highlights of the week
Home » Archives » මහාවංශය 9

මහාවංශය 9

 

116. කාසි ජනපදයෙහි සෝණක නම් ගැල්කරුවෙකුගේ පුත‍්‍රයෙකු වූයේය. හෙතෙමේ වෙළඳාම් පිණිස මව්පියන් සමඟ රජගහ නුවරට පැමිණියේ,

117. පසළොස් හැවිරිදි ඒ කුමාර තෙමේ වේළුවනාරාමයට ගියේය. ඔහුගේ පිරිවර මාණවයකයන් පනස්පස් දෙනා ද ඔහු සමඟ ගියහ.

118. එහිදී භික්ෂු සංඝයා සහිතව සිටින දාසක රහතන් වහන්සේ දැක සිත පැහැදුනේය. පැවිදි බව ඉල්ලා සිටියේය. එවිට දාසකයන් වහන්සේ මව්පියන්ගෙන් අවසර ගෙන එන්නැයි වදාළ සේක.

119. ඒ සෝණක කුමාර තෙමේ තුන්වේලක් බත් අනුභව නොකොට මව්පියන් ලවා පැවිදි බවට අවසර රැගෙන ආවේය.

120. පිරිවර සමඟ පැමිණි ඒ සෝණක කුමාර තෙමේ දාසක මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ලබා ත‍්‍රිපිටකය ඉගෙන ගත්තේය.

121. ඒ සෝණක නම් යතීන්ද්‍රයන් වහන්සේ පිටකත‍්‍රය දන්නා වූ රහතන් වහන්සේලා දහසක් වූ ශිෂ්‍යගණයා ඇති දාසක රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා බවට පත්වූහ.

122. පාඨලීපුත‍්‍ර නගරයෙහි සිග්ගව නම් වූ ඉතා නුවණැති අමාත‍්‍රපුත‍්‍රයෙකු සිටියේය. හේ වයසින් අටළොස් හැවිරිදි විය.

123. හේ (හේමන්ත, ගිම්හාන, වස්සාන යනඑ) ඍතු තුනට අනුකූල වූ ප‍්‍රාසාද කරමින් වාසය කරන්නේ චණ්ඩවජ්ජී නම් වූ තම සහායක අමාත්‍ය පුත‍්‍රයෙකුද කැටුව,

124. පන්සියයක් පුරුෂයන් පිරිවරන ලදුව කුක්කුටාරාමයට ගොස් සෝණක මහරහතන් වහන්සේ,

125. නොයෙක් ධ්‍යාන සමාපත්තීන්ට සමවදින සංවර වූ ඉඳුරන් ඇතිව වැඩහිඳිනු දැක උන්වහන්සේට වන්දනා කොට උන්වහන්සේ කතා නොකරන බව දැන සංඝයාගෙන් එයට හේතුව විචාළේය.

126. සමාපත්තියට සමවැදී සිටින්නෝ කතා බස් නොකරති’යි භික්ෂූහු වදාළහ. සමාපත්තියෙන් නැගී සිටින්නේ කෙසේදැයි භික්ෂූන්ගෙන් විචාළ කල්හි,

127. ශාස්තෘන් වහන්සේ විසින් කැඳවන අවස්ථාන්හිදීද, සංඝයා විසින් කැඳවනු ලබන අවස්ථාවන්හිදීද, සමාපත්ති කාලය නිමා වූ කල්හිද, ආයු සංස්කාරය අවසන් වීමෙන් ද ඔවුහු නැගිටිති.

128. එකල්හී සංඝ තෙමේ ඔවුන්ගේ පුණ්‍ය සම්පත් දැන සංඝයාගේ කැඳවීමක් තෙරුන් වහන්සේ වෙත යැව්වේය. සෝණක ස්ථවිරයන් වහන්සේ සමාපත්තියෙන් නැගිට එහි වැඩි සේක.

129. කුමාර තෙමේ ‘ස්වාමීනී, කුමක් හෙයින් නුඹ වහන්සේ කතා නොකළ සේක්දැ’යි විමසීය. ‘දරුව, අනුභව කළ යුතු දෙයක් අනුභව කළෙමි’යි වදාළහ. ‘ස්වාමීනී, අපට ද එය අනුභව කරවුව මැනැවැ’යි පැවසුවේය.

130. ‘අප වැනි උදවිය බවට පත් වූ කල්හී අනුභව කරවනු හැකි යැ’යි තෙරුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති පැවිදි බව පිණිස මව්පියන්ගෙන් අවසර ගත් සිග්ගව කුමාර තෙමේ,

131. චණ්ඩවජ්ජී කුමාරයා ද, පන්සියයක් පුරුෂයෝ ද, සෝණක මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදිව උපසම්පදාව ද ලදහ.

132. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම උපාධ්‍යායන් වහන්සේ සමීපයෙහිදීම පිටකත‍්‍රය උගත්තාහුය. සුදුසු කල්හී සය වැදෑරුම් අභිඥ ද ලැබූහ.

133. තිස්ස බ‍්‍රහ්මයා මනුලොව පිළිසිඳගත් වග දැනගත් සිග්ගව රහතන් වහන්සේ සත්වසරක් එම නිවසට පිඬු පිණිස වැඩම කළහ.

134. ඒ සත්වසර පුරාවට ‘යන්න’ යන වචනයවත් එම නිවසින් නොලැබුණේය. අටවෙනි වසරෙහිදී ‘වෙනත් තැනකට පිඬු පිණිස යන්න’ යන වචනය ලැබුණේය.

135. මොග්ගලී බ‍්‍රාහ්මණ තෙමේ නිවසට පිවිසෙද්දී නිවස ඉදිරියෙන් නික්ම යන උන්වහන්සේ දැක ‘අපගේ නිවසින් කිසිවක් ලැබුවේදැ’යි ඇසුවේය. උන්වහන්සේ ‘එසේය’ යැයි පැවසූහ.

136. බ‍්‍රාහ්මණ තෙමේ නිවසට ගොස් එය විමසා දෙවෙනි දවසෙහි නිවසට පැමිණි කල්හි ස්ථවිරයන් වහන්සේට බොරු කීම ගැන නිග‍්‍රහ කළේය.

137. (යන්න යන වචනය ලැබීම නිසා එය පැවසුවේ යැයි) තෙරුන් වහන්සේගේ බස ඇසූ ඒ බ‍්‍රාහ්මණ තෙමේ පැහැදුණු සිත් ඇත්තෙක් විය. තමන් උදෙසා පිසින ලද බතින් නිතර භික්ෂාව පුදන ලද්දේය.

138. එම නිවසෙහි සියල්ලෝම කෙමෙන් කෙමෙන් පහන් සිතැතියෝ වූහ. බ‍්‍රාහ්මණ තෙමේ තෙරුන් වහන්සේව නිවසෙහි වඩා හිඳුවා දිනපතා දන් වැළඳවීය.

139. මෙසේ ක‍්‍රමයෙන් කල් ගෙවෙන කල්හී තිස්ස කුමාරයා දහසය වෙනි වසරට එළඹියේය. ඒ තිස්ස කුමාර තෙමේ ත‍්‍රිවේදය නැමැති සයුරෙහි පරතෙරට ගියේය.

140. එක් දිනක් තෙරුන් වහන්සේ ‘දැන් මේ දරුවා සමඟ කතාවක් උපදවා ගැනීමට සුදුසු යැ’යි සිතා එම නිවසෙහි බ‍්‍රාහ්මණ මාණවකයාගේ ආසනය පමණක් තබා අන් සියලූ ආසනයන් නොපෙනීමට සැළැස්වූ සේක.

141. තිස්ස බ‍්‍රාහ්මණ කුමාරයා ද බ‍්‍රහ්ම ලෝකයෙන් පැමිණි හෙයින් නිතර පිරිසිදු බව කැමති විය. එම නිසා ඔහු තමාගේ ආසනය වස්ත‍්‍රයෙන් වසා එල්ලා තබනු ලැබේ.

142. තෙරුන් වහන්සේ වැඩම කළ කල්හී වෙනත් ආසනයක් දකින්නට නොලැබීමෙන් කලබල වූ එහි නිවැසි ජනයා අර බ‍්‍රාහ්මණ මාණවකයාගේ ආසනය ගෙන තෙරුන් වහන්සේට පැණවීය.

143. බ‍්‍රාහ්මණ කුමාරයාද ස්වකීය ආචාර්යවරයා සමීපයේ සිට පැමිණ තම අසුනෙහි වැඩහිඳින ස්ථවිරයන් වහන්සේ දැක කිපී අමනාප වචන පැවසීය.

144. එවිට ස්ථවිරයන් වහන්සේ ‘පින්වත් දරුව, තෙපි මන්ත‍්‍ර දන්නහු දැ’යි විමසූ සේක. මාණවක තෙමේ එම ප‍්‍රශ්නයෙන්ම තෙරුන් වහන්සේගෙන් ප‍්‍රතිප‍්‍රශ්න කළේය.

145. ‘මන්ත‍්‍ර දනිමි’යි තෙරුන් වහන්සේ පැවසූ කල්හි වේදයන්හි ඇති ගැටළු සහිත තැන් පිළිබඳව තෙරුන් වහන්සේගෙන් විමසුවේය. එකල්හී ස්ථවිර තෙමේ මාණවකයාට මැනැවින් පිළිතුරු දුන්නේය.

146. තෙරුන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලයේම වේදයෙහි පරතෙරට පැමිණි කෙනෙකි. එමෙන්ම පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් වන උන්වහන්සේ කිම පිළිතුරු දිය නොහැකි සේක්ද?
‘යමෙකුගේ සිත උපදී, නිරුද්ධ නොවේ. ඒ ඔහුගේ සිත මතු නිරුද්ධ වන්නේය. නූපදින්නේය. යමෙකුගේ සිත නිරුද්ධ වන්නේ ද, නූපදින්නේ ද, ඔහුගේ සිත උපදී. නිරුද්ධ නොවේ.’

147. යමක ප‍්‍රකරණයෙහි චිත්ත යමකයෙහි ඇති ඒ ප‍්‍රශ්නය විශාරද නුවණැති ස්ථවිරයන් වහන්සේ අර මාණවකයාගෙන් විමසුවේය. ඒ ප‍්‍රශ්නය ඔහු හට අන්ධකාරයක් මෙන් වූයේය.

148. කුමාර තෙමේ ‘පින්වත් භික්ෂුව, මේ කවර මන්ත‍්‍රයක් දැ’යි විචාළේය. උන්වහන්සේ ‘මෙය බුද්ධ මන්ත‍්‍රයක්’ බව පැවසූහ. ‘මට ද මන්ත‍්‍රය දෙන්නැ’යි කී කල්හී ‘අප සිටින ආකාරයට වේශධාරී වුවහොත් මන්ත‍්‍රය දෙමි’යි පැවසූ සේක.

149. මන්ත‍්‍ර හැදෑරීම පිණිස මව්පියන්ගෙන් අවසර ලත් හෙතෙමේ පැවිදි වූයේය. පැවිදි වූ පසු තෙරුන් වහන්සේ මේ නවක භික්ෂුවට භාවනා උපදෙස් දුන් සේක.

150. මහා ප‍්‍රාඥ වූ නවක පැවිදි තෙමේ භාවනානුයෝගීව වසන්නේ සුළු කලකින් සෝවාන් ඵලයට පත් විය. තෙරුන් වහන්සේ ඔහු මගඵල ලැබූ බව දැන,

151. චණ්ඩවජ්ජී මහා ස්ථවිරයන් වහන්සේ වෙත සූත‍්‍ර පිටකයත්, අභිධර්ම පිටකයත් ඉගෙන ගැනීම පිණිස පිටත් කොට යැවූහ. තිස්ස නම් වූ ඒ නවක භික්ෂුව ද එහිදී ධර්මය ඉගෙනීම කළහ.

152. එහිදී ඒ තිස්ස ලදරු භික්ෂු තෙමේ විදර්ශනා භාවනාව ප‍්‍රගුණ කොට සුදුසු කාලයෙහිදී සය වැදෑරුම් අභිඥා ලැබුවේය. ක‍්‍රමයෙන් ස්ථවිර භාවයට ද පත්වූයේය.

153. ඒ තිස්ස ස්ථවිර තෙමේ අතිශයින්ම ප‍්‍රසිද්ධ වූයේය. අහස් තලයෙහි චන්ද්‍රයා මෙන් ද, සූර්යයා මෙන් ද ප‍්‍රකට වූයේය. ලෝකයා උන්වහන්සේට කෙතෙක් ගරු කළේද යත් උන්වහන්සේගේ වචනය බුද්ධ වචනයක් හා සමාන කොට පිළිගන්නා ලද්දේය.

– හුදීජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි
පස්වෙනි පරිච්ෙඡ්දයෙහි කොටසකි. –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.