34 පරිච්ඡේදය

එකොළොස් රජුන්ගේ පුවත

01. ඒ (වළගම්බා රජුගේ) ඇවෑමෙන් මහාසිළු මහාතිස්ස රජු දහතුන් වසරක් දැහැමෙන් සෙමෙන් රාජ්‍යය පාලනය කළේ ය.

02. “සියතින් දෙනු ලබන දානය මහත් ඵල ය.” යැයි අසා (රාජ්‍ය කාලයේ) පළමු වර්ෂයේ දී ම අප්‍රසිද්ධ වේශයක් ගත්

03. රජ තෙමේ (ප්‍රාදේශීය ග්‍රාමයන්ට) ගොස් ඇල් ගොයම් කපා එයින් ලත් කුලියෙන් මහා සුම්ම ස්ථවිරයන් වහන්සේට දානය දුන්නේ ය.

04. නැවත ක්ෂත්‍රීය වංශික තෙමේ ම රන් ගිරියෙහි තුන් වසරක් උක් යත උසුලා එයින් කුලිය ලෙස උක් සකුරු ලැබ

05. ඒ උක් සකුරු ගෙන්වාගෙන භූමිපාලක වූ ඒ රජ තෙමේ නුවරට අවුත් භික්ෂු සංඝයාට මහා දන් දුන්නේ ය.

06. තිස් දහසක් භික්ෂූන් වහන්සේලාටත්, එසේ ම fදාළොස් දහසක් භික්ෂුණීන් වහන්සේලාටත් වස්ත්‍ර දන් දුන්නේ ය.

07. මිහිපති තෙමේ මොනවට පිහිටි විහාරයක් කරවා භික්ෂූන් වහන්සේලා හැට දහසකට තුන් සිවුරු දුන්නේ ය.

08. ගණනින් තිස් දහසක් වූ භික්ෂුණීන් වහන්සේලාට ද (තුන් සිවුරු) දුන්නේ ය. මණ්ඩවාපී විහාරය ද එසේ ම අබාගල ද

09. වගුපටගල ද දීඝබාහුක ගල ද වාලගම් වෙහෙර ද ඒ රජ තෙමේ කරවන ලද්දේ ය.

10. මෙසේ ඒ රජ තෙමේ ශ්‍රද්ධාවෙන් යුතු ව නොයෙක් ආකාරයෙන් පින් කොට දාහතර වසක් ඇවෑමෙන් දෙව්ලෝ ගියේ ය.

11. වළගම්බා රජුගේ පුත් වූ, චෝරනාග යැයි ප්‍රකට වූ කුමර තෙමේ මහාසිළු රජුගේ කාලයේ දාමරික ව හැසිරුණේ ය.

12. මහාසිළු රජු කළුරිය කළ කල්හි (ඔහු) අවුදින් රාජ්‍යය කරවී ය. තමන් දාමරික ව සිටි කාලයේ වාසය කිරීමට ඉඩ නො දුන්

13. දහ අටක් වූ විහාරයන් (හෙතෙමේ) කඩා බිඳ දමන ලද්දේ ය. ඒ චෝරනාග තෙමේ දොළොස් අවුරුද්දක් රාජ්‍යය කරවී ය.

14. ඒ පාපී තැනැත්තේ ලෝකාන්තරික නිරයේ උපන්නේ ය. ඔහුගේ ඇවෑමෙන් මහාසිළු රජුගේ පුත් (වූ තිස්ස කුමරු) රාජ්‍යය කරවී ය.

15. ඒ තිස්ස රජ තෙමේ තුන් වසරක් ම රාජ්‍යය කළේ ය. චෝරනාග රජුගේ බිසව වූ විෂම අදහස් ඇති අනුලා දේවි තොමෝ, විෂම ක්‍රියා ඇති

16. දොරටුපාලයා කෙරෙහි ඇලුනු සිත් ඇත්තී (චෝරනාග රජු ව) වස දී ඝාතනය කළා ය. එම දොරටුපාලයා කෙරෙහි ම ඇලුනු සිත් ඇති අනුලා තොමෝ

17. තිස්ස රජු ව ද වස දී ඝාතනය කරවා (දොරටුපාලයාට) රාජ්‍යය දුන්නී ය. සිව නම් වූ ඒ ජ්‍යේෂ්ඨ දොරටුපාල තෙමේ

18. අනුලා මෙහෙසිය කොට අවුරුද්දකට වැඩි දෙමසක කාලයක් ඒ නුවර රාජ්‍යය කරවී ය. අනුලා වටුක නම් දමිළයා කෙරෙහි

19. ඇලුනු සිත් ඇත්තී (සිව ව) වස දී ඝාතනය කොට වටුක වෙත රාජ්‍යය පැමිණවූවා ය. නගරයේ වඩුවා වූ වටුක දමිළ තෙමේ

20. අනුලා මෙහෙසිය කොටගෙන අවුරුද්දකට වැඩි දෙමසක කාලයක් රජය කරවී ය. අනුලා තොමෝ ම එහි පැමිණි

21. දර පළන්නා දැක ඔහු කෙරෙහි ඇලුන සිත් ඇති ව වස දී වටුක තෙමේ ඝාතනය කොට ඔහුට රාජ්‍යය පැමිණවූවා ය.

22. දර පළන තිස්ස තෙමේ අනුලා මෙහෙසිය කොට අවුරුද්දකට වැඩි එක් මසක් පුරයේ රාජ්‍යය කරවී ය.

23. ඒ තෙමේ මහමෙව්නාව උයනේ පොකුණක් කරවී ය. ඔහුගේ පුරෝහිත බමුණා වූ නිලීය නම් දමිළයා කෙරෙහි

24. රාගයෙන් ඇලුන අනුලා ඔහු හා වාසය කරනු කැමති ව ඒ දාරුභතික තිස්ස රජු ව වස දී ඝාතනය කරවා

25. නිලීය බමුණාට රාජ්‍යය දුන්නා ය. ඒ නිලීය බ්‍රාහ්මණ තෙමේ ඇය ව මෙහෙසිය කොටගෙන නිතර ඇයගෙන් උපස්ථාන ලැබුවේ

26. මේ අනුරාධපුරයේ හය මසක් රාජ්‍යය කරවී ය. තිස් දෙකක් වූ බලතුන් හා කැමති පරිද්දෙන් වසනු කැමති

27. ඒ ක්ෂත්‍රීය වංශික අනුලා දේවිය වස දී නිලීය ව ඝාතනය කළා ය. (ඉන් පසු) අනුලා දේවි තොමේ ම හාර මාසයක් රාජ්‍යය කරවූවා ය.

28. මහාසිළු රජුගේ දෙවැනි පුතු වූ කූටකණ්ණතිස්ස නම් තෙමේ අනුලා දේවිය කෙරෙහි බිය ව

29. පලා ගොස්, පැවිදි ව, සුදුසු කල් එළඹි පසු ලත් බල ඇත්තේ මෙහි පැමිණ දුෂ්ට සිත් ඇති ඒ අනුලා බිසව ඝාතනය කොට

30. වසර විසි දෙකක් රාජ්‍යය කරවී ය. රජ තෙමේ සෑගිරියේ මහා උපෝසථාගාරය කරවන ලද්දේ ය.

31. ඒ උපෝසථාගාරයට ඉදිරියෙන් ගල් සෑය ද බැඳවී ය. හෙතෙමේ ඒ සෑගිරියේ බෝධි වෘක්ෂය ද රෝපණය කළේ ය.

32. දෙගංමැදිරිය අබියස තේලගාම විහාරය ද කරවීය. එහි ම වණ්ණක මාතිකා නම් මහ ඇළ ද කරවීය.

33. අම්බදුර්ග මහා වැව ද භයෝලුප්පල නම් වැව ද නුවර සත්රියන් උස පවුර ද දිය අගල ද කරවී ය.

34. මහා වස්තු ලැබ නොසන්සිඳුන අනුලා අදාහනය කරවා එතැනින් මඳක් බැහැර කොට මාළිගයක් කරවීය.

35. නගරයේ පදුමස්සර නම් වන උයන ද කරවී ය. මේ රජුගේ මව් දේවිය දන්තයන් ධෝවනය කොට බුදු සසුනේ පැවිදි වූවා ය.

36. රාජ කුලයට අයත් මාළිගා භූමියෙහි මව් භික්ෂුණින් වහන්සේට දන්තගෘහ නම් මෙහෙණවරක් කරවී ය. එහෙයින් එය (දන්තධෝවන නමින්) ප්‍රකට විය.

37. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුතු වූ භාතිකාභය නම් ක්ෂත්‍රිය තෙමේ විසි අට වසරක් රාජ්‍යය කරවී ය.

38. මහාදැළියා රජුගේ සහෝදරයා බැවින් ධාර්මික රජ තෙමේ භාතික රජු යැයි ලක්දිව ප්‍රසිද්ධ වී ය.

39. හෙතෙමේ ලෝවාමහාපායේ ප්‍රතිසංස්කරණ කරවී ය. මහාසෑයේ වේදිකා ද්විත්වය ද ථූපාරාමයේ උපෝසථාගාරය ද කරවී ය.

40. තමන්ට ලැබෙන අයබදු වැය කොට නගරය හාත්පස යොදුනක් මානය සිසාරා දෑ සමන්, සීනිද්ද මල් රෝපණය කළේය.

41. නර ශ්‍රේෂ්ඨ තෙමේ පිපිළිකඩ සිට ධුරච්ඡත්‍රය දක්වා සතරඟුල් බොල් සුවඳ මඩින් මහාසෑය

42. ආලේප කරවා එහි මනා කොට නටුවෙන් මල් වද්දවා සෑය මල් ගුහාවක් සේ කරවී ය.

43. නැවත ද අඟුල් බොල් රත් සිරියෙලින් සෑය ආලේප කරවා පෙර සෙයින් ම මල් ඇමිණවීම සිදු කළේ ය.

44. ඉක්බිති පියගැටපෙළ පටන් ධුරච්ඡත්‍රය දක්වා ම මල් රාශියක් විසුරුවා ඒ මල් රැසින් සෑය වැසී ය.