highlights of the week
Home » Archives » මහාවංශය 10

මහාවංශය 10

154. දිනක් යුවරජ තෙමේ මුව දඩයමේ ගියේ, වනයේ කෙළිදෙලෙන් පසුවන මුවන් දුටුවේ ය.
155. ඒ දුටු යුවරජු ‘වනයේ තණකොළ බුදින මුවෝ පවා මෙසේ ක‍්‍රීඩා කරති. සුවපහසු ආහාර ද විහරණ ද ඇති භික්ෂූන් කුමට නම් කී‍්‍රඩාවේ නො යෙදේද?’යැයි සිතුවේ ය.
156. යුවරජ තෙමේ මාලිගාවට ගිය පසු තමන්ට ඇති වූ මේ සිතුවිල්ල මහරජුට සැල කළේ ය.
157. භික්ෂූන් වහන්සේලා කී‍්‍රඩාවෙහි නො යෙදීමේ අර්ථය ඔහුට තේරුම් කර දෙන අදහසින් මහරජු, ‘කුමරුනි, ඔබ මේ රාජ්‍යය සත්දවසකට පාලනය කරව’ යි කියා රාජ්‍යය කරවන්නට භාර දී, ‘සත් දවස නිම වූ පසු ඔබ මරණයට පත්කරමි’ යි යනුවෙන් ද පැවසුවේ ය.
158. සත් දිනක් ඉක්මවූ කල්හි වැහැරී ගිය යුවරජු දුටු රජ තෙමේ ‘කුමක් නිසා ඔබ මෙතරම් කෘශ වූයෙහි ද?’ යැයි ඇසී ය. මරණය නිසා ඇති වන්නා වූ භය හේතු කොට ගෙන එසේ වූ බව යුව රජු පැවසූ විට රජු මෙසේ කී ය.
159.‘දරුව, සත් දිනකින් මම මැරෙන්නෙමි යැයි සිතා ඔබ කී‍්‍රඩා නො කළේ ය. ඉතින් සෑම විට ම මරණ සංඥා වඩමින් වාසය කරන්නා වූ භික්ෂූන් වහන්සේලා කෙසේ නම් කී‍්‍රඩා කරන්න ද?’
160. මෙලෙස සහෝදරයා විසින් තේරුම් කර දුන් පසු යුව රජු ද බුද්ධ ශාසනය කෙරෙහි මහත් සේ පැහැදී ගිය සිත් ඇත්තෙක් වූයේ ය. නැවත දිනක මුව දඩයමේ ගිය, ඒ නුවණැති යුව රජු,
161. වෘක්ෂ මූලයක වැඩ සිටින්නා වූ ද ඇතෙකු විසින් සල් අත්තක් ගෙන පවන් සලනු ලබන්නා වූ ද සන්සුන් ඉඳුරන් ඇත්තාවූ ද මහාධම්මරක්ඛිත රහතන්වහන්සේ ව දුටුවේ ය.
162. එවිට යුව රජ තෙමේ ‘මේ ස්ථවිරයන් වහන්සේ මෙන් මම ද බුද්ධ ශාසනයෙහි පැවිද්ද ලබා කවර කාලයක නම් වනයේ වෙසෙන්නේ ද?’ කියා සිතුවේ ය.
163. ඒ සිතුවිලි දුටු මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ යුව රජුගේ සිතෙහි උපන් ප‍්‍රසාදය වඩවනු පිණිස, හුන් තැනින් අහසට පැන නැගී අශෝකාරාමය අසබඩ වූ පොකුණේ දියමතට වැඩමකොට වදාළ සේක.
164. අනතුරු ව උතුම් වූ සිවුරු අහසෙහි ම රඳවා තැබූ උන්වහන්සේ පොකුණු දියට බැස ශරීරය දෝවනය කළ සේක.
165. නුවණැති යුව රජ තෙමේ ඒ සෘද්ධීන් දැක අතිශයින් ම පැහැදී ‘අද ම පැවිදිවෙමි’ යි කියා තීරණයකට එළඹියේ ය.
166. හෙතෙමේ මහ රජු කරා ගොස් ආදර ගෞරව දක්වා පැවිදිවීම පිණිස අවසර ඉල්ලා සිටියේ ය.
167. ඔහු ව වැළැක්වීමට නො හැකි වූ මහරජු මහා පිරිවරක් සමඟ තෙමේ ම යුව රජුව විහාරයට කැඳවා ගෙන ගියේ ය.
යුව රජ තෙමේ මහාධම්මරක්ඛිත රහතන්වහන්සේ සමීපයෙහි පැවිදි වූයේ ය. ඔහු අනුව තවත් හාරලක්ෂයක් වූ මිනිසුන් පැවිදි වූහ.
168. ඒ හාරලක්ෂයක පිරිස අනුව යමින් පැවිදිවූවන්ගේ ගණන මෙතෙකැයි කිව නො හැක.
169. සංඝමිත්තා නම් වූ රජුගේ දියණියගේ ද ඇයගේ ස්වාමි පුරුෂයා වූ, අග්ගි බ‍්‍රහ්ම නම් වූ, රජුගේ බෑනණුවන්ගේ ද
170. පුත‍්‍ර තෙමේ සුමන නම් විය. හෙතෙමේ ද රජු හට ආයාචනා කොට යුව රජු සමඟ ම පැවිදි වූවේ ය.
171. ජනයාගේ හිත සුව පිණිස හේතු වන්නා වූ ඒ යුව රජුගේ සසුන් ගත වීම ධර්මාශෝක මහ රජුගේ රාජාභිෂේකයෙන් පසු ව එළඹි හතර වන අවුරුද්දේ දී සිදු විය.
172. එහි දී ම උපසම්පදා වූ, හේතුසම්පත් ඇත්තා වූ ඒ ස්වාමීන් වහන්සේ මහත් සේ වීර්යය කොට සයවැදෑරුම් අභිඤ්ඥ සහිත රහත් ඵලයට පත් වී වදාළ සේක.
173. ධර්මාශෝක මහරජු විසින් අසූහාර දහසක් වූ නගරයන්හි ඉදිකරන්නට පටන් ගත් මනරම් වූ සියලූ විහාරාරාමයන්හි සියලූ ඉදිකිරීම් තුන්අවුරුද්දක් තුළ දී නිමා විය.
174. කර්මාධිෂ්ඨායක වූ ඉන්දගුත්ත ස්ථවිරයන් වහන්සේගේ සෘද්ධි බලයෙන් අශෝකාරාමය ද වහවහා ඉදි කෙරිණි.
175. මහරජ තෙමේ, සර්වඥයන් වහන්සේ විසින් පරිභෝග ඛරන්නට යෙදුණ ඒ ඒ ස්ථානයන්හි ද සිත්කලූ වූ චෛත්‍යයන් ඉදි කළේ ය.
176. විහාරයන්හි ඉදිකිරීම් නිම වූ බව කියැවෙන හසුන්පත් අසූහාරදහසක් එක ම දිනක දී රජු වෙත ගෙන එනු ලැබිණි.
177. මහා තේජස් ඇති, සෘද්ධි ඇති, වික‍්‍රම ඇති මහ රජු ඒ හසුන්පත්හි වූ පණිවුඩ අසා අසූහාරදහසක් වූ ඒ සියලූ විහාරාරාමයන් සසුනට පූජා කරනා මහා පූජාව එක ම මොහොතක දී කරන්නට කැමති වූයේ ය.
178. ඒ රජ තෙමේ, ‘මෙයින් එළඹෙන සත් වන දිනයේ දී සියලූ දේශයන්හි, සියලූ ආරාම පූජාව එකවිට සිදු වේවා!
179. පොළවේ යොදුනක් යොදුනක් පාසා මහා දන් දෙනු ලැබෙත්වා! ආරාමයන්ගේ ද මඟ දෙපස ද සැරසිලි කෙරෙත්වා!
180. සියලූ විහාරයන්හි භික්ෂූ සංඝයා උදෙසා සර්වප‍්‍රකාරයෙන්, හැකි උපරිම අයුරින් පූජා පවත්වා,
181. පහනින්, මලින් හා මල් මාලාවන්ගෙන් අලංකාර කර සරසවා, ඒ ඒ තැන සියලූ තූර්යයන්ගෙන් නොයෙක් අයුරින් පූජා පවත්වා,
182. සියල්ලෝ පෙහෙවස් සමාදන් ව, ධර්ම ශ‍්‍රවණය කරත්වා! ඒ දවසේ නොයෙකුත් වූ පූජා විශේෂයන් සිදු කෙරෙත්වා!’ කියා නගරයෙහි අණ බෙර පතුරුවා හැරියේ ය.
183. සියල්ලෝ සෑම තැන ම, අණ කළ පමණටත් වැඩියෙන් සර්වප‍්‍රකාරයෙන් සරසවා, දිව්‍ය සැණකෙළි වැනි වූ මනෝරම්‍ය පූජාවන් සකස් කළහ.
184. ඒ දවසේ අන්තඃපුර මෙහෙසියන් ද ඇමතිවරුන් ද ඇත්, අස් ආදි සේනාවන් ද විසින් පිරිවරන ලද මහරජ තෙමේ සර්වාභරණයෙන් සැරසී මිහිතලය බිඳින්නා සේ අශෝකාරාමයට පැමිණියේ ය.
185. හෙතෙමේ උතුම් ආර්යයන් වහන්සේලාට වැඳ ඒ මහා පිරිස් මධ්‍යයේ සිටියේ ය.
186. එදා එහි රැස් වූ භික්ෂූන් වහන්සේලාගේ ගණන අසූකෝටියකි. උන්වහන්සේලා අතර උතුම් රහතන් වහන්සේලා ලක්ෂයක් වූහ.
187. එහි අනූ ලක්ෂයක් භික්ෂුණීන් වහන්සේලා වූහ. ඒ අතර රහත් මෙහෙණින් වහන්සේලා දහසක් වැඩ සිටියහ.
188. ඒ රහතන් වහන්සේලා ධර්මාශෝක රජුගේ ප‍්‍රසාදය පිණිස ‘ලෝක විවරණ’ නම් වූ පෙළහර පා වදාළ සේක.
189. ඒ රජ තෙමේ අකුසල කර්ම නිසාවෙන් පෙර ‘චණ්ඩාශෝක’ යැයි ප‍්‍රසිද්ධ විය. පසු ව පුණ්‍යකර්මයන්ගේ බලයෙන් ‘ධර්මාශෝක’ යනුවෙන් ප‍්‍රසිද්ධ වූයේ ය.
190. රහතන් වහන්සේලා සිදු කළ පෙළහර නිසා ඒ රජ තෙමේ මුහුද කෙළවර කර ඇති දඹදිව හාත්පස නානාවිධ පූජාවන්ගෙන් අලංකෘත වූ සියලූ විහාරයන් දුටුවේ ය.
191. ඒ විහාරයන් දැක අතිශයින් ම සතුටට පත්වූ රජ තෙමේ, ‘ස්වාමීන් වහන්ස, බුද්ධ ශාසනය තුළ කාගේ නම් පරිත්‍යාගයන් අතිමහත් වූයේ ද?’ යැයි සංඝයා වහන්සේලාගෙන විමසා සිටියේ ය.
192. එවිට මොග්ගලීපුත්ත නම් වූ ස්ථවිරයන් වහන්සේ, ‘සර්වඥයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේවත් ඔබ හා සම වූ ත්‍යාගවන්තයෙක් නම් නො වී ය.’ යැයි පවසා රජුගේ ප‍්‍රශ්නය විසඳා වදාළ සේක.
193. ඒ බව අසා සතුටු වූ රජූ, ‘අනාගතයෙහි හෝ මා හා සමවන්නෙක් බුද්ධ ශාසනයේ නෑදෑයෙක් වේ ද?’ යැයි නැවතත් ස්ථවිරයන් වහන්සේලාගෙන් විචාළේ ය.
194. ශාසනභාර වූ ඒ මොග්ගලීපුත්ත ස්ථවිරයන් වහන්සේ, මහින්ද නම් වූ රාජ පුත‍්‍රයාගේ ද සංඝමිත්තා නම් වූ රාජ දියණියගේ ද හේතුවාසනා පුණ්‍ය සම්පත්තිය බලා,
195. ‘මෙබඳු වූ මහා පරිත්‍යාග ඇත්තෙක් අනාගතයේවත් බුද්ධ ශාසනයෙහි නෑදෑයෙක් නො වන්නේ ය.’
196. මහරජතුමනි, මෙවැනි දෑ කරන තැනැත්තාට ප‍්‍රත්‍ය දායක යැයි කියනු ලබන්නේ ය.
197. යමෙක් තම පුතෙකු හෝ දුවක හෝ සසුනෙහි පැවිදි කරවන්නේ නම්, එයින් ඒ තැනැත්තා ද ශාසනයට දායාද වන්නේ ය. එවිට හෙතෙමේ හුදු දායකයෙක් පමණක් ම නො වන්නේ ය.’ යැයි රජුට පිළිතුරු දුන් සේක.
198. ඉක්බිති ශාසන දායාදභාවය ලබනු කැමති වූ ධර්මාශෝක මහරජ තෙමේ ‘දරුවනි, ඔබලා පැවිදි වන්නේ ද? පැවිද්ද උදාරතර යැයි, අතිමහත් යැයි දැන ගනු ලැබීමි’ යනුවෙන් එහි සිටි මිහිඳු කුමරුගෙන් හා සංඝමිත්තා කුමරියගෙන් විචාළේ ය.

හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි පස් වෙනි පරිච්ඡේදයෙහි කොටසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පරම්පරා ගණනාවක් මුඛ සෞඛ්‍ය සුරැකි හෙළ වෙදකමේ දන්ත චිකිත්සා විධි

"නොයෙකුත් ඖෂධීය දැහැටි වර්ග නිරතුරුව දත් හා විදුරුමස්වල ගැටීම නිසා ඒ සම්බන්ධ මාංශපේශී හා ස්නායූන්ගේ මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවී ඇස්, කන්, නාස්, මොළය හා ඌර්ධවගත ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති පැවැත්මට ලබාදෙන්නේ මනා පිටුවහලකි. වර්තමානයේ කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් නිපදවා ඇති දත් බුරුසුව දැහැටි දණ්ඬේ ඖෂධීය ශක්තියට සම කිරීමට හැකිදැයි විමසීම ඔබට භාරය."