26 වන පරිච්ඡේදය

මිරිසවැටිය මහා වෙහෙර

01. මහා යසස් ඇති ඒ (ගාමණී අභය) රජ තෙමේ ලංකා රාජ්‍යය එක්සේසත් කොට යෝධයන් හට සුදුසු පරිදි තනතුරු සංවිධානය කළේ ය.

02. ථේරපුත්තාභය යෝධ තෙමේ දෙන ලද ඒ තනතුර නො ඉවසුවේ ය. එයට හේතුව කුමක්දැයි විමසූ විට “යුද්ධයක් ඇතැ” යි කීවේ ය.

03. “යුද්ධයක් කොට එක්සේසත් කළ රාජ්‍යයක කුමන යුද්ධයක් දැ?” යි (රජ තෙමේ) විමසුවේ ය. “කෙලෙස් සොරුන් හා ජය ගැනීමට අතිශයින් දුෂ්කර වූ යුද්ධයක් කරමි.” යි (ථේරපුත්තාභය තෙමේ) කීවේ ය.

04. රජ තෙමේ නැවත නැවතත් ඔහු වැළැක්වුවේ ය. (ථේරපුත්තාභය තෙමේ) නැවත නැවතත් ආයාචනා කොට රජුගේ අනුමැතියෙන් පැවිදි වූයේ ය.

05. පැවිදි වද්දී ම අරහත්වයට පැමිණියෙන් ඛීණාස්‍රවයන් වහන්සේලා පන්සියයක් පිරිවර වූයේ ය.

06. සේසත් මංගල්‍යයෙන් සත් දවසක් ගෙවී ගිය කල්හි සතුරු භය ඉක්මවා ගියා වූ ඒ (ගාමණී) අභය රජ තෙමේ කරන ලද රාජාභිෂේක ඇත්තේ මහත් පිරිවරින් යුක්තව

07. ක්ෂත්‍රියයන්ගේ අභිෂේක චාරිත්‍ර ආරක්ෂා කරනු වස්, ක්‍රීඩා පිණිස මනා කොට සරසන ලද තිසා වැවට සම්ප්‍රාප්ත වූයේ ය.

08. රජුගේ සියලු පරිභෝග භාණ්ඩ ද සිය ගණන් පඬුරු ද මිරිසවැටි වෙහෙර පිහිටන ස්ථානයේ තැබූහ.

09. එහි ම ථූපය පිහිටන ස්ථානයේ ජය කොන්තය උසුලන රාජ පුරුෂයෝ ධාතු සහිත කුන්තායුධය කෙළින් කොට තැබූහ.

10. අන්තඃපුරවාසීන් සහිත වූ මහරජ තෙමේ දිවා කාලයේ ජලයේ ක්‍රීඩා කොට සවස් කාලයේ (ආපසු) යනු පිණිස කුන්තායුධය ගන්න යැයි කීවේ ය.

11. රාජ පුරුෂයනට ඒ කුන්තායුධය සොලවන්නට නො හැකි විය. රැස් වූ රාජ සේනාවෝ (ඒ කුන්තායුධය) සුවඳ මලින් පිදූහ.

12. රජ තෙමේ ඒ මහත් ආශ්චර්ය දැක සතුටු වූ සිත් ඇත්තේ එහි ආරක්ෂාව සංවිධානය කොට නගරයට පිවිසියේ ය.

13. ඒ කුන්තායුධය පිරිවරා චෛත්‍යය කරවන ලද්දේ ය. ඒ චෛත්‍යය පිරිවරා විහාරයක් ද කරවන ලද්දේ ය.

14. ඒ විහාර කටයුත්ත තුන් අවුරුද්දකින් නිමා විය. ඒ රජ තෙමේ විහාර පූජාව පිණිස සංඝයා වහන්සේලා රැස් කරවූයේ ය.

15. ඒ දවසේ එහි භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණීන් වහන්සේලා අනූ දහසක් ද වූහ.

16. රජ තෙමේ ඒ සමාගමයේ සංඝයා වහන්සේලාට මෙසේ සැල කළේ ය. “ස්වාමීනී, සංඝයා වහන්සේලා සිහි නො කොට මිරිස් වැටියක් අනුභව කළෙමි.

17. ඊට දඬුවම් වේවා යි චෛත්‍යය සහිත වූ, අතිශයින් මනෝරම්‍ය වූ මිරිසවැටි වෙහෙර කරවීමි.

18. සංඝයා වහන්සේලා එය පිළිගන්නා සේක්වා!” හෙතෙමේ අත පැන් වඩවා අතිශය යහපත් වූ විහාරය භික්ෂු සංඝයාට පිදුවේ ය.

19. ඒ වෙහෙර හාත්පස යහපත් වූ මහා මණ්ඩප කරවා එහි සංඝයා වහන්සේලාට මහා දන් පැවැත්වුවේ ය.

20. අභය වැව් ජලයේ ද ටැම් සිටුවා ඒ මණ්ඩප කරවන ලද්දේ ය. අනෙක් ඉඩෙහි (කළ මණ්ඩපයන් ගැන) කවර කථා ද?

21. රජ තෙමේ සත් දිනක් පුරා ආහාරපාන ද ශ්‍රමණයන් වහන්සේලාට සුදුසු වූ මහඟු සියලු පිරිකර ද දුන්නේ ය.

22. එසේ දුන් පළමු පිරිකර ලක්ෂයක් වටින්නේ වී ය. අවසන් (පිරිකර) දහසක් වටින්නේ වී ය. සංඝයා වහන්සේලා ම ඒ සියල්ල ලද සේක.

23. යුද්ධයෙහි ද දානයෙහි ද සූර වූ, පණ්ඩිත වූ, තෙරුවන් කෙරෙහි ප්‍රසන්න නිර්මල සිත් ඇති, සසුන බබළවනු කැමැති,

24. කළගුණ දන්නා වූ ඒ රජ තෙමේ තෙරුවන් පුදනු පිණිස ථූපය කරවීමේ පටන් මහත් වූ විහාර පූජාව අවසන් කොට

25. මෙහි දී පරිත්‍යාග කරන ලද ධනය අනර්ඝ වස්තූන් හැර අන් දේවල් පමණක් දහනම කෝටියක් වූවේ ය.

26. පස් ආකාර දොස්වලින් යුතු වූ බෝග සම්පත් නුවණැති බවින් යුතු වූ ජනයා අතට පත් කල්හි, පස් ගුණයෙන් යුතු වීමෙන් අත්පත් කර ගත් සාරවත් බව ඇති වේවා යි සිතා ඒ බෝග සම්පත්වල සාරවත් බව ලබන්නට නුවණැති පුරුෂ තෙමේ උත්සාහ කරන්නේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ මිරිසවැටි මහ වෙහෙර නම් වූ විසි හයවන පරිච්ඡේදය නිම විය.)

27 වන පරිච්ඡේදය

ලෝවාමහාපාය

01. ඉන්පසු ඒ (ගාමණී අභය) රජ තෙමේ ප්‍රසිද්ධ වූ, මැනැවින් අසන ලද්දා වූ ඇසීම විශේෂයෙන් ම සිතුවේ ය. මහා ප්‍රඥා ඇති, මහා පින් ඇති, ප්‍රඥාවෙන් කරන ලද නිශ්චය ඇති

02. ලංකාද්වීපය පැහැදවූ (මහා මහින්ද) ස්ථවිරයන් වහන්සේ මාගේ මුත්තණු වූ රජු හට මෙසේ වදාළ සේක. “ඔබගේ මුණුපුරු වූ ගාමණී අභය රජ නම් වූ

03. මහා පිනැත්තා අනාගතයේ දී එකසිය විසි රියනක් උස ස්වර්ණමාලි නම් මනෝරම්‍ය මහා ථූපය කරවන්නේ ය.

04. නැවත ද නොයෙක් මැණික්වලින් අලංකෘත ලෝහ ප්‍රාසාදය වන පොහොය ගෙයක් ද මහල් නවයක් කොට කරවන්නේ ය.”

05. රජ තෙමේ ඒ බව සිතා මෙය ලියවන ලද්දක් බලවන්නේ රජ ගෙයි කරඬුවක තිබුණා වූ

06. රන් තහඩුව ලැබ ඒ ලේඛනය කියවා බැලී ය. “වර්ෂ එකසිය හතළිහක් ඉක්ම ගිය අනාගතයේ

07. කාවන්තිස්ස රජුගේ පුතු වූ ගාමණී අභය රජ තෙමේ මේ මේ දෙය ද මෙසේ කරවන්නේ ය.” යැයි කියවන ලද්ද

08. අසා සතුටින් උදාන නගා අත්පොළසන් දුන්නේ ය. ඉන් පසු, උදෑසන යහපත් වූ මහාමේඝ උයනට පැමිණ

09. භික්ෂු සංඝයා රැස් කරවා මෙසේ කීවේ ය. “ඔබ වහන්සේලා උදෙසා මම දෙව් විමනක් බඳු වූ මන්දිරයක් කරවන්නෙමි.

10. දිව්‍ය විමානයකට (කවුරුන් හෝ) යවා එහි ස්වභාවයේ සටහනක් මට ගෙන්වා දෙන සේක්වා!” භික්ෂු සංඝයා රහතන් වහන්සේලා අටනමක් එහි යැවූ සේක.

11. කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණයෙක් බත් සලාක අටක් සංඝයා වහන්සේලාට පිරිනමා,

12. “නිති පතා දෙන්න.” යැයි භරණී නම් දාසියට කීවේ ය. ඕ තොමෝ ඒ බත සකසා ජීවිතාන්තය දක්වා ම දී එයින් චුතව

13. යහපත් වූ, සිත්කළු වූ අහස් විමනක උපන්නී ය. සෑම කල්හි ම දිව්‍ය අප්සරාවන් දහසක් විසින් පිරිවරන ලද්දී ය.

14. ඇයගේ රත්න ප්‍රාසාදය දොළොස් යොදුනක් උස් වී ය. අවට යොදුන් හතළිස් අටකි.

15. කුළු ගෙවල් දහසකින් සැරසුනේ මහල් නවයක් වී ය. ගබඩා දහසකින් ද යුතු වූයේ සතර දිශාවට මුහුණ ලා බබළන්නේ ය.

16. මනාව පිහිටි සී මැදුරු කවුළු නම් දහසක් නෙත් ඇත්තේ ය. කිංකිණි ජාලා සහිත වූ පිල්වලින් ද යුතු විය.

17. ඒ ප්‍රාසාදය මැද අම්බලට්ඨික නම් ප්‍රාසාදයක් ද විය. (එය) නගන ලද ධජයන්ගෙන් යුතු වූයේ හාත්පසින් දිස් වන්නේ ය.

18. ඒ ස්ථවිරයන් වහන්සේලා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරන්නේ ඒ පහය දැක රත් සිරියලින් වස්ත්‍රයක ඒ (විමානය) සිතුවම් කොටගෙන

19. එතැනින් නැවතී, ආපසු පැමිණ වස්ත්‍රය සංඝයා වහන්සේලාට දැක්වූහ. සංඝයා වහන්සේලා ඒ වස්ත්‍රය රැගෙන රජු වෙත යැවූහ.

20. ඒ දැක සතුටු වූ සිත් ඇති රජ තෙමේ උතුම් වූ ආරාමයට පැමිණ ඒ සිතුවම් ආකාරයට ලෝවාමහාපාය කරවූවේ ය.

21. ඒ කර්මාන්තය ආරම්භ කරන කාලයෙහි ම බෝග සම්පත් ඇති රජ තෙමේ සතර දොර අට ලක්ෂයක රන් කහවණු තැබ්බවූවේ ය.

22. එහි දොරක් දොරක් පාසා දහස් ගණනින් වස්ත්‍ර ද තැබ්බවී ය. සීනි, තලතෙල්, සකුරු, පැණි පුරවන ලද නොයෙක් සැළි ද තැබ්බවී ය.

23. “මෙහි නොමිලේ කටයුතු නො කළ යුතු ය” යි කියා, කරන කටයුතු අගය කරවා ඔවුනට වැටුප් දුන්නේ ය.

24. එක් එක් දෙසින් රියන් දහස දහස උස් වූයේ ය. සතර දොරටු ඇති ඒ ප්‍රාසාදය උසින් එපමණ වූයේ ය.

25. ඒ ශ්‍රේෂ්ඨ වූ ප්‍රාසාදයේ මහල් නවයක් විය. එක් එක් මහලෙහි කුළු ගෙවල් සියය සියය විය.

26. සියලු කුළු ගෙවල් රිදියෙන් නිමවන ලද්දේ ය. ඒ කූටාගාරයන්ට සම්බන්ධ වූ පබළුවලින් කළ පිල් නොයෙක් මැණික්වලින් විචිත්‍ර විය.

27. ඒ පිල් සම්බන්ධ වූ පියුම් ද නොයෙක් මැණික්වලින් විචිත්‍ර විය. ඒ පිල් රිදී කිංකිණිවලින් යුතු විය.

28. ඒ පහයේ මනා කොට සාදන ලද ගබඩා දහසක් වී ය. එහි නොයෙක් මැණික් ඔබ්බවන ලද සී මැදුරු කවුළු නම් නෙත් ඇත්තේ ය.

29. රජ තෙමේ වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ ‘නාරිවාහන’ නම් යානයේ ආකාරය අසා එබඳු වූ මැණික් මණ්ඩපයක් ප්‍රාසාදය මධ්‍යයේ කරවූවේ ය.

30. එය සිංහ ව්‍යාඝ්‍ර ආදි රූපයන් ද දේවතා රූපයන් ද සහිත රුවන්මුවා ටැම්වලින් විචිත්‍රවත් විය.

31. එහි මණ්ඩපය කෙළවර හාත්පසින් මුතු දැලින් වට කරවන ලද පෙර කියන පරිදි වූ පබළු පිල් ද විය.

32. සත් රුවනින් විචිත්‍ර වූ මණ්ඩපය මධ්‍යයේ රම්‍ය වූ පළිඟු අතුරන ලද සිත්කළු වූ උතුම් පළඟකි.

33. ඇත් දළින් කරවන ලද මේ පළඟේ රනින් කරවන ලද හිරු මඬලක් ද රිදියෙන් කරවන ලද සඳ මඬලක් ද මුතුවලින් කරවන ලද තාරකාවන් ද

34. නොයෙක් නොයෙක් මැණික්වලින් කරවන ලද පියුම් ද ඒ ඒ තැන සුදුසු වූ ආකාරයෙන් රන්පත් අතර (ලියවන ලද) ජාතක කථා ද විය.

35. මාහැඟි වූ ඇතිරිලි ඇති, මනරම් වූ පළඟෙහි තබන ලද මනහර වූ විජිනිපත සොඳුරු ඇත් දළින් කරවන ලද්දේ ය.

36. එහි පළිඟු මත පබළු මිරිවැඩි පිහිටියේ ය. පළඟෙහි රිදී දණ්ඩක් ඇති සේසත පිහිටියේ ය.

37. සත් රුවනින් කරවන ලද මේ සේසත කෙළවර අෂ්ට මංගලාකාර රූපයන් ද මුතු මැණික් අතරතුර ඇති වූ සිවුපා රූප පේළි ද විය.

38. ඡත්‍රයේ අග එල්ලුන රිදී මිණි ගෙඩි පේළි ද විය. ප්‍රාසාදය, ඡත්‍රය, පළඟ, මණ්ඩපය යන මේවා අනර්ඝ විය.

39. සුදුසු වූ පරිද්දෙන් මාහැඟි වූ ඇඳ පුටු පනවන ලද්දේ ය. එසේ ම බුමුතුරුණු ද මාහැඟි පලසක් ද විය.

40. එහි රනින් කරවන ලද (ධෝවනයට පැන් තබන) සැළියක් ද කිණිස්ස ද විය. ප්‍රාසාදයේ පරිභෝජනය වූ සෙසු භාණ්ඩ ගැන කියනු ම කිම?

41. සතර ද්වාර කොරටු ඇත්තා වූ මනරම් වූ ප්‍රාකාරයෙන් වට වූ ඒ ප්‍රාසාදය තව්තිසා දෙව්ලොව (සුධර්මා නම්) සභාව සේ සරසන ලද්දේ ය.

42. මේ ප්‍රාසාදය තඹ ලෝහ හුළින් වසන ලද්දේ ය. එනිසා ඒ ප්‍රාසාදයට ලෝහ ප්‍රාසාදය යන නාමය වූයේ ය.

43. ඒ රජ තෙමේ ලෝවාමහාපාය නිම කරන ලද කල්හී සංඝයා වහන්සේලා රැස් කරවූවේ ය. මිරිසවැටි වෙහෙරෙහි මෙන් ම සංඝයා වහන්සේ රැස් වූ සේක.

44. පළමු මහලේ පුහුදුන් භික්ෂූන් වහන්සේලා ම වැඩ සිටියහ. දෙවන මහලේ ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේලා වැඩ සිටි සේක. සෝවාන් ආදි වූ උතුමෝ

45. තුන්වන මහල ආදි වූ එක් එක් මහලේ වැඩ සිටියහ. උඩ සියලු මහල්හි රහතන් වහන්සේලා ම වැඩ සිටි සේක.

46. රජ තෙමේ අත පැන් වැඩීම පෙරටු කොටගෙන ප්‍රාසාදය සංඝයා වහන්සේලාට දී සත් දවසක් පුරා පෙර (මිරිසවැටි වෙහෙරේ) මහා දානය මෙන් දන් දුන්නේ ය.

47. මහා පරිත්‍යාග ඇති මහ රජ තෙමේ ප්‍රාසාද පූජාවෙහි පරිත්‍යාග කරන ලද වස්තු අනර්ඝ වස්තූන් හැර තිස් කෝටියක් පමණ වටින්නේ වී ය.

48. නිසරු වූ ධනයෙන් ද රැස් කිරීමේ විශේෂ වූ සාරය දානය වශයෙන් යහපත් ප්‍රඥා ඇති යම් ජනයෙක් සලකන්නේ ද ඒ සත්වයන්ගේ හිතසුව පරම කොට ඇති ඒ ජන තෙමේ සිතෙහි ඇල්ම බැහැර කොට මෙසේ විපුල වූ දානය දෙනු ලබන්නේ ය

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ලෝවාමහාපාය’ නම් වූ විසි හත්වන පරිච්ඡේදය නිම විය.)