37 වන පරිච්ඡේදය

01. ජෙට්ඨතිස්ස රජුගේ ඇවෑමෙන් ඔහුගේ මලණුවන් වූ මහසෙන් රජ තෙමේ විසි හත් වසරක් රාජ්‍යය කරවීය.

02. කාලය දැනගත් සංඝමිත්‍ර තෙමේ ඔහුගේ අභිෂේකය කරවන්නට පිටරට සිට මෙහි පැමිණියේ ය.

03. ඔහුගේ අභිෂේකය කරවා, අන්‍ය වූ විවිධ කෘත්‍යයන් ද කරවා, මහාවිහාරය විනාශ කරනු කැමති වූ ඒ නොහික්මුණු (සංඝමිත්‍ර) තෙමේ

04. “රජතුමනි, අපි වනාහී විනයවාදීහු ය. මහාවිහාරවාසීන් අවිනයවාදීහු ය.” යි මෙසේ රජු ව (දෘෂ්ටි) ගැන්වූයේ ය.

05. “මහාවිහාරවාසී භික්ෂුවකට දානයක් දුනහොත් ඔහු හට (කහවණු) සියයක දඩයකි.” යි රජ තෙමේ දඬුවමක් පැනවූයේ ය.

06. උපද්‍රවයට පත් ඒ මහාවිහාරවාසී භික්ෂූන් වහන්සේලා මහාවිහාරය අත් හැර කඳුරටත්, රුහුණු රටත් බලා ගියහ.

07. මේ නිසා මහාවිහාරය නව වසරක් අත් හැර දමා තිබුණේ ය. මහාවිහාරය නේවාසික භික්ෂූන් වහන්සේලාගෙන් හිස් විය.

08. ඒ දුර්මත ඇති සංඝමිත්‍ර තෙමේ “අස්වාමික වූ වස්තුව පෘථිවිපාලකට (අයිති) වන්නේ ය.” යි රජු ව දුර්මත ගැන්වී ය.

09. (මෙසේ) මහාවිහාරය නසන්නට රජුගෙන් අනුමැතිය ලද්දා වූ, දුෂ්ට සිත් ඇති ඒ (භික්ෂු) තෙමේ එසේ කරන්නට මිනිසුන් යෙදෙව්වේ ය.

10. සංඝමිත්‍ර තෙරුන්ගේ සේවකයෙකු වූ, රජුගේ කුළුපග වූ, දරුණු වූ සෝණ ඇමතියා ද ලැජ්ජා රහිත වූ භික්ෂූන් ද

11. උතුම් වූ ලෝවාමහාප්‍රාසාදය බිඳුවා, නානාප්‍රකාර (විහාර) ගෙවල් බිඳ මෙතැනින් අභයගිරියට ගෙන ගියහ.

12. මහාවිහාරය බිඳුවා ගෙනගිය පහයන්ගේ උපකරණයන්ගෙන් කරවන ලද අභයගිරියේ ප්‍රාසාද බොහෝ වී ය.

13. පාපමිත්‍ර වූ සංඝමිත්‍ර තෙරුනුත්, සෝණ නම් සේවකයාත් තමන් සමීපයට පැමිණීමෙන් ඒ රජ තෙමේ බොහෝ පවු රැස් කළේ ය.

14. පාචීනතිස්ස පර්වත විහාරයේ තිබූ ඒ මහා ශෛලමය ප්‍රතිමාව ගෙන්නවා රජ තෙමේ අභයගිරියේ පිහිටෙව්වේ ය.

15. පිළිමගෙයත්, බෝධිගෘහයත්, මනරම් වූ ධාතු මන්දිරයත්, චතුශ්ශාලාවත් කරවා කුක්කුටගිරි පිරිවෙන් පෙළ ද පිළිසකර කරවී ය.

16. සංඝමිත්‍ර තෙරුන් වහන්සේගේ දරුණු ක්‍රියා නිසාවෙන් එකල්හී අභයගිරි විහාරය දර්ශනීය ලෙස දිස් විය.

17. රජුගේ සියලු යහපත කැමැති මේඝවර්ණාභය නම් යහළු ඇමතිවරයෙක් මහාවිහාරය නැසීම නිසා (රජු හා) කිපුණේ ය.

18. මොහු කැරලිකරුවෙකු ව කඳුරටට ගොස් මහා බල සෙන් පිරිවරාගෙන පැමිණ දුරතිස් වැවෙහි කඳවුරු බැන්දේ ය.

19. ඒ රජ තෙමේ යහළුවා පැමිණි බව අසා යුද්ධය පිණිස පෙරමුණට ගොස් කඳවුරු බැඳ ගත්තේ ය.

20. කඳුරටින් මනා වූ බීමක් ද මසක් ද ලද යහළු තෙමේ ‘රජු සමඟ මිස නො කමි.’ යි සිතුවේ ය.

21. එය තමන් ම රැගෙන, රාත්‍රියේ තනිව නික්මී රජු සමීපයට ගොස් ඒ පුවත දැන්වී ය.

22. ඔහු කෙරෙහි විශ්වාස ඇත්තේ ඔහු විසින් ගෙනෙන ලද්ද (රජු) අනුභව කළේ ය. “ඔබ මට එරෙහි ව කැරලි ගැසුවේ කවර හෙයින් ද?” යි රජු විමසුවේ ය.

23. “ඔබ විසින් මහාවිහාරය නැසූ නිසා ය.” යි හේ කීවේ ය. (රජ තෙමේ) “විහාරය පිහිටුවන්නෙමි. මගේ වරදට සමා කරව.” යි කීවේ ය.

24. රජු මෙසේ කී පසු හෙතෙමේ ද රජුගෙන් සමාව ගත්තේ ය. ඔහු විසින් (කළ යුතු නිවැරදි දේ) හඟවන ලද රජ තෙමේ පෙරලා නගරයට පැමිණියේ ය.

25. ඒ මේඝවර්ණාභය තෙමේ රජුට මෙසේ හඟවා (මහාවිහාරය යළි කරවීමට) වුවමනා උපකරණ (රැස් කරනු) පිණිස නො ගොස් රැඳුනේ ය.

26. එක් ලියන්නෙකුගේ දියණියක වූ රජුගේ එක් ඉතා කුළුපග බිරිඳක් මහාවිහාරය නසාලීම ගැන දුකට පත්ව, ඒ විනාශය කරවූ

27. තෙරුන් කෙරෙහි කිපී, (තෙරුන්) මරවන්නට වඩුවෙකු හට සංග්‍රහ කරවූවා ය. ථූපාරාමය විනාශ කරන්නට පැමිණි, දුෂ්ට සිත් ඇති

28. දරුණු ක්‍රියා කරවූ සංඝමිත්‍ර තෙරුන් ව මරා, දරුණු ක්‍රියා කළ නොහික්මුණු සෝණ ඇමතියා ද ඝාතනය කළේ ය.

29. මේඝවර්ණාභය තෙමේ ද්‍රව්‍ය සම්භාරයක් ගෙනවිත් මහාවිහාරයේ නොයෙක් පිරිවෙන් කරවූයේ ය.

30. අභය නම් හෙතෙමේ භය සන්සිඳවූ කල්හි භික්ෂූන් වහන්සේලා ඒ ඒ දිගින් පැමිණ මහාවිහාරයේ වැඩ වාසය කළහ.

31. රජ තෙමේ මහා බෝධිගෘහයෙන් බටහිර දිශාවේ ලෝහ රූප දෙකක් කරවා තබන ලද්දේ ය.

32. දක්ෂිණාරාමවාසී, කුහක වංක සිත් ඇති පාපමිත්‍ර වූ නොහික්මුණු තිස්ස තෙරුන් වහන්සේ කෙරෙහි රජුගේ සිත පැහැදුනේ ය.

33. මහාවිහාරයේ සීමාවක් වූ ජෝති නම් උද්‍යානයේ ජේතවන විහාරය (අන්‍යයන් විසින් වළක්වද්දී ම ඒ භික්ෂුව වෙනුවෙන්) කරවන ලද්දේ ය.

34. ඉක්බිති ඒ තෙමේ සීමාව ඉවත් කරන්න යැයි සංඝයාගෙන් ඉල්ලා සිටියේ ය. එය නො දෙනු කැමති වූ භික්ෂූන් වහන්සේලා විහාරයෙන් පලා ගියහ.

35. අනෙකෙකු විසින් ඒ සීමාව ඉවත් කරලීම වළක්වන්නට භික්ෂූන් වහන්සේලා කීපනමක් (සීමාවේ) ඒ ඒ තැන සැඟවී සිටියහ.

36. මෙසේ මාස නවයක් පුරා මහාවිහාරය භික්ෂූන් වහන්සේලාගෙන් හිස් විය. අන්‍ය භික්ෂූන් වහන්සේලා ‘සීමාව ඉවත් කළ යුතුයි.’ කියා සිතූහ.

37. මෙසේ සීමාව අවලංගු කරන ව්‍යාපාරය නිමා වූ හැටියේ ම (සැඟවී හුන්) භික්ෂූන් වහන්සේලා එහි පැමිණ (සීමාව අවලංගු කෙරෙන විනයකර්මයන් නිෂ්ඵල වූ බව දක්වමින්) මහාවිහාරයේ වැඩවාසය කළහ.

38. (ජේතවනාරාම) විහාරය පිළිගැනීම ගැන ඒ තිස්ස ස්ථවිරයන්ට සංඝයා මධ්‍යයේ පාරාජිකා ආපත්තියෙන් චෝදනා කෙරිණි.

39. විනිශ්චය ධාර්මික යැයි සම්මත වූ මහාමාත්‍යවරයෙකුට භාර විය. හෙතෙමේ රජුගේ අකැමැත්ත තිබිය දී ම ධර්මානුකූල ව ඒ (තෙරුන්ගේ) සිවුරු හැරවී ය.

40. ඒ රජ තෙමේ මින්නේරි විහාරය කරවී ය. දෙවොල නසා විහාරයන් තුනක් ද කරවී ය.

41. (ඒවා නම්) ගෝකණ්ණ විහාරය ය, ඒරකාපිල්ල විහාරය ය, බමුණුගම කලන්දක විහාරය ය. මිගගාම විහාරය ද

42. බටහිර දෙසින් ධාතුසේනගල විහාරය ද කරවී ය. තවද ඒ රජ තෙමේ කොක්වා ජනපදයේ ද මහා විහාරයක් කරවී ය.

43. රූපාරාම විහාරය ද සුළුපිටි විහාරය ද උත්තරඅභය හෙළේ භික්ෂුණී ආරාම දෙක ද කරවී ය.

44. කාළවේළක යකුගේ දෙවොලේ ස්ථූපයක් ද කරවන ලද්දේ ය. දිවයිනේ ජරාවාස වූ බොහෝ විහාර ද පිළිසකර කළේ ය.

45. දහසක් සංඝ ස්ථවිරයන් වහන්සේලාට දහසක් අගනා ස්ථවිර දානය ද සියලු දෙනා වහන්සේට ම වසරක් පාසා සිවුරු ද දුන්නේ ය.

46. දන් දුන් ආහාර පානාදියේ කෙළවරක් නො පැනවේ. හෙතෙමේ වැව් දහසයක් කරවා ආහාරපාන සුලබ කරවූයේ ය.

47. මින්නේරි මහවැව, ජල්ලූර වැව, බාහු නම් වැව, මාමිණි වැව, කෝකවාත වැව, මොනර වැව, පරක වැව,

48. කුම්බාලක වැව, වාහක වැව, රත්මල්කඩ වැව, තිස්සවඞ්ඪමානක වැව, වෙළංවිටිය වැව,

49. මාගල්ල වැව, සීරු වැව, මහාදාරගල්ල වැව, කළුගල වැව යනු මේ වැව් දහසය යි.

50. හෙතෙමේ ගංගාවෙන් පර්වතයට නමින් මහා ඇළක් ද කරවීය. මෙසේ ඒ (රජ) තෙමේ අති විශාල වූ පින් හා පවු ද රැස් කළේ ය.

(හුදී ජන පහන් සංවේගය පිණිස මහානාම මහා ස්ථවිරයන් වහන්සේ විසින් සුරචිත මහාවංශයේ පූර්වභාගය මෙසේ නිම විය.)