මහා බෝධිය පිළිගැනීම

01. මහරජ තෙමේ මහා බෝධිය ද (සංඝමිත්තා නම්) තෙරණින් වහන්සේ ද ගෙන්වනු පිණිස ස්ථවිරයන් වහන්සේ විසින් වදාළ වචනය සිහි කරමින් ස්වකීය ගෘහයේ,
02. වස් කාලය තුළ එක් දිනක ස්ථවිරයන් වහන්සේ සමීපයේ හිඳිමින් ඇමතිවරුන් හා සාකච්ඡුා කොට තමාගේ බෑණනු වූ
03. අරිට්ඨ නම් ඇමතිවරයා කැඳවා එ් කටයුත්ත තමා ම මෙහෙයවමින්, කරුණු මෙනෙහි කොට මේ වචනය කීවේ ය.
04. ‘‘දරුව, ධර්මාශෝක මහරජු වෙත ගොස් මහා බෝධිය ද සංඝමිත්තා තෙරණින් වහන්සේව ද මෙහි වැඩම කරවිය හැකි ද?”
05. ‘‘දේවයන් වහන්ස, මා මෙහි පැමිණි විට පැවිදි වීමේ ගෞරවය ලැබෙන්නේ නම් එ් දෙනම වැඩම කරවිය හැක්කේ ය.” (ඇමතිවරයා කීවේ ය.)
06. රජ තෙමේ ‘‘එසේ වේවා!” කියා ඔහුව එහි යැව්වේ ය. හෙතෙම රජුගේ ද තෙරණුවන් වහන්සේගේ ද හසුන් ගෙන, වැඳ,
07. වප් මස පුරපස දෙවන දවසේ නික්මුණේ ය. (රජුගේ කටයුත්තේ) නියුතු වූ හෙතෙමේ දඹකොළපටුනෙන් නැව් නැගී
08. මහ මුහුද තරණය කොට, ස්ථවිරයන් වහන්සේගේ අදිටනින් යෙදීමෙන් නික්මුණු දවසේ දී ම රමණීය වූ පැළලූප් නුවරට ගියේ ය.
09. එකල්හී අනුලා දේවිය පන්සියයක් කන්‍යාවන් හා පන්සියයක් වූ අන්ත:පුරවාසී ස්තී‍්‍රන් සමඟ
10. දසසිල් සමාදන්ව, කසාවත් හැඳ, පිරිසිදුව, පැවිද්ද ප‍්‍රාර්ථනා කරමින්, තෙරණින් වහන්සේලාගේ පැමිණීම බලාපොරොත්තුවෙන්,
11. නගරයේ එක් ප‍්‍රදේශයක රජු විසින් කරවන ලද රමණීය වූ මෙහෙණ අසපුවක යහපත් වත් ඇතිව වාසය කළා ය.
12. එ් උපාසිකාවන් විසූ මේ මෙහෙණවර එ් හේතුවෙන් ‘උපාසිකා විහාරය’ යැයි ලක්දිව ප‍්‍රසිද්ධ විය.
13. (රජුගේ) බෑණා වූ මහා අරිට්ඨ (නම් ඇමති තෙමේ) රාජ සන්දේශය ධර්මාශෝක මහරජුට පමුණුවා ස්ථවිරයන් වහන්සේගේ සන්දේශය (මෙසේ) සැල කළේ ය.
14. ‘‘රජුන් අතර ශ්‍රේෂ්ඨ වූ රජතුමනි, ඔබ වහන්සේගේ යහළු රජුගේ සොහොයුරාගේ දේවි තොමෝ පැවිදි බව පතමින් නිබඳ සංයමයෙන් වාසය කරන්නී ය.
15. එ් දේවිය පැවිදි කරවනු පිණිස සංඝමිත්තා ස්ථවිරියන් වහන්සේව යොමු කරවන්න. එ් සමඟ මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද යවන්න.”
16. මහා ස්ථවිරයන් වහන්සේගේ වචනය වූ එ් අර්ථය තෙරණින් වහන්සේට ද කීවේ ය. එ් ස්ථවිරියන් වහන්සේ පියාණන් (වූ අශෝක මහරජු) කරා එළඹ ස්ථවිරයන් වහන්සේගේ මතය කී සේක.
17. එවිට රජ තෙමේ, ‘‘මෑණියනි, ඔබ නො දකින්නා වූ මම දරු මුනුපුරන්ගේ වෙන්වීමෙන් වූ ශෝකය කෙසේ දුරු කරන්න ද?” (යි කීවේ ය.)
18. ‘‘මහ රජතුමනි, මගේ සහෝදරයාණන්ගේ වචනය මම ගරු කරමි. පැවිදි කළයුත්තෝ ද බොහෝ ය. එනිසා මා එහි යා යුතු ය.” (යි තෙරණින් වහන්සේ කීහ.)
19. ‘ආයුධයකින් පහර දෙන්නට සුදුසු නො වූ එ් මහා බෝධි වෘක්ෂයෙන් කෙසේ නම් ශාඛාව ගන්න ද?’ යැයි රජ තෙමේ සිතුවේ ය.
20. එ් මහරජ තෙමේ මහාදේව නම් ඇමතිවරයාගේ අදහස අනුව භික්ෂු සංඝයා වහන්සේලාට ආරාධනා කොට දන් පිළිගන්වා,
21. ‘‘ස්වාමීනී, ලංකාවට මහා බෝධිය යැවිය යුතු වන්නේ ද?” යැයි විමසී ය. එ් මොග්ගලීපුත්ත ස්ථවිරයන් වහන්සේ ”යැවිය යුතු ය” යැයි වදාරා,
22. පසැස් ඇති මුනිඳුන්ගේ මහා අධිෂ්ඨානයන් පහ රජුට වදාළහ. එ් රජ තෙමේ එය අසා සතුටු වී,
23. මහා බෝධිය වෙතට යන යොදුන් සතක මාර්ගය ශුද්ධ කරවා සකස් කොට නොයෙක් ලෙසින් සැරසුවේ ය.
24. කටාහයක් කරවනු පිණිස රන් බැහැර කරවූයේ ය. රන්කරුවෙකුගේ වෙස් ගත් විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා ද පැමිණ
25. ‘‘කොතරම් ප‍්‍රමාණයක කටාහයක් කරන්න ද?” යැයි විමසුවේ ය. ‘‘ඔබ ම වුවමනා ප‍්‍රමාණය දැන කරන්න.” යැයි රජ තෙමේ කීවේ ය.
26. (දෙව් පුත් තෙමේ) රන් රැගෙන අතින් පිරිමැද එ් ක්ෂණයෙහි ම කටාහය නිර්මාණය කොට ගියේ ය.
27. රියන් නවයක් වටප‍්‍රමාණ ඇති, රියන් පහක් ගැඹුර ඇති, රියන් තුනක් විශ්කම්භය ඇති, අඟල් අටක් පමණ ගණකම, යහපත් වූ,
28. තරුණ ඇතෙකුගේ හොඬවැලක පමණ මුව විට ඇති, තරුණ සූර්යයා හා සමාන කාන්ති ඇති එ් කටාහය ගෙන්වාගෙන රජ තෙමේ,
29. යොදුන් හතක් දික් වූ, යොදුන් තුනක් පළල් වූ (සමූහයක් සේ) චතුරංගනී සේනාව හා භික්ෂු සංඝයා සමඟ,
30. මහා බෝධි ශාඛාව වෙත පැමිණියේ ය. නොයෙක් අලංකාරයෙන් යුතුව, නොයෙක් ආකාරයේ මැණික්වලින් විචිත‍්‍ර වූ, විවිධ ධජ මාලා ඇත්තා වූ,
31. නා නා විධ මල්වලින් ගැවසුනා වූ, නා නා විධ තූර්ය ඝෝෂාවෙන් යුතුව සේනාව පිරිවරා, තිරයකින් (හාත්පස) අවුරා,
32. මහා සංඝයා වහන්සේලා ප‍්‍රධාන වූ ස්ථවිරයන් වහන්සේලා දහස්නමක් ද අභිෂේකයට පත්ව සිටින දහසකට අධික වූ රජ දරුවන් ද
33. තමන් හා මහා බෝධිය මනා කොට පිරිවරා ඇඳිලි බැඳගෙන මහා බෝධිය දෙස බැලූවේ ය.
34. එහි දක්ෂිණ ශාඛාව සම්බන්ධ වූ රියන් හතරක පමණ තැන් කඳ ඉතිරිවන සේ (අනෙක් ශාඛා) අතුරුදහන් විය.
35. එ් ප‍්‍රාතිහාර්යය දැකීමෙන් සතුටු වූ රජ තෙමේ, ‘‘මම රාජ්‍යයෙන් මහා බෝධිය පුදමි.” යි කියා
36. මහා බෝධිය මහා රාජ්‍යයේ අභිෂේක කළේ ය. රජ තෙමේ මල් ආදියෙන් මහා බෝධිය පුදා පැදකුණු කොට
37. අට තැනක දී ඇඳිලි බැඳ වන්දනා කොට, නොයෙක් මැණික්වලින් අලංකාර කොට රනින් නිමවන ලද,
38. මනා කොට නඟිනු හැකි වූ උසින් රන් කටාහය තබා උතුම් වූ ශාඛාව ගනු පිණිස එහි නැඟුණේ ය.
39. රන් පින්සලෙන් රත් සිරියෙල් ගෙන ශාඛාවේ රේඛාවක් ඇඳ මෙසේ සත්‍යක‍්‍රියා කළේ ය.
40. ‘ඉදින් මේ මහා බෝධිය ලංකාද්වීපයට යා යුතු වේ ද, මම වනාහී සම්බුද්ධ ශාසනයේ විමති නැත්තෙම් ද
41. මේ මහා බෝධියේ යහපත් වූ දක්ෂිණ ශාඛාව තොමෝ ම සිඳී මේ රන් කටාහයේ පිහිටාවා!’
42. එ් මහා බෝධි ශාඛා තොමෝ රේඛා කළ තැනින් තොමෝ ම සිඳී, සුවඳැුති මඩ පිරි කටාහයේ පිහිටියා ය.
43. රජ තෙමේ මුල් රේඛාවට ඉහළින් අඟල් තුනෙන් අඟල් තුනට රත් සිරියෙල්වලින් වට රවුම් රේඛා ලකුණු දුන්නේ ය.
44. පළමු රේඛාවෙන් මහත් වූ මුල් ද අනිත් රේඛාවලින් කුඩා මුල් ද දහය, දහය නික්ම දැලක් ආකාරයෙන් පහතට බැස්සේ ය.
45. එ් ප‍්‍රාතිහාර්යය දැක මහත් සතුටට පත් වූ රජ තෙමේ එහි ම හිඳ ප‍්‍රීතිඝෝෂා කළේ ය. හාත්පස පිරිස ද එසේ (ප‍්‍රීතිඝෝෂා) කළහ.
46. සතුටු සිත් ඇති භික්ෂු සංඝයා වහන්සේ සාධුකාර නැඟූ සේක. දහස් ගණන් රෙදි පිළි ඔසවා වැනීම් හාත්පස පැවතිණි.
47. එ් මහා බෝධි තොමෝ මෙසේ මහජනයා ප‍්‍රසාදයට පත් කරවමින්, මුල් සියයකින් යුතුව එ් රන් කටාහයේ වූ සුවඳ මඬේ පිහිටියා ය.
48. එ් බෝධි කඳ රියන් දහයකි. රියන් සතර, රියන් සතර බැගින් වූ මනෝරම්‍ය වූ ශාඛාවන් පහකින් ද ඵල පහකින් ද යුතු විය.
49. එ් ශාඛාවන් සම්බන්ධ වූ කුඩා ශාඛාවන් දහසක් ද විය. මෙසේ මහා බෝධි තොමෝ සිත්කලූව, ශ්‍රීමත්ව සිටියා ය.
50. මහා බෝධිය කටාහයේ පිහිටි කල්හි මහ පොළොව කම්පා විය. විවිධාකාරයේ ප‍්‍රාතිහාර්යයන් ද සිදු විය.
51. දෙව් මිනිසුන්ගේ තූර්යයන් තමන් ම නාද වීමෙන් ද දෙව් බඹුන්ගේ සාධුකාර නාදයෙන් ද
52. වර්ෂාවන්ගේ ද සතුන්ගේ ද කුරුල්ලන්ගේ ද යක්ෂයන් ආදින්ගේ ද ශබ්දයෙන් ද පොළෝ කම්පා වීමේ ශබ්දයෙන් ද එක ම කෝලාහලයක් විය.
53. බෝධි වෘක්ෂයේ ඵලවලින් හා පත්වලින් යහපත් වූ ෂඞ්වර්ණ රශ්මි මාලා නිකුත් වී මුළු සක්වළ බැබළුවේ ය.
54. කටාහය සහිත වූ මහා බෝධි තොමෝ එතැනින් අහසට පැන නැගී සත් දිනක් ම හිමගැබක නො පෙනී සිටියා ය.
55. රජ තෙමේ ආසනයෙන් බැස එ් සත් දවස එහි ම වාසය කරමින් නොයෙක් ආකාරයෙන්, සැබෑ ලෙස ම මහා බෝධි පූජාවන් කළේ ය.
56. එ් සත් දවස ඉකුත් වී ගිය කල සියලූ හිම වලාවන් ද එකතු වූ රශ්මීන් ද මහා බෝධියට පිවිසුණහ.
57. කටාහය සහිතව සිටියා වූ මනෝරම්‍ය වූ මහා බෝධි තොමෝ සියලූ මහජනයාට පෙනෙන පරිද්දෙන් ආකාශයේ වූවා ය.
58. නොයෙක් ආකාරයේ ප‍්‍රාතිහාර්යය පවත්වමින් මහා බෝධි තොමෝ ජනයා පුදුම කරවමින් පොළෝ තලයට බැස්සා ය.
59. නොයෙක් ප‍්‍රාතිහාර්යයන් හේතු කොටගෙන සතුටට පත් වූ එ් මහරජ තෙමේ නැවත මහා බෝධිය මහා රාජ්‍යයෙන් පිදුවේ ය.
60. (රජ තෙමේ* මහා බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කොට පිදුම් දී නොයෙක් පූජාවන්ගෙන් පුදන්නේ නැවත සත් දවසක් එහි ම වාසය කළේ ය.
61. සති දෙක ගෙවී යෑමෙන් පසු වප් මස පුර පසළොස්වක පොහොය දිනයේ මහා බෝධිය එතැනින් ගනු ලැබිණි.
62. වප් මස අවපස චාතුද්දසී පොහෝ දිනයේ යහපත් වූ රථයක වඩා හිඳුවා, මහා බෝධිය සහිත වූ රථය
63. පූජනීය වූ එ් දිනයේ ම ස්වකීය පුරයට පමුණුවා බොහෝ සෙයින් අලංකාර වූ, යහපත් වූ මණ්ඩපයක් කරවා,
64. ඉල් මස පුරපස පුර අටවක දිනයේ ම මහා බෝධිය එහි නැගෙනහිර දෙස වූ යහපත් වූ මහා සල් ගස මුල
65. වඩා හිඳුවා දිනෙන් දින නොයෙක් පූජාවන් කළේ ය. (එ් බෝධිය) ගනු ලැබූ දවසින් දාහත්වන දවසේ එක විට ම අංකුර නවයක් ඉපදිණි.
66. එ් දැක ප‍්‍රසන්න මනසකින් යුතුව සතුටු වූ රජ තෙමේ නැවත ද මහා බෝධිය රාජ්‍යයෙන් පුද දුන්නේ ය.
67. රජ තෙමේ මහා බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කරවා නොයෙක් ආකාරයේ මහා බෝධි පූජාවන් ද කරවූයේ ය.
68. මෙසේ, විලක් හා සමාන වූ පුෂ්පපුරයේ රශ්මි සහිත වූ, බොහෝ ලෙසින් සිත්කලූ වූ ධජවලින් යුතු වූ, විශාල වූ, අතිශයින් සිත්කලූ වූ, උතුම් වූ මහා බෝධි පූජාවෝ දෙව් මිනිසුන්ගේ සිත් ප‍්‍රබෝධවත් කළෝ ය

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ මහාබෝධිය පිළිගැනීම නම් වූ දහ අටවන පරිච්ඡේදය නිම විය)