29 වන පරිච්ඡේදය

ථූපය (සෑදීමේ කටයුතු) ඇරඹීම

13. ඒ රජ තෙමේ මහා ථූපය පිහිටන ස්ථානයේ ප්‍රසන්න වූ සිතින් මෙසේ පිරියම් කරවා

14. ඇසළ මස පුරපස දාහතරවන දිනයේ භික්ෂු සංඝයා වහන්සේලා රැස් කරවා

15. “මහා සෑය පිණිස මංගල ගඩොල හෙට පිහිටුවන්නෙමි. මෙහි අපගේ ස්වාමී වූ සියලු සංඝයා වහන්සේලා රැස් වෙත්වා!

16. බුද්ධ පූජාවන්ගේ නියුතු වීමෙන් මහජනයාගේ හිතසුව කැමති වූ ජනයෝ ද උපෝසථ සිල් සමාදන් ව සුවඳ මල් ආදිය රැගෙන

17. මහා ථූපය පිහිටන තැනට හෙට පැමිණෙත්වා!” යැයි කී ය. චෛත්‍ය ස්ථානය සරසවනු පිණිස අමාත්‍යවරුන් ද යොදවන ලද්දේ ය.

18. රජු විසින් අණ දෙනු ලැබූ කල්හි, මුනිරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රිය ගෞරව ඇති ඔවුහු ඒ ස්ථානය නොයෙක් අයුරින් අලංකාරව සැරසූහ.

19. රජ තෙමේ මුළු මහත් නගරය ද එහි පැමිණෙන මාර්ග ද නොයෙක් ආකාරයන්ගෙන් අලංකාර කරවා

20. උදෑසන ම නුවර සතර දොර කරණවෑමියන් ද නානු ද කපුවන් ද එසේ ම බොහෝ

21. වස්ත්‍ර ද සුවඳ මල් ද මිහිරි වූ ආහාර ද (තැබ්බවී ය.) මහජනයාගේ හිතසුව කැමති වූ රජ තෙමේ මහජනයාට වැඩ පිණිස

22. රුචි වූ පරිද්දෙන් පිළියෙල කරන ලද මේ ද්‍රව්‍යයන් තැබ්බවූයේ ය. නගරවැසියෝ ද ජනපදවැසියෝ ද ථූප ස්ථානයට එළඹුණහ.

23. ලද තනතුරුවලට අනුව කළ නියෝග පරිදි මනා කොට සැරසුණා වූ නොයෙක් ඇමතිවරුන් විසින් එම ස්ථානයේ රැකවල් කරන ලද රජ තෙමේ

24. නොයෙක් ආකරවලින් මනා කොට සැරසුණා වූ, දේව කන්‍යාවන් බඳු වූ නාට්‍යාංගනාවන් විසින් පිරිවරන ලදුව යහපත් සේ සැරසුම් කරන ලද්දේ

25. හතළිස් දහසක් මිනිසුන් විසින් පිරිවරන ලද්දේ, නොයෙක් නොයෙක් තූර්ය ඝෝෂාවෙන් යුතු වූයේ (සක්) දෙව් රජු විලාශයෙන්

26. ජනයා සතුටු කරවමින්, ස්ථානාස්ථාන දැනීමෙහි දක්ෂ වූයේ මහා ථූපය පිහිටන ස්ථානයට සවස් කාලයේ දී සම්ප්‍රාප්ත වූයේ ය.

27. හෙතෙමේ පොදි බඳින ලද එක්ලක්ෂ අට දහසක් වස්ත්‍රයන් මැද තබ්බවා එහි සතර දිශාවේ

28. නොයෙක් වස්ත්‍ර රැස් කරවූයේ ය. රජ තෙමේ මංගල්‍යය පිණිස ම පැණි, ගිතෙල්, උක් සකුරු ද තැබ්බවී ය.

29. නොයෙක් නොයෙක් දේශයන්ගෙන් ද භික්ෂූන් වහන්සේලා මෙහි වැඩම කළහ. (ඉදින්) මේ දිවයිනවැසි සංඝයා වහන්සේලා මෙහි වැඩමවීම ගැන කවර කථා ද?

30. රජගහනුවර වැඩ වාසය කළ ඉන්දගුත්ත ස්ථවිරයන් වහන්සේ අසූහාරදහසක් භික්ෂූන් වහන්සේලා හා වැඩි සේක.

31. ධර්මසේන මහා ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දොළොස්දහසක් සමග ඉසිපතනයෙන් චෛත්‍ය ස්ථානයට වැඩම කළහ.

32. පියදස්සී මහා ස්ථවිරයන් වහන්සේ හැටදහසක් භික්ෂූන් වහන්සේලා සමග ජේතවන විහාරයෙන් මෙහි පැමිණි සේක.

33. බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ දහඅට දහසක් භික්ෂූන් වහන්සේලා සමග විශාලා මහා වනයෙන් මෙහි වැඩම කළ සේක.

34. මහා ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ තිස් දහසක් භික්ෂූන් වහන්සේලා සමග කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙන් මෙහි පැමිණි සේක.

35. සංඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ හතළිස් දහසක් භික්ෂූන් වහන්සේලා සමගින් උදේන නුවර දක්ෂිණාගිරියේ සිට මෙහි පැමිණි සේක.

36. මිත්තිණ්ණ නම් ස්ථවිරයන් වහන්සේ එක්ලක්ෂ හැටදහසක් භික්ෂූන් වහන්සේලා ගෙන පැළලුප් නුවර අශෝකාරාමයෙන් මෙහි වැඩම කළ සේක.

37. උත්තිණ්ණ තෙරුන් වහන්සේ දෙලක්ෂ හැටදහසක් භික්ෂූන් වහන්සේලා සමග කාශ්මීර මණ්ඩලයෙන් ද

38. මහා නැණ ඇති මහාදේව ස්ථවිරයන් වහන්සේ හාරලක්ෂ හැටදහසක් භික්ෂූන් වහන්සේලා රැගෙන පල්ලවභෝග ජනපදයෙන් ද

39. ඒ යෝණක මහා ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ තිස්දහසක් භික්ෂූන් වහන්සේලා සමග යෝණක රට අලසන්දා නගරයෙන් ද මෙහි වැඩම කළ සේක.

40. උත්තර නම් ස්ථවිරයන් වහන්සේ හැටදහසක් භික්ෂූන් වහන්සේලා රැගෙන වින්ධ්‍යා වනයේ ‘වත්තනිය’ නම් සෙනසුනෙන් මෙහි වැඩම කළ සේක.

41. චිත්තගුත්ත මහා ස්ථවිරයන් වහන්සේ තිස්දහසක් භික්ෂූන් වහන්සේලා සමග බෝධිමළු විහාරයෙන් මෙහි පැමිණි සේක.

42. චන්ද්‍රගුත්ත මහා ස්ථවිරයන් වහන්සේ අසූ දහසක් භික්ෂූන් වහන්සේලා සමග වනවාස ප්‍රදේශයෙන් මෙහි වැඩම කළ සේක.

43. සූරියගුත්ත මහා ස්ථවිරයන් වහන්සේ අනූහය දහසක් භික්ෂූන් වහන්සේලා සමග කෛලාස විහාරයෙන් මෙහි වැඩම කළ සේක.

44. මෙහි පැමිණි ලංකාද්වීපවාසී භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යා ප්‍රමාණයන් පූර්වාචාර්යයන් වහන්සේලා විසින් නො කියන ලද්දේ ය.

45. ඒ සමාගමයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර රහතන් වහන්සේලා ම අනූ හය කෝටියක් වූ බව කියැවේ.

46. ඒ භික්ෂූන් වහන්සේලා සුදුසු වූ පරිද්දෙන් ඒ මහා සෑ ස්ථානය පිරිවරා, මධ්‍යයේ මහරජුට ඉඩ තබා සිට ගත්හ.

47. රජ තෙමේ එහි පිවිස එසේ සිටියා වූ භික්ෂු සංඝයා වහන්සේලා දැක පැහැදුනු සිත් ඇත්තේ වන්දනා කොට, සතුටු සිතින්

48. සුවඳ මලින් පුදා, තුන්වරක් පැදකුණු කොට, මධ්‍යයේ මංගල වස්තු සහිත වූ පුන්කලස පිහිටි තැනට පිවිස

49. උතුම් ප්‍රීති බල ප්‍රකාශනයන් ඇත්තේ රන් කණුවක බස්සවන ලද, රිදියෙන් කරවන ලද ශුද්ධ වූ පරිභ්‍රමණ දණ්ඩ

50. මනා කොට සැරසුණා වූ, සුජාත වූ, මංගල වූ, යහපත් ජාති ඇත්තා වූ අමාත්‍යවරයෙකු ලවා අල්වාගෙන

51. මහත් වූ චෛත්‍ය මළුවක් කරවන්නට කරන ලද නිශ්චය ඇත්තේ පිරියම් කරන ලද බිම සිසාරා යෑම ආරම්භ කළේ ය.

52. මහත් ඍද්ධි ඇති, දූරදර්ශී වූ, නමින් සිද්ධාර්ථ නම් වූ මහා ස්ථවිරයන් වහන්සේ එසේ (මහා චෛත්‍ය මළුවක් කරවන්නට උත්සාහ) කරන රජුව වැළැක්වූ සේක.

53. (ඒ කුමක් නිසා ද යත්) “ඉදින් මේ රජ තෙමේ මේ සා විශාල වූ ථූපයක් කරවන්නට අරඹන්නේ ද ථූපය නිමා කරන්නට පළමු මොහුට මරණය පැමිණෙන්නේ ය.

54. පිළිසකර කිරීමට දුෂ්කර වූ මහත් වූ සෑයක් ද වන්නේ ය.” මෙසේ උන්වහන්සේ අනාගතය දකින්නේ (චෛත්‍ය මළුවේ) මහත් භාවය වැළැක්වූ සේක.

55. සංඝයා වහන්සේලාගේ අනුදැනීමෙන් ද ස්ථවිරයන් වහන්සේ කෙරෙහි ගරු සම්භාවනාවෙන් ද ස්ථවිරයන් වහන්සේගේ වචනය පිළිගෙන, මහත් වූ චෛත්‍යයක් කරවනු කැමති වූව ද

56. රජ තෙමේ ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් පරිදි ගඩොල් පිහිටවනු පිණිස මධ්‍යම ප්‍රමාණයේ සෑ මළු ස්ථානයක් කළේ ය.

57. සෑ මළුව මධ්‍යයේ රනින් ද රිදියෙන් ද නිමවන ලද කළ අට අට බැගින් තැබ්බවී ය. එතැනින් අටතුරා දහසක් හාත්පස පිරිවරා

58. අටතුරා දහසක් අලුත් කළ තබන ලද්දේ ය. වස්ත්‍රයන් ද එකේ සිට අට බැගින් තැබ්බවී ය.

59. අනේක ප්‍රකාරයෙන් සැරසුණා වූ, සම්මත කරන ලද ඇමතිවරයා ලවා උතුම් වූ ගඩොල් අටක් වෙන් වෙන් වශයෙන් තැබ්බවී ය.

60. එයින්, නොයෙක් නොයෙක් මංගල ලකුණුවලින් සම්මත කරන ලද (ගඩොල්) එකක් ගෙන පළමු මඟුල් ගඩොල නැගෙනහිර දිශාවේ

61. සිත්කලු වූ සුවඳ මඩෙහි සකස් කොට පිහිටවූයේ ය. (එය) දෑසමන් මලින් පිදූ කල්හි

62. එබිම කම්පා වූයේ ය. අනෙක් (ගඩොල්) සත ද පිහිටුවන මංගල්‍යය අමාත්‍යවරුන් සත් දෙනෙකු ලවා කරවන ලද්දේ ය.

63. මෙසේ මනා කොට සම්මත කරවන ලද්දා වූ ඇසළ මාසයේ පුරපසළොස්වක පොහෝ දිනයේ ගඩොල් පිහිටුවන ලද්දේ ය.

64. එහි සතර දෙස වැඩ සිටියා වූ ඛීණාස්‍රව මහා ස්ථවිරයන් වහන්සේලා පිළිවෙළින් වැඳ පුදා අතිශයින් සතුටු වූ ඒ (රජ) තෙමේ

65. ඊශාන දිශාවට ගොස් ඛීණාස්‍රව වූ පියදස්සී මහා ස්ථවිරයන් වහන්සේට වන්දනා කොට උන්වහන්සේ සමීපයේ සිටියේ ය.

66. (ස්ථවිරයන් වහන්සේ) මංගල්‍යය වර්ධනය කරවමින් ඔහුට දහම් දෙසූ සේක. ස්ථවිරයන් වහන්සේගේ දේශනාව ඒ ජනයා හට සාර්ථක වී ය.

67. සතළිස් දහසකට ධර්මාවබෝධය වී ය. සතළිස් දහසක් සෝවාන් ඵලයට පත් විය.

68. දහසක් සකදාගාමී ඵලයට පත් විය. එපමණක් ම අනාගාමී විය. එහි ගිහි ජනයන් ම දහසක් අරහත්වයට පත් විය.

69. දහ අට දහසක් භික්ෂූන් වහන්සේලා ද දාහතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත්වයට පත් වූහ.

70. මෙසේ, රත්නත්‍රය කෙරෙහි පැහැදුනු සිත් ඇති, පරිත්‍යාගයෙහි අධිකව යෙදුණු සිත් ඇති, ජනයා කෙරෙහි හිතවත් වූ (ජන තෙමේ) උතුම් වූ ලෝකාර්ථය පිණිස ම වන්නේ යැයි දැන ශ්‍රද්ධා ආදි නොයෙක් ගුණයන්ගෙන් යුතු වීමෙහි ලා ඇලුම් කරන්නේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘ථූපය (සෑදීමේ කටයුතු) ඇරඹීම නම් වූ විසිනව වන පරිච්ඡේදය නිම විය.)