28 වන පරිච්ඡේදය

මහා සෑයට ලාභයන් ඉපදීම

01. ඉන් පසු ඒ රජ තෙමේ ලක්ෂයක් (කහවණු) වියදම් කරවා අති උත්තම වූ මහා බෝධිපූජාවක් කරවුයේ ය.

02. ඉක්බිති නුවරට පිවිස ථූප ස්ථානයේ පිහිටුවන ලද ගල්ටැඹ දැක (තමන් විසින් කරවනු ලබන සෑය ගැන) පෙර (ලියා තිබුණු දේ ගැන) ඇසීම සිහි කොට

03. “මහා සෑය කරවන්නෙමි.” යි සතුටු වූයේ මහා ප්‍රාසාදතලයට නැගී බොජුන් අනුභව කොට රාත්‍රියේ යහනට වී මෙසේ සිතුවේ ය.

04. ‘දමිළයන් මඬිනා ලද මා විසින් මේ ජනයා පෙළන ලද්දේ ය. (එනිසා) ජනයාගෙන් ආදායම් උපයනු නො හැක්කේ ය. ඒ ආදායම් ගැනීම හැර

05. මහා සෑය කරවන්නා වූ මම කෙසේ දැහැමින් ගඩොල් උපදවන්න ද?’ මේ අයුරින් සිතන්නවුන්ගේ (ඒ) සිත

06. ජත්‍රයේ හුන් දේවතාවා දැන ගත්තේ ය. එයින් (දෙවියන් අතර) කෝලාහලයක් වී ය. ඒ බැව් දැන ගත් ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විස්කම් දෙව් පුතුට මෙසේ අණ කළේ ය.

07. “ගාමණී අභය රජ තෙමේ චෛත්‍යයට ගඩොල් (ඉපදවීම) ගැන සිතුවේ ය. ඔබ ගොස් (අනුරාධපුර) නගරයෙන් යොදුනක් ගිය තැන ගම්භීර නදිය සමීපයේ

08. ඇති ස්ථානයේ ගඩොල් මව ව.” සක්දෙව් රජුගේ වචනයෙන් විස්කම් දෙව් පුතු මෙහි පැමිණ ඒ ස්ථානයේ ගඩොල් මවන ලද්දේ ය.

09. අලුයම් කාලයේ එහි වැද්දෙක් තෙමේ සුනඛයෙක් සමග වනයට ගියේ ය. භූමාටු දෙවි කෙනෙක් වැද්දාට තලගොයි රුවකින් තමා ව දැක්වුවේ ය.

10. ඒ තලගොයා ලුහුබැඳ යන්නා වූ වැද්දා (එසේ) ගොස් ගඩොල් දැක්කේ ය. තලගොයා (එවිට) අතුරුදන් වූයෙන් එකල්හී හෙතෙමේ මෙසේ සිතුවේ ය.

11. ‘අපගේ මහරජ තෙමේ මහා සෑයක් කරවනු කැමැත්තේ ය. මේ නම් උන් වහන්සේට ම පඬුරකි.’ (හෙතෙමේ) ගොස් ඒ බව දැනුම් දුන්නේ ය.

12. ජනයාගේ සැප පිණිස ඇලුනා වූ රජ තෙමේ ඔහුගේ ඒ වචනය අසා සතුටු සිත් ඇත්තේ ඔහුට මහත් වූ සත්කාර කළේ ය.

13. නගරයෙන් ඊශානදිග යොදුන් තුනකින් මත්තේ ආචාරවිදි නම් ගමේ කිරිය දහසයක පමණ බිමේ

14. ප්‍රමාණයෙන් විවිධාකාර වූ රන් බිජුවට උපන්නේ ය. උපරිමයෙන් වියතක් පමණ ද අවම වශයෙන් අඟලක් පමණ ද වූ

15. රනින් පිරුණා වූ ඒ භූමිය දුටු එගම්වැස්සෝ පාත්‍රයක් පුරවා රන් ගෙන ගොස් රජු හට දැනුම් දුන්නේ ය.

16. නගරයෙන් නැගෙනහිර ප්‍රදේශයේ යොදුන් හතකට මත්තේ ගඟෙන් එතෙර ‘තඹවිට’ නම් ගම තඹ ලෝහය උපන්නේ ය.

17. ඒ ගමෙහි වැසියෝ පාත්‍රයකට තඹ ලෝහ බිජු ගෙන රජු කරා එළඹ ඒ කාරණය ද දැනුම් දුන්හ.

18. නගරයෙන් ගිනිකොණ දෙස යොදුන් හතරක් දුර සමන්වැව නම් ගමෙහි බොහෝ මැණික් ඉපදිණ.

19. එගම වැසියෝ කුරුවින්ද ගල් හා මිශ්‍ර වූ මැණික්, පාත්‍රයකින් ගෙන ඇවිත් රජුට දැනුම් දුන්හ.

20. නගරයට දකුණු පෙදෙසේ යොදුන් අටකට මත්තේ අම්බට්ඨකොළ නම් දනව්වේ ලෙනක රිදී ඉපදිණ.

21. නගරවැසි වෙළෙන්දෙක් බොහෝ ගැල් ගෙන මලය රටින් හිඟුරු ආදිය ගෙනෙනු පිණිස මලය රට බලා යන්නේ

22. ලෙනට නුදුරෙහි ගැල් නවත්වා කෙවිටි සොයන්නේ ඒ පර්වතයට ම නැංගේ ය.

23. සැළියක් පමණ වූ ගෙඩියක් ඇති ඵලබරින් නැමුණා වූ කොස් පැළය ද ගලක් උඩ පිහිටි ඒ ගෙඩිය ද දැක

24. පිහියෙන් ඒ නටුව සිඳ ‘අග්‍ර වූ අනුසස් ඇති දනක් දෙමි’ යැයි සිතා ශ්‍රද්ධාවෙන් කාලඝෝෂා කළේ ය. ඛීණාස්‍රවයන් වහන්සේලා සතරනමක් එහි වැඩි සේක.

25. සතුටට පත් හෙතෙමේ උන් වහන්සේලාට වන්දනා කොට සාදරයෙන් වඩා හිඳුවා පිහියෙන් ඒ කොස් ගෙඩියේ හාත්පස සිවිය කපා

26. වහලු මුදා පිරී තිබුණ යුෂ පාත්‍රයෙන් ගෙන (වරකා) යුෂයෙන් පුරවන ලද ඒ පාත්‍ර සතර සතරදෙනා වහන්සේට පිදුවේ ය.

27. උන් වහන්සේලා එය පිළිගෙන වැඩම කළහ. නැවත වරක් කාලඝෝෂා කළෙන් අන්‍ය වූ ඛීණාස්‍රවයන් වහන්සේලා සතරනමක් එහි වැඩම කළහ.

28. හෙතෙමේ උන් වහන්සේලාගේ පාත්‍රයන් ගෙන වරකා මදුලුවලින් පුරවා පිළිගැන්වුවේ ය. උන් වහන්සේලා අතරින් තුන්නමක් ආපසු වැඩම කළහ. එක්නමක් බැහැර නො වූහ.

29. ඒ ස්ථවිරයන් වහන්සේ ඔහුට රිදී දර්ශනය කරවනු පිණිස එතැනින් බැස ලෙන සමීපයේ වැඩ හිඳ ඒ මදුලු වැළඳූහ.

30. වෙළඳ තෙමේ ද ඉතිරි වූ මදුළු කුස පිරෙන තෙක් අනුභව කොට ඉන් ඉතිරි කොටස පොදියකින් ගෙන ස්ථවිරයන් වහන්සේ ගිය මගින් යන්නේ ය.

31. ඒ මගින් ම යන්නා වූ උපාසක තෙමේපදන් පිළිගත් ස්ථවිරයන් වහන්සේ දැක වතාවත් කළේ ය.

32. ස්ථවිරයන් වහන්සේ ද ලෙන් දොරින් ඔහුට මාර්ගයක් මැවූ සේක. හෙතෙමේ ඒ මගින් යන්නේ ලෝහ දුටුවේ ය.

33. ලෙන දොර හිඳ රිදී දැක ගත් හෙතෙමේ පිහියෙන් ගසා රිදී යැයි දැන

34. එක් රිදී පිඬක් ගෙන ගැල් සමීපයට ගියේ ය. ගැල් එහි තබවා ඒ රිදී පිඬ රැගෙන

35. වහා අනුරාධපුරයට පැමිණි ඒ උතුම් වෙළඳ තෙමේ රජු හට රිදී පෙන්වා ඒ කාරණය ද සැල කළේ ය.

36. නගරයෙන් බටහිර දෙස යොදුන් පහකට මත්තෙහි උරුවෙල් පටුනේ විශාල නෙල්ලි ගෙඩි තරමේ මුතු ඇට

37. අතරමැද වූ පබළු සමග මුහුදින් ගොඩට නැගුණේ ය. (ඒ මුහුදුබඩ) ධීවරයෝ ඒ දැක එකතු කොටගෙන

38. මුතු හා පබළු පාත්‍රයකින් ගෙන රජු කරා එළඹ ඒ කරුණ ද සැල කළෝ ය.

39. නගරයට උතුරු දෙසින් යොදුන් හතරක් මත්තේ පෙළවැව නම් ගමේ වැවට පිවිසෙන කඳු රැල්ලේ

40. වැලි මතුපිට ඇඹරුම් ගල් පමණ වූ, දිය බෙරලිය මල් වැනි පාට ඇති යහපත්, උතුම් මැණික් හතරක් උපන.

41. බලු වැද්දෙක් ඒ දැක රජු වෙත පැමිණ “මා විසින් මෙවැනි වූ මැණික් දකින ලද්දේ ය” යැයි සැල කළේ ය.

42. මහා නුවණැති, මහා පින් ඇති ඒ (රජ) තෙමේ මහා සෑය පිණිස උපන් ගඩොල් ආදි මේ ද්‍රව්‍යයන් (ගැන) ඒ දවසේ ම ඇසුවේ ය.

43. (ඒ පුවත්) දැන්වූ ඔවුන් හට සුදුසු වූ පරිද්දෙන් සත්කාර කොට ඔවුන් ම (ඒවායේ) රැකවලුන් කොට ඒ සියලු ද්‍රව්‍යයන් ගෙන්වා ගත්තේ ය.

44. ස්වකීය කයෙහි උපන්නා වූ, ඉවසිය නො හැකි තරම් වූ සංවේගය ගැන නො සිතා ප්‍රසන්න සිත් ඇත්තවුන් විසින් මෙසේ රැස් කරන ලද පුණ්‍ය සැපතට සාක්ෂි සාධනය කරනු ලබන්නේ ය. මෙසේ ප්‍රසන්න සිත් ඇත්තෝ පින් කරන්නෝ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘මහා සෑයට ලාභයන් ඉපදීම’ නම් වූ විසි අටවන පරිච්ඡේදය නිම විය.)

29 වන පරිච්ඡේදය

ථූපය (සෑදීමේ කටයුතු) ඇරඹීම

01. මෙසේ උපකරණ සම්පූර්ණ වූ කල්හි වෙසක් පර පසළොස්වක වීසා නැකැත පැමිණි විට මහා සෑය පිණිස (කටයුතු) ආරම්භ කළේ ය.

02. රජ තෙමේ එහි ගල් ටැඹ බැහැර කරවා නොයෙක් අයුරින් ස්ථිර කරනු පිණිස සෑය (සාදන) ස්ථානයේ සත් රියනක් කණින ලද්දේ ය.

03. යෝධයන් ලවා හුණු ගල් එහි ගෙන්වා කුළු ගෙඩියෙන් පහර දී ගල් කැබැලි කරවී ය.

04. අර්ථය අනර්ථය දැනීමෙහි දක්ෂ වූ (රජ තෙමේ) ගල් භූමිය ස්ථිර කරවනු වස් සම්වලින් වසන ලද පතුල් ඇති මහා ඇතුන් ලවා (එබිම) මඩවන ලද්දේ ය.

05. අහස් ගඟ වැටෙන ස්ථානයේ නිරන්තරයෙන් තෙත් වූ එහි හාත්පස යොදුන් තිහක භූමියේ මැටි සුමට ය.

06. ඒ සුමට මැටි ‘නවනීත මැටි’ යැයි කියනු ලැබේ. රහත් සාමණේරයන් වහන්සේලා එතැනින් මැටි ගෙන ආහ.

07. ඒ ගල් කුට්ටි අතරේ මැටි අතුරන ලද්දේ ය. රජ තෙමේ මැටි මතුපිට ගල් ඇතිරවූයේ ය.

08. ඒ මතුපිට පිරිසිදු කුරුවින්ද ගල් ද ඒ මත බොරළු ද අතුරන ලද්දේ ය.

09. රජ තෙමේ සාමණේරයන් වහන්සේලා හිමවතින් ගෙනෙන ලද සුවඳවත් පළිඟු ගල් ඒ මතුපිට ඇතිරවූයේ ය.

10. අතුරන ලද පළිඟු මතුපිට ගල් අතුරන ලද්දේ ය. සෑමතැන ම මැටියෙන් කළ කටයුතු නවනීත මැටියෙන් ම (සිදු) විය.

11. රසදිය මිශ්‍ර කරන ලද දිවුල් මැලියමින් අටඟුල් බොල් ලෝහ පටියක් (ඇතිරිය) මතුපිට ද

12. එකෙණෙහි ඒ මතුපිට තලතෙලින් තෙමන ලද රත් සිරියෙලින් සත් අඟුල් තට්ටුවක් ද අතුරන ලද්දේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ථූපය (සෑදීමේ කටයුතු) ඇරඹීම’ නම් වූ විසි නවවන පරිච්ඡේදයේ මී ළඟ කොටස ලබන කලාපයේ.)