත්, පොළොවේත් මාගේ අණසක යොදුනක් දුර පැතිරේවා!’

58. සහෝදරයන් පැමිණි කල්හී ඒ වෙළෙන්දා ‘මම මෙබඳු උතුම් කෙනෙකුට මී පැණි දන් දුනිමි. මේ මී පැණි නුඹලාට ද අයිති හෙයින් නුඹලාත් අනුමෝදන් වුව මැනැව.’

59. එකල්හී වැඩිමහළු සහෝදරයා නොසතුටු සිත් ඇතිව ‘ඔහු වනාහී චණ්ඩාලයෙක් විය හැකියි. කසාවත් පොරවන්නෝ සැඩොලෝ ය’ යැයි කීවේය.

60. මධ්‍යම සහෝදරයා ‘ඒ පසේබුදුන්ව මුහුදෙන් එතෙර දැමිය යුතු’යැයි කීවේය. නමුත් ඒ මී පැණි දන්දුන්නාගේ බස් අසා ප‍්‍රාප්තිදානමය පින අනුමෝදන් වූහ.

61. ඒ සල්පිල පෙන්නූ දිය ගෙන යන දාසිය අර මීපැණි දන්දුන් තැනැත්තාගේ මෙහෙසිය වන්නටත්, නොපෙනෙන සන්ධි ඇති අවයවයන්ගෙන් යුතු අතිමනහර රූපයකුත් ප‍්‍රාර්ථනා කළාය.

62. මී පැණි දන් දුන් තැනැත්තා අශෝක නරේන්ද්‍ර වූයේය. දිය ඇදි දාසිය අසන්ධිමිත‍්‍රා නම් බිසොවුන් වහන්සේ වූවාය. චණ්ඩාලවාදයෙන් අපහාස කළ තැනැත්තා සැඩොල්ගම උපන් නිග්‍රෝධ සාමණේරයෝය. මුහුදෙන් එතෙරට දැමිය යුතු යැයි පැවසූ කෙනා දෙවනපෑතිස් රජ වූයේය.

63. සැඩොල් වචනයෙන් අපහාස කළ හේ චණ්ඩාල ග‍්‍රාමයෙහි උපන්න නමුත් නිවන ප‍්‍රාර්ථනා කළ හෙයින් සත් හැවිරිදි වයසේම අරහත්වය සාක්ෂාත් කළේය.

64. ඒ නිග්‍රෝධ සාමණේරයන් කෙරෙහි ආදරය පිහිටි හෙයින් රජ තෙමේ උන්වහන්සේව වහා කැඳවා ගත්තේය. උන්වහන්සේ ද ඉතා සංසුන් ඇවතුම් පැවතුම් ඇතිවම ළඟට පැමිණි සේක.

65. ‘පුත‍්‍රය, තමන්ට ගැලපෙන ආසනයක වැඩ හිඳිනු මැනැව’යි රජ තෙම පැවසීය. වෙනත් භික්ෂුවක නොදුටු සාමණේර තෙමේ සිංහාසනය කරා වැඩිසේක.

66. ඒ සාමණේරයන් සිංහාසනය කරා වඩිනු දුටු රජ තෙමේ ‘අද වනාහී මේ කුඩා හෙරණ තෙමේ මාගේ මාළිගයෙහි ස්වාමියා වන්නේය’ යැයි සිතුවේය.

67. ඒ සාමණේර තෙමේ රජුගේ අත අල්වා සිංහාසනයට නැඟ රාජාසනයෙහි සේසත යට වැඩහුන් සේක.

68. ඒ ධර්මාශෝක රජතෙමේ සිංහාසනයෙහි වැඩසිටින සාමණේරයන් දැක උන්වහන්සේගේ ගුණයට ගරුසරුබව දක්වා අතිශයින්ම සතුටට පත්වූයේය.

69. ඒ සාමණේරයන් තමන් උදෙසා පිළියෙල කළ ඛාද්‍ය භෝජ්‍ය වැළඳවූ රජතෙමේ සම්බුදුරජුන් දේශිත ධර්මය කුමක්දැයි සාමණේරයන් වහන්සේගෙන් විචාළේය.

70. එවිට සාමණේර තෙමේ ධර්මාශෝක නරේන්ද්‍රයා හට ධම්ම පදයෙහි අප‍්‍රමාද වර්ගය වදාළේය. එය ඇසූ භූපති තෙමේ බුද්ධ ශාසනය කෙරෙහි සිත පහන් කරගත්තේය.

71. ‘දරුව, මම නුඹවහන්සේට නිතිපතා බත් අටක් පුදමි’යි පැවසුවේය. ‘මහරජතුමනි, ඒවා මාගේ උපාධ්‍යායයන් වහන්සේට දෙමි’යි සාමණේර තෙම පිළිතුරු දුන්නේය.

72. යළි නිති බත් අටක් දුන් කල්හී උන්වහන්සේ ආචාර්යයන් වහන්සේට දුන් සේක. යළි නිති බත් අටක් දුන් කල්හී එය භික්ෂු සංඝයාට දුන් සේක.

73. යලි නිති බත් අටක් දුන් කල්හී ඉතා නුවණැති සාමණේරයන් වහන්සේ ඉවසා වදාළ සේක. දෙවෙනි දවසෙහි තිස්දෙනමක් භික්ෂූන් වහන්සේලා සමඟ රජගෙට වැඩි සේක.

74. නරේන්ද්‍රයන් විසින් සියතින්ම සංඝයා උදෙසා දන් පැන් පූජා කරන ලද්දේය. සංඝයා ධර්මදේශනා කොට රජතුමාව ද, මහජනයාව ද තිසරණ සහිත වූ පංච ශීලයෙහි පිහිට වූ සේක.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි නීග්‍රෝධ දර්ශනය නම් වූ පස්වෙනි පරිච්ඡේදයෙහි කොටසකි. –