34 වන පරිච්ඡේදය

එකොළොස් රජුන්ගේ පුවත

45. (ඒ භාතිකාභය රජ තෙමේ) යන්ත්‍ර නගා සිටුවා අභය වැවේ ජලය ගෙන මහා සෑය පැන් පහසු කරවා ජල පූජාවක් කරවන ලද්දේ ය.

46. ගැල් සියයක මුතු ගෙනැවිත් තෙල් යොදා සියුම් වන සේ මැනැවින් අඹරා සුණු පිඬු කොට මහා සෑයේ හුණු පිරියම් කරවන ලද්දේ ය.

47. පබළුමය දැලක් කරවා එය මහා සැයේ පලඳවන ලද්දේ ය. එහි සන්ධිවල රනින් කරවන ලද කරත්ත රෝද ප්‍රමාණයේ නෙළුම් මල්

48. සවි කරවා, එහි මුතුවලින් කළ වැල් එල්ලා (වැල් කෙළවර) රනින් කළ නෙළුම් මල් එල්වා මහා සෑයට පූජා කරවන ලද්දේ ය.

49. රජු හට ධාතු ගර්භය තුළින් (රහතන් වහන්සේලා) සමූහ සජ්ඣායනයේ යෙදෙන හඬ අසන්නට ලැබුණි. (ඒ ධාතු ගර්භය) නො දැක නො නැගිටින්නෙමි යි අධිෂ්ඨාන කොට

50. (රජ තෙමේ) නැගෙනහිර වාහල්කඩ අසල නිරාහාරව ම වැතිර හුන්නේ ය. ස්ථවිරයන් වහන්සේලා දොරටුවක් මවා පා ඒ (රජ) තෙමේ ධාතු ගර්භය තුළට රැගෙන ගියහ.

51. ඒ රජ තෙමේ ධාතු ගර්භයේ සකල ශ්‍රී විභූතිය දැක එයින් නික්මුණේ, ඒ අයුරින් ම කරවූ සිතුවමින් (මහා සෑය) පිදී ය.

52. මධුගන්ධ නම් සුවඳින් ද පුන්කලසින් ද අඳුන් සිරියෙලින් ද එසේ ම මනෝ සිලාවෙන් ද

53. සෑ මළුවේ මනෝ සිලාවේ (මල් වැසි) වස්සවා ගොප් මස තෙක් (මල්) පිරුණු කල්හි (ඒ මත) මහනෙල් මල් මිටි තබා ද

54. මුළු මහත් සෑ මළුව පුරා සුවඳ මැටි පුරවා එහි සිදුරු සාදවා මහනෙල් මල් මිටි සිටුවීමෙන් ද

55. (එසේ ම) මහා සෑ මළුවේ වතුර බැස යන මාර්ගයන් අහුරා ගිතෙල් පුරවා නොයෙක් පට පිළීයෙන් කළ පහන් දැල්වීමෙන් ද

56. ඒ අයුරින් ම මී තෙල් ද (නැවත) තල තෙල් ද පුරවා ඒ අයුරින් ම පට පිළී වැටියෙන් දල්වන ලද බොහෝ පහන් සිළුවෙන් ද (පුදන ලද්දේ ය.)

57. ඒ ක්ෂත්‍රීය තෙමේ මෙසේ කී අයුරින් වෙන් වෙන් ව සත් වරක් බැගින් දාගැබ් පුජා කරවන ලද්දේය.

58. වර්ෂයක් පාසා නියම කොට උතුම් වූ හුණු පිරියම් මංගල්‍යය කරවන ලද්දේ ය. එසේ ම මහා බෝධියට බෝධි ස්නාන පූජා ය,

59. විසි අටක් වූ මහා වෙසක් පූජා ය, නොමහත් වූ අසූහාර දහසක් පූජා ය,

60. නා නා විධ නැට්ටුවන් විසින් කරවන ලද නර්තනයන් ය නා නා විධ තූර්ය වාදනයන් ය යන මහා පූජාවන් ශ්‍රද්ධාවෙන් යුතු ව (රජ තෙමේ) මහා සෑය උදෙසා කරවී ය.

61. දවසට තුන් වරක් ම බුද්ධෝපස්ථානයට පැමිණියේ ය. තෙමේ ම නියම කොට දෙවරක් මල් පූජාවනට බෙර හැසිරවී ය.

62. පෙරහැර දානය ද පවාරණ දානය ද නියම කොට තෙල් ද පැණි ද වස්ත්‍ර ද යන ශ්‍රමණයනට සුදුසු වූ පරිෂ්කාරයන්

63. බොහෝ කොට සංඝයා වහන්සේලාට දුන්නේ ය. ඒ ක්ෂත්‍රීය තෙමේ මහා සෑයේ අලුත්වැඩියාවන් පිණිස මහා සෑයට කෙත්වතු ද පූජා කළේ ය.

64. ඒ (භාතිකාභය) රජ තෙමේ සෑගිරි වෙහෙරේ භික්ෂූන් වහන්සේලා දහස්නමකට සෑම කල්හි ම සලාක බත් දානය දුන්නේ ය.

65. හෙතෙමේ චිත්ත ප්‍රාසාදය, රත්න ප්‍රාසාදය, මුචල ප්‍රාසාදය යන උපස්ථාන ප්‍රාසාද තුනෙහි ද එසේ ම මනෝරම්‍ය වූ පද්මඝර හා ඡත්ත යන ප්‍රාසාදයන්ගේ ද

66. යන පස් තැන්හි නිති ධර්ම ගෞරවයෙන් යුතු ව ග්‍රන්ථ ධුරයෙහි යුතු භික්ෂූන් වහන්සේලා ව වළඳවමින් ප්‍රත්‍යයෙන් උපස්ථාන කළේ ය.

67. පුරාණ රජ දරුවන් විසින් නියම කරන ලද ශාසනය පිළිබඳ යම් කිසි පුණ්‍ය කර්මයන් වී ද ඒ සියල්ල භාතික රජ තෙමේ ඉටු කරන ලද්දේ ය.

68. ඒ භාතිකාභය රජුගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ මහාදැළියා මහානාග නම් රජ තෙමේ රාජ්‍යය කරවී ය.

69. නා නා පින්කම් පරමාර්ථ කොට (හෙතෙමේ) දොළොස් අවුරුද්දක් පුරා (රජ කරමින්) මහා සෑ මළුවේ කිඤ්ජක්ඛ නම් ගල් ද අතුරන ලද්දේ ය.

70. සෑ මළුව විශාල කරවා වැලි මළුවක් ද කරවන ලද්දේ ය. ලක්දිව සියලු විහාරයන්හි ධර්මාසනයන් ද කරවී ය.

71. ඒ රජ තෙමේ අම්බස්තල සෑය කරවන ලද්දේ ය. (එහි) ගෙපළ බිඳ වැටෙන විට මුනිරජාණන් වහන්සේගේ ගුණ ම සිහි කරමින්

72. තමන් එහි වැතිර තම ප්‍රාණය පූජා කොට එහි බැම්ම නිශ්චිත ව පිහිටවා සෑය නිම කරවන ලද්දේ ය.

73. එහි සතර fදාරටුවේ දක්ෂ ශිල්පීන් විසින් නා නා විධ මැණික්වලින් කරවන ලද මැණික් කණු හතරක් තැබ්බ වී ය.

74. නා නා විධ මැණික්වලින් කළ කංචුකයක් සෑයේ පලඳවා රන් බුබුළු ද එල්වෙන මුතු දැල් ද තැබ්බ වී ය.

75. සෑගිරි පර්වතය අවට යොදුනක් පමණ දුර සරසවා හාත්පස මනා වීථි ඇති සතර දොරටුවක් ද කරවී ය.

76. වීථි දෙපස සල්පිල් කරවා, ධජ, මල් කරඬු, තොරණ් ආදියෙන් ඒ ඒ තැන සරසවා

77. හාත්පස පහන් මාලාවෙන් ආලෝකවත් කරවා, නැටුම් ශිල්පීන් ලවා නැටුම් ගැයුම් වාදන ද කරවී ය.

78. කොළොම්ඔය පටන් සෑගිරිය තෙක් මාර්ගයේ දොවන ලද පාවලින් යා හැකි ලෙස ඇතිරිලි ද කරවී ය.

79. එහි නැටුම් ගැයුම් වාදන සහිත සැණකෙළි ද වී ය. නගරයේ සතර දොරටුවේ මහා දන් ද දෙන ලද්දේ ය.

80. මුළු ලක්දිව ම නිරතුරුව ම පහන් මාලාවෙන් ආලෝකවත් කළේ ය. හාත්පස යොදුනක් දුර මුහුදු දියෙහි ද ඒ (පහන්වැට) පැවැත්වී ය.

81. ඒ රජු විසින් (අම්බස්තල) මහා සෑයට කරවන ද ඒ මනා වූ, උදාරතර වූ පූජාව ‘ගිරිභාණ්ඩ මහා පූජාව’ යැයි කියනු ලබන්නේ ය.

82. ඒ පූජාව පිණිස වැඩම කළ භික්ෂූන් වහන්සේලාට රජ තෙමේ අට තැනක දන් පොළවල් පිහිටුවා,

83. ඒ අට තැන්හි තබ්බවන ලද රන් බෙර අටක් ගස්සවා (භික්ෂූන් වහන්සේලා) විසිහතර දහසකට මහා දන් පැවැත්වී ය.

84. සය වතාවක් තුන් සිවුරු දුන්නේ ය. බැඳ දමන ලද සත්වයන් නිදහස් කරවී ය. සතර දොරටුවේ සෑම කල්හි ම කරණවෑමියන් ලවා කෙස් රැවුල් කැප්පවී ය.

85. පෙර රජවරුන් විසින් පවත්වන ලද්දා වූ ද එසේ ම තම සොහොයුරා විසින් කරවන ලද්දා වූ ද සියලු පින්කම් ඒ රජ තෙමේ කරවන ලද්දේ ය.

86. සංඝයා වහන්සේලා විසින් වළකනු ලබද්දී ද තමා ද දේවිය ද පුත්වරුන් දෙදෙනා ද මඟුල් ඇතු ද මඟුල් අසු ද රජ තෙමේ සංඝයා වහන්සේලාට දාසයන් ලෙස දුන්නේ ය.

87. හෙතෙමේ භික්ෂු සංඝයාට හය ලක්ෂයක් අගනා වූ ද භික්ෂුණී සංඝයාට ලක්ෂයක් අගනා වූ ද (පිරිකර දුන්නේ ය.)

88. කරුණු කාරණා ගැළපීමේ දක්ෂ වූ රජ තෙමේ නොයෙකුත් කැපසරු භාණ්ඩ (සංඝයා වහන්සේලාට) ලබා දී තමනුත්, සෙස්සනුත් සංඝයා වහන්සේලාගෙන් මුදවා ගත්තේ ය.

89. රජ තෙමේ (රුහුණු ජනපදයේ) කාලායන නම් කඳු මුදුනේ මිණිනාග පර්වතය නම් විහාරයක් ද කළන්ද නම් විහාරයක් ද කරවී ය.

90. කුබුක්කන්දන ඔය ඉවුරේ සමුද්‍ර විහාරය නම් විහාරය ද (රුහුණේ ම) හුවාව නම් කඳු මුදුනේ චූලනාග පර්වත නම් විහාරය ද කරවී ය.

91. ක්ෂත්‍රීය තෙමේ තමන් විසින් කරවන ලද පාසාණදීපක නම් විහාරයේ දී තමන්ට පැන් ගෙනවුත් දුන් සාමණේරයන් වහන්සේගේ

92. සංවර ඇවතුම් පැවතුම් කෙරෙහි පැහැදී හාත්පස යොදුන් භාගයක් සාංඝික කොට විහාරයට දුන්නේ ය.

93. එසේ ම ක්ෂත්‍රීය තෙමේ මණ්ඩවැව විහාරයේ දී සාමණේරයන් වහන්සේනමක් කෙරෙහි සතුටු වූයේ විහාරය ද සාංඝික කොට දුන්නේ ය.

94. මෙසේ මහා නුවණැත්තෝ බොහෝ සම්පත් ලැබ මදයත්, ප්‍රමාදයත් යන දෙකින් තොරව එසේ ම කාමාශාවෙන් ද තොර ව ජනයාට පීඩා නො කොට පුණ්‍ය කර්මයන්ගේ ඇලී වසන්නේ විපුල වූ විවිධ වූ පුණ්‍ය කර්මයන් මනා කොට පැහැදුනු සිතින් ම කරත්.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘එකොළොස් රජුන්ගේ පුවත’ නම් වූ තිස් හතර වන පරිච්ඡේදය නිම විය.)