අපි කවුරුත් බොහෝ සැළකිලිමත් ව රැක බලා ගන්නා ඉන්ද්‍රියක් ඇස… එය එසේ වුවත් වර්තමානයේ බොහෝ පිරිස් විශේෂයෙන් පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් වැනි ළමා තරුණ පිරිස් පවා ඇස් පෙනීම දුර්වල වීම සහ ඇස් රෝග සම්බන්ධ ගැටළු රාශියකට මුහුණ දෙනවා. එනිසා මෙවර අප පිළිසඳරේ යෙදෙන්නේ නීරෝගී දෙනෙතක් පවත්වා ගැනීම සඳහා උපකාර වන දෙනෙතට සුවදායක සෞඛ්‍ය පුරුදු පිළිබඳ ව යි.

1. වෛද්‍යතුමනි, ඇස් පෙනීම දුර්වල වීම පිළිබඳ ව පැහැදිලි කර දෙන්න. ඒ සඳහා බලපාන සාධක මොනවා ද?

ඇස් පෙනීම දුර්වල වීම අක්‍ෂි ගෝලය තුළ ඇතිවන නොයෙක් රෝග හේතුවෙන් ද දෘෂ්ටි ස්නායුව හා එහි ශාඛාවල රෝග නිසා ද හිසට පිටතින් ඇති වන පීඩා වැනි නොයෙකුත් හේතුන් නිසා ද සිදු විය හැක.

හැඬීම් වැලපීම් ආදියෙන් බොහෝ කොට කඳුළු වැගිරීම්, අධික ලෙස දහඩිය දැමීම, ඉතා සියුම් දේ ආයාසයෙන් බොහෝ වේලා බලා සිටීම, බොහෝ වේලාවක් දුර බලා සිටීම, නිදිවැරීම, දුම්, දුවිලි, තද හිරු රැස් වැදීම, දුම් පානය, මත් පැන් පානය ඇස් පෙනීම දුර්වල වීමට බලපාන සාධක වන අතර ම දියවැඩියා රෝගය, අධි රුධිර පීඩනය, පෝෂණ ඌනතාවය, ලේ නෑයන් සමඟ විවාහ වීමෙන් පාරම්පරික ව ඇති වන හේතූන් නිසා ද වයසට යාම නිසා ද ඇස් පෙනීම දුර්වල වේ.

2. වර්ණ අන්ධතාවය, රාත්‍රී අන්ධතාවය, ඇසේ සුද මතුවීම, ඇසේ පිළිකා වැනි නොයෙකුත් ඇස් රෝග පිළිබඳ ව අසන්නට ලැබෙනවා. වෛද්‍යතුමනි, මෙවැනි විවිධ ඇස් රෝග හටගැනීමට බලපාන සාධක පිළිබඳවත් දැන ගන්න කැමතියි.

වර්ණ අන්ධතාවය ඇති අයෙකුට කොළ සමඟ රතු වර්ණය, කහ සමඟ නිල් වැනි වර්ණ වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමේ අපහසුතාව ඇති වේ. මෙය ලේ නෑයන් සමඟ විවාහය, සහජයෙන් ම ඇති වන රෝග, දෘෂ්ටි විතානයේ හෝ දෘෂ්ටි ස්නායුවේ රෝග, දියවැඩියාව, ඇසේ සුද මතුවීම වැනි හේතු නිසා හටගනී.

තරමක් අඩු ආලෝක තත්ව යටතේ ඉතා අඩු පෙනීමක් සහිත වීම රාත්‍රී අන්ධතාවය රෝගයේ ලක්‍ෂණය යි. සහජ හේතු නිසා ද පෝෂණ ඌනතාවය නිසා ද දෘෂ්ටි ස්නායුවේ දුර්වලතා නිසා ද රාත්‍රී අන්ධතාවය ඇති වේ.  ඇසේ සුද මතුවීමේ දී අක්‍ෂි කාචයේ ආලෝකය විනිවිද යාමේ ක්‍රියාවේ අඩු වීමක් මෙහි දී සිදු වේ. (පාරදෘෂ්‍ය බව අඩු වේ). රෝගය කල් ගත වන විට ඇසෙහි කළු ඉංගිරියාවේ කොටසක සුදු පැහැති වර්ණ වෙනසක් ඇති වේ. ඇසට සිදු වන තුවාල, තැලීම්, දියවැඩියාව, වයසට යාම යනා දී හේතු නිසා මෙම තත්වය ඇති වේ.

ඇසේ පිළිකා කලාතුරකින් ඇති වේ. වැඩි වශයෙන් හට ගන්නේ ළමා කාලයේ දී යි. සහජයෙන්, පාරම්පරික හේතුන් නිසා මෙම පිළිකා ඇති වේ. මීට අමතර ව ඇස තුවාල වීම නිසා ද ඇති විය හැක.

3. නීරෝගී දෙනෙතක් පවත්වා ගැනීමට අප අනුගමනය කරන ආහාර පුරුදු බලපාන බව අසා තිබෙනවා. මේ පිළිබඳ ව පහදා දෙන්න.

විශේෂයෙන් නීරෝගී දෙනෙතක් පවත්වා ගැනීමට ආහාර පාන මෙන් ම විහරණයන් ද බලපායි. දුම්, දුවිලිවලින් ඇස් ආරක්‍ෂා කර ගැනීම අවශ්‍ය වේ. අපිරිසිදු අත්වලින් ඇස් අත ගෑම හා පිස දැමීම නුසුදුසු ය. ගමනක් ගොස් ගෙදර පැමිණි විගස පිරිසිදු ජලයෙන් ඇස් සේදීම ඉතා හොඳ පුරුද්දකි.

බෝවන රෝග පවතින කාලවල දී කුඩා කෘමි සතුන්ගෙන් ඇස් ආරක්‍ෂා කර ගැනීම හා රෝගීන් අතර නො සිටීමට ද වග බලා ගත යුතු ය. මෙම රෝග කඳුළු මඟින් බෝවන නිසා තුවා, ලේන්සු, ඇස් කණ්ණාඩි ආදිය භාවිතය හවුලේ නො කිරීමට වග බලා ගත යුතු ය.

ඇසෙහි පෙනීමෙහි වෙනසක්, වේදනාවක්, කඳුළු, කබ ගැලීමක්, පිටතින් බැලූවිට ඇසේ වර්ණයෙහි වෙනසක් වුවහොත් පමා නො වී වෛද්‍යවරයකු වෙත යා යුතු ය.

තවද ඇසට හුණු හෝ යම් රසායනික ද්‍රව්‍යයක් වැටුණහොත් පිරිසිදු නිවුණු ජලයෙන් සෝදා හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුය.

4. වෛද්‍යතුමනි, ඇසට සුවදායක විශේෂිත ආහාර වර්ග මොනවා ද?

කඩල, කව්පි, මුං ඇට වැනි ධාන්‍ය, ඉදුණු අඹ, කෙසෙල් වැනි පලතුරු, සියලූ ම පලා වර්ග (තම්පලා, කතුරුමුරුංගා, කූර තම්පලා, ගොටුකොළ, මුකුණුවැන්න), දඹල, බෝංචි, කැරට් ආදී එළවළු, කෝමාරිකා ව්‍යජනය ඇසට හිතකර ආහාර වර්ග වේ.

5. එසේ ම වෛද්‍යතුමනි, දෙනෙතෙහි සුවපත්භාවයට අහිතකර ආහාර පුරුදු පිළිබඳ ව පැහැදිලි කර දෙන්න.

අබ, අච්චාරු, ජාඩි, විනාකිරි, මැංගුස්, රඹුටන්, රටදෙල්, බිලිං අධික ව ආහාරට ගැනීම, හරක් මස්, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවො, බල මාළු වැනි උෂ්ණාධික මාංශ වර්ග බහුල ව ආහාරට ගැනීම දෙනෙතෙහි සුවපත්භාවයට අහිතකර ආහාර පුරුදු වන අතර මත්ද්‍රව්‍ය භාවිතය, දුම් පානය අහිතකර ය.

කෙනෙක් දෙනෙත නිරෝගී ව, සුන්දර ව පවත්වා ගැනීමට කැමැති වුවත් පුද්ගලයාගෙන්, පුද්ගලයාට දෙනෙතෙහි විශාල විවිධත්වයක් දකින්නට පුළුවන්. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ඇස පුරාණ කර්මයක් බව යි. හේතූන්ගෙන් සකස් වුණු (අභිසංඛතං), චේතනාත්මක ව හටගත් (අභිසංචේතහිතං), විඳීමකින් දැනගත යුතු (වේදනීයං දට්ඨබ්බං) දෙයක් වශයෙනුයි ඇස නම් වූ ආයතනය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ  පෙන්වා වදාළේ. ලද දෙනෙත් නො පෙනී යාමට මත්තෙන් ඒ පිවිතුරු සිරි සදහම් ලියැවුණු පොත් වහන්සේලා පරිශීලනයට පිනැත්තෝ වූවොත්, සසරට වැටුණු දෙනෙත් අවබෝධ කරගැනීම පිණිස ම දෙනෙත උපකාරයක් වේවි.

පුණ්‍යනුමෝදනාව
වෛද්‍ය යු. ඩබ්. මොහොට්ටාල
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිළධාරී (හිටපු)
මහනුවර නගර සභාව

සංවාද සටහන
පියුම්නිල් ගමගෙදර