35 වන පරිච්ඡේදය

දොළොස් රජවරුන්ගේ පුවත

01. මහාදැළියා (මහානාග) රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් ආමණ්ඩගාමණී අභය රජ තෙමේ වසර නවයකුත් මාස අටක් රාජ්‍යය කළේ ය.

02. (හෙතෙමේ) මනෝරම්‍ය වූ මහාසෑයේ ඡත්‍රය මතුපිටින් (තවත්) ඡත්‍රයක් කරවී ය. එහි පාද වේදිකාව ද මුදුන් වේදිකාව ද කරවී ය.

03. ඒ අයුරින් ම ලෝවාමහාපායේ ද ථූපාරාමයේ පොහොය ගෙයි ද ඇතුල් මිදුල හා ඇතුල් ආලින්දය කරවී ය.

04. (ඒ) දෙතැන ම මනා වූ මැණික් මණ්ඩප කරවී ය. රජ තෙමේ රිදී ලෙන් විහාරය ද කරවී ය.

05. පින් කිරීමෙහිලා දක්ෂ වූ හෙතෙමේ දකුණු දිගින් මහාගාමණ්ඩ වැව කරවා දක්ෂිණ විහාරයට දුන්නේ ය.

06. රජ තෙමේ මුළු ලක්දිව ම (සතුන් නොමරනු යැයි) මාඝාත ආඥාව පැනවී ය. ඵල උපදවනා සියල්ල ඒ ඒ තැන රෝපණය කරවා

07. ඒ රජ තෙමේ මස් වැනි රතු පැහැති ආමණ්ඩියවලින් (පැණිකොමඩුවලින්) පාත්‍ර පුරවා, වස්ත්‍රයන්ගෙන් දරඬු තනවා,

08. අතිශයින් පහන් වූ සිතින් යුතු ව සියල්ල සංඝයා උදෙසා පූජා කරන ලද්දේ ය. මෙසේ පාත්‍ර පුරවා (ආමණ්ඩිය) දුන් නිසා ඔහු ආමණ්ඩගාමණී යැයි ලෝ ප්‍රකට විය.

09. ඔහුගේ මලණුවන් වූ කර්ණරජානුතිස්ස ක්ෂත්‍රිය තෙමේ සහෝදරයා ව මරා දමා තුන් අවුරුද්දක් නගරයේ රාජ්‍යය කරවී ය.

10. හෙතෙමේ සෑගිරි වෙහෙරේ උපෝසථාඝරයේ අධිකරණ විනිශ්චය කළේ ය. (එයින් කිපුණු) භික්ෂූන් වහන්සේලා හැටනමක් ‘රජු මරන්නෙමු’ යි සූදානම් වූහ.

11. ඒ සොර සිත ගිවිස ගත් රජ තෙමේ ඒ දුසිල්වත් වූවන් සෑගිරියේ කණීර නම් ප්‍රපාතයෙන් පහළට දැම්මවී ය.

12. කර්ණරජානු රජුගේ ඇවෑමෙන් ආමණ්ඩගාමණී රජුගේ පුත් වූ චූලාභය ක්ෂත්‍රිය තෙමේ අවුරුද්දක් රාජ්‍යය කළේ ය.

13. ඒ රජ තෙමේ නුවරින් දකුණුදිග ගෝණක ගං ඉවුරේ චූලගල්ල විහාරය කරවී ය.

14. ඒ චූලාභය රජුගේ වූ ඇවෑමෙන් ඔහුගේ නැගෙණිය වූ, ආමණ්ඩගාමණී රජුගේ දියණිය වූ සීවලී කුමරිය මාස හතරක් රාජ්‍යය කරවූවා ය.

15. ඒ ආමණ්ඩගාමණී රජුගේ බෑණනු තෙමේ සීවලී කුමරිය ව පහ කරවා තමන් ඉලනාග නමින් නුවර සේසත් නැංගවී ය.

16. රජ තෙමේ රජ පැමිණි අවුරුද්දේ (ජල ක්‍රීඩා පිණිස) තිසා වැවට ගිය කල්හි (එහි ගිය) ලම්භකර්ණ වංශිකයෝ ඔහු ව එහි හැර දමා නගරයට පැමිණියෝ ය.

17. රජ තෙමේ ඔවුන් එහි නො දැක කිපුණේ තමන් විසින් වැවේ සිට මහා සෑය දෙසට යන්නට මාර්ගයක් ඔවුන් ලවා කරවී ය.

18. එය කරනවා දැයි විචාරන්නට සැඩොල් මිනිසුන් තැබ්බවී ය. එයින් කිපුණු ලම්භකර්ණ වංශිකයෝ සියලු දෙනා එකට එක් ව

19. රජ තෙමේ ව අල්වාගෙන ඔහුගේ ගෘහයේ ම සිර කොට තබා තමන් රාජ්‍යය විචාළෝ ය. එවිට රජුගේ දේවි තොමෝ තමන්ගේ

20. පුතු වූ චන්ද්‍රමුඛ සිව නම් කුමරු සරසවා කිරි මවුන් අත තබා මඟුල් ඇතු සමීපයට

21. හසුන් දී යැව්වා ය. ඒ කිරි මවුන් කුමරු එහි ගෙන ගොස් දේවියගේ සන්දේශයේ වූ සියල්ල කිව්වෝ ය.

22. “මෙතෙමේ ඔබගේ ස්වාමියාගේ පුතණුවන් ය. ස්වාමි තෙමේ සිරගෙයි සිටින්නේ ය. මේ කුමරුන් සතුරන් විසින් මරා දමනවාට වඩා ඔබ විසින් මරා දැමීම උතුම් ය.

23. එනිසා ඔබ ම මොහු ව මරන්න. මේ දේවියගේ වචනය යි.” (ඔවුහු මෙසේ සන්දේශය කියා) ඒ කුමරු ඇතු පාමුල තැබූහ.

24. ඒ ඇත් තෙමේ දුක් වූයේ හඬා වැළපී ඇත්හළ බිඳගෙන ඇතුල් මිදුලට පිවිස රජවාසල දොරටු බිඳ හෙළා පෙරලා දැමුවේ ය.

25. රජු හුන් තැන දොරටුව ගලවා රජු පිට උඩ තබාගෙන මාතොටට පැමිණියේ ය.

26. එහි දී ඇත් රජු තෙමේ රජු ව නැව් නංගවා බටහිර මුහුදු තීරය ඔස්සේ ගොස් තමන් මලය රටට ගියේ ය.

27. තුන් වසරක් එතෙර වාසය කළ (ඒ ඉලනාග) ක්ෂත්‍රිය තෙමේ බලසෙන් රැගෙන නැව් නැගී රුහුණට පැමිණියේ ය.

28. හකුරුහෙබ නම් වූ තොටුපළින් ගොඩ බට රජ තෙමේ ඒ රුහුණේ මහත් වූ බල සේනාවක් සාදා ගත්තේ ය.

29. ඒ රජුගේ මඟුල් ඇත් තෙමේ ඔහුගේ කටයුතු කරනු පිණිස මලය රට සිට දකුණුදිග රුහුණට පැමිණියේ ය.

30. ජාතක කථාවන්ගෙන් ධර්මය දේශනා කරන මහා පදුම නම් මහා ස්ථවිරයන් වහන්සේනමක් තුලාධර පර්වතයේ වැඩ සිටියේ, උන්වහන්සේ වෙතින්

31. කපි ජාතකය අසා (රජ තෙමේ) බෝසතාන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තේ ය. දුනුදිය ඉවත් කළ දුනුදඬු සියයක ප්‍රමාණයෙන් නාග මහා විහාරය

32. කරවා ස්ථූපය ද තිබූ සැටියෙන් ම වැඩි දියුණු කළේ ය. තිසා වැව ද එසේ ම දූරතිස්ස වැව ද කරවී ය.

33. බලසේනා රැස් කර ගත් රජ තෙමේ යුද පිණිස නික්මුණේ ය. ඒ ඇසූ ලම්භකර්ණ වංශිකයෝ ද යුද්ධයට නික්මුණෝ ය.

34. කබල්කඩ දොරටුවේ හකුරපිටි කෙතේ දී ඔවුනොවුන් පෙළා ගන්නා මහා යුද්ධය වී ය.

35. නැව් ගමනින් වෙහෙසට පත්ව, ක්ලාන්ත ව ගිය දේහ ඇති රජුගේ පිරිස පසුබසින්නට වූහ. එවිට රජ තෙමේ (“මම ඉලනාග වෙමි.” යි) තම නම ඇසෙන්නට සලස්වමින් තමන් ම එහි පිවිසියේ ය.

36. එයින් බියපත් ලම්භකර්ණ වංශිකයෝ මුනින් වැටුනහ. (රජු තමන්ගේ) රථයේ නැබ තෙක් ඔවුන්ගේ හිස් සිඳ ගොඩගස්වන ලද්දේ ය.

37. තුන්වරක් මෙසේ කළ පසු රජ තෙමේ කරුණාව උපදවා “නො මරා පණපිටින් අල්වා ගනු” යැයි කී ය.

38. ඉන් පසු, දිනූ සංග්‍රාම ඇති රජ තෙමේ නුවරට පැමිණ ඡත්‍ර නංවා, තිසා වැවේ ජල ක්‍රීඩා පිණිස ගියේ ය.

39. ජල ක්‍රීඩාවෙන් නැගී සිට මනා කොට හැඳ පැලඳියේ තමන්ගේ ශ්‍රී සම්පත්තිය දැක, ඊට අනතුරු කරවූ

40. ලම්බකර්ණයන් සිහි කොට කිපුණේ රථය (අදිනු) පිණිස (ඔවුන්) යෙදෙව්වේ ය. ඔවුන් දෙදෙනා බැගින් (රථයේ බන්දවා) පෙරටු කොටගෙන නුවරට පිවිසියේ ය.

41. රජවාසල එළිපත්තේ සිට ඒ රජ තෙමේ “මොවුන්ගේ හිස් මේ එළිපත්තේ දී ම සිඳිනු.” යැයි අණ කළේ ය.

42. “මේ වනාහී රථයේ යොදවනු ලැබූ ගොන්නු ය. එනිසා උන්ගේ අං ද කුර ද සිඳිනු මැනැවි.” යි

43. රජුගේ මෑණියෝ දන්වන ලද්දී ය. (එයින්) හිස සිඳීම වැළකී, ඔවුන්ගේ නාසා ද පා ඇඟිලි ද රජ තෙමේ කපා දැමුවේ ය.

44. ක්ෂත්‍රිය තෙමේ මඟුල් ඇතු වාසය කළ ජනපදය ඒ ඇතුට ම දුන්නේ ය. ඒ නිසා එය හත්ථිභෝග ජනපදය නම් වී ය.

45. මෙසේ ඉලනාග ක්ෂත්‍රිය තෙමේ අඩු නැති ව සය වසරක් ම රාජ්‍යය කරවී ය.

46. ඒ ඉලනාග රජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමරු වූ චන්ද්‍රමුඛ සිව රජ තෙමේ වසර අටකුත් මාස හතක් රාජ්‍යය කරවී ය.

47. ඒ රජ තෙමේ මණිකාරගම වැව කරවන ලද්දේ ය. හෙතෙමේ එය ඉසුරුමුනි විහාරයට පිදුවේ ය.

48. ඒ රජුගේ මෙහෙසිය දෙමළ දේවි නමින් ප්‍රසිද්ධ වූවා, ඒ ගමෙන් තමන්ට ලැබෙන ආදායම ද ඒ විහාරයට ම පිදුවා ය.

49. තිසා වැවේ ජල ක්‍රීඩා පිණිස ගිය චන්ද්‍රමුඛ සිව තෙමේ ව ඔහුගේ මලණුවන් වූ යසලාලක තිස්ස නමින් ප්‍රසිද්ධ වූ කුමරු විසින් ඝාතනය කරන ලද්දේ ය.

50. ලක් පොළවේ මුහුණ බඳු වූ, යහපත් වූ, මනෝරම්‍ය වූ අනුරාධපුරයේ ඒ රජ තෙමේ වසර හතකුත් අට මාසයක් රාජ්‍යය කරවී ය.

51. ඔහුගේ දොරටුපාලයා වූ දත්තට රජු හා සමාන රූපය ඇති, ‘සුභ’ නමින් ප්‍රසිද්ධ වූ පුතෙකු සිටියේ ය.

52. ඒ රජ තෙමේ කවටකම් පිණිස සුභ නම් දොරටුපාලයා රාජ ශ්‍රී විභූතියෙන් සරසවා පර්යංකයේ හිඳුවා

53. දොරටුපාලයාගේ හිස් වෙළුම තම හිසේ පැලඳගෙන, යෂ්ටිය අතට ගෙන තෙමේ දොරටුව මුල සිටියේ ය.

54. ආසනයේ හිඳින ඔහුට අමාත්‍යවරු වඳිනු දැක රජ තෙමේ සිනාසේ. ඒ රජ තෙමේ වරින් වර මෙසේ කෙරෙයි.

55. එක් දිනක් දොරටුපාල තෙමේ රජු සිනහ පහළ කරනු දැක, ‘මේ දොරටුපාල තෙමේ මා ඉදිරියේ සිනාසෙන්නේ ය’ යි

56. රජු ව මරා දැමුවේ ය. ඒ සුභ නමැති දොරටුපාල තෙමේ සුභ රජු යැයි ප්‍රකට ව සය අවුරුද්දක් රාජ්‍යය කරවූයේ ය.

57. සුභ රජ තෙමේ (මහා විහාරය සහ අභයගිරිය යන) මහා විහාර ද්විත්වයේ සුභරාජ නාමයෙන් ම යුතු මනෝරම්‍ය වූ පිරිවෙන් දෙකක් කරවී ය.

58. එසේ ම, උරුවේලාව සමීපයේ වල්ලි විහාරය ද නැගෙනහිර එක්දොර විහාරය ද ගං තෙර නන්දි ග්‍රාමය ද කරවී ය.

59. උතුරු පෙදෙසේ විසූ, ලම්බකර්ණ වංශික වූ වසභ නම් එක් පුත්‍රයෙක් තම මාමණ්ඩිය වූ සෙන්පතියෙකු හට (අනුරාධපුරයේ හිඳ) සේවය කළේ ය.

60. (එකල්හී) වසභ නම් වූ පුරුෂයෙකු මතු රජ පැමිණෙන බවට (අනාවැකි) අසා (සුභ) රජ තෙමේ ලක්දිව වසභ නම ඇති සියලු දෙනා ව මරන්නට පටන් ගත්තේ ය.

61. රජුට (තමන් සමීපයේ සිටින) ‘වසභ තෙමේ ව දක්වමි’ යි තම බිරිඳ හා මන්ත්‍රණය කොට ගත් සෙන්පති තෙමේ රජගෙදරට ගියේ ය.

62. (සෙන්පති බිරිඳ) ඔහු කැටුව යන වසභ මනා කොට රකිනු පිණිස ඔහු අතට හුණු නොමැති බුලත්විට දුන්නී ය.

63. රජගෙදර දොරටුව ළඟ දී සෙන්පති තෙමේ බුලත් කෑමට බලන්නේ එහි හුණු නැති බව දුටුවේ ය.

64. සෙන්පති බිරිඳ තොමෝ හුණු පිණිස (ආපසු) පැමිණි වසභ හට රහස දන්වා (කහවණු) දහසක් දී එතැනින් පලා යන්නට සැලැස්වූවා ය.

65. මහා විහාරයට ගිය වසභ තෙමේ එහි විසූ තෙරුන් වහන්සේලාගෙන් කිරිබතින් ද වස්ත්‍රයෙන් ද සංග්‍රහ ලද්දේ

66. ඉන් පසු රජකම පිණිස කුෂ්ට රෝගියෙකුගේ වචනය අසා පැහැදුනේ, ‘සොරෙකු වන්නෙමි’ යි නිශ්චිත කොටගෙන

67. ඉනික්බිති ගම් පහරන්නට හැකි මිනිසුන් ලැබ රුහුණට ගොස්, ආප්පයක කොණ පටන් අනුභව කරන න්‍යාය අනුගමනය කරමින්

68. ක්‍රමයෙන් රට අල්වා ගනිමින් බලසේනා සම්පත් ලැබ දෙවසරක දී (අනුරාධපුර) නගරයට පැමිණ

69. යුද්ධයෙන් සුභ රජු ව මරා දැමුවේ ය. මහත් බල ඇති වසභ තෙමේ (අනුරාධපුර) නගරයේ ඡත්‍ර නැංවී ය. යුද්ධයේ දී මාමණ්ඩිය වූ සෙනෙවි තෙමේ ද මැරුම් කෑවේ ය.

70. තමන්ට පෙර කළ උපකාරයට සැලකීමක් ලෙස තම මාමණ්ඩියගේ මෙත්තා නම් වූ බිරිඳ වසභ රජ තෙමේ තම මෙහෙසිය කර ගන්නා ලද්දේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස කරවන ලද මහාවංශයේ ‘දොළොස්රජුන්ගේ පුවත’ නම් වූ තිස් පස්වන පරිච්ඡේදයේ කොටසකි.)