මහා ස්ථවිරයන් වහන්සේගේ පරිනිර්වාණය

01. ධර්මාශෝක රජුගේ (අභිෂේකයෙන්) දහ වන අවුරුද්දේ දී මහා බෝධි තොමෝ මහාමේඝ වන අරමේ පිහිටියා ය.
02. එයින් දොළොස් වන අවුරුද්දේ දී එ් රජුගේ මෙහෙසිය වූ, සම්බුදු සසුනේ පැහැදුනු අසන්ධිමිත‍්‍රා නම් බිසව කළුරිය කළා ය.
03. එයින් හතරවන අවුරුද්දේ දී ධර්මාශෝක රජ තෙමේ විෂම අදහස් ඇති තිස්සාරක්ඛාව මෙහෙසි තනතුරේ තැබුවේ ය.
04. එයින් තුන්වන අවුරුද්දේ දී රූපයෙන් මත් වූ එ් බාල බිසව, ‘‘මේ රජ තෙමේ මටත් වඩා මහා බෝධිය පුදන්නේ ය.”
05. යැයි ක්‍රෝධයට පැමිණ වාසය කරමින්, තමන්ට අනර්ථ සිදු කරන්නී, මඩු කටු විෂ යොදා මහා බෝධිය මැරවී ය.
06. එයින් හතරවන අවුරුද්දේ දී මහා යසස් ඇති ධර්මාශෝක රජ තෙමේ අනිත්‍ය වසඟයට පැමිණියේ ය. මේ (අභිෂේකයෙන්) තිස් හත් වන අවුරුද්දයි.
07. දහම් ගුණයෙහි ඇලූන දේවානම් පියතිස්ස රජ තෙමේ මහා විහාරයේ අලූත් කර්මාන්තයන් ද එසේ ම සෑගිරියේත්,
08. ථූපාරාමයේත් අලූත් කර්මාන්තයන් ද සුදුසු වූ පරිදි නිම කරවා, විමසන ලද දෙයට පිළිතුරු දීමෙහි දක්ෂ වූ දීපප‍්‍රසාදක තෙරුන් වහන්සේ ව විමසන්නේ,
09. ‘‘ස්වාමීනී, මම මෙහි බොහෝ විහාරයන් කරවන්නෙමි. එ් විහාර ථූපයන්ගේ පිහිටුවීම පිණිස ධාතුන් වහන්සේලා කෙසේ ලබන්නේ ද?” (යැයි ඇසී ය.)
10. ‘‘මහරජ, සම්බුදුරජාණන් වහන්සේගේ පාත‍්‍රය පුරවා සුමන සාමණේරයන් වහන්සේ මෙහි ගෙන එන ලද ධාතුන් වහන්සේලා සෑගිරියේ තබා ඇත්තේ ය.
11. ඇත් කඳ මත තබා එ් ධාතුන් වහන්සේලා මෙහි ගෙන එන්න.” යැයි තෙරුන් වහන්සේ විසින් වදාළ කල්හි එසේ ම ධාතුන් වහන්සේලා වැඩම කරවා,
12. යොදුනෙන් යොදුන වූ ස්ථානයන්හි විහාර කරවා එ් ස්ථූපයන්හි සුදුසු වූ පරිදි ධාතුන් වහන්සේලා නිධන් කරවී ය.
13. සම්බුදුරජාණන් වහන්සේ වළඳන ලද පාත‍්‍රය යහපත් වූ රාජවස්තු ගෘහයේ තබා නොයෙක් විධ පූජාවන්ගෙන් සැමකල්හි පිදුවේ ය.
14. පන්සියයක් ධනවතුන් මහා ස්ථවිරයන් වහන්සේ සමීපයේ පැවිදි ව වාසය කළ ස්ථානය ‘ඉසුරුමුනිය’ නම් විය.
15. පන්සියයක් වූ වෛශ්‍යයන් මහා ස්ථවිරයන් වහන්සේ සමීපයේ පැවිදි ව වාසය කළ ස්ථානය එසේ ම ‘වෙස්සගිරිය’ නම් විය.
16. මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ යම් යම් ගුහාවන්හි වාසය කළෝ ද පර්වත විහාරයන්හි (එ් ගුහා) ‘මිහිඳු’ ගුහා නම් විය.
17. පළමුව මහා විහාරය ද දෙවනුව සෑගිරි වෙහෙර ද තෙවනුව ථූපය පෙරටු කොටගෙන ඇති යහපත් වූ ථූපාරාමය ද
18. සතරවනුව මහා බෝධිය පිහිටුවීම ද පස්වනුව සෑ බිමට යහපත් වූ,
19. මහා සෑය (පිහිටන) ස්ථානයේ ගල් ටැඹ මනා කොට පිහිටුවීම ද සම්බුදුරජුන්ගේ ග‍්‍රීව ධාතුව පිහිටුවීම ද
20. සයවැනිව ඉසුරුමුනිය ද සත්වනුව තිසා වැව ද අටවැනිව පඨමක චේතිය ද නවවැනිව වෙස්සගිරිය ද
21. භික්ෂුණීන් වහන්සේලාට පහසුව පිණිස රම්‍ය වූ උපාසිකා වෙහෙර හා එසේ ම හත්ථාළ්හක යන මෙහෙණවර දෙක ද
22. හත්ථාළ්හක මෙහෙණවරින් පැමිණ භික්ෂු සංඝයා සමඟ බත් ගනු පිණිස
23. මනා උපහාර ඇති, සියලූ උපකරණවලින් යුතු, පිරිවර ජනයා එළඹ සිටින ‘මහාපාළි’ නම් බත්හල ද
24. එසේ ම භික්ෂූන් වහන්සේලා දහස්නමකට අවුරුදු පතා ම පිරිකර සහිත වූ, උතුම් වූ වස් අවසාන දානය ද
25. නාගදීපය ද දඹකොළ විහාරය ද එම (දඹකොළ) පටුනේ තිස්සමහා විහාරය ද පාචීනාරාමය ද
26. යන මේ කර්මාන්තයන් ලංකාවාසී ජනයාගේ හිත සුව කැමති, පුණ්‍ය ප‍්‍රඥ ගුණ ඇති ලංකේන්ද්‍ර වූ දේවානම් පියතිස්ස රජ තෙමේ,
27. පළමුවෙනි අවුරුද්දෙහි ම කරවූයේ ය. ගුණයෙහි ප‍්‍රිය වූ හෙතෙමේ දිවි හිමියෙන් නොයෙක් පින්කම් කළේ ය.
28. එ් රජුගේ විජිතය වූ මේ දිවයින පිනා ගියේ ය. එ් රජ තෙමේ අවුරුදු හතළිහක් රජකම් කළේ ය.
29. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ මලනුවන් වූ උත්තිය යැයි ප‍්‍රසිද්ධ රජ කුමරු රජ පුතෙකු නැති වූ රාජ්‍යය මැනැවින් විචාළේ ය.
30. මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ පර්යාපත්ති, ප‍්‍රතිපත්ති, ප‍්‍රතිවේධ යන උතුම් වූ බුදු සසුන මනා කොට
31. ලක්දිවෙහි බබළවා ලක්දිවට ප‍්‍රදීපයක් වූවෝ මහා සමූහයා ඇතිව ලක්දිවට සම්බුදුරජුන් වැනි වූවෝ, ලක්දිවට හිත පිණිස බොහෝ වැඩ කොට
32. එ් උත්තිය රජුගේ ජය වර්ෂයෙහි අටවැන්නේ දී හැට වයස් පිරුණු සේක් සෑගිරියේ වාසය කරන්නේ
33. වප් මස පුර පස අටවක දවසේ පිරිනිවී වැඩි සේක. එ් දවස එනමින් හැඳින්විණ.
34. (මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ අටවක දවසේ පිරිනිවන් පෑ හෙයින් එ් දිනය අටවකදා යැයි සම්මත විය.)
35. එ් ඇසූ උත්තිය රජ තෙමේ ශෝකය නමැති හුලෙන් පහර ලැබූවේ (සෑගිරියට) ගොස් තෙරුන් වහන්සේ වැඳ, නොයෙක් වර නොයෙක් අයුරින් හඬා,
36. සුවඳ තෙල් පුරවන ලද රන් දෙණක ස්ථවිරයන් වහන්සේගේ දේහය යුහුසුළු ව තබ්බවා, මනා ව වසන ලද එ් දෙණ
37. අලංකාර වූ රන් කුළු ගෙයක තබ්බවා කූටාගාර ගෘහය දක්වා ගෙන, යහපත් වූ ක‍්‍රීඩාවන් කරවා,
38. එ් එ් දෙසින් ආ මහත් ජන සමූහයා ද සමඟ මහත් වූ සේනාවන් ලවා පූජා විධාන කරවමින්,
39. සරසවන ලද මාර්ගයෙන් බොහෝ සෙයින් අලංකාර කරවන ලද නගරයට ගෙනවිත් රාජ වීථීන්හි හසුරුවා,
40. මහා විහාරයට ගෙනවිත් මෙහි ‘පැන අඹ මළුවේ’ කුළු ගෙය තබ්බවා එ් මිහිපල් තෙමේ සත් දිනක් පුරා,
41. තොරන්, ධජ මාලා හා සුවඳ පිරුණු කළවලින් විහාරයත්, අවට යොදුන් තුනකුත්
42. රාජානුභාවයෙන් (සරසවන ලද්දේ ය.) එසේ ම මුළු ලක්දිව ම දේවානුභාවයෙන් සරසවන ලද්දේ විය.
43. එ් රජ තෙමේ සත් දවසක් මුළුල්ලේ නොයෙක් නොයෙක් ආකාරයේ පූජාවන් කරවා, නැගෙනහිර දිශා භාගයේ තෙරුන් වහන්සේගේ බද්ධමාළකයේ
44. සුවඳ දරසෑයක් කරවා, මහා සෑය පැදකුණු කරමින් මනරම් වූ කුළු ගෙය එහි පමුණුවා
45. දර සෑයේ තබ්බවා අවසන් සත්කාරය සිදු කළේ ය. ධාතුන් වහන්සේලා ගෙන්වා මෙහි සෑයක් ද කරවී ය.
46. ක්ෂත‍්‍රිය තෙමේ ධාතුන් වහන්සේලා හරි අඩක් ගෙන්වාගෙන සෑගිරි වෙහෙරෙහි ද සියලූ විහාරයන්ගේ ද ස්ථූප කරවන ලද්දේ ය.
47. ඍෂීන් වහන්සේගේ ශ්‍රී දේහය බහාලූ ස්ථානයේ පටන් වූ එ් බුහුමන් දැක්වූ ඉඩ ‘ඉසිභුමංගන’ නම් විය.
48. එතැන් පටන් එය අවට යොදුන් තුනක් වූ සීමාවේ කලුරිය කළ ආර්යයන්ගේ සිරුරු ගෙන එ් ප‍්‍රදේශයේ දී දවන ලදී.
49. එසේ ම, මහා ප‍්‍රඥ ඇති, මහා අභිඥ ඇති සංඝමිත්තා නම් මහා ස්ථවිරියන් වහන්සේ ශාසන කෘත්‍යය ද බොහෝ ලෝ වැඩ ද සිදු කොට,
50. පනස් නව අවුරුදු වස් ඇත්තී, උත්තිය නම් එ් රජුගේ නවවන ඛේම නම් අවුරුද්දේ දී හත්ථාළ්හක නම් මෙහෙණවර
51. වාසය කරන්නී පිරිනිවන් පෑවා ය. රජ තෙමේ එ් ස්ථවිරියන් වහන්සේට ද තෙරුන් වහන්සේට මෙන් සත් දවසක් මුළුල්ලේ උතුම් පූජා සත්කාර පැවැත්වුයේ ය.
52. මහා ස්ථවිරයන් වහන්සේට සේ ම සකල ලංකාද්වීපය අලංකාර කරවන ලද්දේ ය. සත් දවසක් නික්මීමෙන් කුළු ගෙයට නංවන ලද ස්ථවිරියන් වහන්සේගේ දේහය
53. නුවරින් පිටත් කොට ථූපාරාමයට නැගෙනහිරින් වූ ‘චිත්තශාලාව’ සමීපයේ මහා බෝධි පරිශ‍්‍රයේ,
54. ස්ථවිරියන් වහන්සේ වාසය කළ තැන ගිනි කිස කරවී ය. එ් උත්තිය රජ තෙමේ එහි සෑයක් ද කරවී ය.
55. (මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ ඇතුළු) එ් මහා තෙරුන් වහන්සේලා පස්නම ද අරිට්ඨ ස්ථවිරයන් වහන්සේ ද එසේ ම නොයෙක් දහස් ගණනින් වූ ඛීණාශ‍්‍රව භික්ෂූන් වහන්සේලා ද
56. සංඝමිත්තා (ස්ථවිරියන් වහන්සේ) ප‍්‍රධාන කොට ඇති එ් දොළසක් වූ තෙරණීහු ද බොහෝ දහස් ගණන් ඛීණාශ‍්‍රව භික්ෂුණීන් වහන්සේලා ද
57. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, මහා ප‍්‍රඥ ඇතිව, විනයාදි සම්බුදු සසුන බබුළුවා සුදුසු කාලයේ දී අනිත්‍ය වසඟයට ගියෝ ය.
58. එ් උත්තිය රජ තෙමේ දස වසරක් රජකම් කළේ ය. මෙසේ මේ අනිත්‍ය තොමෝ සියලූ ලෝකය විනාශ කරන්නී ය.
59. අතිශයින් සාහසික වූ, මහත් බල ඇත්තා වූ, වළකාලිය නො හැකි වූ මේ අනිත්‍යතාවය යම් මිනිසෙක් දකින්නේ වුව ද (හෙතෙමේ) මේ සසර ගමනේ කලනොකිරේ ද කලකිරී පව්වලින් තොර වීමත්, පින් හා ඇලීමත් සිදු නො කෙරේ ද දනිමින් ම දැඩි ව මුළා වී යන මේ වනාහී ඔහුගේ අධික මෝහ ජාලයේ බලවත් බවයි.

හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ මහා ස්ථවිරයන් වහන්සේගේ පරිනිර්වාණය නම් වූ විසි වන පරිච්ඡේදය නිම විය.