නොයෙක් දේශයන් පැහැදීම – දොළොස් වැනි පරිච්ඡේදය

01. ජිනේන්ද්‍රයන් වහන්සේගේ ශාසනය බබුළුවන්නා වූ ඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ සංගායනාව නිම කරවා අනාගතය බලන සේක.
02. ප‍්‍රත්‍යන්ත දේශයන්හි ශාසනය පිහිටන බව බලා වප් මාසයේ දී ඒ ඒ තෙරුන් වහන්සේලා ඒ ඒ දේශයන්ට යැවූහ.
03. කාශ්මීර ගන්ධාර රටට මජ්ඣන්තික නම් මහ රහත් තෙරුන් ද මහිස මණ්ඩලයට මහා දේව මහ තෙරුන් ද යැවූහ.
04. වනවාසී දේශයට රක්ඛිත නම් මහ තෙරුන් ද අපරන්ත දේශයට යෝනක ධම්ම රක්ඛිත නම් මහ තෙරුන් ද යැවූහ.
05. මහාරාෂ්ට‍්‍ර ජනපදයට මහා ධම්ම රක්ඛිත නම් මහ තෙරුන් ද යෝනක දේශයට මහා රක්ඛිත මහ තෙරුන් ද යැවූහ.
06. හිමවත් පෙදෙසට මජ්ඣිම නම් මහ තෙරුන් ද ස්වර්ණ භූමියට සෝණ හා උත්තර යන මහ තෙරවරුන් ද යැවූහ.
07. මහා මහින්ද ස්ථවිර, ඉත්ථිය ස්ථවිර, උත්තිය ස්ථවිර, සම්බල ස්ථවිර හා භද්දසාල ස්ථවිර යන ස්වකීය උපාධ්‍යභාවය යටතේ වෙසෙනා,
08. ස්ථවිරයෝ පස්දෙනා වහන්සේ ‘‘මනෝඥ වූ ලංකා ද්වීපයේ මනෝඥ වූ ජිනේන්ද්‍ර ශාසනය පිහිටුවන්න” යැයි කියා පිටත් කළ සේක.
09. එකල මහත් වූ ඍර්ධි ඇති අරචාල නම් වූ නාග රාජයා කාශ්මීර ගන්ධාර දේශයට හිම කැටි වර්ෂා වස්සවමින් රැස් කළ, පැසුණු ධාන්‍යය
10. සියල්ල මුහුදෙහි හෙළන්නේ ය. මජ්ඣන්තික මහ ස්ථවිරයෝ වහා අහසින් වැඩම කරවා,
11. අරචාල විලෙහි දියපිට සක්මන් ආදිය කළ සේක. නාගයෝ ඒ දැක කෝපයට පත්ව රජු හට දැන්වූහ.
12. එවිට කිපුණු නා රජ තෙමේ නොයෙකුත් ආකාරයේ බියකරු දෑ සිදු කළේ ය. මහා සුළං හමා ඒ. මේඝ ගර්ජනා කෙරේ. එසේ ම වැසි වසී.
13. විදුලි අකුණු පුපුරායේ. ඒ ඒ දිශාවෙන් විදුලි එළි නික්මේ. මහා වෘක්ෂයෝ ද පර්වත මුදුන් ද කඩා වැටෙති.
14. විරූපී නාගයෝ ද හැම අතින් ම භය ගන්වති. නා රජ තෙමේ තමා ම දිව යයි. නොයෙකුත් ආක්‍රෝෂ කරමින් දිලිසෙයි.
15. ස්ථවිර තෙමේ ඒ සියලූ භීෂණයන් ඍර්ධි බලයෙන් වළක්වා තමන් වහන්සේගේ උතුම් බලය ඒ නා රජුට දැක්වූ සේක.
16. ‘‘දෙවියන් සහිත ලෝකයා පැමිණ මා ත‍්‍රාසයට පත්කරවන්නේ නමුත්, මට භය භේරව ඇති කරන්නට නො හැක්කේ ය.
17. මහා නාගය, තොප ඉදින් සමුදුරු, පර්වත සහිත සියලූ මහපොළව ඔසවා මා මතුපිට දැම්ම ද
18. මට භය භේරවයක් ඇති කරන්නට නො හැකි ය. නාග රාජය, ඒකාන්තයෙන් ම තොපගේ විනාශය පිණිස වන්නේ ය.” කියා වදාළ සේක.
19. ඒ අසා මඳ සිඳුණු නා රජුට තෙරුන් වහන්සේ දහම් දෙසූ සේක. ඉක්බිති නා රජ තෙමේ සරණ ශීලයේ පිහිටියේ ය.
20. එසේ ම අසූහාර දහසක් නාගයෝ ද හිම වතෙහි සිටි බොහෝ ගන්ධර්වයෝ ද යක්ෂයෝ ද කුම්භණ්ඩයෝ ද සරණ පිහිටියෝ ය.
21. පණ්ඩක නම් යක්ෂයා හාරිත නම් යකිනිය හා පන්සියයක් පුතුන් සමග ප‍්‍රථම ඵලයට පැමිණියේ ය.
22. ඉක්බිති ඒ මහ තෙරුන් වහන්සේ ”මින් මතු පෙර පරිදි ක්‍රෝධය නූපදව. ධාන්‍ය හානි නො කරව. ප‍්‍රාණීන්ගේ සුවය ම කැමති වෙව.
23. සත්වයන් කෙරෙහි මෙත පතළ කරව. මනුෂ්‍යයෝ සුව සේ වාසය කරත්වා.” යි මෙසේ අනුශාසනා කරන ලද ඔවුහු ඒ අයුරට ම පිළිපැද්දහ.
24. ඉක්බිති ඒ නාරජ තෙමේ තෙරණුවන් මැණික් පළඟක හිඳුවා පවන් සලමින් උන් වහන්සේ සමීපයේ හුන්නේ ය.
25. එකල කාශ්මීර ගන්ධාර වැසි මනුෂ්‍යයෝ නා රජු හට පුද පූජා පිණිස පැමිණියෝ මහා ඍර්ධි ඇති තෙරුන් කරා ගොස්,
26. නමස්කාර කොට එකත්පස්ව හිඳ ගත්හ. මහ තෙරුන් වහන්සේ ඔවුන් හට ආසිවිසෝපම සූත‍්‍රය දේශනා කළ සේක.
27. අසූ දහසකට ධර්මය අවබෝධ වී ලක්ෂයක් මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වූහ.
28. එතැන් පටන් ඒ කාශ්මීර ගන්ධාර වැසියන් මේ දක්වා ම තෙරුවන් සරණෙහි පිහිටියෝ කසාවතින් යුක්ත වන්නෝ ය.
29. ඒ මහාදේව මහ තෙරුන් වහන්සේ මහිස මණ්ඩල දේශයට වැඩම කරවා ජනයා මධ්‍යයේ දේවදූත සූත‍්‍රය දේශනා කළ සේක.
30. සතළිස් දහසකට දහම් ඇස පිරිසිදු විය. සතළිස් දහසක් උන් වහන්සේ වෙත පැවිදි වූහ.
31. වනවාසී දේශයට වැඩම කළ රක්ඛිත මහ තෙරුන් වහන්සේ අහසෙහි වැඩ හිඳ ජනයා මැද අනමතග්ග සංයුත්තය දේශනා කොට වදාළ සේක.
32. සැට දහසක් මිනිසුන් ධර්මය අවබෝධ කළ අතර තිස් හත් දහසක් උන් වහන්සේ සමීපයේ පැවිදි වූහ.
33. එම දේශයේ විහාර ස්ථාන පන්සියයක් පිහිටියේ ය. ඒ මහා තෙරුන් වහන්සේ එම දේශයේ ජිනේන්ද්‍ර ශාසනය පිහිටුවාලූයේ ය.
34. අපරන්ත දේශයට වැඩම කළ යෝනක ධම්මරක්ඛිත මහ තෙරුන් වහන්සේ ජනයා මැද අග්ගික්ඛන්ධෝපම සුතුර දේශනා කොට වදාළ සේක.
35. එහි පැමිණි තිස් හත් දහසක් වූ ප‍්‍රාණීහු දම් අමාවන් බී ධර්මාධර්ම දැනීමෙහි දක්ෂ වූහ.
36. පුරුෂයන් දහසක් ද ඊට වැඩි ස්තී‍්‍රන් ද ක්ෂතී‍්‍රය කුලයෙන් නික්ම පැවිද්ද ලැබූහ.
37. මහිරාෂ්ට‍්‍ර දේශයට වැඩම කළ මහා ධම්මරක්ඛිත මහ තෙරුන් වහන්සේ එහි දී මහා නාරද කාශ්‍යප ජාතක කථාව වදාළ සේක.
38. අසූ හතර දහසක් ප‍්‍රාණීහු මාර්ගඵල ලැබූහ. දහතුන් දහසක් මිනිසුන් උන් වහන්සේ සමීපයේ පැවිදි වූහ.
39. යෝණක දේශයට වැඩම කළ ඒ මහා රක්ඛිත නම් මහ ඍෂිතෙමේ ජනයා මැද කාළකාරාම සූත‍්‍රය වදාළ සේක.
40. එක් ලක්ෂ හැත්තෑ දහසක් ප‍්‍රාණීහු මාර්ග ඵලයට පත්වූහ. දස දහසක් දෙන පැවිදි වූහ.
41. මජ්ඣිම නම් ඍෂි තෙමේ තෙරවරුන් සතර නමක් සමග හිමවත් පෙදෙසට වැඩම කරවා ධර්ම චක‍්‍රය පැවැත් වූහ.
42. අසූ කෝටියක් ප‍්‍රාණීහු මාර්ග ඵලයට පත්වූහ. ඒ තෙරවරුන් පස් දෙනා වෙන වෙන ම රටවල් පහක් පැහැද වූහ.
43. ඒ එක් එක් තෙරුන් වහන්සේ වෙත ලක්ෂයක් බැගින් වූ මිනිසුන් සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමෙන් පැවිදි වූහ.
44. මහා ඍද්ධි ඇති සෝණ තෙරුන් වහන්සේ උත්තර තෙරුන් වහන්සේ සමග ස්වර්ණ භූමියට වැඩම කළ කල්හි
45. ජල රකුසියක් මුහුදෙන් නික්ම විත් රාජ ගෘහයෙහි උපන් උපන් දරුවන් කා දමා පෙරලා මුහුදට යන්නී ය.
46. ඒ ක්ෂණයෙහි රාජ ගෘහයේ කුමාරයෙක් උපන්නේ ය. මිනිස්සු තෙරනුවරුන් දැක රකුසියගේ යහළුවන් යැයි,
47. සිතා මරන්නට අවි ගත් අත් ඇතිව පැමිණියහ. ඒ තෙරණුවන් වහන්සේලා ‘‘මේ කිම ද?” යැයි විචාරා ඒ මිනිසුන්ට,
48. ‘‘අපි හිමවතේ ශ‍්‍රමණයන් වන්නෙමු. රකුසියගේ මිතුරන් නො වන්නෙමු.” යි වදාළහ. පිරිවර සහිත වූ රකුසිය ද සාගරයෙන් නික්මුණා ය.
49. ඒ දැක මහා ජනකාය මහ හඬින් කෑ ගැසූහ. ස්ථවිර තෙමේ බියකරු රකුසන් දෙගුණයක් මවා,
50. පිරිවර සහිත ඒ රකුසිය හාත්පසින් වට කළහ. ඔවුන් විසින් මෙම ස්ථානය ගෙන ඇතැයි සිතූ රකුසිය බියට පත්ව පළා ගියා ය.
51. හාත්පසින් ඒ දේශයට ආරක්ෂාව සලසා ස්ථවිර තෙමේ ඒ සමාගමයේ බ‍්‍රහ්මජාලය දේශනා කළ සේක.
52. බොහෝ මිනිසුන් සරණ ශීලයේ පිහිටියහ. සැට දහසක් වූ ප‍්‍රාණීන්ට ධර්මය අවබෝධ විය.
53. තුන්දහස් පන්සියයක් කුල දරුවෝ පැවිදි වූහ. එක් දහස් පන්සියයක් කුල දියණිවරු ද පැවිදි වූහ.
54. එතැන් පටන් රජ තෙමේ රාජ ගෘහයෙහි උපන් කුමරුට සෝණුත්තර යැයි සමාන නම් තැබුවේ ය.
55. මහා කරුණා ඇති බුදුරජුන්ගේ අමෘත වූ නිවන් සැපය අත්විඳීම පවා අත්හැර දමා ඒ ඒ දනව්වල සැරිසරා ලෝක සත්වයාට හිත සුව සැදුවෝ ය. එහෙයින් ලෝවැඩ සැලසීමෙහි කවරෙක් නම් ප‍්‍රමාද වන්නේ ද?

මෙතෙකින් හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘නොයෙක් දේශයන් පැහැදීම’ නම් වූ දොළොස් වැනි පරිච්ඡේදය නිමා විය.