ගමේ ගොඩේ, නගරයේ, කඩ පිළේ, බස් නැවතුමේ, කාර්යාලයේ, නවාතැනේ ඇතුළු මෙකී නො කී සෑම තැන ම ‘ක‍්‍රිකට්’ රජයාලූ කාල පරිච්ඡේදයක් අපි පසු කළෙමු. හය හතර නො තේරෙන පුංචි එවුන් පවා හයට හතරට අත්පුඩි තළන්නට විය. තමන්ගේ බරවත් උසුලා ගත නො හී හැරමිටියට වාරු වූ, දෑස දෙකණේ කල් ඉකුත් වූ අපේ ම සීයලා, ආච්චිලාගේ ද ඔල්වරසන්හි අඩුවක් නො වී ය.

තරගාවලිය පුරාවට අපි වීරයන් දුටුවෙමු. ඒ වීරත්වයන් අප දෙනෙත් ඉදිරියේ ඔටුනු පලඳිද්දී…. අප සැම ප‍්‍රීතියෙන් ඔල්වරසන් නගද්දී…. කාලය විසින් අප සැවොම කොහේදෝ නො දන්නා ඈතකට ගෙන ගොස් ඇත. මඳකට ඇරයුම් කරමි ඔබ හට, දෑස් විවරමින් බලන්නට…. කොහි ද අද ඒ විරුවන්…? කොහි ද අද ඒ වීරත්වය…? අතීත මතක මන්දිර තුළ අහවර වූ වීරත්වයක් සමගින් ඒ සියලූ විරුවෝ අවසන් ගමන් ගොස් ය. මා, ඔබ මෙන් ම පුද්ගලයෝ කොටසක් පමණක් ඉතිරි ව ඇත.

විරුවෝ කලින් කලට එති. වැඩ පෙන්වති. ආපසු යති. හොලිවුඩයේ කෲස්ලා, බොලිවුඩයේ ඛාන්ලාගේ සිට සකල විධ කලාවන් අනුභව කරමින් ඒ තුළ අතරමං වූ වත්මන් ලාංකේය කලා ක්ෂේත‍්‍රය දක්වා ද මේ අරුත්සුන් වීරත්වය අඩු – වැඩි වශයෙන්, අලූත් – පරණ වශයෙන් සමාජය වෙලා ගන්නා සෝචනීය දසුන අපි අනේකවර අත්විඳ ඇත්තෙමු.

‘සොඳුරුබර තාරුණ්‍යය…. අහෝ!
නො දෙනු මැන ඉඩ හසර ඒ අරුත්සුන් වීරත්වයට
මුළා කරන්නට නුඹ පිවිතුරු සිත් මඩල
ප්‍රෝඩාකාරී මායාවෙන්….
පිය න`ගනු මැන ඒ අසිරිමත් හිරු මඩල කරා
මරසෙන් පරදා තිලොව දිනමින්
වීරත්වය සදාතනික කර වූ
ඒ අපරාජිත විරුවාණන් කරා….

‘දහම් දිවයින’ නම් වූ අපූර්ව අන්වර්ථ නාමයෙන් පිදුම් ලත්, ලොවින් උතුම් මේ සුපින්වත් දිවයිනේ උපදිනා සියල්ලෝ ම අතිශය වාසනාවන්තයෝ ය. පෙර කළ පින් ඇත්තෝ ය. ඒ ඔවුනට උරුම වන බෞද්ධකමක් නිසාවෙන් හෝ, ආගම ‘බෞද්ධ’ ලෙස සහතික වීම හෝ නිසාවෙන් නො වේ. බුදුවරුන්ගේ පහස ලද, බුදු සසුනට පිදුම් වූ දේශයක, බුදු බණ ඇසෙනා මායිමක උපන් නිසාවෙන් ම ය. මේ අතරිනුත් සුළුතරයක් තවත් ලාභයක් හිමි කර ගනී. බහ තෝරන වියේ දී ම ඇතැම් පුංචි එවුන් සාදු…! සාදු…! කියමින් බුදු සමිඳුන් අභියස වන්දනා කරනා අයුරු ඔබ දැක ඇති නේ ද? සමහර පුංචි එවුන් ‘බුද්ධං සරණං ගච්ඡාමි…..’ කියමින් හුරතලේට වන්දනා කරනා අයුරු ඔබ දැක තිබේ ද? මෙවැනි උත්තම වූ කටයුත්තක් කෙරෙහි සිය දරුවන් යොමු කරවීම සෑම දෙමව්පියෙකුගේ අතින් ම සිදු නො වුණත්, අල්ප දෙනෙකු හෝ තම ආදරණීය දූදරුවන් තිලොවින් උතුම් ඒ මහා විරුවාණන් කෙරෙහි යොමු කරවීම, පැහැදවීම සැබැවින් ම වර්ණනා කිරීම කාලෝචිත ය.

මෙලෙසින් වැඩෙනා පුංචි උන් පාසැලේ දී පියවරෙන් පියවර තම ජීවිතයට දැනුම එකතු කර ගනී. බුදු දහම ද විෂයක් ලෙසින් මොවුන්ගේ විෂය මාලාවන් අතරට එක් වන්නේ මේ අතරතුර ය. මෙම පෙළ පොත්වල බොහෝ සෙයින් ම වැදගත් කරුණු රැසක් අන්තර්ගත ව ඇත. දරුවාගේ ආධ්‍යාත්මික හා සාරධර්ම වර්ධනය කෙරෙහි මූලික වශයෙන් ම දායක වන මෙම කරුණු ගුරුවරයාගේ සිට සිසු දරුවා දක්වා සම්පේ‍්‍රෂණය වීමේ පටිපාටිය පුළුල් ලෙසින් සංවාදයට බඳුන් විය යුතු සහ දැඩි ලෙස සංශෝධනයට ලක්විය යුතු තත්වයක පවතිනා බව නම් නො කිව මනා ය. දරුවා වෙත මෙම කරුණු නිසි ආකාරයෙන් සම්පේ‍්‍රෂණය වූයේ නම් වත්මන් පන්ති කාමරය තුළ මෙන් ම ඉන් බාහිර ව ද, ‘ගුරු ගෞරවය’ යන්න මීට වඩා සිය දහස් ගුණයක ගාම්භීරත්වයකින් මෙන් ම සෙනෙහසකින් අර්ථකථනය වනු නිසැක ය. වත්මන් පාසල් සන්දර්භය තුළ, ශිෂ්‍ය ප‍්‍රජාව සම්බන්ධයෙන් බෙහෙවින් සංවාදයට ගැනෙනා ‘අසහනය’ පිළිබඳ කතිකාවතට අප හට ඉඩක් නො ම වන්නේ ම ය. සියවස් ගණනාවක් පුරාවට අපගේ ම වරදින් ඒ සියල්ල අපට අහිමි විය. දේශයක අනාගතය යනු එම දේශයේ දරු පරපුරයි. අපගේ දේශයට අනාගතය අහිමි විය.

බුදු සරණ වේවා….!
සදහම් සරණ වේවා…!
සග සරණ වේවා…!
මෙතුන් සරණින් ජය ම වේවා….!

මතක ද ඔබටත්….? පුංචි සන්දියේ හඩ නගා ගැයූ කව් පද පේළි…..

පුංචි උන්ගේ පුංචි හදවත්වලට දැනෙනා පරිදි, හැෙගනා පරිදි මේ කවියේ අරුත කියා දෙන්නට කෙනෙකු සිතුවේ නම්, ඔවුන්ගේ සිත්මල් පුරාවට ද තෙරුවනේ අසිරිය දෝර ගලන්නට තිබුණා නො වේ ද? කුමක්දෝ මහා අවාසනාවකට එය එසේ සිදු වී නො මැත. ගිරවුන් මෙන් කට පාඩමින් කවිය ගායනා කොට ගෙදර දුවනා පුංචි එකාගේ මල් වන් සිත ඒ තෙරුවන් බෙලෙන් පුබුදුවාලන්නට තවමත් අපි ප‍්‍රමාද නැත.

මුහුකුරා ශ්‍රේණියේ ඉහළට යත් ම තවත් අපූර්ව වූ ගාථා පෙළක් මේ සම්ප‍්‍රදායන් අතරට එක් වේ. නමුදු පෙර කී ගිරා පෝතක ස්වභාවයෙන් මිදෙන්නට අපොහොසත් වීම නිසාවෙන් ම ‘යෝ වදතං පවරෝ මනුජේසු….’ ලෙසින් වූ  ඒ මහානුභාව සම්පන්න ගාථා රත්නයෝ හුදු සාම්ප‍්‍රදායන් අතර ම සිරවී සිටීම අතිශය සෝචනීය තත්ත්වයකි.

මේ වදන් අමුණනා මමත්, ඇමිණූ වදන් මුමුණනා ඔබත් මේ සොඳුරු ගාථාවෝ අනේක වර සජ්ඣායනා කොට ඇත්තෙමු. නමුදු මොහොතකට ඇරයුම් කරමි…. ඒකාත්මික වන්නට….. පසුබිමෙහි මේ දිග හැරෙනා අපූර්ව කතාන්දරය සමගින්….

අසීමිත කරණාබර හදවතක් හිමි අප මහ මුනිඳාණන් වහන්සේගේ කරුණාබර නෙත් යුගළෙහි පහස ලබන්නට භාග්‍යලත් ඡත්ත නම් වූ තරුණයා වෙනුවෙනුයි මේ උතුම් ගාථාවන් ඒ සොඳුරු මුව මඩලින් නික්මුණේ.

‘ඡත්ත’ කියන්නේ තක්සලාවේ ශිල්ප හදාරා නිමකොට, ගුරු පඩුරු ගෙන එන්නට නිවසට ගොස්, ගුරු පඩුරු ලෙස කහවණු ද රැුගෙන ආපසු එන තරුණයෙක්. මහා වනයේ කහවණු ද රැුගෙන ගමන් කරනා මේ තරුණයාට සුළු මොහොතකින් අත්වන සෝචනීය ඉරණම දුටු මහා කාරුණිකයාණන් වහන්සේ ඡත්තගේ ගමන් මග අසල,රුක් මූලයක වැඩ සිටියා. ඉතින් මේ මුනි රජුන් ව ඡත්තගේ නෙත ගැටුණා. වාසනාවකට ඡත්තගේ සිත දුටුවන ම පැහැදුණා. පැහැදි සිතින් වන්දනා කළා. ඡත්ත සමග පිළිසඳර කථාවේ යෙදුණු මුනි රජුන්….

‘ඡත්ත, ඔබ තිසරණය සහිත පන්සිල් දන්නවා ද?’ යැයි අසමින් ඒ උතුම් දායාදය ලබා දුන්නා.
උතුම් තෙරුවනෙහි අනන්ත ගුණ මහිමය වටහා දී මේ උතුම් ගාථා රත්නයන් වදාළා.
‘ඡත්ත, මේ උතුම් තිසරණෙහි ගුණ සිහි කරමින් යළි යළිත් සිහි කරමින් ගමන් කරන්න.’
මහා කාරුණිකයන් වහන්සේ අවවාද කළා.

‘යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බලවිරියසමඞගී
තං සුගතං සරණත්ථමුපේමි’
කථා කරන මිනිසුන්ට උතුම් වූ –
සක්‍ය මුණි භගවත් මුනිදුන් වූ
බුදු කිස නිම කළ – බල වෙර පල කළ
සසරින් එතෙරට වැඩි මුනිඳාණන් –
සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමී….

මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුවට පහළ වූ, ලෝ සත්වයාට අප‍්‍රමාණ වූ කරුණා සිත් ඇති ව අමා දම් බෙදමින් වැඩි මේ උතුම් සම්බුදු රජාණන් ගුණ වශයෙන් සිහි කරන්නේ නම් එය මෙලොව මෙන් ම පරලොව සුගති සම්පත් පිණිස ම හේතු වේ.

ඒ සුගත තථාගත මුනි රජාණන් පන්සාලිස් වසක් පුරා ම අව්, වැසි නො බලා සිරිපා වෙහෙසමින් අමා දම් වැසි වස්සමින් චාරිකාවේ වැඩියේ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් ම ය. ලෝ සත්වයන් කෙරෙහි කරුණාව පතළ කරන්නට මේ සම අන් කිසිවෙක් නැත්තේ ම ය. පුහු ලෞකික සැපය ම වර්ණනා කරමින්, ලෞකික සැපය සොයා යන්නට ම අප ව යොමු කරනා, ඒ වෙනුවෙන් ම සියල්ල සැකසෙන වත්මන් ලෝකයේ, අප‍්‍රමාණ ගුණ ඇති මහා මුනිඳුන්ගේ ඒ මහා වීරත්වය, ශ්‍රේෂ්ඨත්වය හඳුනාගෙන ඒ කෙරෙහි පැහැදි සිත් ඇතිකර ගන්නට වත් අප සමර්ථ විය යුතු ය.

රාග විරාග-මනේජ-මසෝකං
ධම්ම-මසංඛත-මප්පටිකූලං
මධුරමිමං පගුනං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි’
රාග කිසිත් නැති – සෝක කෙලෙස් නැති
පිළිකුල් බව නැති – අසංඛතයි සදහම්
මැනවින් පවසන – හොඳින් ප‍්‍රගුණ වන
මිහිරි උතුම් සදහම් –
සාදරයෙන් මම සරණ යමි….

මේ ලෝකයේ නිවැරදි යි කියා යමක් තිබේ ද, අර්ථ සහිත සුපැහැදිලි වූ යමක් තිබේ ද, ඒ වනාහි අප සම්බුදු සමිඳාණන් වදාළ ශ‍්‍රී සද්ධර්මය මිස වෙනකක් නම් නො වේ. අංශු මාත‍්‍රයක හෝ දොසක් නම් නැත්තේ ම ය. ඉතාමත් පැහැදිලි ය.  ඕනෑ ම අයෙකුට ඇවිත් බලන්න යැයි කිව හැකි ය. කාලයාගේ සැඩ පහරට හසු ව විනාශ නො වන්නේ උතුම් වූ සත්‍යානුභාවය නිසා ම ය. සරණ යා යුත්තේ මේ උතුම් සදහම් ම ය.

‘පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යම් රාත‍්‍රියක ගුරු උපදේශ රහිත ව ශ‍්‍රී සද්ධර්මය ප‍්‍රත්‍යක්ෂ වශයෙන් ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද යම් රාත‍්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් ද ඒ අතර කාලය තුළ තථාගතයන් වහන්සේ විසින් යම් දෙයක් පවසන්නේ ද යමක් මතු කොට දක්වන්නේ ද යමක් විස්තර වශයෙන් පෙන්වා දෙන්නේ ද එය එසේ ම සිදු වේ. අන් අයුරකින් සිදු නො වේ. ඒ නිසා තථාගත යැයි කියනු ලබන්නේ.’
(ලෝකාවබෝධ සූත‍්‍රය)

මෙවන් සුපහැදිලි දෙසුමක් අන් ශාස්තෘන් වහන්සේ කෙනෙකුගෙන් දැකිය නො හැක්කේ ම ය. ශ‍්‍රී සද්ධර්මය වනාහි මහානර්ඝ වූ සත්‍යකි. ආශ්චර්යයකි. ශ්‍රී සද්ධර්මය වනාහි නිවන පිණිස ම ය.

‘යත්ථ ච දින්න මහප්ඵලමාහූ
චතුසු සුචීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්මදසා තේ
සංඝමිමං සරණත්ථමුපේමි’
යමෙකුට පිදුවොත් මහ ඵල ලැබ දෙන –
සදහම් තුළ සිටි බුදු සව් සැම දෙන
උතුම් පුරුෂයින් යුගල සතරදෙන –
පුද්ගලයින් ලෙස වෙත්මය අට දෙන
ඒ උත්තම ශ‍්‍රාවක සග රුවන ද –
සාදරයෙන් මම සරණ යමි…..

පින් පුරා මෙලොවට වැඩි බොහෝ පිනැත්තෝ සම්බුදු සමිඳුන් මග යමින් උත්තම නිවනේ අසිරිය විදීමේ භාග්‍ය ලද්දෝ ය. එවන් අසිරිමත් මුනිවරුන් ද මහත් වූ ආශ්චර්යමත් ය. සඳ වට කොට රන් තරු බබළන්නා සේ ගොයුම් මුනිඳුන් වට කොට මේ ඉසිවරු ද නිවන් සිරි විදින්නෝ ය. කෙලෙස් රහිත ව වාසය කරන්නෝ ය. ලෝ සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් චාරිකාවේ වඩිමින් අමා පැන් බෙදන්නෝ ය. එදත් එසේ ම ය. අදත් මෙසේ ම ය.

ශාස්තෘ ගෞරවය සුරකිමින් මෙලොවට නො ඇලී වාසය කරන්නෝ ය. මහා පින් කෙතක් වූ අරහත් මුනිඳුන් වඩිනා මග ද නිකෙලෙස් ම ය.

අටලෝ දහමෙහි නො වෙනස් ව විරාජ මානව වැඩ සිටිනා ආර්ය මහා සග රුවන ද ආශ්චර්ය ම ය. මෙවැනි ජීවිත කෙතරම් නිර්මල ද? සැබැවින් ම මහනෙල් මලක් ම ය. කෙලෙස් නමැති මලකඩ සූරා දමා අහවර ය. නැවත ඇති නො වන්නට ම සූරා දමා අහවර ය. ඉදින් මේ අසිරිමත් මහා ගුණ කඳ හද මඩලෙහි දරාගෙන නිකෙලෙස් සිතින් හුදෙකලාවට ම ඇලූම් කරමින් වාසය කරනා මුනිවරුන් කෙරෙහි පැහැදුණු සිතක් ඇති කරගන්න. ගුණ වශයෙන් සිහිපත් කරන්න. හදවතින් ම සරණ යන්න.

ඉතින් එදා ඡත්ත මානවක තෙමේ මේ ගාථා සිහි කරමින් ගමන් කරන විට සොරු මුළකට හසු වුණා. කහවණු පොදිය ගෙන තරුණයා ව ජීවිතක්ෂයට පත් කළා.

ආශ්චර්යය නම් මෙය යි. නිදාගෙන පිබිදියාක් මෙන් ඡත්ත නම් වූ තරුණයා එසැනින් ම තව්තිසාවේ අලංකාර විමානයක් තුළ පහළ වුණා.

අනතුරු ව ඔහු පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට යි. භාග්‍යවතුන් වහන්සේ මේ තරුණයාගෙන් පහළ වූ විමානය පිළිබඳ විමසන කල්හි,

‘විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පරදවනවා. යොදුන් 20ක් දුරට රැස් විහිදුවමින් දහවලට මෙන් ම රාත‍්‍රියටත් බබළනවා. සුපිරිසිදු යි. නිර්මල යි. අලංකාර සුන්දර මලින් පිරිලා…..’ ආදි ලෙස පැහැදිලි කරන දිව්‍ය කුමාරයාගෙන් හාග්‍යවතුන් වහන්සේ නැවත මෙසේ විමසනවා.

‘කුමක් ද දිව්‍ය පුත‍්‍රය ඔබ කළ මහා පුණ්‍ය කර්මය මේ සා ආනුභාව සහිත දිව්‍ය විමනක් ලබන්නට?’

‘මුනි රජාණෙනි, ඔබ වහන්සේ කෙරෙහිත් ඒ උතුම් සදහම් කෙරෙහිත් අසිරිමත් සග රුවන කෙරෙහි පැහැදුණු සිතක් ඇති කර ගතිමි. තිසරණයෙහි පිහිටමින් පන්සිල් සුරැකීමි. අන් පුණ්‍ය කර්මයක් නො මැත්තේ ය.’

මදකට සිතන්න අප සතු ව ඇති පිළිසරණ කුමක් ද කියා. පනින රිළවුන්ට ඉණිමන් බදින්නා සේ සසරට ම යන අප තව තවත් රැස් කරන්නේ ද සසරට ම යන්නට ඇවැසි දේ ම ය. කථා කරන්න ඔබේ හදවතට….. විමසා බලන්න…. පැහැදිලි තාලයක් වත් නො මැති ව වචන පේළි පමණක් ඉතා හදිසියෙන් කියවා පුටු බංකු උඩින් පැනගෙන පාසල් බිමෙන් පැන ගිය ඔබත්, ඉතාමත් සිහි නුවණින් යුතු ව ගුණ වශයෙන් සිහි කරමින් ගායනා කළ ඡත්ත තරුණයාත් ගැන. පැහැදිලි වෙනස හදුනාගත හැකි යි නේ ද?

අවශ්‍ය දේ මෙන් ම අනවශ්‍ය දේත් එක් කරමින් නවීකරණය වන පාසල් විෂය මාලාව තුළ මෙවන් වූ විෂමතාවයන් බොහෝ ය. අලියා නො මැති ව හෙණ්ඩුව හෝ හෙණ්ඩුව නො මැති ව අලියා හෝ තිබී පලක් නැත. අලියත් හෙණ්ඩුවත් එකවර ගන්නේ නම් දෙක ම ප‍්‍රයෝජනවත් ය.

පාසල් සිසුවා තුළ ද මේ උතුම් තෙරුවනේ අනන්ත ගුණානුභාවයන් කැටි වූ ගාථා රත්නයන් කෙරෙහි පැහැදීමක් ඇති කරවා අනතුරු ව මේවා තාලයට ගායනා කරන්නට, ගුණ වශයෙන් සිහිකොට ගායනා කරන්නට කාරුණික උපදෙස් ලැබුණේ නම් තත්ත්වය වෙනස් වනු නො අනුමාන ය. නමුදු මෙවන් ගාථා රත්නයන් සත පහකට මායිම් නො කොට රූපවාහිනී තිරයේ රාග – ද්වේෂ – මෝහයන් ම පමණක් සපිරුණු ටෙලි වෘතාන්තවල නොයෙක් උණුසුම් අවස්ථාවන්ට අර්ථ කථන දෙන්න වූ පාඨශාලාචාරීන් ගැන සැබැවින් ම උපදින්නේ කණගාටුවකි. නවීන විද්‍යාව යැයි කියමින් බටහිර බලවේගයන් පස්සේ අසීමිත වේගයෙන් දිව යන මොවුන් ද සැබවින් ම රොබෝ පිරිසකි.

කෙසේ වුව ද බුද්ධිමත් ඔබට සිතන්නට යමක් තිබේ. මේ ගුණ ධර්මයන් අන් අයගෙන් ලැබුණ ද නො ලැබුණ ද තවත් කෙනෙක් මත නො ව තමා තුළින් තමාගේ පෞරුෂත්වය ගොඩනගා ගන්නට පුළුවන. ඔබ සතු හොද ම නිදසුන ඒ උතුම් මුනි රජුන් ම ය.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ස්ථිර අධිෂ්ඨානයකින් යුතු ව පැමිණියා වූ වීරයාණන් වහන්සේ බුද්ධත්වය සාක්ෂාත් කරගත්තේ ද තනිව ම ය. මාර සේනාව ගිගුම් දෙමින් එද්දී දෙව් ලොව දෙවියෝ පවා විමාන තුළ සැගව ගියාහ. උතුම් වජිරාසනය පිණිස මාරයාත් මාර සේනාවත් සමඟ යුධ වැදුණේ හුදෙකලාව ම ය. තවත් නිදසුන් කුමකට ද?

කළ යුත්තේ වීර්යයත්, ධෛර්යයත් උපදවාගෙන අප‍්‍රමාදී වෙමින් තම තමන්ගේ පිළිසරණ සලසා ගැනීම ය. ගොඩනැගිල්ලක් ශක්තිමත් වන්නට ගඩොලින් බදිනා බිත්ති ප‍්‍රමණවත් නො වේ. පළමු ව ඉතා ශක්තිමත් අත්තිවාරමක් දැමිය යුතු ය. අත්තිවාරම ඉතා හොද තත්වයේ නම් ඔබ තනනා ගොඩනැගිල්ල කෙදිනක හෝ ගිලා නො බසින්නේ ය.

මේ අයුරින් ඔබ ද ඔබේ අත්තිවාරම ශක්තිමත් කර ගන්න. උතුම් තිසරණය තුළට පැමිණෙන්න. ඉමහත් වූ පිළිසරණක් එවිට ඔබ සතු ය.

මේ ලෝ තලයේ අග‍්‍ර ම කෙනෙක් ඇති නම් අප පැහැදිය යුතු වන්නේ ඒ කෙනාට ය. හිරු ගොත් වංශයේ උපන් ඒ අසහාය මනුෂ්‍ය රත්නය ගෞතම සම්මා සම්බුදු රජිදුන් හැර වෙනත් නම් කවරෙක් ද?

අග‍්‍ර වන්නා වූ යම් දෙයක් මේ ලෝ ධාතුව තුළ වේ ද පැහැදිය යුත්තේ ඒ කෙරෙහි ම ය. අගක්, මුලක් නො දන්නා, තෙරක් නො පෙනෙනා සංසාර සාගරය දුක් පීඩා ම පමණක් උපදවන්නේ ය. මෙලෙසින් අතරමං වී සිටින ලෝ සත්වයා එයින් එතෙර කරවීම උදෙසා ම සම්මා සම්බුදු රජිදුන් අවබෝධ කොට වඳාළ ශ‍්‍රී සද්ධර්මය හැර තවත් කුමක් නම් ලොව අග‍්‍ර වන්නේ ද? පැහැදිය යුතු අග‍්‍ර ම වූ දෙයක් ඇත්නම් එය නම් උතුම් සිරි සදහම් පමණක් ම ය.

අග‍්‍ර ම වූ පිරිසක් ඇත්නම් ඒ ආර්ය මහා සග රුවන ම ය. ගොයුම් ගොත් සමිදුන්ගේ ළය මඩලෙහි උපන් දරුවන් බදු වූ මේ ශ‍්‍රාවක සංඝරත්නය අතිශයින් ම ආශ්චර්ය ම ය. එදා මෙන් ම අද ද ඔබට අත්විදිය හැකි වන්නේ ය. උතුම් නිවන අවබෝධ කරගෙන නිවනෙහි අසිරිය විදිනා ශ‍්‍රාවක සග රුවනත් නිවන් දොර හැපි හැපී වඩිනා ඒ ශ‍්‍රාවක සග රුවනත් කෙරෙහි පහදවා නො ගත් සිතක් කුමකට ද?

ඡත්ත නම් වූ තරුණයා උතුම් තෙරුවනේ ආනුභාවය අත්විඳි අපූරු ව ඔබ ද අත්විදින්න වීර්යය උපදවා ගෙන අත්තිවාරමට මුල් ගල තබන්න.

සිතන්න. ඔබ වන්දනා කරන්නේ ඔබේ ම ශාස්තෘන් වහන්සේට ය. තිලොවට ම අග‍්‍ර වූ, තිලොව ම නිවීම පිණිස මන් පෙත් විවර කළ සිංහ රාජයාණන්ට ය. ලැජ්ජා වන්නේ කුමට ද? සදෙව් ලොවට ම ඇහෙන්නට හඩ නගා කියන්න…. උපදවා ගන්න මහත් වූ ලාභය ම…..

‘ඒ හාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයාණෝ ය. මම වනාහි ශ‍්‍රාවකයා වෙමි.’

මෙසේ කියන්නට දෙවරක් සිතිය යුතු නො වේ. අතිශයින් ම ඒ මග නිවැරදි ම ය. නිරවුල් ම ය. ඒ උත්තම මුනිදාණන් මෙලොවට පහළ වූයේ අපවන් අසරණ ලෝ සත්වයන් දුකින් මුදවාලනු පිණිස ම ය. ගෙවනා හැම මොහොතක ම අප ළං වන්නේ මරණය වෙත ය. කොයි මොහොතක කොතැනක දී එය සිදු වේ යැයි අප නො දනිමු. එනිසා කළ යුතු වන්නේ තිසරණය ගැන පැහැදී වහ වහා ආර්ය සත්‍ය අවබෝධයට උත්සාහ කිරීම ය.

මෙවන් නිර්මල වූ මාර්ගයක් අපට පෙන්වා දෙද්දීත් අන්ධයන් මෙන් ඉවත බලනා අප, පුර හඳ දෙස බලා හූ කියන හිස් හිවලූන් නො වන්නේ ද?

අප භාග්‍යවත් මුනිරජාණන් උතුම් වජිරාසන මත වැඩ හිඳිමින් ලොවෙහි පවතින අප‍්‍රමාණ වූ ඝනදුර දුරලමින් මාර සේනා බල බිදලමින් උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගත් මොහොතේ මේ ධරණි මාතාව කම්පා විය, තෙවරක් ම කම්පා විය. තිලොව ම ඒකාලෝක විය. ලෝකාන්ත නිරය පවා ආලෝකමත් විය.

මේ උතුම් අවස්ථාවන් නිතර නිතර සිහි කරමින් සිත පහදවා ගන්න. ලෝකය ඉදිරියේ හඩ නගා තෙරුවන් ගුණ ගයන්න. මේඝගර්ජනාවක් මෙන් නො බිය ව උතුම් සත්‍යය ලොව හමුවේ ගායනා කරන්න. මාර සේනාවේ බලයට නතු ව දුක් විදිනා වහලූන් නො වන්න. වීර්යය උපදවා ගන්න. අධිෂ්ඨාන කරගන්න….. ලොවෙහි උත්තම වූ තෙරුවන් අත හැර දමා නො යමියි මහත් වීර්යයකින් අධිෂ්ඨාන කරගන්න.

තෙරුවන් කෙරෙහි සුපහන් සිතින් උදේ සවස මහත් වූ ගෞරවයෙන් වන්දනා මාන කොට පංච සීලය තුළ හික්මෙමින් ගෙවනා ජීවිත වාසනාවන්ත ය. කෙනෙක් උපදවා ගත යුතු නිධානය මෙය යි.

මොහොතක් වුව ද පමා වීම නුසුදුසු ය. මහත් අනුවණකමකි. ඒ උත්තම සම්බුද්ධත්වය සාක්ෂාත් කරගෙන මේ වන විට වසර 2600ක් ම ගතවී ඇත. සම්බුද්ධත්ව ජයන්තියට දැක්විය හැකි අග‍්‍ර ම උපහාරය නම් ඒ උතුම් තිසරණ ය කෙරෙහි පැහැදුණු සිතක් ඇති කරගනිමින් නාමමාත‍්‍රික බෞද්ධයෙක් නො ව හදවතින් ම නිවැරදි බෞද්ධයෙක් වීම ය. එදා සේ ම අදත් අමා දම් බෙදමින් මහත් කරුණාවෙන් ලොව සැරිසරනා අසිරිමත් මුනිවරු වැඩහිදින්නේ ය.

මදක් සිතන්න. තාරුණ්‍යයට පණ පොවන්න. දෑස් වසා ඇති කඩතුරාව ඉවත් කරන්න.

‘ලොවෙහි අග‍්‍ර ම වූ දේ කෙරෙහි පහදින්නැ’යි නූතන තාරුණ්‍යයට හඩ නගා ඇරයුම් කරමි. මහත් වූ කරුණාවෙන් ඇරයුම් කරමි. සසර සැරිසරන අපට වෙන නම් පිළිසරණක් නැත්තේ ම ය. ලෝ සතුන්ගේ යහපත උදෙසා ම පහළ වූ භගවත් මුනිදාණන් කලා සොළොස සපිරි සඳ මඩල මෙන් දිදුලන්නේ ය. සඳ රැසෙහි පහස විදින්නට ගොඩ වදින්න ඔබත් පමා නො වී.

විරුසටහන
වජිරමාලා ජයසුන්දර