75. නිග්‍රෝධ සාමණේරයන් නිසා සිත පහන් වූ ඒ රජ තෙමේ දිනපතා පිළිවෙලින් දෙගුණයක් කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේය.

76. කලින් රජගෙයි දන් වැළඳ  සැටදහසක් තීර්ථකයන් බැහැර කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලා සඳහා නිතර දන් වැළඳවීය.

77. ඒ රජ තෙමේ සැටදහසක් භික්ෂූන් වහන්සේලාට දන් වළඳවනු පිණිස උත්සාහවත් වූයේ ඉතා උතුම් ඛාද්‍යභෝජ්‍යාදිය පිළියෙල කරවා,

78. පාටලීපුත‍්‍ර නගරය අලංකාර කොට සංඝයා වෙත ගොස් දානයට ඇරයුම් කොට රජගෙට වඩම්මවාගෙන අවුත් දන් වළඳවා බොහෝ ශ‍්‍රමණ පිරිකර පූජා කොට,

79. ශාස්තෘන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය කොපමණ දැයි විමසුවේය. එකල්හී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජු හට එම ප‍්‍රශ්නය විසඳා වදාළ සේක.

80. අසූහාරදහසක් ධර්මස්කන්ධයන් ඇති බව අසා ධර්මාශෝක රජ තෙමේ ‘ඒ එක් එක් ධර්මස්කන්ධයට එක් විහාරය බැගින් පූජා කරමි’යි පවසා සිටියේය.

81. එකල්හී රජ තෙමේ අනූහය කෝටියක වස්තුව වියදම් කොට මහාපෘථිවිය මත අසූහාරදහසක් නගරයන්හී,

82. රජුන් ලවාම විහාර කර්මාන්තය ආරම්භ කළේය. තෙමේම අශෝකාරාමය කරවන්නට ආරම්භ කළේය.

83. රජ තෙමේ දිනපතා වෙන් වෙන් වශයෙන් තුනුරුවන්ටත්, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේටත්, ගිලන් භික්ෂූන් වහන්සේටත් වශයෙන් සසුනෙහි ලක්ෂයක් බැගින් ධනය යොදවන ලද්දේය.

84. බුදුරජාණන් වහන්සේ උදෙසා වෙන් කළ ධනයෙන් නොයෙක් විහාරයන්හී නොයෙක් පරිද්දෙන් අනේක වූ ස්ථූප පූජාවෝ පැවැත්වූහ.

85. ධර්මය උදෙසා වෙන් කළ ධනයෙන් මිනිස්සු ප‍්‍රණීත වූ සිව්පසයෙන් ධර්මධර භික්ෂූන් වහන්සේලාට හැමකල්හී උපස්ථාන කළහ.

86. අනෝතප්ත විලෙන් ගෙනා පැන් වලින් දිනපතා කද සතරක් සංඝයා උදෙසා පූජා කෙරිණ. ත‍්‍රිපිටකධර භික්ෂූන් වහන්සේලා සැට නමකට එකක් ලැබිණ.

87. අසන්ධිමිත‍්‍රා බිසවුන් වහන්සේට එක් පැන් කදක් ලැබුණේය. රජ තෙමේ තමන්ගේ පරිභෝගයට දෙකක් ලබාගත්තේය.

88. දිනපතා සැටදහසක් භික්ෂූන් වහන්සේලාට ද, දහසයදහසක් අන්තඃපුර ස්ත‍්‍රීන්ට ද නාගලතා නම් වූ විශේෂ දැහැටි ලබාදුන්නේය.

89. ඉක්බිති දිනක් රජතෙමේ කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා දුටු මහාභද්‍ර කල්පයෙහි ආයුෂ ඇති මහාකාල නම් වූ මහා ඉර්ධිමත් නා රජු පිළිබඳව,

90. ඇසීමෙන් ඔහුව රැගෙන ඒම පිණිස සොණ්ඩසංඛලික බන්ධනය යවා ඒ නා රජුව ගෙන්වා ගෙන සුදු සේසත යට,

91. ආසනයෙහි හිඳුවා නා නා පුෂ්පයන්ගෙන් පූජා පවත්වා දහසය දහසක් ස්ත‍්‍රීන් පිරිවරාගෙන මෙය පැවසුවේය.

92. ‘‘පින්වත, සද්ධර්මචක‍්‍රවර්තී වූ අනන්ත ඤාණ ඇත්තා වූ මහර්ෂී වූ සර්වඥයන් වහන්සේගේ රූපකාය මට දක්වනු මැනැව.”

93. දෙතිස් මහා පුරිස් ලකුණින් යුක්ත වූ අසූවක් අනුව්‍යංජනයෙන් බබලන්නා වූ බ්‍යාමප‍්‍රභා මණ්ඩලයෙන් වටකරන ලද කේතුමාලාලංකාරයෙන් ශෝභමාන වූ,

94. මනෝහර වූ බුද්ධකාය ඒ නා රජ තෙමේ මවා පෑවේය. එය දැක බලවත් පැහැදීමෙන් හා විස්මයෙන් පිරී ගියේ,

95. මේ නා රජු විසින් මවන ලද රූපය මෙබඳු නම් තථාගතයන් වහන්සේගේ රූපකාය කෙබඳු වන්නට ඇත්දැයි බලවත් ප‍්‍රීතියකින් ඉපිල ගියේය.

96. මහා බලසම්පන්න වූ ඒ  මහානරේන්ද්‍ර තෙමේ නේත‍්‍රපූජා නම් වූ විශේෂ පූජාවක් නිරතුරුවම සත් දවසක් පුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරවූයේය.

97. මිහිපති තෙමේ මෙසේ මහා ආනුභාව ඇත්තේ ද, ශ‍්‍රද්ධා සම්පන්න වූයේ ද වේ. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ද පෙර රහතන් වහන්සේලා විසින් දක්නා ලදහ.

ධර්මාශෝක රජුගේ සාසනප‍්‍රවේශය නිමාවිය.

98. දෙවන ධර්ම සංගායනාවෙහිදී ඒ මහරහතන් වහන්සේලා අනාගතය පිළිබඳව විමසා බලන්නාහු ධර්මාශෝක රජුගේ කාලයෙහි සිදුවන ශාසනෝපද්‍රවය දුටු සේක.

99. ඒ උපද්‍රවය නසා දැමිය හැකි කෙනෙකු සකල ලෝකයෙහි විමසා බලද්දී සුළු කලකින් ආයුෂ අවසන් වන තිස්ස නම් වූ බ‍්‍රහ්මරාජයා දුටු සේක.

100. ඒ රහතන් වහන්සේලා මහා ප‍්‍රඥා ඇති තිස්ස බ‍්‍රහ්ම කරා එළඹ මිනිස් ලෝකයෙහි ඉපිද අනාගත ශාසන උපද්‍රවය නැති කර දමන්නැයි ඉල්ලා සිටියහ.

101. බුද්ධ ශාසනයෙහි බැබලීම කැමති ඒ බ‍්‍රහ්ම තෙමේ රහතන් වහන්සේලාට එය සිදුකරන බවට ප‍්‍රතිඥා දුන්නේය. සිග්ගව – චණ්ඩවජ්ජි යන නම් ඇති නවක භික්ෂූන් වහන්සේලා දෙදෙනාට ඒ රහතන් වහන්සේලා මෙසේ පැවසූහ.

102. ‘මෙතැන් සිට අවුරුදු එකසිය දහඅටක් ගතවූ කල්හී බුද්ධ ශාසනයට මහත් උපද්‍රවයක් පැමිණෙන්නේය. නමුත් එයට අප සහභාගී නොවෙමු.

103. ඇවැත්නි, මෙකල හටගත් අර්බුදයට නුඹවහන්සේලා නොපැමිණියාහුය. එහෙයින් දඬුවම් ලැබීමට සුදුසු ය. නුඹවහන්සේලාට ලැබෙන දඬුවම මෙයයි.

104. බුදුසසුන බැබලීම පිණිස මහා ප‍්‍රඥා ඇති තිස්ස බ‍්‍රහ්ම තෙමේ මොග්ගලී බ‍්‍රාහ්මණයාගේ නිවසෙහි පිළිසිඳගන්නේය.

105. නුඹවහන්සේලාගෙන් කෙනෙක් එසේ උපන් කුමාරයාව සුදුසු කල්හී පැවිදි කරනු මැනැව. එක නමක් බුද්ධවචනය මනාකොට ඉගැන්නුව මැනැව.

106. උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් මහරහත් නමකි. ඒ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය සෝණ නම් රහතන් වහන්සේය. මේ සිග්ගව සහ චණ්ඩවජ්ජි යන රහත් දෙනම සෝණ රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා වෙති.

107. (එහි පිළිවෙල කථාව මෙයයි.) පෙර විශාලා මහනුවර දාසක නමින් බ‍්‍රාහ්මණයෙකු වූයේය. ශිෂ්‍යයන් තුන්සියයකට ප‍්‍රධාන වූ ඒ දාසක තෙමේ ස්වකීය ආචාර්යවරයා සමීපයෙහි වසන්නේ,

108. දොළොස් හැවිරිදි වියෙහිදීම වේදයෙහි පාරප‍්‍රාප්ත වූයේ ශිෂ්‍යයන් සහිතව හැසිරෙමින් සිටියදී වාලූකාරාමයෙහි වැඩවාසය කරමින් ශාසනික සංග‍්‍රහය කරන ලද,

109. උපාලි මහරහතන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයෙහි හිඳ වේදයන්හී ඇති නොවැටහෙන තැන් විමසුවේය. ඒ රහතන් වහන්සේ ඒවා විසඳා දුන් සේක.

110. ‘පින්වත් තරුණය, සියලූ ධර්මයන් අනුව වැටුණා වූ එක ධර්මයක් තිබේ. සියලූ ධර්මයෝ ඒ එක ධර්මයේ බැසගෙන සිටිති. ඒ එක ධර්මය කුමක්ද?’

111. තෙරුන් වහන්සේ මේ අසන ලද්දේ ‘එක නම් කුමක්ද’ යනුවෙන් සෝපාකයන් වහන්සේගෙන් ඇසූ පැණය ගැනය. තරුණයා මෙය නොදත්තේ ඒ මන්ත‍්‍රය කුමක්දැයි විසුවේය. එය බුද්ධ මන්ත‍්‍රයක් බව පවසන ලද්දේය.

112. ‘එසේ නම් එය අපටත් දෙනු මැනැවැ’යි තරුණයා කියා සිටියේය. අප වැනි වේශ දරණ අයට පමණක් මේ මන්ත‍්‍රය දෙන බව තෙරණුවෝ පවසා සිටියහ. මන්ත‍්‍ර අධ්‍යයනය පිණිස ගුරුවරයාගෙනුත්, මව්පියන්ගෙනුත් අවසර ගත්,

113. මේ දාසක බ‍්‍රාහ්මණ තෙමේ පිරිවර මාණවකයන් තුන්සියය සමඟ උපාලි තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදිව සුදුසු කාලයේදී උපසම්පදාව ලැබුවේය.

114. ඒ උපාලි මහරහතන් වහන්සේ දාසක තෙරුන් ප‍්‍රධාන රහතන් වහන්සේලා දහස් නමකට සියලූ ත‍්‍රිපිටකය ඉගැන්වූ සේක.

115. යමෙක් උපාලි මහරහතන් වහන්සේ සමීපයෙහි පිටකයන් ඉගෙන ගත්තාහු ද, මාර්ගඵල ප‍්‍රාප්ත වූ අය ද, පුහුදුන් අය ද ගණන් කළ නොහැකි තරම් ය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදයෙහි කොටසකි. –