ධාතූන් වහන්සේලා වැඩම කරවීම

01. මහා නුවණැති මහා ස්ථවිරයන් වහන්සේ වස් පවාරණය කොට ඉල් මස පුර පසළොස්වක දිනයේ මහ රජුට මෙසේ වදාළ සේක.
02.‘‘නරේන්ද්‍රය, අපගේ ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේව බොහෝ කලකට පෙර දකින ලදී. අපි මෙහි අනාථ භාවයෙන් වාසය කරන්නෙමු. අපට මෙහි පූජනීය වස්තුවක් නැත.”
03. ‘‘ස්වාමීනී, සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වදාළ බව මට වදාළා නො වේ ද?” (රජු විමසුවේ ය.) ‘‘ධාතූන් වහන්සේලා දුටු විට සර්වඥයන් වහන්සේ දුටුවා වේ.” (මහා ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.)
04. ‘‘මා විසින් සෑයක් කරවනු පිණිස වූ ඔබ වහන්සේලාගේ අපේක්ෂාව දැන ගත්තෙමි. මම සෑයක් කරවන්නෙමි. ඔබ වහන්සේලා ධාතූන් වහන්සේලාව ලබා දෙන සේක්වා!” රජු පැවසුවේ ය.
05. ස්ථවිරයන් වහන්සේ ‘‘සුමන තෙරුන් සමඟ සාකච්ඡා කරන්න.” යැයි රජුට වදාළ සේක. රජ තෙමේ ‘‘කෙසේ ධාතූන් වහන්සේලා ලබන්න ද?” යැයි සාමණේරයන් වහන්සේගෙන් විමසුවේ ය.
06. ‘‘රජතුමනි, නගරය හා මාර්ගය සරසවන්න. පෙහෙවස් සමාදන්ව පිරිවර සහිත ව මඟුල් ඇතු පිට නැගී,
07. ධජ, සේසත් දරමින්, තූර්යනාද සහිත ව සවස් කාලයේ මහානාග වන උයනට යන්න.
08. රජතුමනි, බෙදන ලද ධාතූන් අතරින් ධාතූන් වහන්සේලා එහි දී ලැබෙනු ඇත.” යැයි එ් සුමන සාමණේරයන් වහන්සේ සතුටු සිත් ඇතිව රජුට වදාළ සේක.
09. ඉන්පසුව ස්ථවිරයන් වහන්සේ රජ ගෙයින් නික්ම සෑගිරියට වැඩම කොට, යහපත් චිත්ත ස්වභාව ඇති සාමණේරයන් වහන්සේව
10. ‘‘සුමන, මෙහි එන්න.” යැයි කැඳවා, ‘‘ඔබ උතුම් පුෂ්පපුරයට ගොස් ඔබගේ මුත්තණුවන් වූ මහ රජු හට අපගේ වචනය මෙසේ පවසන්න.
11. ‘මහ රජාණෙනි, ඔබගේ මිත‍්‍ර වූ, දෙවියන්ට ප‍්‍රිය වූ මහ රජ තෙමේ බුද්ධ ශාසනයෙහි පැහැදුණු සිත් ඇත්තේ සෑයක් කරවන්නට කැමැත්තෙන් සිටී.
12. ඔබ සතුව සුගත ශාරීරික ධාතූන් ඇත්තේ ය. මුනිඳුන්ගේ ධාතූන් වහන්සේලා ද ශාස්තෘන් වහන්සේ පරිභෝජනය කළ පාත‍්‍රය ද දෙන්න.’
13. එ් පාත‍්‍රය පුරවා (ධාතූන් වහන්සේලා) ගෙන, දෙව්පුර ගොස් සක් දෙවිඳු හට අපගේ වචනය මෙසේ පවසන්න.
14. ‘දෙවිඳුනි, තිලෝ වැසියන්ගේ වන්දනාමානයට සුදුසු වූ සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ද දකුණු අකු ධාතූන් වහන්සේ ද ඔබ සතුව ඇත.
15. එ් දළදා වහන්සේව ම පුදන්න. ශාස්තෘන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේව දෙන්න. දෙවියන්ගේ අධිපතිඳුනි, ලංකාද්වීපයේ වැසියන්ගේ කටයුත්තේ ප‍්‍රමාද නො වන්න.’”
16. මහත් ඍද්ධිමත් වූ එ් සාමණේරයන් වහන්සේ ‘‘එසේ ය, ස්වාමීනී.” යැයි කියා එ් ක්ෂණයෙහි ම ධර්මාශෝක මහ රජු කරා වැඩම කළ සේක.
17. එහි ශාල වෘක්ෂමූලයේ තබා ඉල් පොහෝ දින උත්සවයෙන් පුද දෙන්නා වූ යහපත් වූ බෝධිය ද දුටු සේක.
18. ස්ථවිරයන් වහන්සේගේ වචනය රජුට පවසා රජු සමීපයෙන් ලද ධාතූන් වහන්සේලා පුරවා පාත‍්‍රය ගෙන හිමවතට වැඩම කළ සේක.
19. ධාතූන් වහන්සේලා සහිත වූ උතුම් පාත‍්‍රය හිමවතේ තබා සක් දෙවිඳුන් කරා ගොස් ස්ථවිරයන් වහන්සේගේ වචනය පැවසූ සේක.
20. සක් දෙවිඳුන් සිළුමිණි සෑයෙන් දකුණු අකු ධාතූන් වහන්සේව ගෙන සාමණේරයන් වහන්සේට දුන්නේ ය.
21. සුමන සාමණේරයන් වහන්සේ එ් ධාතූන් වහන්සේ ද ධාතු පාත‍්‍රය ද රැුගෙන එතැනින් සෑගිරියට වැඩම කොට ස්ථවිරයන් වහන්සේට දුන් සේක.
22. සවස් කාලයේ දී රාජ සේනාව විසින් පෙරටු කරගත් රජ තෙමේ කියන ලද ආකාරයෙන් ම මහානාග වනය නම් උයනට ගියේ ය.
23. ස්ථවිරයන් වහන්සේ එ් සියලූ ධාතූන් වහන්සේලාව එ් පර්වතයේ ම තැබූ සේක. එ් නිසා මිස්සක පර්වතය, ‘චේතිය පර්වතය’ නම් විය.
24. ස්ථවිරයන් වහන්සේ එ් ධාතු පාත‍්‍රය චේතිය පර්වතයේ තබා දකුණු අකු ධාතූන් වහන්සේ රැුගෙන සාමණේරයන් වහන්සේ සලකුණු කරන ලද (මහානාග වන උයන) ස්ථානයට වැඩම කළ සේක.
25. ‘ඉදින් මේ මුනිඳු ධාතූන් ම නම් මාගේ ඡුත‍්‍රය තෙමේ ම එ් දෙසට නැමේවා! ඇතු දණින් නැමේවා! මේ ධාතු කරඬුව
26. ධාතූන් වහන්සේලා සමඟ වැඩම කොට මගේ සිරසේ පිහිටත්වා!’ යැයි රජ තෙමේ සිතුවේ ය. සිතන ලද දෙය එසේ ම විය.
27. රජ තෙමේ අමෘතයෙන් අභිෂේක කරනු ලැබුවා සේ මහත් සතුටට පත් වී, එ් ධාතු කරඬුව හිසින් ගෙන ඇත් කඳ මතුපිට තැබුවේ ය.
28. සතුටට පත් වූ ඇත් තෙමේ කුඤ්චනාද කළේ ය. පොළොව ද කම්පා විය. ඇත් තෙමේ එතැනින් හැරී ස්ථවිරයන් වහන්සේ හා සේනාවත්, යුද රථත් පිරිවරා,
29. නැගෙනහිර දොරටුවෙන් යහපත් වූ නගරයට පිවිස නැවත දකුණු දොරටුවෙන් එයින් පිටව
30. ථූපාරාම චෛත්‍ය ස්ථානයේ පිටුපසින් කරවන ලද අන්‍යලබ්ධික දේවාලය ඇති භූමියට ගොස්, බෝධි ස්ථානයේ නැවතී,
31. නැගෙනහිරට මුහුණලා සිටියේ ය. එකල එ් චෛත්‍ය ස්ථානය කදම්බ මලින්, ආදාරි වැල්වලින් වැසී ගොස් තිබුණි.
32. රජ තෙමේ දෙවියන් විසින් රකිනා එ් ස්ථානය එ් මොහොතෙහි ම පවිත‍්‍ර කරවා, මනා කොට අලංකාර කරවා,
33. ධාතූන් වහන්සේලා ඇත් කඳින් පහතට වැඩම කරවීම ඇරඹුවේ ය. ඇත් තෙමේ එයට අකමැති විය. රජ තෙමේ ස්ථවිරයන් වහන්සේගෙන් එ් ඇතුගේ සිත විමසුවේ ය.
34. ”තමන්ගේ කඳට සමාන උස ඇති තැනක (ධාතු කරඬුව) තැබීමට ඇත් තෙමේ කැමති ය. ධාතූන් වහන්සේලා පහතට වැඩම කරවීම ඇතු විසින් අනුමත නො කරයි.” යැයි ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.
35. (රජ තෙමේ) එ් මොහොතෙහි ම අණ කොට වියළී ගිය අභය වැවේ වියළි මඩ පිඬු ගෙන එ් ඇත් කඳට සම කොට (ථූපයක්) කරවා,
36. එ් උතුම් ස්ථානය බෙහෙවින් අලංකාර කරවා, එ් ධාතූන් වහන්සේලා ඇත් කඳින් බා එහි වැඩම කරවූයේ ය.
37. ධාතූන් වහන්සේලා ආරක්ෂා කිරීම සංවිධානය කරවා, ඇතු එහි සිටුවා, ධාතු චෛත්‍යය කිරීමේ යුහුසුළු වූ සිත් ඇති රජ තෙමේ,
38. වහා ගඩොල් සෑදීමෙහි බොහෝ මිනිසුන් යොදවා, ධාතු කෘත්‍යය ගැන සිතමින් ඇමතිවරුන් සහිත ව නගරයට පිවිසුණේ ය.
39. සංඝයා වහන්සේලා සහිත වූ මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ යහපත් වූ මහාමෙව්නාව වන උයනට එළඹ එහි වාසය කළ සේක.
40. එ් ඇත් තෙමේ රැුයේ දී ධාතූන් වහන්සේ සහිත වූ එ් ස්ථානය සිසාරා ගමන් කරයි. දහවලේ දී (ධාතු කරඬුව කුම්භස්තලයේ තබාගෙන) ධාතූන් වහන්සේලා සහිත ව බෝධි ස්ථානයේ වූ ශාලාවේ සිටියි.
41. ස්ථවිරයන් වහන්සේගේ අදහස අනුව කටයුතු කළ රජ තෙමේ එ් චෛත්‍ය ස්ථානය මත්තේ කෙණ්ඩක් පමණ උසට ථූපයක් කිහිප දිනකින් ම කරවා,
42. ධාතු පිහිටුවීම ගැන නුවර ඝෝෂා කරවා (එහි) පැමිණියේ ය. එ් එ් තැනින් හාත්පසින් ම මහජනයා රැුස් වූහ.
43. එ් සමාගමයෙහි ඇත් කඳින් අහසට නැංගා වූ ධාතූන් වහන්සේ සත් යලක් පමණ උස අහසේ පෙනී සිටි සේක.
44. ජන සමූහයා පුදුමයට පත් කරවමින්, ගණ්ඩම්බ රුක් මුලේ දී සම්බුදුරජාණන් වහන්සේ සිදු කළ ආකාරයෙන්, ජනයාගේ රෝමෝද්ගමනය කරවමින් යමා මහ පෙළහර පෑ සේක.
45. නොයෙක් වාරවල නික්මුණා වූ ගිනි දැල්වලින් හා ජල දහරාවන්ගෙන් සකල ලංකා පොළොව ම ආලෝකවත් වූයේ ද තෙමී ගියේ ද වී ය.
46. පිරිනිවන් මංචකයේ වැඩ හුන් පසැස් ඇති සර්වඥයන් වහන්සේ විසින් මහා අධිෂ්ඨානයන් පහක් කරන ලද සේක.
47. ‘අශෝක නම් රජු විසින් ගනු ලබන මහා බෝධියේ දකුණු ශාඛාව තොමෝ ම සිඳී කටාහයේ පිහිටාවා!
48. එ් ශාඛා තොමෝ පිහිටා සියලූ දිශාවන්ගේ සිත් අලවමින් ගෙඩි සහ පත‍්‍රවලින් යහපත් වූ සවණක් රැුස් මුදාවා!
49. මනෝරම්‍ය වූ එ් ශාඛා තොමෝ රන් කටාහය සහිත ව අහසට නැගී නො පෙනී හිඳිමින් සත් දිනක් හිම ගැබේ සිටීවා!
50. ථූපාරාමයේ පිහිටන මාගේ දකුණු අකු ධාතුව අහසට නැගී යමා මහ පෙළහර කෙරේවා!
51. ලක්දිවට අලංකාරයක් වූ ස්වර්ණමාලි සෑයෙහි පිහිටන, ප‍්‍රමාණයෙන් ද්‍රෝනයක් වූ ධාතූන් වහන්සේලා
52. පිහිටුවන කල්හි සම්බුදු රුව දරාගෙන අහසට නැගී යමා මහ පෙළහර කෙරේවා!’
53. මේ අධිෂ්ඨානයන් පහ තථාගතයන් වහන්සේ ඉටා වදාළ සේක. එහෙයින් එ් අකු ධාතූන් වහන්සේ එකල්හී එ් පෙළහර කළ සේක.
54. (එ් ධාතූන් වහන්සේ) අහසින් බැස රජුගේ හිස් මුදුනේ පිහිටි සේක. බොහෝ සතුටු වූ රජ තෙමේ එ් ධාතූන් වහන්සේ චෛත්‍යයේ පිහිටුවේ ය.
55. එකල එ් ධාතූන් වහන්සේ චෛත්‍යයේ පිහිටි විට රෝමෝද්ගමනය කරන්නා වූ අද්භූත වූ භූමිකම්පාවක් සිදු විය.
56. මෙසේ එ් බුදුවරයන් වහන්සේලා අචින්ත්‍ය වන සේක. සම්බුද්ධ ධර්මය අචින්ත්‍ය වන සේක. අචින්ත්‍ය වූවන් කෙරෙහි පැහැදුනු අයට අචින්ත්‍ය වූ විපාකයන් ද හිමි වන්නේ ය.
57. එ් ප‍්‍රාතිහාර්යය දැක ජනයා සර්වඥයන් වහන්සේ කෙරෙහි පැහැදුනහ. රජුගේ මලණුවන් වූ මත්තාභය නම් රජ කුමරු
58. මුනිරජාණන් වහන්සේ කෙරෙහි පැහැද රජුට යාඥ කොට දහසක් පුරුෂයන් සමඟ සසුනේ පැවිදි වූයේ ය.
59. ‘චේතාරි’ නම් ගමෙන් ද ‘දොරමඬුලූ’ නම් ගමෙන් ද ‘විහිරබීජ’ නම් ගමෙන් ද එසේ ම ‘ගල්පිටියෙන්’ ද
60. එලෙසින් ම ‘උපතිස්ස’ ගමෙන් ද සතුටු වූ පන් පන්සිය ගම්වල දරුවෝ ද තථාගතයන් වහන්සේ කෙරෙහි උපන් සැදැහැයෙන් පැවිදි වූහ.
61. මෙසේ නගරයෙන් බැහැර ද එකල බුදු සසුනේ පැවිදි වූ භික්ෂු සංඝයා වහන්සේලා තිස් දහසක් වූහ.
62. රජ තෙමේ ථූපාරාමයේ උතුම් වූ සෑය නිමවා මැණික් ආදියෙන් සැම කල්හි පූජා කළේ ය.
63. රජුගේ අන්ත:පුරවැසි ක්ෂත‍්‍රියයෝ ද ඇමතිවරු ද එසේ ම නගරවැසියෝ ද සියලූ ජනපදවල වැසියෝ ද වෙන් වෙන් වශයෙන් පූජාවන් කළහ.
64. රජ තෙමේ ථූපය පෙරටු කොට එහි විහාරයක් කරවූයේ ය. මේ විහාරයේ නම එහෙයින් ‘ථූපාරාම’ යැයි ප‍්‍රසිද්ධ විය.
65. පිරිනිවන්පා වදාළ ලෝකනාථයන් වහන්සේ මෙසේ තමන් වහන්සේගේ ධාතු ශරීරයෙන් පවා ජන සමූහයාට සැප ද වැඩ ද නොයෙක් ලෙසින් මනා කොට සිදු කළ සේක. ඉදින් සර්වඥයන් වහන්සේ ජීවමානව වැඩ වෙසෙන කල කියනු ම කිම?

හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ධාතූන් වහන්සේලා වැඩම කරවීම’ නම් වූ දාහත්වන පරිච්ඡේදය නිම විය.