199. පැවිද්ද උතුම් යැයි ද අති මහත් යැයි ද යන බස් ඇසූ ඔවුහු පියරජුට මෙසේ පැවසූහ.
200. ‘‘දේවයන් වහන්ස, ඉදින් ඔබ වහන්සේ කැමැති නම් අපි අද ම පැවිදි වන්නෙමු. පැවිද්ද අපට ද ඔබට ද මහත් ලාභයක් ම වන්නේ ය.”
201. මහින්ද කුමර තෙමේ යුවරජු වූ කාලයේ පටන් ද සංඝමිත්තා කුමරි තොමෝ ඇයගේ ස්වාමියා වූ අග්ගිබ‍්‍රහ්ම කුමරුන් පැවිදි වූ කාලයේ පටන් ද පැවිදි වීම පිණිස නිශ්චය කරගත් සිත් ඇතිව සිටියහ.
202. මහරජ තෙමේ යුවරජ තනතුර මහින්ද කුමරුට ප‍්‍රදානය කරන්නට කැමැති වූයේ යම් තරමකින් ද ඊටත් වඩා පැවිද්ද කෙරෙහි බොහෝ ආසා වූයේ ඔවුන්ගේ පැවිද්ද ම රුචි කළේ ය.
203. ඒ රජු විසින් ඤණ බලයෙන් ද රූප බලයෙන් ද ප‍්‍රසිද්ධ වූ මහේන්ද්‍ර නම් සිය පුත‍්‍රයා ද සංඝමිත්තා නම් දියණියන් ව ද පූජා සහිත කොට පැවිදි කරවූයේ ය.
204. රජපුත් මහින්ද කුමර තෙමේ එකල විසි වයස් වූයේ ය. රාජ දුහිතෘ ඒ සංඝමිත්තා කුමරි තොමෝ අටළොස් හැවිරිදි විය.
205. රජ කුමරු හට පැවිද්ද ද උපසම්පදාව ද ඒ දිනයේ ම විය. රජ කුමරියට පැවිද්ද ද ශික්ෂා දානය ද එදින ම විණි.
206. මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ මිහිඳු කුමරුන්ට උපාධ්‍යායන් වහන්සේ වූහ. මහාදේව ස්ථවිරයෝ කුමරුන් පැවිදි කරවූ අතර මජ්ඣත්තික ස්ථවිරයෝ කුමරුන් ලවා කර්ම වාක්‍යය කියවූහ.
207. ඒ තමන්ගේ උපසම්පදා මණ්ඩලයේ දී ම ඒ මහින්ද යතිවරයාණන් වහන්සේ සිව්පිළිසිඹියා සහිත වූ අරහත් ඵලයට පත් වූහ.
208. ධර්මපාලා යැයි ප‍්‍රසිද්ධ වූ මෙහෙණි තොමෝ සංඝමිත්තා කුමරියට උපාධ්‍යාය වූ අතර ආයුපාලා නම් මෙහෙණි තොමෝ ආචාර්ය විය. ඒ සංඝමිත්තා මෙහෙණියෝ ද නිසි කාලයේ දී ආශ‍්‍රව රහිත කොට අරහත්වයට පත් වූවා ය.
209. බුදු සසුනෙහි පහන් වූ, ලංකාද්වීපයට උපකාරී වූ ඒ දෙදෙනා වහන්සේගේ පැවිදි වීම ධර්මාශෝක මහ රජුගේ රාජාභිෂේකයෙන් පසු එළඹි සයවන අවුරුද්දේ දී සිදු විය.
210. ලංකාද්වීපයට පැහැදුණු ඒ මහා මහේන්ද්‍ර යතිවරයාණන් වහන්සේ උපාද්ධ්‍යායන් වහන්සේ සමීපයෙහි වැඩ වෙසෙමින් තුන් අවුරුද්දකින් පිටකත‍්‍රය උගත්තේ ය.
211. චන්ද්‍ර රේඛාවක් බඳු වූ ඒ සංඝමිත්තා මෙහෙණ තොමෝ ද සූර්යයාට සමාන වූ ඒ මහේන්ද්‍ර භික්ෂු තෙමේ ද යන දෙදෙනා වහන්සේ ඒ කාලයෙහි සම්බුද්ධ ශාසනය නම් වූ ආකාශය ශෝභමාන කළහ.
212. අතීතයේ පැළලූප් නුවරින් නික්ම වනයෙහි හැසිරෙන්නා වූ එක්තරා වනචර පුරුෂයෙක් කුන්ත කින්නරියක් සමඟ සංවාසයේ යෙදුණේ ය.
213. ඒ දෙදෙනාගේ එක්වීම හේතුවෙන් කුන්ත කින්නරිය පුතුන් දෙදෙනෙකු ඉපැද්දවූවා ය. ඒ දෙටු පුතු තිස්ස නම් වූ අතර කනිටු පුතු සුමිත්ත නම් විය.
214. සුදුසු කාලයේ දී මහා වරුණ නම් ස්ථවිරයන් වහන්සේ සමීපයේ පැවිදි බව ලැබූ මේ දෙදෙනා වහන්සේ ම සය වැදෑරුම් අභිඥ සහිත අරහත් ඵලයට පත් වූහ.
215. දිනක් වැඩිමහලූ තිස්ස ස්ථවිරයන් වහන්සේගේ පාදයක් ගෝනුස්සෙකු විසින් දෂ්ට කරන ලද්දේ බොහෝ වේදනා දෙන්නට විය. කනිටු වූ සුමිත්ත ස්ථවිරයන් විසින් ඒ ගැන අසන ලද කල්හි මේ විෂට බෙහෙත් ලෙස ගිතෙල් පතක් ලැබිය යුතු යැයි තිස්ස ස්ථවිරයෝ වදාළහ.
216. ඒ තිස්ස ස්ථවිරයෝ බොහෝ සෙයින් ගිලන් ව වූව ද රජු හට ඒ බව දැන්වීමත්, සවස් කාලයේ ගිතෙල් පිණිස පිණ්ඩපාතයේ හැසිරීමත් ප‍්‍රතික්ෂේප කළහ.
217. ‘‘ඉදින් ඔබ වහන්සේ පිඬු පිණිස හැසිරෙද්දී ගිතෙල් ලද්දේ නම් එය රැගෙන එනු මැනවි” යැයි තිස්ස ස්ථවිරයෝ සුමිත්ත ස්ථවිරයන්ට වදාළහ.
218. පිණ්ඩපාතය පිණිස වැඩම කළ සුමිත්ත ස්ථවිරයෝ ද ගිතෙල් නො ලද සේක. ගෝනුසු විෂෙන් හටගත් රෝගය ගිතෙල් කළ සියයකිනුදු සුව කළ නො හැකි තරමට උත්සන්න විය.
219. තිස්ස ස්ථවිරයෝ ඒ රෝගයෙන් ම ආයු කෙළවරට පැමිණියේ අප‍්‍රමාදය පිණිස භික්ෂු සංඝයා වහන්සේට අවවාද කොට පිරිනිවන් පාන්නට අදහස් කළෝ ය.
220. ඒ තිස්ස ස්ථවිරයෝ ආකාශයෙහි වැඩ හිඳ තමන් වහන්සේට රුචි වූ ආකාරයෙන් ම ශරීරය තේජෝ ධාතු වශයෙන් අධිෂ්ඨාන කොට තබා පිරිනිවන් පා වදාළ සේක.
221. උන්වහන්සේගේ ශරීරයෙන් අග්නිජාලා පැන නැගී, ශරීර මාංසය භෂ්ම රහිත වන පරිදි දවාලූහ.
222. තිස්ස ස්ථවිරයන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ඇසූ මිහිපති තෙමේ ජන සමූහය විසින් පිරිවරන ලදුව තමන් විසින් කරවන ලද අශෝකාරාමයට ගියේ ය.
223. ඇතු මතට නැගි ඒ මහරජ තෙමේ තිස්ස ස්ථවිරයන්ගේ ශරීරය දැවීමෙන් ශේෂ ව ආකාශයේ රැඳී ගත් අස්ථි ධාතූන් වහන්සේලා ආකාශයෙන් බැස්සවී ය. ධාතූන් වහන්සේලාට පුද සත්කාර දැක්වූ රජ තෙමේ මේ මරණයට හේතු වූ රෝගය කිමෙක්දැයි සංඝයා වහන්සේලාගෙන් විචාළේ ය.
224. ඒ (ගෝනුසු විෂට පිළියම් ලෙස ගිතෙල් පතක් නො ලැබීමේ) හේතුව අසා මහත් සංවේගයට පත් රජ තෙමේ නුවර සතර දොර පිරිසිදු, අලංකාර පොකුණූ කරවා, ඒ පොකුණු බෙහෙත්වලින් පුරවා,
225. ‘‘භික්ෂු සංඝයා වහන්සේට බෙහෙත් දුර්ලභ නො වේවා!” යැයි දවසක් දවසක් පාසා සංඝයා වහන්සේට බෙහෙත් සැපයුවේ ය.
226. සුමිත්ත ස්ථවිරයෝ ද සක්මන් මළුවෙහි සක්මන් කරමින් සිටිය දී ම පිරිනිවන් පා වදාළ සේක. ඒ හේතුවෙන් ද මහජන තෙම බුද්ධ ශාසනයෙහි මහත් සේ පැහැදුණු සිත් ඇත්තේ විය.
227. ලොවට හිතෛෂී වූ ඒ කුන්ත පුත‍්‍ර ස්ථවිරයන් වහන්සේලාගේ පිරිනිවීම ධර්මාශෝක මහ රජුගේ රාජාභිෂේකයෙන් පසුව එළඹි අට වන අවුරුද්දේ දී සිදු විය.
228. එයින් පසුව සංඝයා වහන්සේ කෙරෙහි පැහැදුණ සිත් ඇත්තෝ උන්වහන්සේලා විෂයෙහි බොහෝ ලාභ සත්කාර පැවැත්වූ හෙයින් සංඝයා වහන්සේලාට ලැබුණු ලාභ සත්කාර අති මහත් විය.
229. මේ නිසාවෙන් ලාභ සත්කාරයන්ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ තමන් විසින් ම කෂාය වස්ත‍්‍ර දරාගෙන භික්ෂු සංඝයා වහන්සේලා සමඟ එක්ව වසන්නට වූහ.
230. ඔවුහු තම තමන්ගේ වාදයන් ම බුද්ධ වාදය යැයි ප‍්‍රකාශ කළහ. එසේ ම බුද්ධ ශාසනයෙන් බැහැර වූ යාගහෝම ආදිය ද තම තමන්ට රුචි වූ පරිද්දෙන් ම සිදු කළහ.
231. එයින් උපන්නා වූ ශාසන අර්බුදය දුටු, තිරසර ගුණයෙන් යුතු වූ මොග්ගලීපුත්ත ස්ථවිරයන් වහන්සේ,
232. දූරදර්ශී වූයේ, ශාසන අර්බුදය සමනය වන කාලය බලා ස්වකීය මහා භික්ෂු පිරිවර මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේට භාර කොට,
233. ගංගා නම් නදියේ ඉහළ කොටසෙහි වූ අභොගංගා නම් පර්වතය ඇසුරු කොටගෙන සත් අවුරුද්දක් විවේක සුවයෙන් වාසය කළ සේක.
234. තීර්ථකයන් බහුල වූ බැවින් ද අකීකරු වූ බැවින් ද ඔවුහු අදැහැමින් වාසය කිරීම වළකන්නට භික්ෂූන් වහන්සේලාට නො හැකි විය.
235. එනිසාවෙන් ම දඹදිව මුළුල්ලේ තිබූ සියලූ ආරාමයන්හි භික්ෂූන් වහන්සේලා සත් අවුරුද්දක් මුළුල්ලේ පොහොයක් පවාරණයත් නො කළහ.

– හුදී ජන පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයෙහි පස්වෙනි පරිච්ඡේදයෙහි කොටසකි.