හාවංශය – සිංහලයේ වංශකථාව ලියා අවසන් ව සියවස් ගණනක් ගෙවී ගොසින්. මහාමේඝ පුවත් සඟරා පනස් පහක් පුරා අප විසින් එය සිංහල බසට පරිවර්තනය කොට පළ කරනු ලැබුවා. පසුගිය ඉල් කලාපයේ එසේ පළ කෙරුණේ මහාවංශයේ අවසන් භාගය යි. සිංහලයේ වංශකථාවට තවත් නම් පසුවදන් කුමට ද? එහෙත්… අද යුගයේ අවශ්‍යතාවය විසින් අප මහාවංශයට ද පසුවදනක් තැබිය යුතු තැනකට ගෙන ඇවිත්…

අප… වංශයක්, කුලයක්, ගෝත්‍රයක් මුල් කරගෙන පිල් බෙදීම හුරු නො කළ දහමක අනුගාමිකයන් ලෙසින් සියවස් ගණනාවක් ගෙවා දැමූවන්. සම සිතින්, සම මෙතින් සියලු ලෝ සතට දයාර්ද්‍ර වීම අපගේ ජීවන සම්ප්‍රදාය බවට පත් වූයේ එනිසාවෙන්. එවන් ජීවන සම්ප්‍රදායයක් උරුම වූ අපට අමුතුවෙන් වංශකථාවක් කුමට ද කියා සිතුණු අතීතයක් මේ ලිපිය සම්පාදනය කරන මට තිබුණා. ඇතැම් විට ඔබටත් තිබෙන්නට ඇති. තවමත් තිබෙනවා වන්නටත් පුළුවනි.

එදා මසිතේ ඇති වුණ පැනයට වයසින් වැඩී යත් ම මා ලද පිළිතුරු කිහිපයක් තිබුණා. රටක ඉතිහාසය සෑම කල්හි ම එරටේ අනාගතය වෙත පැහැදිලි ආයෝජනයක් වනවා. විශේෂයෙන් ම ඒ ඉතිහාසය ලොව කිසිවකට නොදෙවෙනි අද්විතීය බවක්, මානුෂීය බවක්, විශිෂ්ටත්වයක්, ශ්‍රේෂ්ඨත්වයක් සනිටුහන් කරන කල්හි එය අනාගතය උදෙසා සිදු කෙරුණු පැහැදිලි මඟ පෙන්වීමක් බවට ද පත් වනවා. බලහත්කාරකමින්, මුසාවන්ගෙන් ශිෂ්ටාචාරයක් වනසා දැමීම වළකාලන්නට ද එය ම උපස්ථම්භක වනවා.

ස්වකීය ඉතිහාසය වංශකථාවක් ලෙසින් කියවන්නට උරුමය ලද රටවැසියන් ලෝකයේ සිටින්නේ අල්පය යි. එයිනුදු අඛණ්ඩ, දීර්ඝ වංශකථාවක උරුමය සහිත රටක් වශයෙන් අප පෙරමුණේ ම සිටිනවා. පෙරදිග රටවල වීර කාව්‍යය සම්ප්‍රදායෙන් කල්පිතයත් – සැබෑවත් මුහු කරමින් ඉතිහාස පුවත් දිග හැරෙද්දී සිදු වූ ම සිද්ධි දාමයන් විස්තර කරමින් ඉතිහාස පුවතක් අප රට තුළ ලියැවී තිබීම අපූර්ව සිද්ධියක්. නමුත්… බුද්ධ රාජ්‍යයක් යනු අපූර්වතම රාජ්‍යයක්… බුදුරජාණන් වහන්සේනමක් යනු අතිශය විරල මනුෂ්‍ය රත්නයක්. බුද්ධ ශාසනයක චිර පැවැත්ම තහවුරු කරලන පින්බිමක් වීම යනු බොහෝ දුර්ලභ ලැබීමක්. ඒ සා දුර්ලභ වූ ශාසනික උරුමයක් ලැබීමට පවා අප වාසනාවන්ත වූ කල්හි… ලිඛිත ඉතිහාසයක් විසින් අතීතයේ සිට අප වෙත පණිවිඩ එවා තිබීම එතරම් පුදුමයක් ද නො වෙයි…

සම්බුදුරජාණන් වහන්සේලාගේ බසින් ලියැවුණු ඒ හෙළ බොදුනුවන්ගේ සිහනද, ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව – මහාවංශය පූර්ව භාගය මහාමේඝ පුවත් සඟරාව තුළ සරල සිංහල බසින් පරිවර්තනය කොට පළ කිරීම අප විසින් ආරම්භ කළේ ද මේ ඉතිහාසයේ පණිවිඩය කිසිදු අඩුවක් නො වී අනාගතය වෙතට සම්ප්‍රේෂණය කරවීම අපගේ වගකීමක් ලෙස සැලකූ නිසාවෙන්…

ලක්දිවට හිමි බෞද්ධ උරුමය යටපත් කරන්නට ප්‍රයෝග බොහෝ යොදනා පිරිස් සුලබ කල්හි ඒ හමුවේ නිද්‍රාශීලී ව හිඳිනා සියල්ලන්ගේ ඇස් අරවන්නට අපට කළ හැක්කේ ද අප කළ යුත්තේ ද පරමෝත්තම වූ ධර්මයක් විසින් ජාතියක් ලොව ශ්‍රේෂ්ඨත්වයට පත් කළ අයුර ලාංකේය ඉතිහාසයේ අරුණැල්ලේ දී ම අකුරු කළ මේ වංශකථාව සමාජගත කරවීම යි. එසේ කරන්නට ගන්නා මේ උත්සාහය නොයෙක් ආකාරවලින් වළක්වාලන්නට උත්සුක වන හෙළ බොදු උරුමයට එරෙහි බලවේග ඉදිරියේ නොසැලෙමින් මෙකී මෙහෙවර ඉටු කරන්නට අප ශක්තිමත් විය යුතු යි, ඒ ගතින් නො ව, සිතින්…

අද අප එය නො කළහොත්, වහා වහා නො කළහොත් එළඹෙන අනාගත අවදානම පිළිබඳ එක් කරුණක් පමණක් ඔබට මෙසේ දක්වන්නට අප කැමතියි.

මහනුවර යනු සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනෙනා දළදා මාලිගාව සුපිහිටි නගරය යි. බුදු මුවින් ගලා ආ, සියලු දුක් සන්සිඳුවන ශ්‍රී සද්ධර්මයේ නිර්මල පහස ලැබූ වාම ශ්‍රී දළදා වහන්සේ දෙව් මිනිසුන්ගේ පූජෝපහාර ලබමින් එහි වැඩ වාසය කරනවා. මහනුවර දළදා මාලිගයට නුදුරින් හින්දු ආගමිකයන්ට ද ඉස්ලාම් ආගමිකයන්ට ද ස්වකීය ආගමික කටයුතුවල යෙදීම පිණිස වෙන් වූ ස්ථාන තිබෙනවා. ඒවා කඩා බිඳ දමන්නට – විනාශ කරන්නට සිංහල බෞද්ධයන් කල්ලි ගැසෙන්නේ නැහැ. අන්‍යයන්ගේ ආගමික මතවාදයන් විවේචනය නොකිරීම, ඒවාට නොගැරහීම, ඔවුන් ද යහපත ම ලබත්වා කියා මුදිතාව දියුණු කිරීම අගයන දර්ශනයක් සිංහල බෞද්ධයන් සතු වීම යි එයට හේතුව. එහෙත් මේ වන විට යාපනය නගරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් වඩා හිඳුවා පූජෝපහාර දක්වන්නට, ආගමික කටයුතුවල නියැළෙන්නට අපට අවස්ථාව නැහැ. කාන්තන්කුඩි නගරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් වඩා හිඳුවන්නට සිතන්නටවත් නො හැකි යි. ධර්මයකට ජාතියක ශ්‍රේෂ්ඨත්වය ළඟා කරවිය හැකි බවත්, අධර්මයට අවිනයට එවැන්නක් කළ නො හැකි බවත් අප මෙයින් තේරුම් ගත යුතු වනවා…

අප සටහන් කළ මෙකරුණ පමණක් ම වුව අනාගත අර්බුදය කොතරම් ද යන්න යම් තරමකින් හෝ තේරුම් ගැනීමට ප්‍රමාණවත්. අද අපට ධර්මය ඇසෙන නිසාවෙන් ද ධර්මය කියා දෙන කලණ මිතුරු සංඝයා වහන්සේලා මුණගැසෙන නිසාවෙන් ද දහම් පොත්පත් දහම් වැඩසටහන් සුලබ නිසාවෙන් ද හෙට ඇති අනතුර එතරම් ප්‍රකට වන්නේ නැහැ. ඇතැම් විට ඒ අනතුර අපගේ ජීවිත කාලය තුළ නොඑළඹෙනු ද ඇති. එහෙත් අප අපේ දරුවන්ට මේ දහම, මේ චින්තනය, මේ ජීවන සම්ප්‍රදාය දායාද කළ යුතු නැති ද? මරණයෙන් මතු යළි මිනිස් ලොව උපතක් ලබා හෙළ දෙරණේ දරුවෙකු වන්නට අපට සිදු වුවහොත් එකල්හි දී මේ දහම, මේ චින්තනය, මේ ජීවන සම්ප්‍රදාය අපට අනවශ්‍යය ද?

සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම පිණිස මේ ථේරවාදී දහම් භාණ්ඩාගාරය සුරකින්නට දරනා වෑයමට ලොව විවිධාකාරයෙන් චෝදනා කළා කියා මේ බිමට උරුම වූ ඉතිහාසය වෙනස් වන්නේ නැහැ. එහෙත් ඔවුන් නොයෙක් ආකාරයන්ගෙන් චෝදනා කරන්නේ ය කියා අප නිහඬ වුවහොත් මෙබිම ගැන වෙනස් ම කථාන්දරයක් ලෝකය හමුවට එනු ඇති. තම දහම නොපිළිගන්නා සියල්ලන් මිථ්‍යා දෘෂ්ටිකයන් බවත්, ඔවුන් මරා දැමීමට ආගමේ නාමයෙන් අවසර ඇති බවත් පවසන කෲර නැගී සිටීම් විසින් ඒ ඒ දර්ශනයන් ලොව පහළවන්නට ද සියවස් දහයකට පමණ පළමු ලොව බිහි වූ සහ මෙබිම මුල් බැස ගත් සම්බුදුරජාණන් වහන්සේනමකගේ විශිෂ්ට දර්ශනය මඩින්නට යෙදිය හැකි සියලු උපක්‍රම යොදනු ඇති. ඒ සියලු පාපී බලවේග මැඩ පවත්වන්නට නම් අප දැනුමැත්තවුන් විය යුතු යි, අප ධර්මය තුළ පිහිටි සිතැත්තවුන් විය යුතු යි.

කාලයක් පුරා ඉතිහාසයේ පුරාවත ඔබ හමුවේ ලියා දක්වමින් මහාමේඝ අප දැරූ වෑයම තුළ වූයේ සසුන්ලැදි හෙළ ජනයා තුළ ඒ අභිමානනීය ඉතිහාසයේ පණිවිඩය නොමැකෙන ලෙස සනිටුහන් කිරීමේ අවශ්‍යතාවය. ඒ පණිවිඩය කිසිදු අඩුවක් නො කොට ඉදිරි පරම්පරාවන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවය. එහෙයින් ම තව බොහෝ කාලයක් සම්බුදු සසුන් කෙත ලොව ජීවමාන කරවීමේ අවශ්‍යතාවය.

අප අනුගත වූ දහමත්, අපට හිමි වූ ඉතිහාසයත් අතර අපූර්ව සබැඳියාවක් තිබෙනවා. මේ ඉතිහාසය ගොඩනැගී තිබෙන්නේ ඒ දහමෙන්. ඒ දහම සුරක්ෂිත කොට තිබෙන්නේ මේ ඉතිහාසයෙන්. සම්බුදුරජාණන් වහන්සේනමකගේ දහම ලොව සුරක්ෂිත වන්නේ, ප්‍රතිඵල ගෙනෙනු ලබන්නේ අනුගමනය කරන විටයි. අනුගමනය කරන්නට නම් අප ඒ දහම මැනැවින් දරා සිටිය යුතු වනවා. ඒ අයුරින් ම, ශ්‍රී සද්ධර්මය තුළින් ගොඩනැගුනා වූ – ශ්‍රී සද්ධර්මය සුරකින්නට ඇප කැප වුණා වූ ලාංකේය ඉතිහාසය ද අප විසින් දරා ගන්නේ යම් තරමකින් ද එපමණකින් ම එය අන්‍ය බලවේගයක් හමුවේ විකෘති නො වී සුරැකෙනවා. එය අප විසින් අපගේ දරුවන්ට කියා දෙන්නේ යම් පමණකින් ද එපමණකින් ම එය බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයට යහපත හිත සුව සලසන ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කරවන්නට උපකාරක වනවා.

ඒ නිසා, අතීතයේ සිට මුතුන් මිත්තන් අප වෙත එවූ ඒ ඉතිහාසගත අභිමානනීය පණිවිඩය අප මැනැවින් මතක තබා ගත යුතු ම යි. සේන ගුත්තිකට, එළාරට, කාලිංග මාඝට තබා පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසිනටවත් වෙනස් කළ නො හැකි වූ ඒ පුවත වෙනස් කරන්නට අන්‍යයෙකුට ඉඩක් නො තබා අප ඉතිහාස දැනුමෙන් සන්නද්ධ විය යුතු යි. ඒ දැනුම අඩුවක් නො කොට අනාගතයට ද භාර කළ යුතු යි.

එකී ඉතිහාස පුවත අපට ලියා තැබූ මහානාම මහා ස්ථවිරයන් වහන්සේගේ පාද නමස්කාර වේවා! පාලියෙන් ලියැවුණ එපුවත නිධාන කථා සහිත ව සරල සිංහල බසින් දක්වමින් ‘ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව’ ලෙස අප අතට පත් කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා!

මේ සටහන, මහාවංශය මෙතෙක් නොකියැවූ කවරෙකුට වුව පසුවදන නො ව පෙරවදන ම වේවා! ඒ අභිමානනීය යුග පණිවිඩය ඔබට කිසිදු අයුරකින් මඟ නොහැරේවා යන්න මහාමේඝ අපගේ ප්‍රාර්ථනාවයි.

තෙරුවන් සරණයි!